මානව හිමි­කම් චෝදනා බොරු උගු­ ලක් | Page 2 | සිළුමිණ

මානව හිමි­කම් චෝදනා බොරු උගු­ ලක්

සර 30ක් තිස්සේ මෙරට පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිමා වූයේ 2009 වසරේදීය. එදා පටන් ශ්‍රීලංකා රජයටත් මෙරට හමුදාවන්ට අණ දුන් හමුදා නායකයන්ටත් යුද අපරාධ චෝදනා එල්ල විය. මානව හිමිකම් කොමිසමේ විවිධ චෝදනාවන්ට ලක්වීමට අපට සිදුවිය. මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේ සමුළුව ලබන 22 වැනිදා ඇරැඹෙන අතර එම සමුළුවේ කරුණු දැක්වීමට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් සූදානමින් සිටින්නේ මෙරට ස්වෛරීභාවය සුරැකෙන පරිදිය. මෙවර මානව හිමිකම් කොමිසමේ චෝදනාවන් සම්බන්ධයෙන් හා එයට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් අද සිළුමිණට කරුණු දක්වන්නේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ය.

ලෝකයම පිළි ගත්තා එල්ටීටීඊය දරුණු ගරිල්ලා ත්‍රස්තවාදී සංවිධානයක් බව. ඔවුන්ට විරුද්ධ කළ සටන ඇයි මේ අය වැරැදියට අර්ථකථනය කරන්නේ?

ශ්‍රී ලංකාව එල්ල කරගෙන කරන මේ චෝදනා වැරැදියි කියල අපි පෙන්වල දීල තියෙනවා.

විශේෂයෙන්ම තිස් අවුරුද්දක් තිස්සේ පරාජය කළ නොහැකි වූ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්ටීටීඊ සංවිධානය පරාජය කළ අවස්ථාවේදී රටවල් සැවොම අපට සහාය දුන්නා. කොටි පාලන ප්‍රදේශවල සිට පැමිණි ලක්ෂ 3කට වැඩි පිරිසකට අපි රැකවරණය දුන්නා. සටන් වැදුණු කොටි සංවිධානයේ පිරිස් 12,500ක් පමණ පිරිස් අපි පුනරුත්ථාපනය කළා. නමුත් විවිධ සංවිධාන කිහිපයක වැරැදි තොරතුරු, වැරැදි සංඛ්‍යා ලේඛන මත ශ්‍රී ලංකාවට දඬුවමක් කරන්න පුළුවන් බලධාරීන් ලෙස තමයි මානව හිමිකම් මහ කොමසාරිස්තුමිය ඇතුළු කිහිප දෙනෙක් හැසිරෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ත්තිය අනුව අපට මේ වගේ අභූත චෝදනා එල්ල කරන්න පුළුවන්ද?

 

එක රටකට තෝරාගත්ත දඬුවම් පැමිණ වීමේ යෝජනාවක් ගෙන ඒම වැරැදියි කියන ප්‍රතිපත්තිය මතයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය අනුව මානව හිමිකම් කොමිසම පිහිටුවනු ලැබුවේ. ඒ මූල ධර්මය අනුගමනය කටයුතු කිරීමට මානව හිමිකම් කොමිසම දැනගත යුතුයි. ශ්‍රී ලංකාවට එල්ල කළ ඒ චෝදනාව වැරදියි කියන එක අප පෙන්වා දී තියෙනවා.

නමුත් 'හියුමන්' වොච් සංවිධානය කියලා තියෙනවා ශ්‍රී ලංකාවේ කටයුතු ගැන අන්තර්ජාතික අවධානය යොමු කළ යුතුයි කියලා.

සීමිත පිරිසක් විසින් සීමිත කරුණු රැසක් මතයි එයාල කතා කරන්නෙ. ඒ වගේම හියුමන් වොච් පළමු වරට නෙමෙයි අපට චෝදනා කෙළේ. මීට කලිනුත් ඔවැනි චෝදනා කරා.

