
රටේ තත්ත්වය ගැන ඔබ ප්‍රකාශ කරන්නේ කොහොමද?
රට කාරණා දෙකක් යටතේ මේ වන විට අස්ථාවර භාවයකට පත්වෙලා තිබෙනවා. එය ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ලෙස පෙන්වා දිය හැකියි. දේශපාලන අස්ථාවරභාවය ඉන් එකක්. දේශපාලන අස්ථාවරභාවය කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා ජනාධිපතිවරණය පවත්වලා එතුළින් ඇති වූ අස්ථාවරභාවයක් නොවෙයි. ඒ ඇතිවෙලා තිබෙන්නේ මේ ජනාධිපතිවරණය දිනන්න. තුනෙන් දෙක ලබා ගන්න ජනතාවට කියපු කරුණු ජනතාවට පෙන්වලා දීපු ඇතැම් සාධක ඒ වගේම දීපු පොරොන්දු අමු අමුවේ උල්ලංඝණය වෙලා. අපිව මහා රැවටීමකට හසු වුණා කියන හැඟීම ඇතිවෙලා.
දෙවැනි කාරණය එසේත් නැත්නම් දෙවැනි අර්බුදය තමයි ආර්ථික අර්බුදය. ඒක මේ වන විට කොවිඩ් ප්‍රශ්නය නිසාම ඇති වෙච්ච එකක් නොවෙයි. රටේ වැරදි මුල්‍ය ක්‍රියාවලි නිසා ණය ගෙවා ගන්න නොහැකි වීමත්, ආණ්ඩුවේ අවශ්‍යතාවන්ට මුදල් සොයා ගැනීමේ දුෂ්කරතාවත්; ජාත්‍යන්තර වශයෙන් රටක් හැටියට අපේ රට ශ්‍රේණිගත කිරීම් වලින් පහතට ඇද වැටීමත් නිසා ඉතාම භයානක මුල්‍ය අර්බුදයක් සමඟ ගොඩනැෙඟන ආර්ථික අර්බුදයකට රට ගොඩනැඟිලා තිබෙනවා. ආර්ථිකය මේ වසරේ ඍණ අගයක් අරන් තිබෙනවා. ඒකට හේතුව කොවිඩ්ම නොවෙයි. කොවිඩ්වලින් බලපෑමත් තිබෙනවා. නමුත් කොවිඩ් එන්න කලිනුත් ආර්ථිකය ඍණ වෙලා තිබුණා.
තවත් පැත්තකින් කොවිඩ් පාලනය කිරීමට කිසිම ක්‍රමයකින් මේ රජයට නොහැකි වෙලා තිබෙනවා. මෙය දැවැන්ත තත්වයකට ගමන් කරමින් තිබෙනවා. මෙයත් මුලාවෙන් මුසාවෙන් යටපත් කරන්න බලනවා. රට තුළ පාලනයකින් තොරව කොවිඩ් ගමන් කරමින් තිබෙනවා. මේ සෞඛ්‍ය ප්‍රශ්නය සමඟ සමාජය දරුණු අසහන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඔය කියන කාරණා නිසා ජනතාවගේ හිත් තුළ සුරක්ෂිත භාවයත් විශ්වාසයත් නැති වෙලා තිබෙනවා.
කොළඹ වරායේ ගැටලුව ඔබ දකින්නේ කෙසේද?
ආණ්ඩුවට පිටින් ඉන්න භික්ෂූන් වහන්සේලා වගේ අය මෙයට විරුද්ධව නොයෙක් ක්‍රියාමාර්ග ගනිමින් විරෝධතාවන්වල නිරත වුණත් මේ ආණ්ඩුවේ සිටින දේශපාලනඥයෝ හම්බන්තොට වරාය ගැන මත්තල ගුවන්තොටුපළ ගැන නොයෙක් කතා කියනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ඇමතිවරුන් දේශමාමක ලාංඡනය පපුවේ ගහගෙන අපි මේවා රකිනවා කිව්වට මේ සම්බන්ධව මුකුත් කියන්නේ නැහැ.
