
වසර සිය ගණනකට එපිට සිට ආහාර රස ගැන්වීම සඳහාත් විවිධ රෝගාබාධ සදහාත් භාවිතයට ගන්නා ලද මී ගස සම්බන්ධයෙන් යළි යළිත් කතාවතක් ඇති වන්නේ එහි ඇති බොහෝ ගුණ දායක කාරණා හේතුවෙනි.
මාතලේ - නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඕපල්ගල නම් වු පැරණි ගම්මානයේ ගැමියෝ මේ දිනවල ඒ අතිත ශ්‍රී වීභූතිය අපට යළි පසක් කර සිටිති. ගම්මානයේ හැම තැනකම පාහේ ගෙමිදුල වියැළෙන්නට වනා ඇති මී ඇට ඊට කදිම සක්ෂියකි.
වව්ලන් විසින් කා දමන ලද මී ඇට අලුයම් කාලයේ අහුලා, වියළා ගැනීමෙන් පසු මී තෙල් හිඳීමේ කටයුතු ගම්මානයේ වැඩිහිටි කාන්තාවන් විසින් ආරම්භ කරනු ලබන්නේය. මේ එළැඹ ඇත්තේ මී තෙල් හිඳිමේ කාලයයි. මී තෙල් සිඳීම පහසු කාර්යයක් නොවේ.
පැරණි ක්‍රමයට මී ඇට වංගෙඩියේ කොටා තම්බා ගැනීමෙන් අනතුරුව ඒ සඳහාම සැකසු තැම්බීමේ ක්‍රියාවලියකින් පසු මී තිලේ හිඳිනු ලබයි. ලග්ගලට පමණක් ආවේණික තෙල් හිදිමේ ‘පැස ‘ සැකිසීම සිදුකරනු ලබන්නේ කාන්තාවන් පමණක්ම වීම විශේෂය.
ලී ආධාරක ආශ්‍රයෙන් සැකසෙන මෙම පැස තුළින් තෙල් නිස්සාරනය කර ගැනීම සිදුකරනු ලබයි. ව්‍යාංජන සඳහා මීතෙල් යොදා ගැනීම, හිසේ ගෑම, රෝගාබාධ රැසක් සඳහා යොදා ගැනීම ආදී කරැණු සම්බන්ධයෙන් මී තෙල් පැරැන්නන් භාවිතයට ගෙන ඇත.
ඕපල්ගල වැසියන් ද වාර්ෂිකව මී තෙල් හිඳීම තුළින් ඔවුන්ගේ ගෘහ ආශ්‍රිත අවශ්‍යතා සඳහා පමණක් නොව මී තෙල් විකුණා ආදායමක් ලබාගැනීම ද කරති. මී තෙල් හිඳීමෙන් අනතුරුව ඉවත් වන ද්‍රව්‍ය ‘මී මුරු ‘ලෙස හඳුන්වන අතර, ඒවා අත් පා වේදනාවන් සඳහා තැවීමට භාවිත කරති.
Mabhuca යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මි ගසේ ශාක විශේෂ 7ක් ලෝකය පුරා දැකිය හැකි වන්නේය. මෙම විශේෂ 7 න් 4ක්ම අප රටට ආවේණික ශාක වීම ද අප ලද භාග්‍යයකි. මී ගස ඍජු කඳ සහිතව අඩි 50 ක් 60 ක් ක් පමණ උසට වර්ධනය වන ශාකයකි. මී මල් වල ඇත්තේ කහපාටට හුරු සුදුපාටකි. කොළ පාටට හුරු කහපාට ඵලවල ඇතුළේ දිලිසෙන සුලු බීජ දක්නට ලැබෙයි. මෙම මීමල් හටගන්නේ ජූනි, ජූලි මාසවලය. අප රටේ හමුවන පරිසර හිතකාමී ශාකය මී ගස බව ඕපල්ගල ගැමියෝ කියා සිටිති.
දේවානම්පියතිස්ස රජතුමා මීගස කැපීම මරණ දණ්ඩනය ලැබීමට හේතුවක් ලෙස එකල සඳහන් කර තිබුණත් 1833 සුද්දන් විසින් ඉදිරිපත් කල කෝල්බෲක් ප්‍රතිසංස්කරණය මඟින් මී ගස කැපීමට ලංකාවේ වැසියන්ට අවසර ලබාදී ඇති බව මී ගස සම්බන්ධයෙන් ඉතිහාසය සොයා යන්නෙකුට හමුවන තොරතුරුය.
එපමණක් ද නොව අපේම රටේ වැසියන් ලවාම මීගස් කපාහෙළු බවත් ඉතිහාසයේ සඳහන්ය. ගමේ පැරැන්නන්ට අනුව එය ඔවුන්ගේම භාෂාවෙන් සඳහන් කළ විට
‘මී මල් පිපෙන කාලෙට, ගෙඩි හැදෙන කාලෙට වවුලන්ට රජමඟුල්. වවුලන් මී ගස් වලම තමයි වාසය කරන්නෙත්. මී ගෙඩි හා මල් කන වවුලන් කුඹුරු පුරා වසුරු දානවා. වසුරු ගිනිපෙට්ටියක් පමණ ප්‍රමාණයක යූරියා කිලෝ තුනක පමණ රසායනික සංඝටක තිබෙනවා අපි දන්න තරමට.‘ ඒ ඔපල්ගල වැසියන්ගේ අදහස්ය.
එසේම මී ගසේ පත්‍ර කුඹුරට වැටුණම ඒ පත්‍රත් කුඹුරට අගනාම පොහොරක් ලබාදෙන බව ද ගැමියෝ කියා සිටිති.
‘අපි කියන මෙම මී ගස ස්වාභාවිකවම පලිබෝධ පාලනය කරන්න පුළුවන්. ගොයමට හානි කරන ගොයම් මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා. ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නොමැති කාලෙට කෘමීන්ව ආහාරයට ගනු ලබනවා. මේ ආකාරයට වී වගාවට සහ වෙනත් බොහෝ වගාවලට හානිකරන පලිබෝධකයන් ස්වභාවිකවම පාලනයක් සිදුවෙනව. කුඹුරු අක්කරයකට සෑහීමට ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් එක මීගසකින් ලබාගන්න පුළුවන්. ඒ නිසාමයි මී ගසට ජාතියේ පොහොර ගස යන අනුවර්ථනාමය හිමි වෙලා තියෙන්නේ. මී ගසෙ මල්, ගෙඩි සහ තෙල් විවිධ ආහාර සඳහා යොදාගන්නවා.
මී මල් වලින් කැවුම් හා හැලප හදනවා. තෙල් සිඳීමේදී ඉතිරිවෙන පුන්නක්කු වලට කියනවා මීමුරු කියලත්. මී මුරු සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් අතීතයේ අපේ පැරැන්නෝ යොදාගෙන තිබෙනවා. අනෙක් වැදගත්ම කාරණය වන්නේ හෙළ වෙදකම සඳහා මී ගස ප්‍රයෝජනයට ගෙන තිබීමයි. අදටත් මෙම ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට යන සියලුම දේවල් බෙහෙත් සෑදීමට යොදාගන්නවා.“
මී ඇට ඇහිදින අතරේ ගැමි ලියෝ එකින් එක ක.තා සිහිකරමින් පවසන්නට වුහ. රක්තපාත, චර්මරෝග, කැඩුම්බිදුම්, සර්පවෙදකම උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ගර්හනි රෝග, ක්ෂයරෝගය, මුත්‍රා ආසාධනයන් සුවපත් කිරීම සඳහා මී ගසේ විවිධ කොටස් යොදා ගැනීම අතිතයේ පටන් අදටත් සිදුවන්නකි.
පෙර දවස අද මෙන් විදුලිය නොතිබූ අතර ඒ සඳහා මීතෙල් වලින් කුප්පි ලාම්පු සකසා පාවිච්චි කර ඇති බව ගැමියෝ අප හා කියා සිටියහ.
එසේම ඒ මඟින් සාමාන්‍ය කුප්පි ලාම්පු වලින් ඇතිවන ඇස් දැවිල්ල ඇති නොවන බව ද ඔවුහු කියා සිටිති. සාමාන්‍ය යෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රි කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරන බව අප දන්නා කරුණකි. එනමුත් මීගසක් දහවලටත් රාත්‍රියේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ට ශාකයකි.
එනිසාම මි ගස එදා අතීතයේ මුතුන් මිත්තන් රැක ගත්තා සේම ප්‍රයෝජනයට ගත්තා සේම අපට අද දවස තුළ කළ යුතු ඉතාම වැදගත් කාරණාවක් ඉතිරිව තිබේ.
එනම් එදා පැරැන්නන් විසින් ප්‍රයෝජනයට ලබාගත් මේ ගස අද දවසේ රෝපණය කර රැක ගැනීමයි. වසර ගණනක් පුරා නොනවත්වාම සිය ගම්මානයේ වැඩිහිටියන් මී තෙල් සැකසීම සිදුකරන අවස්ථාවන් වල දි තම තමන්ගේ දු දරුවන් ද ඒ සඳහා එක්කර ගැනීම අනිවාර්යය කටයුත්තකි.
තමන් විසින් පවත්වාගෙන එනු ලැබු මේ සද් කාර්යය වත්මනටත් දායාද කිරිම ඔවුන්ගේ ඒකායන අරමුණ වි තිබේ. මහ රූස්ස ලෙස වැඩි ඇති මී ගස් යටට ඇට අහුලන්නට යෑම ඕපල්ගල ගමේ වයෝවෘද්ධ කාන්තාවන්ට විනෝද ජනක ක්‍රියාවකි.
හිමිදිරි අඳුරේ මී ඇට ඇහිදීම සඳහා අලෝකය ලබාගැනීම වෙනුවෙන් සැකසු ‘ගොලෝවක් ‘(ලාම්පුවක්) රැගෙන යෑම ඔවුනගේ සිරිතකි. ඇට අහුලා අව්වේ වියළා පසුව වංගෙඩියේ කොටා අනතුරැව කුල්ලෙන් පොලා විශේෂයෙන් සැකසු මුට්ටියක තම්බා ගැනීමෙන් පසු මී තෙල් හිදිම ආරම්භ කරණු ලබයි.
මෙහදි මුට්ටියකට‘කඩ බැදීම‘ලෙස හඳුන්වනු ලබන අතර ජලය සහිත මුට්ටියේ කටට රෙදි කඩක් බැද ඒ තුළට කොටන ලද මී ඇට දැමීම සිදුකරනු ලබයි.
හුමාලයෙන් තැම්බීම සිදුකිරි පිණිස මෙම ක්‍රියාව අනුගමනය කරන අතර මුට්ටියෙන් වාතය පිටවීම වැළැක්වීම සඳහා භාහිරින් මැටි තැවරිම ද සිදුකරණු ලබයි. පැට භාගයක පමණ කාලයක් තැම්බුනු මී ඇට පසුට ලී ආධාරයෙන් සැකසු‘පැස‘තුළට එක්කර තැම්බු මී ඇට තෙරපීමකට ලක්කරනු ලබයි.
කිසිදු යාන්ත්‍රික ක්‍රියාවලියකින් තොරව සිදුවන මෙම ක්‍රියාවේ දී වැඩිහිටි කාන්තාවක මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.
මෙහි දි මඳ රස්නෙන් යුතු මී තෙල් වෙනම භාජනයකට එක්වන අතර, තෙල් නිස්සාරණය කිරිමෙන් අනතුරැව ඉතිරිවන මී ඇට වල රොඩු කොටස් ‘මී මුරුවට ‘ලෙස හඳුන්වනු ලබයි.
කලක් භාවිතයට ගත හැකි වන ලෙස මේවා කල් තබාගන්නා අතර හේනේ කුඹුරේ වැඩ කටයුතු සිදුකරනු ලබන පිරිමි පාර්ශවයන්ගේ ඇතිවන විවිධ වේදනාවන් සඳහාත් වාත රෝග සඳහාත් තැවීම් කටයුතු සඳහා මෙම මී මුරුවට භාවිතයට ගනු ලබයි.
පිරිමන්ට පමණක් නොව කාන්තාවන්ගේ විවිධ වාත රොග සඳහා මෙන්ම මදුරැවන් පලවා හැරිම සඳහා දුන් ඇල්ලීම වැනි කටයුතු සඳහා ද මී මුරුවට භාවිතයට ගනු ලබන බව ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නිමල් කනහැරආරච්චි පෙන්වා දුන්නේය.
ඕපල්ගල ගමේ අදටත් ඉදෙන බටු බැදුමකට, එලවලු වෑන්ජනයකට මෙන්ම පපඩම් බැදීමකට වුවද මී තෙල් භාවිත කරනු ලබයි. පොල්තෙල් වලට වඩා මී තෙල් වල තියෙන විශේෂත්වය මොකක්ද ? මම වැඩිහිටි මාතාවකගෙන් ඇසිමි.
‘කිසිම වස විසක් නැ. අනිත් කාරණේ තමයි සෙම ඇති වෙන්නේ නැහැ. හන්දි රෝග වලට මී තෙල් ගන්නවා භාහිරින් ආලේප කරන්න. ඒ වගේම තමයි ශරිරය අභයන්තරයට මී තෙල් ඇතුළු වුණාමත් බොහෝ රෝග ගණනාවකට ගුණ දෙනවා. ඉතින් පොල්තෙල් වලට වඩා මී තෙල් වැදගත් වෙන්නේ ඒ හින්දයි.“
පැසෙන් තෙල් එකතු කරන අතර ඒ අම්මා පවසන්නට වූයේ ආඩම්බරයෙනි. ඒ අපේ උරුමය අපට වටිනවා යැයි නොකියා කියන්නාක් මෙනි.