අපට බොරුවට චෝදනා කරන්නෙ නැතුව නිශ්චිත යම් කරුණක් හෝ කරුණු ගැන කිව්වොත් අපට පිළිතුරු දෙන්න පුළුවන්. ඒ සංවිධානය මොන වගේ මානව හිමිකම්ද කතා කරන්නෙ කියන එකට හොඳ උදාහරණයක් දෙන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයයෙන් 290ක පමණ මිය ගියා. අදටත් පූර්ණ ලෙස ඔත්පල වී දිවි ගෙවන. 70ක් පමණ ඉන්නවා. ඒ අය ඒ ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවේ ඉන්න සැකකරුවන් නිදහස් කරන්න කියලා. මේ එක උදාහරණයක් විතරයි.

·එසේම ඔවුන් කියනවා සම්බාධක පනවන්න කියලත්...

සම්බාධක පනවන්න විතරක් නෙමෙයි අපේ බැංකු ගිණුම් තහනම් කරන්නත් ඔවුන් යෝජනා කරනවා. මම දන්නෙ නැහැ. රටක ජනතාව ජීවත් කරවන මානව අයිතියේ මූලික දෙයක් වන ආදායම් මාර්ග අහිමි කරන්න උත්සාහ කරන අයගේ මොන ‘හියුමන්‘ද කියල තමයි මට අහන්න තියෙන්නෙ.

වසර ගණනාවක් තිස්සේම ඇයි මේ චෝදනා ඇදෙමින් පවතින්නේ. නිසි පිළිතුරක් අපෙන් ලැබෙන්නේ නැත්ද?

‘යහපාලන‘ රජය විසින් මේ චෝදනා වෙනුවෙන් සම අනුග්‍රාහකත්ය දැක්වීමට ඉදිරිපත් වීම නිසා අපට ගැටලු රාශියක් මතු වුණා.

අපට විරුද්ධව කටයුතු කරපු රටවල් එක්ක එකතු වෙලා විදේශ විනිශ්චයකරුවන් හා එක්ව නඩු අහන්න කොමිසමක් ඇති කරන්න අත උස්සලා ආවා.

ඒක ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කරන්න ශ්‍රී ලංකාවම එකඟ වීමක්. ඔවුන් ඒ අවස්ථාවේදී කිසිම නිවැරැදි තොරතුරක් ගැන සොයා බැලුවේ නැතුවයි ඒ කටයුත්ත කෙළේ. ඒ වගේම එම යෝජනාව පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කළේ නැහැ. ආණ්ඩුව ඇතුළේ පවා මේ සම්බන්ධව බෙදීමක් ඇති වුණා.

නමුත් එම සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව අයින් වුණානෙ.

ඔව් අපට බැහැ අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වූ අධිකරණය පද්ධතියට විදේශ විනිශ්චයකරුවන් ඇතුළත් කරන්න. නැත්නම් දෙමුහුන් අධිකරණ ක්‍රියාත්මක කරන්න. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් විරුද්ධයි.

එහෙත් මෙහිදී පෙන්වා දිය යුතුයි, යහපාලන ආණ්ඩුව සම අනුග්‍රාහකත්වයට එකඟවීම තුළ අපට යම් ආකාරයක දඬුවම් පැනවීමක් කරන්න පුළුවන්ද කියල ඒ අය සොයා බලපු බව. එම නිසයි මේ යෝජනාව මේ පාරත් ඉදිරිපත් කරල තියෙන්නෙ.

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වෙද්දී ඔබ විදේශ ඇමැතිවරයා ලෙසින් යම් ආකාරයක පොරොන්දුවක් ලබා දුන්නා නේද?

ඔව්, අප ලබා දුන් පොරොන්දු ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපි කටයුතු කරනවා.

විශේෂ පරීක්ෂණ කොමිසමක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම 2030 දරිද්‍රතාව තුරන් කිරීමේ අපේක්ෂාවෙන් තිරසාර සංවර්ධනය කරා යාමට අපි මේ වනවිටත් කටයුතු කරමින් ඉන්නේ. එමෙන්ම ජේ.ආර්. ජයවර්ධනයන්ගේ සමයේ එංගලන්තයේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී පනතක් අනුව මෙරට ත්‍රස්තවාදී පනතක් ස්ථාපිත කළා. එම පනතේ අඩුපාඩු සමාලෝචනයට ලක්කර පනත සංශෝධනයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාදැයි සොයන්න මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නවා.

අපේ රණවිරුවන්ට එරෙහිව ඔවුන් දිනෙන් දිනම චෝදනා ඉදිරිපත් කරනවා.

