පළාත් සභා ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නෙ නැහැ | Page 3 | සිළුමිණ

පළාත් සභා ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නෙ නැහැ

‘පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධුරය දැරූ සමයන්හි පවා වාරිමාර්ග ඇමැති ධුරය දැරූ දේශපාලනයේ පරිණතයකු වන වත්මන් වාරිමාර්ග අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂයන් අද සිළුමිණට අදහස් දක්වන්නේ වාරි සෞභාග්‍යා වැඩ සටහන යටතේ රට සංවර්ධනය කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් හා දේශපාලන කරළියේ මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වන මාතෘකා කිහිපයක් ඔස්සේය‘

 

මොරගහකන්ද ව්‍යාපාරයේ ඇතැමුන්ට තවමත් වන්දි ගෙවා නැති බව පැවසෙනවා?

ඔව්, ඇතැම් අයට වන්දි ලැබිලා නැහැ, මෙවැනි දැවැන්ත යෝජනා ක්‍රමවලදී එවැනි දේ සිදුවන්න පුළුවන්. තවත් සමහර අයට ඉඩම් ලැබිලත් නැහැ, මේකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තක්සේරුකරුවන්ගේ හිඟය නිසා තක්සේරු පමාවීම්, ඒ වගේම වන්දි ගෙවීමේදී ඉඩම් අයිතිය තහවුරු කරන්න හිමිකරුවන්ට නොහැකිවීමත් තවත් ගැටලුවක්. එකම ඉඩමට කීප දෙනෙක් හිමිකම් ඉල්ලූ අවස්ථා තියෙනවා. ඒ ගැටලු නිරාකරණය කර ගත යුතුයි. මොරගහකන්දේ පමණක් නෙමෙයි මේ තත්ත්වය උමා ඔයේත් තියෙනවා. උමා ඔය 2007දි පටන් ගත්තේ ඇතැම් ඉඩම් තවම තක්සේරු කරලත් නැහැ.

 

තමන්ගේ උන් හිටි තැන් අහිමිව මේ ජනතාවට ඇතිවන මේ දුක්ගැහැට කාලයක් තිස්සේම පවතිනවා. විසඳුමක් නැද්ද ඒ ජනතාවට?

මෙවැනි සංවර්ධන කාර්යයන්හිදී සුළු පිරිසකට ස්ථාන අහිමි වෙලා යම් අපහසුතාවක් ඇති වුණත් එයින් දහස් ගණනකට හෝ ඊටත් වැඩි පිරිසකට විශාල සෙතක් සැලසෙනවා. කොහොම වුණක් මම තීන්දුවක් අරගෙන තියෙන්නෙ මින් ඉදිරියට මෙවන් සංවර්ධන කාර්යයන්හිදී පළමුවෙන් අදාළ ඉඩම් හිමි අයට ප්‍රමුඛතාව ලබා දී ඔවුන්ගේ ගැටලුවලට පළමුව විසඳුම් ලබා දී කටයුතු කළ යුතු බවට

 

උමා ඔය සංවර්ධනයේ වත්මන් තත්ත්වය හා ජනතා ගැටලුවලට ලබා දී ඇති ස්ථිර විසඳුම් මොනවාද?

කඩිනම් මහවැලියේ ව්‍යාපෘතියක් ලෙසින් තමයි උමා ඔය ව්‍යාපෘතිය මුලින්ම හඳුනා ගත්තේ. නමුත් ණය මුදල් සොයා ගැනීම සම්බන්ධ ගැටලු නිසා උමා ඔයේ සංවර්ධන කටයුතු අතපසු වුණා. 1990 ගණන්වල උමා ඔයෙන් විදුලිය පමණක් නිපදවන සැලැස්මක් ගෙනවිත් තිබුණා. පසුව 2004 වර්ෂයේ බහුකාර්ය යෝජනා ක්‍රමයක් ලෙස උමා ඔය සංවර්ධනය කරන්න කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඉරාන රජයේ ආධාර ඇතිව ආරම්භ කළ මේ ව්‍යාපෘතියේ 2015 වසරේදී පමණ ගැටලු ඇතිවුණා. බණ්ඩාරවෙල වගේ ප්‍රදේශවල ළිංවල ජල උල්පත් සිඳීමේ ප්‍රශ්නයක් මතු වුණා. පසුව විශේෂඥ උපදෙස් ලබාගෙන ඒ උල්පත් හරහා ජලය උමඟයට පැමිණීම වළක්වා කොන්ක්‍රීට් ආස්තර දැමීමෙන් පසුව එම ගැටලුව විසඳුණා.

