‘ජාතිකත්වය ගොඩනැඟීමට ලැබුණු ස්වර්ණමය හා අවසන් අවස්ථාව මෙයයි’ | සිළුමිණ

‘ජාතිකත්වය ගොඩනැඟීමට ලැබුණු ස්වර්ණමය හා අවසන් අවස්ථාව මෙයයි’

ජාතිකත්වයෙන් හා සභ්‍යත්වයේ පිබිදීමෙන් ලැබුණු මේ ජයග්‍රහණය කෙසේ හෝ ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමක්

ගෝඨාභය රාජපක්ෂයන් අනෙක් රටවල් හා කරන ගනුදෙනුව ස්වාධීන ප්‍රතිපත්තියක් ඔස්සේ නඩත්තු කිරීම ඉතාම වැදගත්

‘යහපාලන’ ආණ්ඩුව ඇතිවුණේ විජාතික බලවේග කළ විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි. එය මුළුමනින්ම වෙනස් කිරීමේ අවශ්‍යතාව මේ ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝගයයි

ගෝලීයකරණයට විකල්පය වන්නේ ජාතිකත්වය මුල්කරගත් සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පමණයි

සිංහල ජාතියේ පැවැත්ම සඳහා ගෝඨාභය රාජපක්ෂයන් හැරෙන්න වෙන විකල්පයක් නැති බව අවධාරණය කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂයන්ගේ මේ ජයග්‍රාහී ගමන් මඟ ගැන අප නිවැරදි අර්ථකථනයක් සම්පාදනය කරගත යුතුයි. මේ කාරණය චූල කාරණයක් සේ නොසලකා අප දීර්ඝ ඉතිහාසය හා සම්බන්ධ කරගෙන එහිම දිගුවක් සේ වටහා ගත යුතු බවයි මගේ අදහස. මේ කාරණය ගොඩනැඟිය යුතු වන්නේ ඒ පසුබිමේ ලා සලකායි. මම දකින ලෙස මේ ජයග්‍රහණය නිකම්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමක් නොවෙයි; ඊට වඩා බෙහෙවින් අර්ථසම්පන්න ජයග්‍රහණයකි.

මේ රට විජාතික බලවේගවලින් මුදා ගත්තු දුටුගැමුණු ජයග්‍රහණය හා සන්සන්දනාත්මක විග්‍රහයක් හා එළැඹුමක් ලෙසින් මෙය අප වටහා ගත යුතුයි. දුටුගැමුණු විතරක් නොවෙයි; හරියටම විජාතික ද්‍රවිඩයන්ගේ බලපෑමෙන් රට බේරා ගත් ධාතුසේන, චෝල රාජ්‍යයෙන් රට බේරාගත්තු විජයබාහු, හයවන පරමාක්‍රමබාහුගේ ක්‍රියාවලිය ආදී මේ සියල්ල හා සමානයි මේ වර ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය.

එතුමා පත්වුණේ අතිබහුතර සිංහල ජනතාවගේ ඡන්දවලිනි. සිංහල ජාතිය කියන්නේ කුමක්ද යන්න අප වටහා ගත යුතුයි. සිංහල යනු ජාතියයි. අනෙක් අය ජනවර්ග ලෙස හැඳින්විය හැකියි. සිංහල ජාතිය සිය වගකීම අවශ්‍ය වෙලාවේ ඉටු කරන ජාතියකි. ගෝඨාභය ජනාධිපතිවරයා සිය ජයග්‍රහණය ලැබූ අවස්ථාවේ නිර්භයව ප්‍රකාශ කළේ තමාගේ ජයග්‍රහණයට මූලිකත්වය ගත්තේ සිංහල ජනතාව බවයි.

මේ වනවිට නිදහස ලැබී හත්වන දශකය ගෙවී යමින් තිබේ. එහෙත් ඒ සම්පූර්ණ කාලවකවානුව ඇතුළතම පූර්ණ වශයෙන් සිංහල ජාතියේ අතිබහුතර ඡන්දවලින් පමණක් නායකයකු පත් වී නැත.

සියල්ලෝම බලයට පත් වූයේ සුළු ජනතාවගේ ඡන්දවල එකතුවෙනි. එසේ නොමැතිව මේ රටේ සභ්‍යත්වයේ උරුමකරුවන් වන සිංහල මිනිසුන්ට සිංහල රජයක් පත්කර ගැනීමට හැකියාවක් නොලැබිණි. ඇත්ත වශයෙන්ම මේ රට ඉංග්‍රීසීන් විසින් යටත් කිරීමෙන් අනතුරුව මේවර ගෝඨාභය ජනාධිපතිවරයා පත්වන තෙක් සිංහල රජයක් ඒ තරම් ශක්තිමත්ව ගොඩනැඟී නැත.

