කනත්තේ මුගටියෝ | Page 3 | සිළුමිණ

කනත්තේ මුගටියෝ

මුගටින් කනත්තේ සොහොන් හාරා සිදු කරන්නේ කුමක්ද? කියා එක් කාලයකදී ඩෙන්මාර්කයේ පර්යේෂණයක් සිදුකර තිබුණි.” එම මුගටි, විශේෂය සොහොන් හාරන්නේ මළමිනී ආහාරයට ගැනීමට ද වෙන දෙයකට ද කියා එම පර්යේෂකයන්ට තවම සොයා ගැනීමට නොහැකි වී තිබේ.

මුගටි, ඩෙන්මාර්කය සහ බොරැල්ලේ කනත්ත අතර සම්බන්ධයක් තිබේ ද යන්න ගැන ඇතමකුගේ අවධානය යොමු වූයේ පසුගිය 23 වැනිදා බොරැල්ල කනත්ත ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවක් හේතුවෙනි.

කොරෝනාවලින් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භුමදානය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට ආණ්ඩුවට බලකරමින් මෙම විරෝධතාව දියත් කරන ලද්දේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගය විසිනි.

සමගි ජනබලවේගය කනත්තේ මුගටින් ගානට වැටෙමින් මේ සිදු කරන ලද විරෝධයට පදනමක් තිබේද?

සජිත් කියන්නේ කොරෝනා වයිරසයෙන් මියයන කිසිම කෙනකු භූමදානය කළ ද කිසිදු සෞඛ්‍ය ගැටලුවක් මතු නොවන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ද එය අනුමත කර තිබෙන බව ද සජිත් ප්‍රකාශ කරයි.

නමුත් කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කළ විට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් මතුවන්නේ නැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ දක්වා සහතිකයක් ලබා දී නැත.

නමුත් මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් සිටින ඇතැම් රටවල් කොරෝනා වයිරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානය කරයි. ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක නොකර තම ආගම්වලට අනුකූලව වැඩ කටයුතු සිදු කරගෙන යනු ලබයි.

කනත්තවල් ළඟට ගොස් විරෝධතා දක්වමින් මුගටි රංගනයේ යෙදෙන දේශපාලනඥයන්ට කදිම පිළිතුරක් මුගටින් විසින්ම ලබාදී තිබේ.

ඩෙන්මාර්කයේ මුගටි විශේෂයකට කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම වයිරස ආසාදිත මුගටින් මිලියන 15 ක් ඝාතනය කර භූමදානය කිරීමට එරට රජය පියවර ගෙන තිබුණි.

මෙම මුගටි විශේෂය ඩෙන්මාර්කයේ ඇතිකර තිබෙන්නේ ලොම් ලබා ගැනීමටය. කොවිඩ් - 19 වයිරසය ආසාදනය වීම නිසා මෙම මුගටින් මිලියන 15 ක් ඝාතනය කිරීමට ඩෙන්මාර්ක රජය තීරණය කළේ මීට මාසයකට ඉහත දීය.

එම මරා දැමූ මුගටින් භූමදානය කර තිබුණු අතර එරට භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සහ ඩෙන්මාර්කයේ තාක්ෂණික විශ්ව විද්‍යාලය සිදු කළ පර්යේෂණයක් මඟින් මෙම භූමදානය කරන ලද මුගටින්ගේ දේහවලින් භූගත ජලයට අපද්‍රව්‍ය සහ වයිරසය එක් වී ඇතැයි සොයා ගෙන ඇති බව වාර්තා වී තිබුණි.

ඒ අනුව අදාළ මුගටි දේහ වහාම ගොඩගෙන ආදාහනය කිරීමට ඩෙන්මාර්ක් රජය කටයුතු කර තිබුණු බව වාර්තා වේ. මිලියන 15 ක පමණ මුගටි දේහ විශාල සංඛ්‍යාවක් එකවර ආදාහනය කිරීමට නොහැකි නිසා මීටර් 2 ක පමණ නොගැඹුරු වළවල්වල පසුගිය නොවැම්බර් මුල් සතියේ දී එම මුගටින්ගේ දේහ භූමදානය කළ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි. ඩෙන්මාර්කයේ බටහිර ජෙට්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටි හමුදා පුහුණු ප්‍රදේශයක මෙම වළවල් කපා තිබේ. ඩෙන්මාර්කයේ “‍රේඩියෝ - 04”‍ ගුවන්විදුලි නාළිකාව පරිසර සංරක්ෂණ ආයතනයක අධ්‍යයනයක් උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ මෙම මුගටි දේහ භූමදානය කිරීම නිසා අදාළ ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍ර වී ඇති බවයි.

