
ලෝකයම කොරෝනා 19 වසංගතයෙන් වෙළී ගොස් තිබෙන මොහොතක එයින් ගැලවීම සඳහා දැනට සොයාගෙන ඇති සාර්ථකම එන්නත ලෙස සැලකෙන ‘ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (Astra Zaneca Covisheld) එන්නත ඉකුත් 28 වැනිදා ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.
මෙම එන්නත මෙරටට ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්රමුඛ රජයේ මැති ඇමැතිවරු රාජතාන්ත්‍රික මට්ටමින් මෙන් ම තම පෞද්ගලික සම්බන්ධතා මඟින් රටවල් රැසකින් ම ඉල්ලීම කරනු ලැබූහ.
මෙරට පාර්ලිමේන්තුව තුළ මෙන්ම නොයෙක් සංවිධාන ජන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ රැසක් ම විටින් විට රජයට චෝදනා එල්ල කරමින් එන්නත ගෙන්වීම ප්‍රමාද කරන්නේ මන්දැයි අසා සිටියේය. එහෙත් එම එන්නත ආනයනය කරන ක්‍රමවේදය මෙන් ම ඒවා නිෂ්පාදනය කරන රටවල් ඒවා ලබාදෙන ආකාරය අනුව රජය හැකි ඉක්මනින් ජනතාවට එය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් දැඩිව අවධාරණය කළේය. ඒ අනුව ඉන්දීය රජය ප්රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගොපාල් බග්ලේ විසින් ඉකුත් 28 වැනිදා පෙරවරුවේදී කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් රැගෙන ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරන ගුවන් යානය ඉකුත් 28 දා පෙරවරු 11.45ට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
ගුවන් තොටුපොළ වෙත ගිය ජනාධිපතිවරයා එහිදී මෙම එන්නත් තොගය භාරගත් අතර, ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැතිවරුන් වන චන්න ජයසුමන, යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් ඊට එක්වූහ. එන්නත් 150000 පමණ ෙසෟඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ 120000 පමණ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත ලබාදීමට රජය සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් උත්සවය සඳහා රජය යුහුසුලුව සූදානම් වෙමින් සිටින්නේ අර්බුද සහ බාධක රැසක් ම ජය ගනිමින්ය. මෙවර ජාතික නිදහස් උත්සවය සැමරීමට සිදුව ඇත්තේ කොවිඩ් වසංගතය තදින්ම පැතිරී යන අවස්ථාවකය. කොළඹ නිදහස් චතුරශ්‍රයේදී එම උත්සවය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගි කරවා ගැනීමට ද සැලසුම් කර ඇත. මෙම උත්සවයට සහභාගි වන්නන්ට පී.සී.ආර්. පරීක්ෂණය හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ සිදු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. රටේ ගෞරවය මෙන්ම ගාම්භීරත්වය ප්‍රදර්ශනය වන ආකාරයට උත්සවය පැවැත්වීමට රජය සියලුම කටයුතු යොදා ඇත. අගමැති මහින්ද රාජපක්ෂගේ මෙන් ම රජයේ මැති ඇමැතිවරු රැසක්ම සෞඛ්‍ය උපදෙස්වලට මුල් තැන ලබාදෙමින් උත්සව කිහිපයකට සහභාගි වීමට ඉකුත් සතියේ කටයුතු කරනු ලැබූහ.
කොවිඩ්වලට මුහුණදෙමින් රට සංවර්ධනය කරා ගෙන යා යුතු බව රජය දැඩිව අවධාරණය කරමින් බස්නාහිර පළාතට පිටින් සියලුම පාසල් යළි විවෘත කළ අතර කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල අපොස සාමාන්‍ය පෙළ දරු දැරියන් සඳහා පමණක් පාසල් විවෘත කරනු ලැබීය. ප්‍රථම දින දෙක තුන ඇතුළත ළමුන් පාසල් එවීමට දෙමවුපියන් මැළිකමක් දැක්වූ අතර පසුව ළමුන් පාසල් කරා පැමිණෙන ආකාරයක් දකිනට ලැබුණි.
ගෝඨාභය රාජපක්ෂ විසින් නවදිල්ලියට පත් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා තවමත් රාජකාරි භාරගෙන නොමැත. හිටපු ඇමැතිවරයකු වන මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කරනු ලැබීය.