මේ ජයග්‍රහණයේ වැදගත්කම අප කියවා ගත යුතු වන්නේ ඒ ආකාරයෙනි. මෙතෙක් මේ ජයග්‍රහණයේ ඓතිහාසිකත්වය ගැන නිවැරදි අර්ථකථනයක් සිදු නොවුණු බව මගේ අදහසයි. බොහෝ දෙනා හිතන්නේ පසුගිය දූෂිත ‘යහපාලන‘ ආණ්ඩුවට විරුද්ධව හා විවිධ හේතු නිසා මේ ආණ්ඩුව පත්කිරීමට ජනතාව පෙළ ගැසුණු බවයි. ඒවා හේතු නොවුණා යැයි කියන්නට නොහැකියි. නමුත් මූලික වුණේ මේ ජාතික බලවේග වල උණුසුම් බලාපොරොත්තුවයි; නැඟී සිටීමයි. ඒක පසුගිය කාලයේ ක්‍රමක්‍රමයෙන් වැඩිලා කූටප්ප්‍රාප්තියට පත්වී තිබුණි.

රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමත් සමඟ බොහෝ මිනිසුන්ගේ සිත්වල බයක් ඇති වුණි. ඒ මේ රටේ, ජාතියේ අවසානය ළඟා වුණා කියායි. ඔවුන් එකහෙළා මේක බේරා ගන්න පුළුවන් එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ කියලා තීන්දු කළේ ඒ නිසයි. මෙන්න මේ කාරණය අප පැහැදිලිව වටහා ගත යුතුයි. ඉතිහාසයේ සංසිද්ධි එක්ක සංසන්දනය කළ යුත්තේ ඒ නිසයි.

ගෝඨාභය රාජපක්ෂයන්ගේ මේ ආගමනය අපට අපේ රට, ජාතිය ගොඩනඟා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවකි. එහෙම නැතිවුණානම් මේ සිංහල ජාතියේ අවසානය විය හැකියි.

ජාතිකත්වය මත ගොඩනැඟුණු මේ ප්‍රබෝධය හා සභ්‍යත්වයේ පිබිදීමෙන් ලැබුණු මේ ජයග්‍රහණය කෙසේ හෝ ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමකි.

ජාතිකත්වය යනුවෙන් මෙහිදී මම අදහස් කරන්නේ ජාතියක් විසින් ඇති කරනු ලබන සභ්‍යත්වයයි. සභ්‍යත්ව විඥානය ජාතිකත්වයේ ප්‍රබලම සාධකය වේ. ඒක තමයි ජාතියකට වඩාත් වැදගත් වන්නේ. සභ්‍යත්ව විඥානයක් නැති ජාතියක් විනාශ වී යෑම වළක්වන්නට නොහැකියි.

අප පැහැදිලිව වටහාගත යුතුව තිබෙනවා, අපට කොතරම් විජාතික චින්තනයෙන් යුතු පාලකයන් වගේ ම පෙලඹවීම් ඇති කරන අය සිටියත් අපේ සිත්වල තවමත් අපේ ජාතිය ගැන බලවත් හැඟීමක් තිබෙන බව. ඒක අතීතය පුරා අපට පසක් වී ඇත. ජාතිය යම් අනතුරකට ලක්වන සෑම මොහොතකම යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වී ඒ අනතුර වැළැක්වීම අප අත්දැක තිබේ. මගේ මතකය අනුව එවැනි දෙයක් වූ ඓතිහාසික අවස්ථාවක් තිබේ. ඉංග්‍රීසිකාරයන් මේ රට විනාශ කරලා කාබාසිනියා කරද්දි අනගාරික ධර්මපාලතුමා පහළ වීම එවැන්නකි. එතුමා ජාතික ප්‍රබෝධයක් ඇතිවීමේ මූලික පදනම නිර්මාණය කළේය. සභ්‍යත්ව පදනම මත ජාතික චින්තනයක් ඇතිකිරීමේ පදනම නිර්මාණය වන්නේ එතුමාගේ මඟ පෙන්වීමෙනි. එයින් පසුව කිසිම කෙනකුට එයට පිටුපෑමට නොහැකි වීම අප ලැබූ ආශීර්වාදයකි.