අදාළ පරිසර අධ්‍යනය වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබුණේ, මේ සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණයක් සිදු කරන බවයි.

මෙම මුගටි දේහ භූමදානය කළ නිශ්චිත ස්ථානය හඳුනා ගැනීමේ අපහසුතාවක් පවතින බව ද ඩෙන්මාර්කයේ ආහාර, කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශය උපුටා දක්වමින් රජයට අයත් ඩෙන්මාර්ක් ගුවන්විදුලිය වාර්තා කර ඇත.

කොරෝනා ආසාදනය වී මියයන මෘතදේහ භූමිදානය කිරීමට අවසර ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගය මර හඬ නඟද්දී ඩෙන්මාර්කයේ විපක්ෂය මෙම මුගටි දේහ භූමදානය කිරීම ගැන ප්‍රකාශ කරනු ලබන්නේ කුමක්ද?

ඩෙන්මාර්කයේ විරුද්ධ පක්ෂය නියෝජනය කරනු ලබන උල්ලා ටොනෝස් මුගටි දේහ භූමදානය කළ නිශ්චිත ස්ථානයක් හෝ නොදැන සිටීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක් ආණ්ඩුවට විරෝධය පළකර තිබුණි.

කොරෝනා වයිරසය ශරීරගත වූ දේහ කොටස් භූමදානය කිරීම පසුව එම වයිරසය ඉතා පහසුවෙන් භූගත ජලයට එක්වන බව පර්යේෂණවලින් අනාවරණය කරගෙන තිබේ.

පොළොව යට ශීත තත්ත්වය සමඟ මෙම ජල මූලාශ්‍රයවල කොරෝනා වයිරසය අවුරුදු ගණන් තිබීමට හැකිය. මෙය කෙතරම් බරපතළ ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැත.

ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ කොහොම හරි කොරෝනා මෘතදේහ භූමදානය සිදු කරන ලෙසයි. ඩෙන්මාර්කයේ කොරෝනා අසාදනය වී මියගිය මුගටින් භූමදානය කළ පසුව එම දේහ ගොඩගෙන ආදාහනය කිරීම සඳහා ඩෙන්මාර්ක් විපක්ෂය ඩෙන්මාර්ක් රජයට බල කරයි.

ඩෙන්මාර්කයේ විපක්ෂය එහෙම වුණාට ශ්‍රී ලංකාවේ විපක්ෂය එහෙම නොවන්නේ ඇයි?

එසේ භූමදානය කර තිබුණු මුගටි දේහවල බර ටොන් කොපමණ ද? කියාත් ඩෙන්මාර්කයේ විපක්ෂය එරට ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිබුණි. එතනින් නොනැවතුණු ඩෙන්මාර්ක් විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිබුණේ මෙම මුගටි දේහ භූමදානය කිරීම පිළිබඳව අදාළ පරිසර වාර්තාවක් ලබා ගැනීමට ප්‍රදේශවාසී ජනතාවට අයිතියක් තිබෙන බවයි.

ඉන් අනතුරුව කෙසේ හෝ මෙම මුගටි දේහ ගොඩගෙන යළි ආදාහන කිරීමට ඩෙන්මාර්ක් රජය තීරණය කර තිබුණි.

මෙම මුගටි දේහ ඩෙන්මාර්ක් රජය විසින් ආදාහනය කර තිබෙන්නේ කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය භූගත ජලයට මුසු වීම වැළැක්වීම සඳහායි.

නමුත් ඩෙන්මාර්කයේ මෙම මුගටි ආදාහනය කිරීම සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගයට දිරවන්නේ නැත.