කෙසේ වෙතත් දේශපාලන තොරතුරුවලින් සඳහන් වූයේ කොරෝනා පැතිරීමේ අවධානම හේතුවෙන් මහ කොමසාරිස්වරයා තවමත් රාජකාරි භාරගෙන නොමැති බවයි.
මීට අමතරව කැනඩාවට සහ සෞදි අරාබියට පත්කර යවන ලද තානාපතිවරුන්ට ද එම රටවලින් යම් යම් ගැටලු සහගත තත්ත්වයන් මතුවී ඇතැයි ද කියති. කැනඩාවට පත් කර ඇති තානාපතිවරයා සහ සෞදි අරාබියට පත් කර ඇති තානාපතිවරුන් මෙතෙක් අනුමැතිය ලබාදී නොමැති අතර කොරෝනා වසංගත තත්ත්වය ඊට හේතු වී ඇතැයි ද විදේශ වාර්තාවලින් පැවසේ. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව අතින් එන්න එන්ට පහත වැටීම පිළිබඳව දේශපාලන වේදිකාවේ දැඩි කතා බහක් ඇතිවී තිබෙන මොහොතක නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිවරයා දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමට කටයුතු කළේය. ක්‍රිකට් ක්‍රීඩාව මෙරට එක ක්‍රීඩාවක් පමණක් බවත් සියලුම ක්‍රීඩා එක තලයකට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු දැඩිව කියා සිටියි.
ජාතික ක්‍රීඩා සභාව පත් කරමින් තමන් ක්‍රීඩා අමාත්‍යාංශය තුළින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන් ම මෙරට ක්‍රීඩාවට කළ හැකි උපරිම දේ සිදු කරන බවත් මෙය දියුණු කිරීම සඳහා දැඩි තීන්දු තීරණ ගැනීමට නොපසුබට වන බවත් නාමල් අවධාරණය කරයි.
“ඔබ ඉදිරියට යන්න යන්න ඔබට ලැබෙන වරප්‍රසාද වැඩිවෙනවා. ඔබ ආපස්සට එන්න එන්න ඔබට ලැබෙන වරප්‍රසාද අඩු වෙනවා. සියලුම ක්‍රීඩාවල ක්‍රීඩකයන්ට මෙන් ම ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මින් ඉදිරියට මුදල් ලබාදීම් වැඩි කරනු ලබන්නේ ඔවුන් පෙන්වන දක්ෂතාවයන් අනුවයි. මෙය ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කිරීමක්.”
“ඔබ කතා කරන භාෂාව, ඔබ ආපු ගම ඔබේ ප්‍රදේශය ආගම, ජාතිය අදාළ වෙන්නේ නැහැ. ඔබ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. අපි ඒ සඳහා උපරිම සහය ලබාදෙනවා. ඔබයි ඔබගේ දක්ෂතාවය පෙන්විය යුත්තේ.” ඉකුත්දා ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවූ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාමල් එසේ කීවේය.
මෙවර ද කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. ඒ සඳහා කල් තියාම අගමැති මහින්ද පැමිණ තිබුණි. ඒ වනවිටත් ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ ‘ඔන්ලයින්’ සඳහා සූදානම් වෙමින් සිටියහ. අගමැති මහින්ද මේ පිරිස සමඟ සම්බන්ධ වෙමින් ඔවුනට උපදෙස් ලබාදුන්නේය. “හඬ පැහැදිලි නැහැ. රූප තව ටිකක් ලොකු කරන්න. හැමදෙනාගේම බස්ට් එක (උඩුකය) පේන්න ගත්ත නම් ගොඩක් හොඳයි” අගමැති මහින්ද උපදෙස් ලබාදෙමින් කීවේය.
කොවිඩ් වැලඳී සුව වූ ඇමැති වාසු ද මෙවර කැබිනට් මණ්ඩලයට එක්වූයේය. වාසු පැමිණ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සැණින් ඔහුව දැක්කේ අගමැති මහින්දය. “කොහොමද වාසු” මහින්ද ඇසුවේය. “හොඳයි අගමැතිතුමා” වාසු කීවේය. මේ වනවිට කැබිනට් හමුව සඳහා ඇමැතිවරු සියල්ල සම්බන්ධ වී සිටියදීය.