 

අති විශාල විදේශ ණය මුදල් ලබාගෙන ක්‍රියාත්මක කරන මෙවන් ව්‍යාපෘතිවලින් එවන් දෝෂ ඇතිවීම සාමාන්‍ය දෙයක් ලෙස සලකා බැහැර කළ හැකිද?

උමා ඔය පමණක් නෙමෙයි, සමනල වැව ව්‍යාපෘතියේත් මේ වගේ තත්ත්වයන් ඇතිවුණා. ඇතැම් ජල උල්පත් ළිංවලින් එන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේත් පිළියම් යෙදුවා. අදටත් එහි ඇතැම් ජල ප්‍රවාහයන් ගලා යන්නේ කොහේටද කියා අපට නිසි ලෙසින් සොයා ගන්න බැහැ. බොහෝ විට ඒ ජල ප්‍රවාහයන් මුහුදින් මතු වෙනවා වන්නට පුළුවන්.

උමා ඔය ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් බව කිව්වොත්...

නැහැ. අද වන විට බහුකාර්ය පමණක් නෙමෙයි. බණ්ඩාරවෙල, ඇටම්පිටිය. බදුල්ල වැනි ප්‍රදේශවලට ජලය සැපයීමට අතරව මෙගාවොට් 120ක භූගත ජල විදුලි බලාගාරයක් තනන්නත් කටයුතු කර තියෙනවා. එය මෙරට භූගතව ඉදි කෙරෙන ප්‍රථම බලාගාරයයි. එම බලාගාරයත් මේ වන විට ස්ථාපිත කර අවසානයි. එමෙන්ම කුඩා ජලාශ කිහිපයක් උමාඔයෙන් පෝෂණය කරන්නත් කටයුතු කර තිබෙනවා. විදුලි බලාගාරයෙන් ලැබෙන ජල විදුලියෙන් අපට මිලියන ගණනක් ඉතිරි කර ගන්න පුළුවන් වෙනවා.

ඒත් ව්‍යාපෘතිය අවසන් නැහැ. ජනතා ප්‍රශ්න එහෙමමයි නේද?

රජයන් මාරුවීමේදී ඇති වන වෙනස් ප්‍රතිපත්ති නිසා තමයි ජනතාවට මේ පීඩාවන් ඇති වෙන්නේ. 2015 නොවැම්බර් තමයි මේ ව්‍යාපෘතිය අවසන් වන්නට තිබුණේ නමුත් තවමත් එය ඉවර කර ගන්න බැරි වුණා. වැල්ලවාය, සෙවනගල වැනි තැනිතලා වැව් 110ක් ප්‍රතිසංස්කරණය වෙනවා මේ හා සමඟම. ඉන් පසුව හදපානාගල වැවත් සංවර්ධනය වෙනවා.

උමා ඔයේ වම් ඇළ අලිකොටයාරට උමං මාර්ගයෙන් ගමන් කරනවා කුඩා ඔයට ලබාදෙන ජලයෙන් එම පෙදෙස්වල ජනතාවට අවශ්‍ය ජල අවශ්‍යතා සපුරා ලන්නට පුළුවන්. ඒ වගේම ඉන් ඔබ්බේ පිහිටි වැල්ලවායත් ඉන්පසුව හම්බන්තොට කර්මාන්තපුරය දක්වාත් මේ සම්පත ඇදී යනවා.