අපේ රණවිරුවන් කටයුතු කෙළේ සමස්ත ජනතාවම වෙනුවෙන් ඔවුන් දෙමළ දේශපාලන නායකයන්ට පවා රැකවරණය ලබා දුන්නා. ඔවුන් කිසිදු ආකාරයක යුද්ධාධිකරණයට ගෙන යන්න අපට ඉඩ දෙන්න බැහැ. ඉඩ දෙන්නෙත් නැහැ. ඔවුන් කෙළේ මානුෂීය යුද්ධයක්. එමනිසා රණවිරුවන්ට එරෙහිව කරන චෝදනා ඉවත් කර ගන්න කියා අප ඉල්ලා තිබෙනවා.

එහෙත් යුද හමුදාපතිවරයාට වගේම ඔහුගේ පවුලේ අයට පවා ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ඒ වගේම අවසන් මානුෂීය මෙහෙයුමේදී නායකත්වය දුන් හමුදාවිරුවන්ටත් ඒ තහනම් බලපා තිබෙනවා. ඒ තහනම් මානව හිමිකම් කඩවීම් ලෙස විමසන්නේ නැතිද?

අපි ඒ සම්බන්ධව කරුණු දක්වා තිබෙනවා. මෙවරත් කරුණු දක්වනවා. විශේෂයෙන්ම තහංචි පනවා ඇති රටවල යුද හමුදාපතිවරුන් මෙන්ම ආරක්ෂක අංශවල අය මේ පිරිස් සමඟ විවිධ අදහස් හා තොරතුරු හුවමාරු කරගන්නවා. යුද අපරාධ කරපු අයගෙන්ද අදහස් ලබාගැනීම් කරන්නෙ. ආරක්ෂක කටයුතු සම්බන්ධව සාකච්ඡා කරන්නෙ. සියල්ල දෙබිඩි පිළිවෙත් පමණයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එංගලන්තයට ගිය අවස්ථාවක පැමිණීමේ ගුවන් යානය පිටත්වීම වළක්වාගන්න වාරණ නියෝගයක් ගන්න කිහිපදෙනෙක් අධිකරණයට පවා ගියා. ඒව අද බොහෝ අයට අමතකයි.

අගතියට පත් පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු නොවුණු බවක් කියනවා.

රටෙ පුරවැසියකුට තමන්ට වූ අගතිය වෙනුවෙන් නීතියේ සරණ පතන්න පුළුවන්. ඒ වගේම මේ සිදුවීම් දාමය ගත්තොත් එතැනින් එහාට යන්නත් පුළුවන්. පරණගම වාර්තාව වගේම එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව තමන්ට කටයුතු කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඕනෑම කෙනකුට ඊට අමතරව තමන්ගේ සාක්ෂි වෙනම ලබා දෙන්න පුළුවන්.

ඇයි මේ බටහිර රටවල් අපිට එළව එළවා පහර දෙන්නේ.

මෙහි ප්‍රධානත්වය ගන්න අපේ රටේ කේලම් කාරයොත් ඉන්නවා. අපේ රටේම අය ගිහින් මේ විදිහේ වැරැදි තොරතුරු ලබා දෙනකොට බටහිර රටවල් අපිට එරෙහිව කටයුතු කරනවා.

ඒ වගේම ජනතා වරමින් ගොඩනැංවුණු වර්තමාන රජයට එරෙහිව කටයුතු කිරීමත් එක් න්‍යාය පත්‍රයක් බවත් අපට පැහැදිලියි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කළ රජය පෙරළා දැමීමට කටයුතු කිරීම පිටුපසත් විවිධ බලවේග තිබුණා.

මානව හිමිකම් කොමිසමේ චෝදනා අනුමත කරන උතුරේ දෙමළ දේශපාලඥයොත් ඉන්නවා නේද?

 

මෙතනදි විශේෂයෙන්ම පවසා දිය යුතුයි ඒ දේශපාඥයන් කොටි ත්‍රස්තයන්ගෙන් බේරගන්න යුද අපරාධ කළා කියපු රණවිරුවන්ම කටයුතු කළ බව. ඒ වගේම යුද්ධය මෙහෙයවපු යුද නායකයන් යුද අපරාධ කළා කියලා ඔවුන් මානව හිමිකම් කොමිසමට ගෙනයා යුතුයි කියපු උතුරේ දෙමළ දේශපාලන නායකයන් මහින්ද රාජපක්ෂයන්ට විරුද්ධව එදා සරත් ෆොන්සේකා ජනාධිපති කරන්න ඡන්දය දෙන්න කියලා උතුරේ ජනතාවට කිව්වා.

එතකොට යුද අපරාධ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ජන්දය තමන් කැමති කෙනකුට ලබා දිය හැකියි. ඒක වෙනම දෙයක්. උතුරේ ඒ දෙමළ දේශපාලන නායකයන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය වගේ තමයි සමහර රටවල්වල චෝදනාත්. අපේ රටේ ජනතාවටත් මේ සේරම ඉක්මනින් අමතක වෙනවනෙ.

·යුද්ධය අවසන් වුණේ 2009 වසරේ එදා ඉදල මේ චෝදනා ආවා. වරෙක චැනල් ෆෝ නාටකයක් ආවා. ඇයි ආණ්ඩුවට බැරි මේ සඳහා නිසි පිළිතුරු සපයන්න.

අපි කරුණු ඉදිරිපත් කරල තියෙනවා. ඔවුන් ඒ කරුණු අනුව කටයුතු කළ යුතු වෙනවා. අභූත චෝදනා නැඟීමටයි ඔවුන් කටයුතු කරන්නේ. ඔබ පැවසූ චැනල් 4 එහි එක් දිගුවක් තමයි.

කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පවසා තිබුණා මංගල සමරවීර ඇමැතිවරයා 2015 වසරේදී 30/1 යෝජනාවට එකඟවීමේ විපාකය අද  අපි අත්විඳිනවා කියලා.

ඒ කතාව ඇත්ත. පසුගිය කොමිසම් සැසිවාරයට මම සහභාගි වුණු වෙලාවෙ විදේශ රටවල නියෝජිතයන් විමසුවා ඔබගේ රටේම අය ඒ සඳහා ඡන්දය ලබාදෙන විට අප කුමක් කරන්නද කියලා. එදා ඒ ආණ්ඩුවේ හිටපු බහුතරය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා. කිහිප දෙනෙක් සතුටු කරන්න ගන්න යෝජනාවන්ට අපට එකඟවෙන්න බැහැ. හාම්පුතුන් ලෙස සලකා බටහිර ආධිපත්‍යයට අපට යටවෙන්න බැහැ.

නමුත් ඒ දිනවල ‘යහපාලන‘ රජය කිව්වනේ මහින්ද රාජපක්ෂයන් විදුලි පුටුවෙන් බේරගත්ත එයාල කියලා. යහපාලන ආණ්ඩුව කියපු බොරු කන්දරාව ගැටගහල මිටිබැඳල තියෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තියෙනවද? ඒ හොඳකම හින්දනේ ජනතාව ‘යහපාලන‘ ආණ්ඩුව එළවල දැම්මෙ සමහරු දේශපාලනයෙන් අතුගෑවිලාම ගියා. ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන බව තේරුම් ගත යුතුයි. 2015 අවුරුද්දේ ගත්ත ඒ තීරණය ඒ කියන්නෙ 30/1ට අනුමැතිය ලබා දීම අන්තර්ජාතික නීති විශාරදයන් පවා කිව්වා වැරැදියි කියලා. මෙරට නීති විහාරදයන් පවා ඒ බව පෙන්වා දුන්නා.

වෙනත් රටවල්වලින් අපට කුමනාකාරයේ සහයෝගයක් ලැබේවි කියලද ඔබ හිතන්නේ...

අපි මේ ගැන එම රටවලටත් කරුණු දක්වා තිබෙනවා. යහපත් ප්‍රතිචාරයක් ලැබෙන ලකුණු තියෙනවා. විශේෂයෙන්ම එම රටවල් දන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදු කළ අමානුෂික ක්‍රියාවන් ගැන. එම සංවිධානයේ අමානුෂික ක්‍රියා ලංකාවෙන් පිටතත් ක්‍රියාත්මක වුණා.

මේ පාර සමුළුවට සහභාගි වන කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවාද ?

අපේ නිත්‍ය නියෝජිතයා ජිනීවා සිට කටයුතු කරනවා. එහි කාර්යාලය වැඩ කටයුතුත් නිසි පරිදි සිදුකරනවා. ඊට අමතරව තවත් නියෝජිතයන් කිහිපදෙනකු එක් වෙනවා. එමෙන්ම නිව්යෝර්ක් අලුත් තානාපතිවරයා ඇතුළු පිරිසත් මෙහිදී නියෝජිතයන් ලෙසින් කටයුතු කරනවා. ඊට අමතරව මෙරට සිට සම්බන්ධ වෙන නියෝජිතයන් වෙනමම සිටිනවා.

කොවිඩ් වසංගතය යටතේ සැසිවාරය කුමන ආකාරයට පවත්වයිද?

මෙවර සැසිවාරය වීඩියෝ තාක්ෂණය අනුවයි සිදුවන්නේ. එමෙන්ම මෙහිදී අපට ලබා දී ඇති කාලය ඉතාම සීමිතයි. විශේෂයෙන්ම විදේශ ඇමැතිවරයා ලෙස කරුණු දක්වන්න මා හට ලබාදී ඇත්තේ ඉතාම සුළු කාලයක්

එයින් අපට අසාධාරණයක් වනවා නේද?

කරුණු දැක්වීමට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීමෙන්.

ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන්න කාලය නම් මදි. ඇත්ත පෙන්වා දෙන්න නම් සැලකිය යුතු වේලාවක් අවශ්‍යයි. ඒ වුණත් අපි සියල්ල ලිඛිතව ලබා දී තියෙනවා. කෙසේ වෙතත් පිළිතුරු කරුණු දක්වන්න අපේ නිත්‍ය නියෝජිතයන්ට පසුව කාලය ලැබේවි.

යම් ආකාරයෙන් මෙවරත් හයිබ්‍රිඩි නැත්නම් දෙමුහුන් උසාවි කතාව ආවොත් මොකද කරන්නෙ?

අපි කිසිසේත්ම එකඟතාවය පළ කරන්නෙ නැහැ. අපි සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණේ ඒ නිසයි. අපි පොදුරාජ්‍ය මණ්ඩලයේත් සාමාජික රටක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි කටයුතු කරන්නේ.

ලෝකයේ වෙනත් රටවලට මේ ආකාරයේ චෝදනා මෙවර සමුළුවේදී එල්ල වී නැත්ද?

තිබෙනවා. රටවල් 9ක් සම්බන්ධව කටයුතු කිරීම තමයි ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ. අපේ රටට විරුද්ධව කටයුතු කිරීම හා විවිධ නිර්දේශ සිදුකිරීම රටක ස්වෛරීභාවයට හානි කිරීමට උත්සාහ දැරීමක්. එමෙන්ම එය වැරැදි ආදර්ශයක්. එමෙන්ම සාමාජික රටවල් 47ක මතය විමසීමක් මෙහිදී සිදුවනවා.

ජිනීවා මානව හිමිකම් කමිටුව මෙවර ලංකාවට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරයි කියලද ඔබ හිතන්නේ?

අපි අදාළ පිළිතුරු සපයා තිබෙනවා. අපි සාර්ථකව ඒ වෙනුවෙන් මුහුණ දෙනවා. පුළුල් විවාදයක් අපට ලබා ගන්න තිබුණානම් හොඳයි. වීඩියෝ තාක්ෂණය අනුව කටයුතු කරන්නට සිදුවීම නිසා අපේ කරුණු ඉදිරිපත් කිරීමට යම් ආකාරයක තාක්ෂණික ගැටලු මතු වෙන්න පුළුවන්.

රටක් ලෙස මේ අර්බුදයෙන් මිදෙන්නට ගත යුතු ක්‍රියා මාර්ගය ලෙස ඔබ දකින්නේ කුමක්ද?

පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ සඳහා එක්විය යුතුයි. විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධාන කාර්යයක් ලෙස මම දකින්නේ රණවිරුවන්ට එල්ලවන අභූත චෝදනා වෙනුවෙන් ඔවුනුත් රජය සමඟ හඬනැඟීම කළ යුතුයි.

 

සේයාරූ -සමන්ත වීරසිරි

 

Comments