වර්තමාන ආණ්ඩුවට එරෙහිව පෙනී සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට (NGO) වලට දිරවන්නේ නැත.

එම NGO වල මුදල් අනුග්‍රහය මත ක්‍රියාත්මක වන විකල්ප පුවත්පත් කියා ගන්නා පත්තරවලට ද දිරවන්නේ නැත.

ඔවුන් දැන් මේකට අලුත් කතාවක් නිර්මාණය කරමින් සිටි. ඒ කුමක් ද? ඩෙන්මාර්කයේ මුගටි දේහ හදිසියේ ගොඩගෙන ආදාහනය කිරීමට කටයුතු කරන්නේ එම දේහවලින් කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසයට භූගත ජලයට මිශ්‍ර වන බවට බරපතළ සාධකයක් මතුවන නිසයි.

නමුත් සමගි ජනබලවේගය සහ NGO වලින් යැපෙන ඇතැම් පුවත්පත් ප්‍රකාශ කරන්නේ ඩෙන්මාර්කයේ මුගටි දේහ හදිසියේ ගොඩගෙන තිබෙන්නේ බැක්ටීරියා පැතිරීම නිසා බවයි.

කොරෝනා වයිරසය මෙම මුගටි දේහ හරහා භූගත ජලයට මුසුවී ජලය අපවිත්‍ර වන බව ප්‍රකාශ කිරීමට මොවුන් මැළිවන්නේ එමඟින් කොරෝනා සමයේ ඔවුන්ට ලැබුණු හොඳම සටන්පාඨය අහිමි වන නිසාය.

ඒ නිසා වයිරසය වෙනුවට බැක්ටීරියා කතාවක් සජිත් ඇතුළු එන් ජී ඕ නඩය එළියට දමාගෙන නටති. බොරැල්ලේ කනත්ත ඉදිරිපිට රඟ දැක්වූයේ එබඳු නාඩගමකි. කොරෝනා වයිරසය යළි මතුවීමේ අවධානම නොතකා සජිත් කොරෝනා මෘතදේහ භූමදානය සිදුකරන ලෙසට කෑ ගසන්නේ ඇයි?

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා මීට මාස 2 කට පමණ පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ ය. “‍කොරෝනා බෝ කරන්නේ මුස්ලිම් ජනතාව බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා”‍ යනුවෙන් සජිත් බරපතළ ලෙසට ආණ්ඩුවට චෝදනා කළේ ය. එදිනත් සජිත් කතාකළේ කොරෝනාවලින් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.

ඉන්පසුව දිගටම ජාතිවාදය අවුස්සමින් මුස්ලිම් ජනතාවට එරෙහිව වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන බව සජිත් ඇතුළු සමගි ජන බලවේගය අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය.

පසුගිය 23 වැනිදා බොරැල්ල කනත්ත ඉදිරිපිට මුස්ලිම් ජනතාව කැඳවා සජිත් විරෝධතාවයක නිරත වූයේ ද මෙම මෘත දේහ සටන් පාඨය ඉදිරියට ගෙනවිත් ය.

එතනදීත් සජිත් සිදු කළේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට පටහැනි ක්‍රියා මාර්ගයක්ය. සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව එම විරෝධතාව පැවැත්වෙන බව සජිත් ප්‍රකාශ කළ ද එය එසේ සිදු නොවීය. සජිත් වට කරගෙන සිටියේ මුජිබර් රහුමාන්, මනුෂ නානායක්කාර, නලින් බණ්ඩාර, එස්.එම්. මරික්කාර් ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකි. මරික්කාර්ගේ මුහුණේ මුඛ ආවරණය නිකටට ගොස් ය.

කිසිදු මීටරයක පරතරයක් නැත. කොරෝනා හැදුණත් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ මාධ්‍ය සන්දර්ශන පැවැත්වී‍ම පමණි.

කොරෝනාවලින් නොව අඩුම ගානේ මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහවලින් හෝ ගොඩ ඒමට සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගයට අවශ්‍ය වී තිබේ.

ඉතා නින්දිත ආකාරයට ජාතිවාදය අවුස්සමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවුස්සා තම දේශපාලන ඡන්ද මඩිය තරකර ගැනීමට සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගයට අවශ්‍ය වී ඇත. කොරෝනා බොර දියේ හොඳ හැටි මාළු බෑමට ඔවුන් සැලසුම් කරමින් සිටි.

ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් හතර ගාතෙන් වැටී ඡන්ද ලක්ෂ 25 කට අධික සංඛ්‍යාවක් අහිමි කරගත් සජිත් කාලයක් යනතුරු යාල කැලයේ සහ විල්පත්තුවේ ගත කළේ දේශපාලන වශයෙන් අන්ත අසරණ වූ නිසාය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා 3/2 ක බහුතරයක් සහිත ආණ්ඩුව සමඟ වැඩ ආරම්භ කිරිමට පටන් ගැනීමත් සමඟ ම ලෝකයා ම මුහුණ දෙන ලොකුම අභියෝගය පැමිණියේ ය.

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වයිරස අර්බුදයෙන් ධනවත් හා බලවත් රටවල් ඇදගෙන වැටෙද්දී, තවමත් ශ්‍රී ලංකාව ඊට සාර්ථකව මුහුණ දෙමින් ගමන් කරයි.

මුළු ලෝකයම මුහුණ දී තිබෙන මෙම අභියෝගයට ශ්‍රී ලංකා රජය සාර්ථකව මුහුණ දෙන විට සජිත් ප්‍රමුඛ විපක්ෂය කියන්නේ කුමක් ද? “කොරෝනාවලින් මියයන අයගේ මෘත දේහ භූමදානය කළ යුතුයි” යනුවෙන් ඔවුහු කෑ මොර දෙති.

මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගොඩ ලබාගැනීමේ මූලික අරමුණින් මෙම අන්ත පටු ජාතිවාදී සටන් පාඨය සජිත් ගෙන යන බව රහසක් නොවේ.

“සෞඛ්‍ය උපදෙස් අනුව කොරෝනාවලින් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ ආදාහනය කළාට කමක් නැහැ” යනුවෙන් කියන මුස්ලිම් පිරිස් ද නැතුවා නොවේ. නමුත් සජිත්ට අවශ්‍ය මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහවලින් හෝ තම බංකොලොත් දේශපාලන ව්‍යාපාරය ගොඩ ගැනීමයි.

බණ්ඩාරගම අටුළු‍ගම ප්‍රදේශයේ කොරෝනා වැඩිපුර පැතිරී තිබෙන්නේ මුස්ලිම් ජනතාවටයි. එම ප්‍රදේශයේ ඇතැම් මුස්ලිම් ජනතාව PCR පරීක්ෂණ සිදු කරන්නට දෙන්නේ නැත. PHI මහත්වරුන්ට තම රාජකාරිය සිදු කිරීමට ඉඩ ලබානොදී ඇතැම් මිනිසුන් PHI මහත්වරුන්ට කෙළ ගසා තිබෙන බවට ද තොරතුරු වාර්තා වේ.

මෙවැනි ජනතාවට සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරන ලෙසට සමගි ජනබලවේගයේ සිටින රවුෆ් හකීම්, රිෂාඩ් බදියුර්දීන් වැනි මුස්ලිම් දේශපාලඥයන් හරහා සජිත්ට යම් පණිවිඩයක් ලබාදිය නොහැකි ද?

PHI මහත්වරුන්ට කෙළ ගසමින් ඇතැම් මුස්ලිම් ජනතාව සිදුකරන මෙම ක්‍රියා ගැන සජිත් නිහඬව සිටින්නේ ඇයි? සජිත් එතනදීත් මුස්ලිම් ජනතාවට වචනයකුදු ප්‍රකාශ නොකරන්නේ මුස්ලිම් ඡන්ද ගොඩ බලාපොරොත්තුවෙනි.

මේ ආකාරයෙන් අසරණ තත්ත්වයකට පත්වන PHI මහත්වරුන් ගැන සජිත් වචනයකුදු කතා නොකරන්නේ ඇයි?

