
“කැලෑ උසාවිවලින් අපිව නවත්තන්න බැහැ.” යනුවෙන් ජාතික ජන බලවේගය නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ප්‍රකාශ කළේ පසුගිය 02 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති සම්මන්ත්‍රණයකදීය. “ජනාධිපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ?” යනුවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතා ව්‍යාපාරය නැමැති සංවිධානයකි. අනුර දිසානායක මෙහිදී ප්‍රකාශ කරන්නේ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
“අපි වංචා දූෂණ කළා කියලා නඩු දාන්න නොහැකි නිසා ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු පිරිස ඊනියා කොමිෂන් අටවාගෙන මර්දනයට සූදානම් වෙනවා. ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වෙනුවෙන් ජනතාව සමඟ එකතු වෙනවා.” යනුවෙන් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
එතකින් නොනැවතී අනුර කුමාර දිසානායක තවදුරටත් චෝදනා කරනු ලබන්නේ මෙසේය.
“මීට අවුරුද්දකට විතර කලින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී බැසිල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් අධිකරණ ක්‍රියාවලිය හරහා මේ අයව කොටු කරගන්න දරන ප්‍රයත්නය නිෂ්ඵලයි. ඒ නිසා අධිකරණයෙන් එළියේ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕන.” යැයි පවසා තිබෙනවා.
“එවැනි කැලෑ උසාවිවලින් අපේ ක්‍රියාකාරීත්වය නතර කළ නොහැකියි” යනුවෙන් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
අනුරගේ කැලෑ උසාවි කතාවලට හොඳම පිළිතුරු ලබා දෙන්නේ ඔහු නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේම හිටපු ප්‍රධානීන්ය.
කැලෑ නීතිය මුල්වරට මෙරටට හඳුන්වා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගේ තවත් සංවිධානයක් වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බව රහසක් නොවේ.
1986 වසරේ සිට 1990වසර දක්වා ක්‍රියාත්මක වුණු ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදී ක්‍රියාත්මක වුණු කැලෑ උසාවිය සමහරුන්ට අද අමතක වුවද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක විසින් එම කැලෑ උසාවිය සහ එමඟින් ක්‍රියාත්මක වුණු කැලෑ නීතිය යළි ආවර්ජනය කිරීමට අවශ්‍ය වාතාවරණය සකසමින් සිටි.
එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කැරැල්ල මර්දනය කිරීමට දරුණු පියවර ගත් අතර ඊට සමගාමීවම ජනතා විමුක්ති පෙරමුණෙන් ද කැලෑ උසාවිය හා කැලෑ නීතිය ක්‍රියාත්මක කළ බව රහසක් නොවේ. තුණ්ඩු කැබැල්ලෙන් කඩවල් වැසීමේ සිට එය ක්‍රියාත්මක නොකරන පිරිස් ඝාතනය කිරීම දක්වා කැලෑ උසාවි වලින් ඝාතන සංස්කෘතියක් ඇති වූ බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි.
ජනතා විමුක්ති පෙරමුණේ මෙම කැලෑ උසාවි සහ කැලෑ නීතිය හමුවේ රටේ බුද්ධිමතුන්, විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් පමණක් නොව මහා සංඝරත්නය සහ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ඝාතනයට ලක්විය.
කොළඹ සරසවියේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, මොරටුව සරසවියේ උපකුලපති මහාචාර්ය චන්ද්‍රරත්න පටුවනවිතාන ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.
රටක් වසඟයට පත්කළ සිංහල සිනමාවේ ජනප්‍රියම නළුවා ලෙස සැලකෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග කැරලිකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කොට මේ මස 16 වැනිදාට හරියටම වසර 33 කි. ජනප්‍රියතම රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් කැරලිකරුවන් විසින් ඝාතනය කොට වසර 32 ක් පමණ ගත වේ.
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියන් ද කුරිරු ලෙස ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණය. ජනතා විමුක්ති පෙරමුණෙන් වෙඩි තබා යම් පුද්ගලයකු ඝාතනය කළ හොත් එම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියෝග ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැලෑ උසාවියේ නියෝගවලට අනුවයි.
ඝාතනය කරන ලද පුද්ගලයාගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා ගෙනයන විට එය දණහිසෙන් පහළට සිටින සේ දේහය තැන්පත් මිනීපෙට්ටිය ගෙන යන අය ඔසවාගෙන යා යුතුයි.