මේ ව්‍යාපෘති හරහා තමයි රටේ ආර්ථිකය ගොඩ නංවන්න ඉලක්ක කරගෙන ඉන්නේ.

 

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ අවසන් කරන්න කොයිතරම් කාලයක් යයිද? 

මේ වසරේ අප්‍රේල් වන විට ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සිදු කරනවා.

 

උතුරේ ජනතාව අවුරුදු ගණනක් යුද්ධයෙන් බැටකෑවා. ඔවුන් බොහෝ දෙනෙක් තවමත් ආඬියා ළිංවලින් ජලය සපයා ගන්නේ. ඔවුන් වෙනුවෙන් ලබා දෙන වාරික්‍රම මොනවාද?

උතුරේ වැව් අලුතින් ඉඳි කිරීමට හැකියාවක් නැහැ. එමනිසා ජලය රඳා පවත්වා ගැනීමේ ගැටලු තියෙනවා. නමුත් වාරිමාර්ග දෙපාර්තමේන­්තුව කළ විමර්ශනයකට අනුව සොයා ගෙන තිබෙනවා වඩමාරච්චි හා උප්පාරු කලපු දෙකෙන් 98%ක්ම පිරෙන්නේ වර්ෂා කාලයට බව. එම නිසා එහි ලවණ ගතිය ඉවත් වනවා. මේ නිසා එම කලපු උපයෝගී කරගෙන උතුරේ ජනතාවට පානීය ජලය මෙන්ම ගොවිතැනට අවශ්‍ය ජලයත් සපයා දෙන්නට පුළුවන්. එම කටයුතුත් අපි මේ වන විට ආරම්භ කර තිබෙන්නේ.

 

මඩු - මන්නාරම ජනතාව වගා කරන්නේ එක කන්නයයි. උග්‍ර ජල හිඟයක් ඒ ජනතාවට තියෙනවා. ඒ අය වෙනුවෙන් ලබාදෙන සංවර්ධන යෝජනා ක්‍රමයක් තියෙනවද?

එම පෙදෙස් ජනතාවගේ පහසුව පිණිස පහළ මල්වතු ඔය සංවර්ධන යෝජනා ක්‍රමය හඳුන්වා දී තියෙනවා. ඒ හරහා යෝධ වැවට වතුර ගලා යාමට සලස්වනවා. එයින් කන්න දෙකම වගා කරන්න එම ජනතාවට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි තවත් ජලාශයක් යෝධවැවට ආසන්නව ඉදිකරනවා.

 

රටේ අනෙක් ප්‍රදේශවල අලුතින් සිදු කෙරෙන වාරි සංවර්ධනයන් ගැන මඳක් විස්තර කළොත්....

උතුරු මැද මහ ඇළ සංවර්ධනය යටතේ කිලෝමීටර් 28ක උමඟක් මඟින් අපි හොරොව්පොතාන දක්වා ජලය ගෙන යාමට කටයුතු කරනවා.

ඒ වගේම වයඹ පළාතේ ජනතාව වෙනුවෙන් වයඹ සියලු වාරි මාර්ග සංවර්ධනය කරනවා. විශේෂයෙන්ම මා ඔයේ රජකාලේ තිබුණු අමුණු පවා මේ වනවිට සොයාගෙන තිබෙනවා. ඒ සියල්ල සංවර්ධනය කරනවා.

එමෙන්ම නිල්වලා ගඟ හා ගිං ගඟ සම්බන්ධ කර ගිං - නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. ඒ හරහා දකුණේ තංගල්ල, දික්වැල්ල අගුණකොළපැලැස්සේ ජනතාවට විශාල සෙතක් සැලසෙනවා. චීන සමාගමක් සමඟ ඒ සම්බන්ධව මේ වනවිට ගිවිසුම් පවා අත්සන් කර තියෙන්නේ. මේ ව්‍යාපෘතියෙන් නිල්වලා ජලගැලීමි පවා නවතිනවා. මේ වාරික්‍රම කිහිපයක් පමණයි. පොදුවේ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වාරි සංවර්ධන වැඩ අරඹා තියෙනවා.

 

ග්‍රාමීය වැව් බොහෝ විට රොන් මඩින් පිරිලා, ජලජ පැළෑටිවලින් ගහනයි. හැම දේශපාලඥයෙක්ම ගිහින් බලලා යනව විතරයි උත්තරයක් නැත්ද?

දැන් අපි ඒ සියලු කටයුතු විධිමත් ලෙසින් ආරම්භ කරලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් අපි එක් එක් කමිටු හදා තියෙනවා. පළමුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් වැවේ සියලු සීමාවන් හඳුනා ගන්නවා. ඒ වගේම තාක්ෂණ කමිටුව විසින් වැවට හානි නොවන ආකාරයට රොන්මඩ කෙතරම් ඉවත් කළ යුතුද කියලා හඳුනා ගන්නවා. තවත් කණ්ඩායමක් ඉන්නවා යන්ත්‍රෝපකරණ කමිටුව නමින්.

ඒ කමිටුව විසින් අවශ්‍ය යන්ත්‍රෝපකරණ සැපයීම සිදුකරනවා. මෙහෙයුම් කමිටුව විසින් සිදු කරන්නේ අවශ්‍ය ප්‍රායෝගික කටයුතු සිදු කිරීමයි. මුදල් පරිපාලනය සම්බන්ධව මුදල් කමිටුවක් වෙනම ඉන්නවා. මේ කිසිදු කටයුත්තක් කොන්ත්‍රාත් දෙන්නෙ නැහැ. සියල්ල දෙපාර්තමේන්තුවෙන් කරනවා. ඒවගේම ස්වේච්ඡාවෙන් මේ කටයුතු කරන අයත් ඉන්නවා. ඒ අයටත් අපි අවස්ථාව සලසා දී තිබෙනවා.

වැවෙන් ඉවත් කරන මැටි, පොහොර පස් අවශ්‍ය අයට ලබා දෙනවා. ඒ වගේම වැලි අවශ්‍ය අයට සාධාරණ මිලකට වැලි ලබා දෙනවා. එවිට වැලි මිලත් යම් ආකාරයකට පාලනය වෙනවා. අනවසර වැලි කැණීම් පවා නවතිනවා.

 

නමුත් වැව්වල හිමිකාරීත්වය පිළිබඳ ගැටලු නිසා වැව් සංවර්ධනයට, ප්‍රතිසංස්කරණයට බාධාවක් වෙලා තිබෙනවා නේද?

අපි මේ තත්ත්වය හොඳින් හඳුනාගෙන තියෙන්නෙ. ඒ අනුව ප්‍රායෝගිකව සිදු කළ හැකි ආකාරයටයි සියලු වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තියෙන්නෙ. වැව් එක් එක් අංශවලට අයත්වීමත් ගැටලුවක් වෙලා තිබු‍ණෙ. කොටසක් වාරිමාර්ග අමාත්‍යාංශයට අයිතියි. තවත් ටිකක් පළාත් සභාවන්ට අයිතියි. ගොවිජන සේවාවන්ට තවත් වැව් අයිතිය තියෙනවා.

මේ නිසා ජනාධිපතිතුමා විසින් රාජ්‍ය ඇමැතිවරයාට ඍජුවම ග්‍රාමීය වැව් බාරදීමක් සිදුකළා. ඒ සඳහා අවශ්‍ය මුදල් පවා අයවැයෙන් වෙන් කර තියෙනවා.

කොහොම වුණත් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ‘වාරි සෞභාග්‍යා‘ ව්‍යාපෘතිය යටතේ සියලු වැව් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. අමාත්‍යාංශ්‍ය ඍජුවම වැව් කොටසක් ප්‍රතිසංස්කරණය කරනවා. ඒ වගේම යුද හමුදාවෙන් කොටසක් ප්‍රතිසංස්කරණය කරනවා. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් තවත් වැව් සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කරනවා. එමෙන්ම ඉංජිනේරුමය සංවිධානයක් මඟිනුත් වැව් ප්‍රතිසංස්කරණය කරනවා.