රට මේ තත්වයෙන් හෝ අල්ලාගෙන සිටින්නේ රජයේ උපදෙස් අනුව සියලු‍ම දෙනා සිදුකරන කැප කිරීම් හමුවේ ය. නමුත් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය රට වෙනුවෙන් ක්‍රියාකරන මෙම පිරිස් ගැන එකදු වචනයකුදු කතා නොකරන්නේ ඇයි?

මෙම නිලධාරීන් ගැන අගය කළහොත් එම නිලධාරීන්ට උපදෙස් ලබාදෙන රජයට ද එම ගෞරවය යනවාට සජිත් ලා අකැමැති ය.

එම කුහකත්වයෙන් මිදීමට ඔවුන්ට නොහැකිය. ඔවුන්ට අවශ්‍ය ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී හෝ යම් ඡන්ද ප්‍රමාණයක් වැඩිකර ගැනීමට ය. ඒ සඳහා හොඳම දේ කොරෝනා හොද්ද තවත් බොර කර ගැනීම ය. අටුළු‍ගම ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වී කෙළ ගසන නොමිනිසුන් ලොකු වී PHI මහත්වරුන් සජිත්ලාට පොඩි වී තිබෙන්නේ මේ නිසා ය.

විමල් වීරවංශලාට, උදය ගම්මන්පිලලාට ජාතිවාදය වපුරන්නට එපා කියමින් බණ දේශනා කරන සජිත්ලාගේ ජාතිවාදය වැපිරීම කෙසේ ද? සජිත්ලාගේ මෙම පටු දේශපාලන අරමුණු ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් මුස්ලිම් ජනතාව කොරෝනාවලින් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය නොකොට ශීතකරණයේ තැන්පත් කිරීමට තීරණය කර තිබේ. සමගි ජනබලවේගය වගකිය යුතු විපක්ෂයක් ලෙස කටයුතු කරනවා ද කියන සැකය ප්‍රබලව මතුව තිබේ.

අනෙක් කාරණය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රහාරකයන්ට අවශ්‍ය පහසුකම් හා දේශපාලන රැකවරණය ලබා දුන්නේ සමගි ජනබලවේගයේ සිටින ඇතැම් දේශපාලඥයන් බව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ දී අනාවරණය වී තිබේ.

එම පාස්කු ප්‍රහාරයේ සිදුවීම් සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ඇතැම් දේශපාලඥයන්ට එල්ල වන චෝදනාවලින් යම් ආකාරයකට ආවරණය වීම සඳහා මුස්ලිම් මෘතදේහ ආදාහනය කිරීම ගැටලුවක් කර ගැනීමට සජිත් ඇතුළු සමගි ජනබලවේගයේ අවශ්‍ය වී තිබේ.

සිංහල, දෙමළ, කතෝලික ජනතාව ද මියගිය පසුව ඒ අදාළ ආගමික වතාවත්වලට අනුව චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදු කරති. නමුත් කොරෝනා හේතුවෙන් ඔවුන්ටද එම කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියයන සියලුම දෙනාගේ මෘත දේහ ආදාහනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව කටයුතු කිරීම නිසා ය.

බෞද්ධ ජනතාවට ද, දෙමළ ජනතාවට ද, කතෝලික ජනතාවට ද එය පොදු ය. නමුත් මුස්ලිම් ජනතාව කොටසක් ඊට කැමති වුවද තවත් කොටසක් ඊට අකමැති වී ඇති අතර ඒ ඇවිළෙන ගින්නට පිදුරු දමන්නේ සජිත් ඇතුළු පිරිස ය.

තමන් වැටී සිටින දේශපාලන වළෙන් මළ සිරුරෙන් හෝ ගොඩඒමට සජිත් ඇතුළු සමගි ජනබලවේගය කරනු ලබන මෙම පහත් ක්‍රියාව බහුතරයක් මුස්ලිම් ජනතාව ද ප්‍රතික්ෂේප කරන බව නොරහසකි. කොරෝනාවලින් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහවල අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය සොයා බැලීම සඳහා රජය විසින් වෛද්‍ය විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර; එම කමිටුව මඟින් ඒ පිළිබඳව සොයා බැලීමට කටයුතු සිදු කෙරෙමින් තිබේ.