වරාය අධිකාරිය 1990 ගණන්වල වරාය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ වරායවල් දෙකක් යෝජනා කළා. උතුරු සහ දකුණු වරාය ලෙස. දකුණු වරායේ තිබෙනවා ජැටි තුනක්. උතුරු වරායේ තිබෙනවා ජැටි තුනක්. මත්තලින් උඩට නිර්මාණය වෙන්න තිබෙන එකක්. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300 ක විශේෂ පර්යේෂණ වාර්තාවකට අනුව ණයක් දුන්නා. මේ මගින් දිය කඩනය ඉදිකළේ ජනතාවගේ සල්ලි වලින්. ඒකට සල්ලි ආයෝජනය කළේ ජනතාවගේ සල්ලි. මේ අලෙවි කරන්නේ මේ රටේ ජනතාවගේ සල්ලි වලින් ගොඩනැඟුණු සම්පත්.
මේ රජය පරිසර විනාශ කරන බවට චෝදනා එල්ල වෙනවා? ඔබ නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් රජයට කෙළින්ම ඇඟිල්ල දිගු කරනවා නේද?
ඇත්තටම මේ ආණ්ඩුව කියපු පට්ටපල් තවත් බොරුවක් තමයි පරිසරය රකිනවා කියන එක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදි ‘ග්‍රීන්කාපට්’ කියලා සංකල්පයක් හඳුන්වා දුන්නා. එය සම්පූර්ණ බොරුවක්. මෙයාලා මොකද කළේ බලයට ආපු ගමන් වැලි, කළුගල් පර්මිට් එක අහෝසි කළා. නව හෝටල් සංස්කෘතිය තුළින් සිංහරාජ වැනි වටිනා වනාන්තර, මුතුරාජවෙල වැනි වටිනා පාරිසර පද්ධති විනාශ කරමින් යනවා. අපි ඉතාම අමාරුවෙන් මේ රටේ කසළ කළමනාකරණයට කියල අංගණයක් හැදුවා. අද ඒකේ ඉතුරු වැඩටික කරගන්නේ නැතුව මුළු මුතුරාජවෙලම තවත් මීතොටමුල්ලක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. ඉතින් පරිසරයට කෙටිකලක් තුළදී මහා විනාශයක් මේ රජය කරලා තිබෙනවා. තව අවුරුද්දක් මේ ආකාරයට ගියහොත් අපට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නැති වෙනවා. ලොස්ඇන්ජලීස්වල ඉන්න අයට මේක ගැටලුවක් නොවෙයි; සාමාන්‍ය ජනතාවට මේක විශාල ගැටලුවක්.
ඔබ විසින් නිර්මාණය කළ 43 කණ්ඩායම කියලා කියන්නේ කුමක්ද?
පහුගිය අවුරුදු 72 කාලය තුළ පාර්ලිමේන්තුවේ 225ට නොයෙක් චෝදනා කරනවා. දේශපාලනඥයන්ට නොයෙක් චෝදනා එල්ල කරනවා. නමුත් ඉකුත් වසර 70 ක කාලය තුළ මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ වගකිව යුතු පවුල් හතරක් සිටිනවා. සේනානායක කොතලාවල, බණ්ඩාරනායක රත්වත්තේ පරම්පරාව, ජයවර්ධන වික්‍රමසිංහ පරම්පරාව සහ රාජපක්ෂ පරම්පරාව.
මෛත්‍රිපාල සිරිසේන, රණසිංහ ප්‍රේමදාස, ඩබ්ලිව් දහනායක මේ අයට පවුල් පරම්පරාවක් හිටියේ නැහැ. ඔවුන්ට පවුල් දේශපාලනයක් ස්ථාපිත කරන්න බැරි වුණා. ඒ නිසා මේ පවුල් හතර තමයි ස්ථාපිත වුණේ. හොඳ සහ නරක යන දෙකටම මේ පවුල් වගකිව යුතුයි.