“ඔබ දැකුමෙන් මා පින් කළ බව දැනිණි” ඩලස් කීවේය. “ඔබේ මුහුණෙන් මට ඒ බව පෙනුණි” වාසු සිනාසෙමින් කීවේය.
පියල් නිශාන්ත ඇමැතිවරයාගේ ආශ්‍රිතයකු බවට පත්ව සිටින නාමල් රාජපක්ෂ ඇමැතිවරයා නිරෝධායනය වන අතර ඔන්ලයින් ඔස්සේ ඔහු ද කැබිනට් හමුවට එක්විය.
“මේ දවස්වල නාමල් කොටහළු වෙලා” ඇමැති විමල් විහිළු කළේය. “තව දවස් කීයක් තියනවද” බන්දුල ඇසුවේය. “අදින් ඉවරයි පී.සී.ආර්. එක ගත්තා” නාමල් කීවේය.
“චමල් සර්ටත් මාර වැඩේ වූයේ ගොවිජන සේවා කොමසාරිස්තුමා වාහනේ ඇවිත්” මහින්දානන්ද කීවේය.
“පුදුම බේරිල්ලක් බේරෙන්නේ සර් මේ දවස්වල. පවිත්‍රා අක්කා නෙළුම් මාවතේ ඉඳලා ගියා විතරයි. තව පොඩ්ඩෙන් අපිත් අහුවෙනවා” ඔහු කීවේය.
“මමත් ගියානේ ඊට පස්සේ එතනට” සී.බී. කීවේය.
“පවිත්‍රාගේ අතේ දුරින් හිටපු නිසා අපි බේරුණා” බන්දුල කීවේය.
“නෑ... නෑ... පවිත්‍රා ඇමැතිතුමිය ඔයාගේ අතේ දුරින් හිටියේ” විමල් බන්දුලට කීවේය.
“වාසු ගෙදරද” නාමල් ඇසුවේය.
“මම ඉවරයි. බර වියදම්” වාසු කීවේය.
“ඔබතුමා දැකීමත් විශාල සතුටක්” දිනේෂ් කීවේය.
“සුවපත්ව ඉන්න වියදම සැරයි” වාසු කීවේ දිනේෂ්
“මොනවද ඒ කාලය තුළ දුන්නේ” බන්දුල ඇසුවේය.
“කෑම බීම අඩුවක් නැහැ” වාසු කීවේය.
“බෙහෙත් දෙනවද” විමල් ඇසුවේය.
“එකම බෙහෙත තමයි නිරෝධායනය” වාසු කීවේය.
“නීතියෙන් බැහැනේ. ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යන්නම ඕන” වාසු උත්තර දුන්නේය.
“දැන් කී දෙනෙක් කොරොන්ටයින්ද” අගමැති ඇසුවේය.
“දැන් දහදෙනෙක් විතර කොරොන්ටයින් වෙනවා සර්” මහින්දානන්ද සඳහන් කළේය.
“එස්.එම්. ඇමැතිතුමාත් කොරොන්ටයින් නේද?”
“ඔව්... ඔව්... එස්. එම්.” කීවේය.
“මමත් නූලෙන් බේරුණේ” විමල් කීවේය.
“ඒ මොකද මහින්දානන්ද” ඇසුවේය.
“එදා ටයර් කර්මාන්ත ශාලාව බලන්න ගිය දවසේ මමයි මහින්ද අමරවීර ඇමැතිතුමයි මැද තමයි පියල් හිටියේ” විමල් කීවේය.
“මම නම් කියන්නේ අපිට පොසිටිව් නොවුණාට පස් පාරක්වත් හැදිලා ඇති කියලා” මහින්දානන්ද කීවේ.
“ඔව්... ඔව්... ඒක නම් ඇත්ත තමයි” විමල් කීවේය.
සමගි බලවේගයට නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ විධායක සභා රැස්වීම ඉකුත් සතියේදී සමගි ජනබලවේගයේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි. එහිදී එම පක්ෂයේ සභාපති, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු සහ ජාතික සංවිධායක යන තනතුරුවලට පක්ෂ සාමාජිකයන් පත් කරනු ලැබුණි.
මෙහිදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයේ සභාපති තනතුරට පත් කිරීම කැපී පෙනෙන සිද්ධිය ලෙස නම් කළ හැකිය.
මෙම තනතුරු සඳහා කබීර් හෂීම් හෝ ඉමිතියාස් බාකීර් මාකර් හෝ යන දෙදෙනාගෙන් කෙනෙකු පත්කර ගැනීම මුලදී සම්මුතියක් තිබූ බවට කරුණු සඳහන් වුව ද අවසාන මොහොතේ තීන්දු තීරණ රැසක්ම වෙනස් කිරීමට එම පක්ෂය පියවර ගත්තේය. විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ පක්ෂයේ සභාපති ලෙස තෝරා පත්කර ගනු ලැබුවේ සුළු ජාතිකයෙකි. පුද්ගලයන් කිහිප දෙනෙක් වෙනස් වුව ද සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති බොහොමයක් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිවලට සමාන වන හෙයින් ඊට ප්‍රතිවිරුද්ධ විරුද්ධ තීරණයක් ගැනීමට සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේම සමහර කොටස් නොසතුටක් පළ කර ඇති බව පැවසෙයි. මේ අතර සමගි ජනබලවේගයට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වූ ප්‍රබල චරිතයක් වූ පාඨලී චම්පික රණවකට කිසිදු තනතුරක් ලබාදීමට කටයුතු නොකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය විමසූ අවස්ථාවේ එම පක්ෂයේ කිහිප දෙනෙකුම සඳහන් කර ඇත්තේ ඉදිරි දින දහය තුළදී මේ සඳහා පිළිතුරක් ලැබෙනු ඇති බවයි.
මෙවර නිදහස් උත්සවයට සහභාගි වීමට විපක්ෂ නායක හා සමගි බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය බොහෝ දේශපාලනඥයන්ගේ මෙන් ම රජයේ ඇමැතිවරුන්ගේ ප්‍රසාදයට ලක් විය. දේශපාලනයත් ජාතික උත්සවයත් එකට පටලවා ගත නොගත යුතු බව එම පක්ෂයේ මතය වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවය සමඟින් සැම සතියකටම රට වටා ගමන් කරයි. ඉකුත් සතියේ මෙය පැවැත්වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්රදේශයේය.
“දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා, කිසිම දෙයක් විකුණන්නේ නැහැ කියලා බලයට ආපු ආණ්ඩුව අද හැම දෙයක්ම විකුණාගන යනවා” මේවා ගැන ගම් මට්ටමින් ජනතාව දැනුම්වත් කරන්න” මේ සඳහා එක්ව සිටි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා වෙත උපදෙස් ලබාදුන්නේය.
“සර් අපි ගම්වලට යනකොට ජනතාව දැනුම්වත් කරනවා. මොකද මේ වනවිට හැට නම ලක්ෂයකට ම උත්තර නැතිවයි ඉන්නේ” හර්ෂණ කීවේය. සමගි ජනබලවේගයේ පළමු කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පැමිණ සිටියේ ආරාධිත නායකයෙකු ලෙස ය.
“මම තවම සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය අරගෙන නැහැ නේ. ඒ නිසා ආරාධිත නායකයෙකු ලෙස මා මේකට සහභාගි වෙනවා” පාඨලී කීවේය. ඔහු මෙම රැස්වීම අවසන් වන තුරුම රැදී සිටියේය.
“සමගි ජනබලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව ඒකාධිපති ව්‍යවස්ථාවක් නොවෙයි. ඕනෑම අයෙකුට පක්ෂයේ ඉහළට පැමිණීමට අවස්ථාව ලබාදී තිබෙනවා. පක්ෂයේ නායකත්වය ඒකාධිපතිත්වයකට පත්කර නැහැ” සජිත් කීවේය.
“තනතුරු අවුරුද්දෙන් අවුරුද්ද තෝරන එකත් හොඳයි. එතකොට හොඳට වැඩ කරන අයට ඉහළට යන්න පුළුවන්. හරීන් කීවේය.
“අපි සමගි ජනබලවේගයේ තනතුරුවලට පත් කරනවා. අන්න අරහේ එක්සත් ජාතික පක්ෂයේ තනතුරු තියෙන අය ඉල්ලා අස්වෙනවා. පුරප්පාඩුවෙලා තියෙන තනතුරුවලට පත් කරන්න කවුරුත් නැතිව ඉන්නවා” නලින් බණ්ඩාර කීවේය.