මෙම වාර්තාව ලැබීමට පෙර සජිත් කියන ආකාරයට කොරෝනා ආසාදනය වී මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහයක් භූමදානය කොට ඉදිරියේ දී යළි කොරෝනා වයිරසය පැතිරී ගියහොත් එහි වගකීම සජිත් ප්‍රේමදාස හෝ සමගි ජනබලවේගය බාර ගන්නේ ද?

සජිත් එතනදී නිහඬව සිටියාට එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නම් නිහඬව සිටින්නේ නැත. කොරෝනා මෘතදේහ වළදාන්න අවශ්‍ය බව ඔහු සජිත් ප්‍රේමදාස වාගේ කියවන්නේ නැත. කොරෝනා මෘත දේහ ප්‍රශ්නයට තීන්දු ගත යුතු වන්නේ සියලු ජනකොටසක් සමඟ සාකච්ඡාවකින් පසුව බව රනිල් වික්‍රසිංහ කියා සිටී.

මෘත දේහ ආදාහනය කරන්නේ ද; භූමිදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බවත් විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික නායකයන් සමඟ සාකච්ඡා කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ විසින් පෙන්වා දෙන ලදී.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරනු ලබන ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද ප්‍රකාශ කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් බවයි.

විපක්ෂය අද කෙතරම් බංකොලොත් වී තිබෙනවා ද කියා සජිත්ට තේරෙන්නේ නැත. නමුත් රනිල්ට හා අනුර කුමාරට නම් එය ඉතා හොඳින් තේරේ. කොවිඩ් සමඟ සටන් පාඨ ඉදිරියට දමාගෙන දේශපාලනය කිරීම සියදිවි නසාගැනීමක් බව රනිල් මෙන්ම අනුර ද දනිති.

මේ රටේ සිටින්නේ අති බහුතරයක් සිංහල බෞද්ධ ජනතාවයි. මේ ජනතාව හැම විටම අනිත් ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් සහෝදරත්වයේ දෑත් ඔවුන්ට දිගු කර ජීවත් වූ බව ඉතිහාසය කියාපායි.

කොටි ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ අවස්ථාවේදී නැගෙනහිර මුස්ලිම් ජනතාව බැට කෑ බව නොරහසකි. කාත්තන්කුඩියේ මුස්ලිම් පල්ලියේ යාඥාවකට සහභාගි වී සිටි මුස්ලිම් බැතිමතුන් රැසක් කපාකොටා ඝාතනය කළේ කොටි සංවිධානය විසිනි. එම ත්‍රස්තවාදයෙන් රට බේරා ගෙන සිංහල, දෙමළ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාවට ද ජීවත්වීමේ නිදහස ලබා දුන්නේ රාජපක්ෂවරුන් ය.

නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව ගොවිතැන් කටයුතු, ධීවර කටයුතු ඇතුළු වෘත්තීන් නිදහසේ සිදු කරනු ලබන්නේ කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද, ගෝඨාභය සුසංයෝගය එදා කටයුතු කළ නිසාය.

අද එම සුසංයෝගය රට සංවර්ධනය කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දී සිටී. එදා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදී කොටි සංවිධානය ශක්තිමත් කළේ එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බවට චෝදනා කරන ලද්දේ එදා එක්සත් ජාතික පක්ෂයේම පතාක යෝධයන් වූ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යි.

ප්‍රේමදාසගෙන් ලබාගත් අවි ආයුධවලින් කොටි ත්‍රස්තවාදීන් මුස්ලිම් ජනතාව කපා කොටා ඝාතනය කරන විට සජිත් ප්‍රේමදාස සිටියේ කොහි ද?

දැන් මුස්ලිම් ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළමින් මුස්ලිම් ජාතිවාදය ඉතා නින්දිත විදිහට අවුස්සන සජිත්ට; මුස්ලිම් ජනතාවගෙන් ම පාඩමක් ඉදිරියේ දී ඉගෙන ගැනීමට හැකි වනු ඇත. ඒ මිනිස්සු මැරිලා ඉපදී නැති බව එවිට සජිත්ට වැටහෙනු ඇත.

Comments