නැතහොත් එතැන සිටින ඔත්තුකරුවකුගේ තොරතුරකට ජනතා විමුක්ති පෙරමුණේ කැලෑ උසාවිය යළි ක්‍රියාත්මක වී දේහය දණහිස්වලින් ඉහළට ඔසවාගෙන යන පුද්ගලයාටත් අවසන් ගමන් යෑමට වැඩකටයුතු සලස්වයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කැලෑ උසාවි ගැන මතක් කළ විට ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ලේදී ක්‍රියාත්මක කැලෑ උසාවිවල නීතිය ගැන නිතැතින්ම මතකයට නැගේ.
දියයට ඔබාගෙන සිටින බෝලයක් යළි මතුවන සේ එම කැලෑ උසාවිවල කතා අනුර කුමාරගේ කැලෑ උසාවි කතාවත් සමඟ යළි කරළියට පැමිණ තිබේ.
2015 ජනවාරි මස 08 වැනිදා බලයට පත්වුණු යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කළේ නිවැරදි නීතියද? කැලෑ නීතිය ද කියා විමසිය යුත්තේ අනුර කුමාර දිසානායකගෙන්මයි.
හේතුව යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් කොටස්කරුවකු වූයේ ජනතා විමුක්ති පෙරමුණයි.
2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තේ මහින්ද රාජපක්ෂ පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන දිනවීම සඳහාය.
ඒ අනුව යහපාලන ආණ්ඩුව කෙතරම් පිස්සු නැටුව ද එය ආරක්ෂා කරගැනීමේ යම් යම් උපක්‍රමශීලී පිළිවෙත් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ බව නොරහසකි.
දූෂණ විරෝධී කමිටුව සහ ජාතික විධායක සභාවේ සැලකිය යුතු බලයක් ගෙන රාජපක්ෂ ආණ්ඩුවේ සිටිය කවුරුන්ගෙන් කවුරුන්ද සිරගත කරන්නේ යන්න තීරණය කිරීමේ ක්‍රියාවලියේදී අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට විශාල වගකීමක් පැවරී තිබිණ.
අනුර කුමාර දිසානායක කැලෑ උසාවි කියමින් ජනාධිපති විමර්ශන කොමිසමට චෝදනා කරන විට යහපාලන ආණ්ඩුවේ එවකට අධිකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ කුමක්ද?
“යහපාලන ආණ්ඩුව කැලෑ නීතිය භාවිත කර දේශපාලන දඩයමේ ගියා.” යනුවෙන් විජයදාස රාජපක්ෂ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ 2020 වසරේ ජූලි මස 29 වැනිදාය.
“මේ දූෂණ කමිටුව පිහිටවූයේ දූෂණ වළක්වන්න. හැබැයි ඒකට අරමුණ වූයේ රාජපක්ෂ පවුල සිරගත කිරීමටයි. ඊට අමතරව රාජපක්ෂ සහායකයන් සිරගත කරවීමත් අරමුණක් වුණා. මේ කමිටුවල සාමාජිකත්වය ජවිපෙට ලබාදී තිබුණා. කමිටු ක්‍රියාත්මක වන්නේ මැතිවරණයට පෙර අනුර කුමාරගේ සහාය මැතිවරණයේදී ගන්න අවශ්‍ය නිසා. ඔවුන්ට දීපු බලාපොරොත්තුවක් කියලා මට පැහැදිලියි. එහෙම නැත්නම් ආණ්ඩුවේ මීට වඩා ජ්‍යෙෂ්ඨයන් සිටියා.” යනුවෙන් විජයදාස රාජපක්ෂ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.
ජාතික විධායක සභාවේ සහ දූෂණ විරෝධී කමිටුවේ වැඩි බලයක් අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණට ලබාදී තිබෙන්නේ යහපාලන ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨයන් සිටියදී බව විජයදාස රාජපක්ෂ විසින් පෙන්වා දෙයි.
“එම කමිටු රැස්වීම් දෙකකට මං ගියා. එක් අවස්ථාවක කියවුණා, ඇවන්ගාඩ් සිද්ධිය පාදක කර ගෝඨාභය අත්අඩංගුවට ගැනීම ස්වර්ණමය අවස්ථාවක් කිව්වා. එම අවස්ථාව මඟහරින්න එපා එම අවස්ථාවේදී මං කලින් පැවසූ පරිදි නීතිඥවරයකු ලෙස සැබෑම තත්ත්වය පැහැදිලි කර අධිකරණ ඇමැති ලෙස එකඟ වෙන්නේ නැහැ කිව්වා.
2016 ජනවාරි 29 වැනි දින ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් තිබුණා. එහිදී ජාතික විධායක සභාවේ සාමාජිකයන් විසින් පොලිස් නිලධාරීන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. එහිදී කිව්වා, නිදහස් දිනයට පෙර යෝෂිත අත්අඩංගුවට ගන්න කියලා. පසුව මං මාධ්‍යයෙන් දැක්කා යෝෂිත අත්අඩංගුවට ගෙන තිබෙනවා.”
විජයදාස රාජපක්ෂ කියන ආකාරයට ජාතික විධායක සභාවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්ට යම් යම් ඉලක්ක ලබාදී කෙතරම් බලපෑමක් සිදු කරන්න ඇද්ද යන්න තේරුම් ගැනීම එතරම් අපහසුවක් නොවේ.
එපමණක් නොවේ, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ තමන්ට ද විශාල වශයෙන් යම් යම් දේශපාලන බලපෑම් එල්ල වූ බවයි.
විශේෂයෙන්ම ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති සමඟ දුරකතනයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී මෙම බලපෑම් පිළිබඳව යම් යම් තොරතුරු හෙළි විය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නීතිපති දෙපාර්තමේන්තුවට ද දැඩි දේශපාලන බලපෑම එල්ල වූ බවයි.
තමන් අරලියගහ මන්දිරයට ගෙනවිත් ජාතික විධායක සභාවේ සාමාජිකයන් නීතිපති දෙපාර්තමේන්තුවට, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට(FCID) එකට බලපෑම් කළ බවත් සුහද ගමලත් විසින් පෙන්වා දෙන ලදී.
FCID භාරව සිටි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර ද ප්‍රකාශ කළේ FCID ආයතනයට දැඩි ලෙස දේශපාලන බලපෑම් සිදුකළ බවයි.
දැනට සිර ගතවී සිටින රන්ජන් රාමනායකගේ හඬපටවලින් තවදුරටත් සිදුකරන ලද දේශපාලන බලපෑම් සහ නීතිය නැවුණු හැටි ඉතා හොඳින් පැහැදිලි වේ.
රහස් පොලිසියේ ප්‍රධානියකු වූ ශානි අබේසේකරට ඇතැම් විමර්ශන සම්බන්ධයෙන් ලබාදුන් දුරකථන ඇමතුම්වලින් යහපාලන ආණ්ඩුව කාලයේ දී කෙතරම් බලපෑමක් නීතිය ක්‍රියාත්මක කළ ආයතනවලට සිදු වුණාද කියා තේරුම් ගැනීමට අපහසු නොවනු ඇත. “අනේ ශානි... වැඩේ නියමෙට යනවා. නාමල් කවද්ද ඇතුළට යන්නේ. යෝෂිත ඇතුළට ගන්නේ කවද්ද? වැඩේ හොඳට කරගෙන යන්න. අපිට මේ දෙන ආතල් එක නම් කඩන්න දෙන්න එපා.” යනුවෙන් රන්ජන් රාමනායක කරන ලද බලපෑම් ඔහුගේම හඬපට හරහා සමාජගත වී ඇත.
ජාතික විධායක සභාවට නීත්‍යානුකුල බලයක් නැති බවත් එය ආණ්ඩු ක්‍රියාවලියකුත් නොවන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.
“දූෂණ විරෝධී කමිටුව” පිහිටුවීම සඳහා අනුමැතිය දුන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයන් පවසන “ජාතික විධායක සභාව” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නීත්‍යානුකුල බලයක් ඇති ආයතනයක් නොවන බව අනුර කුමාර දිසානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.
රටේ වංචා දූෂණ සෙවීමට එක්රැස්වූ දේශපාලන කණ්ඩායම් රාශියක් ජාතික විධායක සභාව සමන්විත වූ බවත් දූෂණ වංචා සෙවීමට එක්රැස් වූ දේශපාලන සන්ධානයකට පැමිණි මැති ඇමතිවරුන් රජයේ දේපළ භාවිතා කරමින් දූෂණ සෙවීමේ කාර්යයේ නිරත වූ නිසා එම සභාවෙන් 2015 ජනවාරි මැයි 10වැනිදා ඉවත් වූ බවත් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
මෙහිදී ඉතා බරපතළ කාරණා කිහිපයක් මතු වේ.
ජාතික විධායක සභාව නීත්‍යාණුකූල පිහිටුවන ලද ආයතනයක් නොවන බව අනුර කුමාර දිසානායක පිළිගෙන ඇත.
එසේ නම් නීති විරෝධී ආයතනයක් හරහා මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම අනුර කුමාර දිසානායකම පවසන ආකාරයට කැලෑ උසාවියක් හෝ කැලෑ නීතියක් නොවන්නේ ද?
එසේ කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අනුර කුමාර දිසානායක මෙම ජනාධිපති කොමිසමට කැකිල්ලේ කොමිසම යනුවෙන් හඳුන්වන්නේ කෙසේද? එසේ හැඳින්වීමට අනුර කුමාර දිසානායකට තිබෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද?
තමන් කැලෑ උසාවි හරහා කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට දායක වෙමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීත්‍යානුකූලව පිහිටුවා ගන්නා ලද ජනාධිපති විමර්ශන කොමිසමට ජනාධිපතිගේ කැකිල්ලේ කොමිසම යනුවෙන් අපහාස කිරීම කෙතරම් යුක්ති සහගත ද? එපමණක් නොව ජනාධිපති විමර්ශන කොමිසමට කැඳවූ අවස්ථාවේදී එහි පැමිණීමට එතරම් කැමැත්තක් නොදැක්වූ අනුර කුමාර දිසානායක ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ නීත්‍යානුකූලභාවය ගැන ද යම් යම් ප්‍රශ්න කිරීම් ද සිදුකළ බව රහසක් නොවේ. යහපාලන ආණ්ඩුව යටතේ නීති විරෝධී ආයතන පිහිටුවාගෙන අරලියගහ මන්දිරයට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කැඳවා නීතිය නැවීමට බලපෑම් කරමින් ක්‍රියාකළ අනුර කුමාර දිසානායක ජනාධිපති කොමිසමට කැකිල්ලේ කොමිසම වශයෙන් චෝදනා කිරීම පදනම් විරහිත බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන සරල කාරණයකි.
යහපාලන ආණ්ඩුවේ කැකිල්ලේ තීන්දු ගැන විමර්ශනය කර ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග නිසි ලෙස ගැනීමට සැරසෙන විට කැකිල්ලේ කොමිසම කියමින් එම ජනාධිපති විමර්ශන කොමිසමට අපහාස කරමින් අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා වැනි යහපාලන ආණ්ඩුවේ නායකයන් හැසිරෙන්නේ එම ජනාධිපති කොමිෂන් සභාවට තිබෙන බිය නිසා ද?
දේශපාලන වේදිකාවේ දී සිංහනාද කරන අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා ජනාධිපති කොමිසමට මෙතරම් බියක් දක්වන්නේ ඇයි?
කෙතරම් බියක් දක්වන්නේදැයි කිවහොත් කැකිල්ලේ කොමිසම යනුවෙන් සම්මන්ත්‍රණ පැවැත්වීමට අනුර කුමාර දිසානායක කටයුතු කරන්නේ කැලෑ උසාවියට වඩා නීතිගරුක උසාවියට තිබෙන බිය නිසා ද? යන සැකය මතුවේ.
“දූෂිතයන්ට දඬුවම් ලබාදීම සඳහා ජාතික විධායක සභාවට දේශපාලන පක්ෂ සම්බන්ධ වුණා.” යනුවෙන්ද අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.
දූෂිතයන් සිටිනවා නම් ඔවුන්ට එරෙහිව දඬුවම් කිරීම සඳහා රටකට නීතියක් ඇත. එම නීතියට අනුව ක්‍රියා නොකර නීති විරෝධී ආකාරයෙන් මෙසේ ක්‍රියා කරන්නේ ඇයි?