“පළමු කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන් වන මොහොතේ පැමිණ සිටි සියලුම දෙනාට සජිත් කියා සිටියේ ඒකීය ස්වෛරී රටක් තුළ සහෝදරත්වය සහ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.
සජිත් ප්‍රේමදාස පසුගිය සතියේත් සිරගතව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ තත්ත්වය ගැන සොයා බැලුවේය. බන්ධනාගාරයට යන එන අය හරහා නොයෙක් පණිවුඩ යවමින් අවශ්‍ය දේ ගැන සොයා බලමින් ඉදිරියේදී ඔහු සම්බන්ධව ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
“අපි රට වටේම විරෝධයක් කරගෙන යනවා. භාෂණයේ නිදහස ලබාදෙන්න කියලා කරන සටන එක්කම රන්ජන් වෙනුවෙන් සටන් කරනවා” හරීන් පැහැදිලි කළේය. එය සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලුම සහාය ලබාදීමට සජිත් එහිදී පොරොන්දු විය. සජිත් මැතිවරණයට තරග කිරීමට කොළඹ දිස්ත්‍රික්කයට පැමිණියත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා අඛණ්ඩව මැදිහත් වෙයි. වන අලි ගැටලුවට වහාම විසඳුම් ලබාදෙන ලෙසත් ඉඩම් මංකොල්ලය නතර කරන ලෙසත් මහා සංඝරත්නය සහ සූරියවැව ජනතාව එක්ව සංවිධානය කළ මාරාන්තික උපවාසය අසලට සජිත් ගියේය.
“වන අලි ගැටලුවට විපක්ෂයේ අය විතරක් නොවෙයි ආණ්ඩුවේ අයත් මුහුණ දෙනවා. මේකට දේශපාලන පක්ෂ භේදයක් නැහැ. මේක ගැන මම පාර්ලිමේන්තුවේදී කතා කරනවා” සජිත් උපවාස කරුවන්ට මෙහිදී සහතික විය.
එක්සත් ජාතික පක්ෂයේ නිලවරණයේදී තනතුරු දෙකක්ම ලබාදුන් අර්ජුන රණතුංග සහ නවීන් දිසානායක එම තනතුරු දෙක ලබා නොගැනීමට තීරණය කළේය.
පක්ෂ නායකත්වය වෙනස් විය යුතු බව නවීන් එක ලෙසම කියා සිටින අතර අර්ජුන පවසන්නේ තමන්ගේ දේශපාලන ගමන පිළිබඳව ඉදිරි සති කිහිපය තුළදී ප්‍රකාශයක් කරන බවය. මේ අතර මොවුන් දෙදෙනා එක්ව ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. ඒ ඉකුත් 28 වැනිදාය. කොළඹ ඩුප්ලිකේෂන් පාරේ ගාමිණී දිසානායක පදනමේ ශ්‍රවණාගාරයේදී එය පැවැත්වුණි. රාජපක්ෂ කඳවුර පරාජය කරන්නට නම් මීළඟ ජනපති අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙකු විය යුතු යැයි මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක අවධාරණය කළේය. අර්ජුන රණතුංගට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුර පිරිනමා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කරන බවත් තනතුරු බලාගෙන තමා දේශපාලනය නොකරන බවත් අර්ජුන මෙහිදී සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරීන් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව ඔවුන් පළමු වරට හමුවූයේ ඉකුත් සඳුදාය. ඊට පක්ෂ නායක රනිල්, සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක ඇතුළු ක්‍රියාකාරීහු රැසක් එක්වූහ.
පක්ෂ සංවිධානය ගමට ගෙන යාමට අවශ්‍ය සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළහ. ශාඛා සමිති මෙන් ම යොවුන් පෙරමුණ ශක්තිමත් කිරීම ගැන ද කරුණු සාකච්ඡා කෙරුණි. ඊට අමතරව පක්ෂ සාමාජිකයන් ලෙස සිටිමින් වෙනත් පක්ෂවලට සහය දැක්වූ පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව පවතින නඩු සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණි.