
- සමහර මන්ත්‍රිවරු පිස්සන් කොටුවෙන් පැන්න අය වගේ හැසිරෙනවා
- කොවිඩ් කළමනාකරණය ආණ්ඩුව අතින් ගිලිහිලා
ආණ්ඩුව තුළ අර්බුදයක් තිබෙනවා කියලා විපක්ෂය චෝදනා කරන්නේ කොහොමද?
මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුද්දක් ගතවෙලා තිබෙනවා. මේ කාලය තුළ අපි හැරිලා බැලුවාම අපිට පෙනෙන්නට තිබෙනවා ආණ්ඩුව මැතිවරණයට පෙර දීපු කිසිම පොරොන්දුවක් ඉෂ්ට කරන්න බැරි තත්ත්වයට පත්වෙලා තිබෙනවා. එහෙමත් නැතිනම් අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේමයි කොරෝනා වසංගතය. මේක මේ වන විට ලෝකයටම වසංගතයක් තමයි. නමුත් ඒකේ කළමනාකාරීත්වයත් ආණ්ඩුව අතින් ගිලිහී ගොස් තිබෙනවා. අද ශ්‍රි ලංකාවේ තැනින් තැන ආසාදිතයන් මතුවෙලා. අද මෙය නිමක් නැති කෙළවරක් නැති තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා ඒක තුළ ආර්ථික සංවර්ධනය ජීවන බර මේවා දිනෙන් දින ගැටලු සහගත තත්ත්වයකට ඇද වැටෙමින් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. මෙවැනි කරුණු ගණනාවක් නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයක සහ ගැටලු රැසකට මුහුණ දීලා තිබෙනවා කියන එක ඉතා පැහැදිලියි.
ආර්ථික කඩා වැටීමට ශක්තියක් ලබා දීම සඳහා සංචාරක කටයුතු ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් රජය සංචාරකයන් මෙරටට ගෙන්වීම ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව ඔබ මොකද කියන්නේ?
ඇත්තටම සංචාරක කර්මාන්තය මගින් විශාල විදේශ විනිමයක් ලබා ගන්නා රටක් හැටියට කොරෝනා වසංගතයෙන් අපිට ලොකු ප්‍රහාරයක් එල්ල වුණා. එය ලෝකය පුරාවට ගත්තත් එහෙමයි. සංචාරක කර්මාන්තය අද සම්පූර්ණයෙන්ම වැටිලා තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ මේ කර්මාන්තයට සම්බන්ධ දස දහස් ගණනින් ජනතාවකට අද ආදායම් මාර්ග නොමැතිවෙලා තිබෙනවා. රජයක් හැටියට රටක් හැටියට මේ සඳහා සහාය ලබා දිය යුතුයි. සංචාරකයන් මෙරටට ගෙන්වීම සිදු කළ යුතුයි. රජය මේ කර්මාන්තය නැංවීමට උත්සාහ කිරීම ඉතා ෙහාඳයි. නමුත් මෙහිදී සැලකිය යුතු කරුණු කාරණා රැසක් තිබෙනවා.
අපි දැක්කා පළමු සංචාරකයන් කණ්ඩායම යුක්‍රේනයෙන් ගෙන්වනවා. ඇත්තටම යුක්‍රේනය තුළත් කොවිඩ් රෝගීන් සෑහෙන්න වාර්තා වනවා. එවැනි රටකින් සංචාරකයන් ගෙන්වීම තුළ අපගේ රටේ රෝගීන් වැඩි විය හැකි බවට සැකයක් තිබෙනවා. මේ සියල්ල සිදු කරන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත බව රජය කියනවා. නමුත් අපි දැක්කා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් කිහිපදෙනකුටම රෝගය වැලදී තිබෙනවා. මේ අනුව ඔවුන් සමඟ පැමිණි සියලු දෙනා නිරෝධායනයට යායුතුයි. එහිදී ඔවුන්ට මේ රට තුළ සංචාරය කිරීමේ අවස්ථාව අඩු වෙනවා. ඔවුනට නැවත රට බලා යන්නට සිදුවෙනවා. මෙය ඉතා අසාර්ථක තත්ත්වයක්. අන්න ඒ නිසා රජය මෙවැනි කරුණු කාරණා පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතුයි.
කොරෝනා රෝගය වැලඳීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහය භූමදානය කරනවාද ආදාහනය කරනවාද යන ගැටලුව අද සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ කරුණක් බවට පත්වෙලා. ඔබ මේ පිළිබඳව කුමන තීරණයක සිටිනවාද?
ඇත්තටම මේ සිද්ධියේදී මේක වැරැද්ද ගත්තේ ආණ්ඩුව තමයි. මට තේරෙන්නේ නැහැ ආණ්ඩුව කොහොමද මේක වරද්ද ගත්තේ කියන කාරණය. අපගේ අසල්වැසි රටවල් ඇතුළු ලෝකයේ අනිකුත් රටවල් 194 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ රටවල් බොහොමයක ආදාහනය භූමදානය කියන දෙකම සිදු කරනවා.
ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ ලබා දීලා තිබෙනවා. ආණ්ඩුව මාර්තු මාසයේදී සඳහන් කළා මේ ආකාර දෙකෙන්ම සිදු කළ හැකි බව. පසුව ගැසට් නිවේදනයක් නිකුත් කළා ආදහනය විතරයි කියලා. මෙහිදී ආගමික විශ්වාසයන් සංස්කෘතිය අනුව භූමදානය කිරීම සිදු කළ යුතුයි කියන තැන මේ රටේ විශාල ජන කොටසක් සිටිනවා. තමන්ගේ හිත මිතුරෙක් ඥාතියෙක් නැති වුණාම ඒ අවසන් ගමන සඳහා බැලීමට අවස්ථාව ලබා දෙන්න කියන තැන ලෝක සෞඛ්‍ය සංවිධානය සිටිනවා.
එය සිදු කරන්නේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුවයි. මේ සඳහා අවස්ථාව තිබියදී එය සිදු නොකර මාස 9 ක් තිස්සේ ආණ්ඩුව මේක ඇදගෙන ආවා. අද මේ වන විට මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් මෙන්ම මේ වන විට මේක ජාතීන් අතර ප්‍රශ්නයක් බවට පත් කරන්න යම් යම් කණ්ඩායම් උත්සහ දරමින් සිටිනවා. ඇත්තටම මෙය ඒ තරම් ගැටලුවක් දක්වා ගෙන යා යුතු ප්‍රශ්නයක් නොවෙයි.
අනෙක් කාරණය තමයි මෙය වෙන ජන කොටසකට විරුද්ධව වෙන ආගමකට විරුද්ධව කරන ඉල්ලීමක් නොවෙයි. තවත් ජන කොටසකගේ අයිතිවාසිකම් කපා දමන්න කියන ඉල්ලීමක් නොවෙයි. මේ රටේ දසදහස් ගණනින් ජීවත් වන ජන කොටසක් තමන්ගේ ආගමික විශ්වාසයන් අනුව ආදාහනය, භූමදානය අතර කරන ඉල්ලීමක් පමණයි.
ඔබ කියන්නේ රජය මේ සඳහා ඍජු තීන්දුවක් ගන්නේ නැහැ කියන එකද?
පැහැදිලිවම මාස නමයක් වෙනවා. මේ සිද්ධිය මේ තරම් දිග්ගැසීම. මාර්තු මාසයේදී රජයට මේ සඳහා තීරණයක් ගන්න තිබුණා. දේශපාලන වුවමනාවකට ගත්ත තීන්දුවක් ද කුමන තීන්දුවක් ද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව මේක මාර්තු මාසයේ කෙළින් තීරණයක් ගත්තා නම් අද මේ ප්‍රශ්නය සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයකට පත්වන්නේ නැහැ.
පාර්ලිෙම්න්තුව තුළ විවාද වලට අදාළ නොවන කරුණු කාරණා සඳහන් කරමින් පෞද්ගලිකව මඩ ගසමින් අසීලාචාර ලෙස පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් හැසිරෙන ආකාරය 2021 වසරේදී හෝ වෙනස් කළ හැකිද?
පාර්ලිමේන්තුව තුළ පෞද්ගලික කරුණු කාරණා ගෙන මඩ ගසා ගැනීම්, විෂයට අදාළ නොවන ආකාරයේ කරුණු ගෙන එමින් වටිනා කාලය අපතේ හැරීම, කෙනෙක් කතාවක ඉන්නකොට නිතර නිතර බාධා එල්ල කිරීම් අලුතෙන් පැමිණි මන්ත්‍රීවරුන් අතරත් තිබෙනවා. මේ තත්ත්වය මේ වසරේ සිටවත් වෙනස් විය යුතුයි. අදාළ පක්ෂ නායකයන් කථා නායකතුමන් මේ වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
මේ තත්ත්වය හොඳ තත්ත්වයක් නොවෙයි. අපි පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව ඉතිහාසයක් තිබෙන අත්දැකීම් තිබෙන රටක්. අපගේ රටේ ජනතාව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව ඉතා හොඳින් දන්නවා.
මේ නිසා මන්ත්‍රීවරුන් මීට වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. අපි මීට වඩා උසස් ලෙස හිතන දියුණු තැනක් බවට පාර්ලිමේන්තුව පත්කළ යුතුයි. එය මේ රටේ අනාගතය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරන කැප කිරීමක් හැටියටයි මා දකින්නේ.
අනෙක් කාරණය තමයි අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තු පැමිණීමට පෙර ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා වැනි ආයතනවල නියෝජිතයන් ලෙස ක්‍රියා කළ අය. ඔවුන් පාර්ලිමේන්තුව තුළ හැසිරිය යුතු ආකාරය ඉතාම හොඳින් දන්නා පිරිසක්. හිටපු ගමන් සමහර මන්ත්‍රිවරුන් පිස්සන් කොටුවෙන් පැන්න පිස්සන් සේ හැසිරෙනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. වෙනස් කළ හැකියි.
දියුණු රටවල්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය අප අධ්‍යයනය කර තිබෙනවා. මේවාවත් ආදර්ශයට ගත යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධව ඉදිරියේදී කථානායක තුමා යම් යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතුයි විනය සම්බන්ධව. ඒ වගේම මන්ත්‍රීවරුන් දැන ගත යුතුයි පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය පිළිබඳව. මොකද පාර්ලිමේන්තුව තුළ පොඩි ළමයින් මන්ත්‍රීවරු ලෙස පැමිණෙන්නේ නැහැ. සමාජයේ යම් අත්දැකීම් තිබෙන පිරිසක් තමයි මන්ත්‍රීවරුන් ලෙස තෙරීපත් වන්නේ.
සමගි ජන බලවේගය පක්ෂයක් හැටියට ඉදිරි ගමන පිළිබඳව සැලසුම්?
පක්ෂයේ ශාඛා සමිති සහ ග්‍රාමීය මට්ටමේ පක්ෂයේ සාමාජිකයන් බඳවා ගැනීම් ෙම් වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. මෙහෙයුම් කමිටු ආරම්භ කිරීම් දිස්ත්‍රික්ක වශයෙන් සිදුකරගෙන යනවා. ඉතාම කෙටි කාලයකදී මන්ත්‍රිවරුන් 54 දෙනකු බිහි කරගත් පක්ෂයක් හැටියට අපි ජනතාව අතර අලුත් දේශපාලන සංස්කෘතියක් සහ අලුත් දේශපාලන ගමනක් ඇති කිරීම සහ ජනතාවගේ විශ්වාසය මේ වෙනුවෙන් ඇති කිරීමේ දේශපාලන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ගම්මට්ටමින් මේවා ක්‍රියාත්මකයි. ඒ වගේම රජය විසින් ජනතාවට අකටයුතුකම් සිදුවන අවස්ථා වලදී ජනතාවගේ ගැටලු විසඳීමට ඉදිරිපත් වෙමින් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව සොයා බලමින් අපගේ රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු ඉටු කරමින් යනවා.
සමගි ජන බලවේගයේ නායකත්වය වෙනුවෙන් ගැටලු තිබෙන බවත් පාඨලි චම්පික රණවක මහතා නායකත්වයට පැමිණීමේ උත්සාහයක නිරත වන බවටත් පුවත්පත් වාර්තා කර තිබුණා. කුමක්ද ඔය කියන අර්බුදය?
මට නම් එහෙම කිසිම තොරතුරක් දැන ගන්නට ලැබිලා නැහැ. පාඨලි චම්පික මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. පක්ෂය අතර එහෙම අර්බුදයක් නැහැ. එහෙම අර්බුදයක් මවා පාන්නට වෙනත් කණ්ඩායම් උත්සාහයක නිරත වෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්. පක්ෂයක් හැටියට අපි ඉතා ශක්තිමත්ව ගමනක් යනවා.