නීත්‍යානුකූලව කටයුතු කරන විට අසත්‍ය චෝදනා ගොනු කර විමර්ශනය කළ නොහැකි අතර නිත්‍යානුකූලව නොවන ආකාරයට කටයුතු කරන විට ඕනෑම ආකාරයකට නීතිය නැවිය හැකි බව මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් ඔප්පු කර තිබේ.
එසේ නීත්‍යානුකූලව කටයුතු කළා නම් යහපාලන ආණ්ඩුවට අවශ්‍ය දිනවලට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ සිරගත කිරීමට නොහැකි වනු ඇත.
උදාහරණයක් ලෙස නිදහස් දිනයට පෙර යෝෂිත රාජපක්ෂ සිරගත කිරීමට නොහැකි වනු ඇත.
නාමල්, යෝෂිත මාස 03 ක් බන්ධනාගාරගත කිරීමට නොහැකි වනු ඇත.
බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජයන්ත සමරවීර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 කට ආසන්න පිරිසක් බන්ධනාගාර ගතකිරීමට නොහැකි වනු ඇත.
රන්ජන් රාමනායකලාට දිගින් දිගටම ආතල් දීමට ද නොහැකි වනු ඇත.
නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි නිසා නීත්‍යානුකූල නොවන ආකාරයට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දූෂණ විරෝධී කමිටුව, ජාතික විධායක සභාව, FCID වැනි ආයතන පිහිටුවීමට එවකට පැවති යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබුණි.
FCID ආයතනය හරහා බොහෝ දේශපාලන පළිගැනීම් සිදු කළත් එම ආයතනයේ නීති විරෝධී ආයතනයක් බව මේ වනවිට සාක්ෂි සහිතව ජනාධිපති විමර්ශන කොමිසමේ දී හෙළි වී තිබේ.
එවැනි නීතිවිරෝධි ආයතන හරහා කැලෑ නීතිය ක්‍රියාත්මක කිරීමට දායක වූ අනුර කුමාරලා, සරත් ෆොන්සේකලාජනාධිපති කොමිසමට කැකිල්ලේ කොමිසම කියමින් තවදුරටත් අපහසු කරන්නේ රෙදි ඇඳගෙනද? කියා සාධාරණ ප්‍රශ්නයක් මේ වන විට සමාජය හමුවේ පැන නැඟී තිබේ.
මේ අතර දේශපාලන පළිගැනීම් පමණක් නොව යහපාලන රජය සමයේ රාජ්‍ය සේවය විනාශ කිරීමට ද දූෂණ විරෝධී කමිටුව මුල් වූ බව ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම නැති කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සම ලේකම් ඩී.එස්. ජයවීර දේශපාලන පළිගැනීම් ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පැවසීය.
මෙරට රාජ්‍ය අංශය පමණක් නොව දේශීය ව්‍යාපාරිකයන්ට, ඉදිකිරීම් සමාගම්වලට මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසකට මෙම නීති විරෝධී FCID ආයතනයට යාමට සිදුවිය.
රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් දැඩි මානසික පීඩනයකට ලක්වූ අතර දේශපාලනඥයන්ට අමතරව 3,000කට අධික රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් FCID නීති විරෝධී ආයතනයට ගෙන්වා දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී.
මෙවැනි නීති විරෝධී ආයතන හරහා ඇතැම් පාර්ශ්වවලට අවශ්‍ය වී තිබුණේ රට අරාජිකත්වයට පත්කිරීමට ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ දී බරපතළ වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ අතර එම වාර්තාව ඉතා ඉහළින් ම වර්ණනා කරමින් පිළිගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබණි.
එම වාර්තාව ඉහළින්ම වර්ණනා කළ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට මෙතරම් බියක් දක්වන්නේ ඇයි?
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගෙන් පසුව වැඩියෙන්ම කතා කරන්නේ සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවේචනය කරමින් ඔහු චෝදනා එල්ල කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටයි.
විවෘතව යුද පිටියේ ගෝඨාභය අනාරක්ෂිතව ගියා මෙන් දේශපාලනයේදී ද ඔහු අනාරක්ෂිතව ගමන් කරමින් සිටින බව සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන්නේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ඔහුගේ ද නම තිබෙන බැවිණි.
තමන් නිර්දෝෂී නම් අනුර කුමාරලා, සරත් ෆොන්සේකලා ජනාධිපති කොමිසමට මෙතරම් බියක් දක්වන්නේ ඇයි?