යුද හමුදාව මේ වන විට වැලිඔය, මුලතිව් ප්‍රදේශවල වැව් ප්‍රතිසංස්කරණය කිරීම අරඹා තියෙන්නෙ, ඒ වගේම ඉඩම් සංවර්ධනයෙන් මේ වන විට මොනරාගලින් වැඩ කටයුතු අරඹා තියෙනවා. ඉංජිනේරුමය සංවිධානත් අනුරාධපුරෙන් වැඩ අරඹා තියෙන්නෙ.

 

හැමදාම ටිකෙන් ටික වැව් හැදීම සිදුවුණත් ප්‍රගතියක් පේන්න නැහැ නේද?

අපි මෙවර ආරම්භ කළ ‘වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ සාමාන්‍යයෙන් සිදු කරනු ලබන ක්‍රමවේදයන්ට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය කළා. ඒ අනුව රටේ සියලුම යන්ත්‍රෝපකරණ එක් දිස්ත්‍රික්කයකට නැත්නම් ප්‍රදේශයකට ගෙනත් එම ප්‍රදේශයේ සියලුම වාරි ක්‍රම ප්‍රතිසංස්කරණය කරනවා. පසුව අනෙක් ප්‍රදේශයන්ට යනවා. එවිට ඉක්මනින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යන්න පුළුවන්.

ඒ අනුව අපි පළමුව මාතර සියලු වැව් ප්‍රතිසංස්කරණය කළා. පසුව හම්බන්තොට ඒ වැඩසටහන ක්‍රියාත්මක කළා. දැන් මොනරාගලට ගිහින්, පසුව අම්පාර මඩකලපුව දක්වා යනවා.

ඒ විදිහට ගියහම අවුරුදු දෙකක් තුනක් යනකොට රටේම වැව් ප්‍රතිසංස්කරණය කර අවසන් වේවි. එවිට ආරම්භ කළ තැනින් යළිත් සාමාන්‍ය නඩත්තු ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යන්න පුළුවන්. රටේ හැම තැනම යන්ත්‍ර සූත්‍ර තැබීමෙන් වුණේ සුළු වැඩ කොටසක් සිදුවීම පමණයි.

වාරිමාර්ග ගැන කතා කරද්දි ගංගා අමතක කරන්න බැහැ. කැලණි ගඟ මේ වන විට විශාල අපවිත්‍රතාවකට පත්වෙලා මේ වගේ තවත් ගංගා තියෙනවා. ගංගා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඇරැඹුවා නේද සාර්ථකද?

අනිවාර්යන්ම ඒ සියල්ල කෙරීගෙන යනවා. ‘සුරකිමු ගංගා‘ වැඩසටහන යටතේ මෙරට ප්‍රධාන ගංගා 103ම සුරකිනවා. අවිධිමත් න්‍රියාකාරකම් සියල්ල වළක්වන්නට අපි පියවර ගෙන තියෙනවා. කතරගමින් දැනටමත් එම වැඩසටහන ආරම්භ කරලයි තියෙන්නෙ.

 

ඊ ලෑන්ඩ්‘ නමින් ආරම්භ කළ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ ක්‍රමයෙන් ඔබ බලාපොරොත්තු වන ආරක්ෂාව සැලසෙයි කියා විශ්වාසයිද?

ජනතාවගේ උපත, විවාහය, මරණයමේ සියලු දේ සම්බන්ධ ලිපි ලේඛන ඇත්තේත් ඉඩම් පිළිබඳ ලිපි ලේඛන සියල්ල ඇත්තේත් මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල. විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධව විශාල අකටයුත්කම් සිදුවුණා. තමන්ගේ ඉඩම වෙනත් අයකු විසින් වංචනික ලෙසින් අලෙවි කර ඇති බව හිමිකරු දැනගන්නේ වසර ගණනාවක් ගිහින්. එහෙමත් නැත්නම් හිමිකරු මිය ගියාට පසුව ඔහුගේ ඥාතීන් ඒ ගැන සොයා බැලූ විටයි දැනගන්නට ලැබෙන්නේ. මේ නිසා ගැටලු රැසක් ඇතිවුණා.

‘ඊ ලෑන්ඩ්‘ ක්‍රමය යටතේ හිමිකරුවකුගේ ඉඩමක් වෙනත් අයකුට පැවරීමේදී ඔහුට අනිවාර්යෙන්ම පණිවිඩයක් යනවා ඔහුගේ ඉඩම වෙනත් අයකුට පවරා ඇති බවට. එම නිසා සිදුවූ අකටයුතුකම් සියල්ල වළකිනවා. ඒ වගේම නියමිත ගාස්තුව පමණක් ගෙවා කඩිනමින් තමන්ගේ අවශ්‍යතා සියල්ල ඉටුකරගත හැකියි. මෙය ඉතාම සාර්ථක වන්නේ මෙහිදී වංචනික ලෙසින් අනෙක් අයගේ ඉඩම් පවරාගත නොහැකි වන නිසයි.

 

සංචාරකයන් ගෙන්වීම ගැන ආණ්ඩුව ඇතුළේම මත ගැටුම් තියෙන්නෙ ඇයි?

රටක් හැමදාම වහගෙන ඉන්න බැහැ. රජයේ සේවකයන් ලක්ෂ 15කට මොන තත්ත්වයක් යටතේ හරි වැටුප් ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි සංචාරකයන් නිසා ලංකාවේ ලක්ෂ 3කට ඍජු රැකියා තිබුණා. හෝටල්වලට මාළු, එළවළු, පලතුරු සපයන අය රැසක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම මේ වනවිට දැඩි ආර්ථික පීඩනයකට ලක් වෙලා ඉන්නෙ. එම නිසා ඒ ජනතතාව බල ගැන්වීමටත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමටත් නියාමන ව්‍යාපෘතියක් ලෙසින් සංචාරකයන් මෙරටට ගෙන්වීම ආරම්භ කළා. එහියම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු හදාගෙන කටයුතු කළ යුතුයි. වාහන ලීසිං කර මිලදී ගෙන මේ කාර්යයන් සිදු කළ අය දහස් ගණනක් අද අතරමංවෙලා ඉන්නේ. ඒ වගේම සංචාරක මඟ පෙන්වන්නන් අද විශාල ලෙසින් අතරමංවෙලා ඉන්නෙ.

 

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් කියනවා නේද මේ සංචාරක ව්‍යාපාරය කඩිනමින් ඇරැඹීම නිසා කොවිඩ් බෝවීමක් සිදුවෙනවා කියලා.

අපට පැහැදිලිව පේනව නේද කොවිඩ් බෝවීම සිදුවන්නේ කොහොමද කියලා. සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළි නොපැදීම නිසයි රෝගය පැතිර යන්නේ. නිසි පරිදි මුඛ ආවරණ පලඳිනවානම්, නිතර දෑත් සෝදනවානම් අසනීප තත්ත්වයන් ඇතිවිට අනවශ්‍ය සංචරණයේ යෙදෙන්නේ නැත්නම් රෝගය බෝවන්නේ නැහැ. අප මතක තියා ගත යුතු කරුණක් තමයි අපට කොවිඩ් නිසා රටේ සමස්තය වසා දමන්න බැහැ.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නෙ කියල ඒ පක්ෂයේ අය කියනවා. මොකක්ද මේ අවුල?

එක ගෙදරක ඉන්න අයියයි නංගියි දෙන්නෙක් ඉන්නකොට අයිය හිතනව නංගිට තමයි අම්මයි තාත්තයි ආදරේ කියලා, නංගි හිතනව අයියට අම්මයි තාත්තයි ආදරේ කියලා. එහෙම ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක මැති ඇමැතිකම් දරපු නිසා අපි වෙනම පක්ෂයක් පිහිටුවා ගත්තා. ජනතාව ඒ පක්ෂය පිළිගත්තා. අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය තමයි. නමුත් අපිට ආයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්න බැහැ. මෙතනදි අපි බලන්න ඕන පක්ෂය ගැන නෙමෙයි. එකතුවෙලා ජනතාවට සේවය කරන එකයි. ජනතා අවශ්‍යතා ඉටු කිරීමයි කළ යුත්තේ.

 

පළාත් සභා පවත්වන තුරු පැරැණි සභාවලට බලය දෙන්න කියනවා. ප්‍රායෝගිකද?

පළාත් සභා ආරම්භ කෙළේත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් 1987 වසරේදී. නමුත් පළාත් සභාවලට වැය කරන මුදලින් 85%ක්ම යන්නේ පරිපාලන වියදම් ලෙසයි. එය ශ්‍රී ලංකාව වැනි රටකට ඔරොත්තු දෙන්නේ නැහැ. එකම විෂය මධ්‍යම ආණ්ඩුවේත් පළාත් සභාවලත් තියෙනවා. එම කාර්යයන් ප්‍රායෝගිකත් නැහැ. උදාහරණයක් හැටියව වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ මෙන්ම පළාත් සභාවේ වාරිමාර්ග ඇමැතිවරයෙක් ඉන්නවා. පළාත් සභා විතරක් නෙමෙයි ‘යහපාලන ‘ආණ්ඩුව ප්‍රාදේශීය සභාත් රටට දරන්න බැරි තත්ත්වයකින් වෙනස් කළා. අද පළාත්පාලන මන්ත්‍රීවරුන් කී දෙනෙක් ඉන්නවාද? ඒ සියලු බර දරන්න වෙන්නේ රටේ ජනතාවටයි.

ඔබ කියන්නේ පළාත් සභා අනවශ්‍යයි කියලමද?

පළාත් සභාවලින් එක හොඳක් සිද්ධ වෙනවා, ඒ වගකීම් බාර ගන්න අලුත් දේශපාලන පෙළක් බිහි වෙනවා. නමුත් මා පෙරදී පැවසු පරිදි සෙංකෝල 9ක් සමඟ තවත් පාර්ලිමේන්තු 9ක් මෙන් පළාත් සභා 9ක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල පළාතේ දිස්ත්‍රික්කයට එක බැගින් තියෙනවා. මේ පළාත් සභා වල නඩත්තුවට යන මුදලින් වැව් අමුණු කීයක් හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මා ඉදිරියේ තියෙනවා.

 

කොරෝනා මර්දනය හමුවේ රජයේ අසාර්ථකත්වය පෙන්වූ බවට විපක්ෂයේ චෝදනා තියෙනවා

වර්තමාන විපක්ෂයේ අසාර්ථකත්වය නිසානේ ජනතාව ඒ අය ඉවත් කරේ. ඒ අය කෙරේ රටේ සම්පත් විකිණීමනේ වර්තමාන ආණ්ඩුව ඇවිත් මාස 7ක් 8ක් පමණ යනකල් තිබුණේ විපක්ෂයේ බහුතරයක් ඉන්න ආණ්ඩුවක්. අයවැයක් පවා සම්මත කරගැනීමේ බාධා තිබුණා. ඒ වගේම මහ මැතිවරණයට පෙර කොරෝනා රෝගය ව්‍යාප්තිය සිදුවුණා. නමුත් පළමු රැල්ල අපි සාර්ථකව මර්දනය කළා. මේ අවස්ථාවේ ජනතාවගේ වගකීමත් ඉතා ඉහළින් අවශ්‍ය කරනවා රෝගය මර්දනය කරන්න ලබා දෙන සහායෙන්. ඒ වගේම වගකිව යුතු විපක්ෂයක කාර්යය විය යුත්තේ රෝගය මර්දනයට සහාය ලබා දීමයි. අඩුම ගාණේ අසාර්ථකයි නම් සාර්ථක ක්‍රමයක් හරි කියන්න එපායැ.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

Comments