මේ පවුල් හතරේ විතරද මේ රටේ සාර්ථකම මිනිස්සු ඉන්නේ. මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වෘත්තීය ක්ෂේත්‍රයේ, පරිපාලන ක්ෂේත්‍රවල අතිශය සාර්ථක වෙච්ච පිරිස් සිටිනවා. නමුත් මේ පිරිස්වලට මේ රට පාලනය කිරීමට හවුල් වීමක් නැහැ. තවත් දශක දෙකතුනක් තනි පවුලක් මේ රට පාලනය කළ යුතුද. නමුත් අපිට පෙනෙන්නට තිබෙන කාරණාව තමයි එහෙම පිරිසක් මේ රට පාලනය කරගෙන යන බව. මේ නිසා අපි හිතුවා මේ රටේ මෙතෙක් සිදුවුණු විප්ලවය නිදහස් අධ්‍යාපනයේ විප්ලවය. අද වෙනකොට නම් නිදහස් අධ්‍යාපනය කියලා එකක් නැහැ. අද පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙනවා. නමුත් අධ්‍යාපනය නිසා කුසලතාවෙන් ඉහළට ආපු පිරිසකට රටේ පාලනය බාර දෙන්න. පවුල් වලට තවදුරටත් මේ රට විනාශ කර කාබාසිනිය කරන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා මේ නව පරපුරකට රට භාර දෙන්න කියන ඉල්ලීම කිරීම සඳහා මහජන සේනාංකයක් නිර්මාණය කිරීම තමයි 43 වන සේනාංකයේ අරමුණ. පවුල් බලය හෝ වාසනා මහිමය කියලා කියමින් කාට හරි හේත්තුවෙලා ලබාගත් දෙයක් නොවෙයි. කුසලතාව මත සාර්ථක වෙච්ච පුද්ගලයන්ට හැදෙන වේදිකාවක් තමයි 43 සේනාංකය කියන්නේ.
ඔබ සමගි ජනබලවේගයේ ප්‍රධාන දේශපාලනඥයෙක්. නමුත් ඔබට එහි තනතුරක් ලැබෙන්නේ නැහැ?
මම කාගෙවත් අනුග්‍රහයෙන් තනතුරු ලබා ගන්න, ඒ දිහා බලාගෙන ඉන්න පුද්ගලයෙක් නොවෙයි. ඉතිහාසයේ මෙන්ම අනාගතයේ අපට සුදුසු තැන අපි නිර්මාණය කර ගන්න දන්නවා. මං මෙතැනට ඇවිල්ලා තිබෙන්නේ අම්මා තාත්තාගේ බූදලයකින්වත් වෙනත් ක්‍රමයකින්වත් නොවෙයි. ජනතා හිතවාදීව ජනතාව සමඟ මේ රට රකින බලාපොරොත්තුව ඇතිවයි. ජනතාව අපිව විශ්වාස කරනවා. අපිම හදා ගත්ත ශක්තියක් අපිට තිබෙනවා. අපි එය ඉදිරියටත් නිර්මාණය කර ගන්නවා.
ඉකුත්දා පැවැති සමගි ජනබලවේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඔබට ආරාධනා නොකළ බවට සමාජ මාධ්‍ය වාර්තා කරනවා?
සමගි ජනබලවේගය අලුත් පක්ෂයක්. ඒකට විධිමත් ව්‍යවස්ථාවක් හැදුණේ දෙසැම්බර් මාසයේ 17 වැනිදා. ඒකට අනුකූලව කෘත්‍යාධිකාරි මණ්ඩලය නම් කෙරුණා. එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මේ සඳහා මට ආරාධනා කළා. මම මේකට සහභාගි වුණා. එහිදී ව්‍යවස්ථාවට අනුව නව නිලධාරි මණ්ඩලයක් පත්වුණා. එහිදි මම එම පක්ෂයට එකතු වුණා. මම විතරක් නොවෙයි එලෙස එකතු වූයේ සමගි ජනබලවේගයෙන් තරග කරපු දාසය දෙනෙක් ඉන්නවා. අපි සියලු දෙනාම එකතු වූවා; විවිධ තලයේ පුද්ගලයන්.