බණ්ඩාරනායක 1952 යූඇන්පීයෙන් ඉවත් වුණු වෙලාවේ එතුමා සමඟ සිටියේ බොහොම ටික දෙනයි. එහි මූලිකත්වය ගත්තෙක් තමයි ගෝඨාභය රාජපක්ෂයන්ගේ පියා ඩී. ඒ. රාජපක්ෂයන්. ඒ නිර්භය ලේ උරුමය රාජපක්ෂවරුන්ට තිබීම මේ පෙරළියේ ජානමය ප්‍රවේශය ලෙස හඳුන්වා දිය හැකිය.

ඊළඟ අවස්ථාව ලෙස නම් කළ හැක්කේ 56 පෙරළියයි. යූඇන්පීයේ විජාතිකකරණයට එරෙහිව බණ්ඩාරනායක 56 කළ පෙරළියත් මේ වැනිම අවස්ථාවකි. මැතිනියත් ඒ මාර්ගයේම ගමන් කරමින් විජාතිකත්වයට එරෙහිව ක්‍රියා කළේය.

මහින්ද රාජපක්ෂයන්ට මේ රටේ ත්‍රස්තවාදය නැති කරන්න විශාල වරමක් දුන්නේ මේ රට බේරා ගන්නයි. මේවරත් සිදුවූයේ එයමයි. ජාතිය අන්තරාවට ලක්වන විට මා කලින් සඳහන් කළ පරිද්දෙන් අපට ඉෂ්ට දේවතාවන් වැනි පුද්ගලයන් බිහිවීම අපේ ජාතියේ පිනට සිද්ධ වන්නකි. ජාතිය බේරා ගැනීම පිණිස කෙසේ හෝ පුද්ගලයෙක් රට ජාතිය වෙනුවෙන් බිහිවීම වාසනාවකි.

පසුගිය දශක ගණනාවක් තිස්සේ ජාති හිතෛශී ජනතාව විසින් ගෙන ගිය ප්‍රබල සටනේ ප්‍රතිඵලයක් ලෙසත් මෙය හැඳින්විය හැකියි. මෙවර බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් සරත් වීරසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල තිදෙනාම තමන්ගේ ජාතිකත්ව පදනම මත මනාප ලබා ගත් අයයි. ඒ විතරක් නොවෙයි ගෙවිඳු කුමාරතුංගගේ යුතුකම සංවිධානය වගේ ඒවා දේශපාලන පක්ෂ නොවුණත් මේ ජයග්‍රහණය වටා ඒකරාශී වෙන්නේ ජාතිකත්වය මත පදනම්වයි. විජාතික බලවේග විසින් ජාතිකත්වය මිනිසුන්ගේ මනසින් ඈත් කරන්නට උත්සාහ ගත්තත් එය පහසු නොවන බවට මේ කරුණු උදාහරණයි.

ගතවූ වසරක කාලය ඇතුළත ගෝඨාභය රාජපක්ෂයන් මෙය මැනවින් වටහා ගෙන කටයුතු කළ බව පෙනේ. එතුමා ජාතික බලවේගවලට කන්දෙන බව පැහැදිලියි. 20 වන සංශෝධනය ගෙන ඒමේදී දැක්වූ නම්‍යශීලී බව ඊට මනා උදාහරණයකි. අප දැක්වූ අදහස්වලට එතුමා ඉතාම හොඳින් කන්දීම වැදගත් ප්‍රවණාවකි. ඒ වගේම ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා කිසිම විදියකින් රට පාවා දෙන ගිවිසුමකට අත්සන් නොකරන බව. එය අපට ඉතාමත් වැදගත් කරුණකි. ස්වාධීනත්වයට හා නොබැඳි බවට අප ඉතාමත් ගරු කළ යුතුයි.

ඊළඟ වැදගත් කාරණය වන්නේ දේශීය ආර්ථිකයක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දරන ආස්ථානයයි.

ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට හා දේශීය කර්මාන්තකරුවන් නඟා සිටුවීමට එතුමා දීර්ඝකාලීන සැලැස්මකට අනුව කටයුතු කරන බව සනාථ වේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට බොහෝ සහන සැලසීමත්, පොලී අනුපාත අඩුකිරීමත් දීර්ඝකාලීන ආයෝජන සේ අපට ගත හැකියි. ජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට දරන වෙහෙස අප අගය කළ යුතුයි.

කෘෂි ආර්ථිකයක් ගොඩනැඟීමට වන මේ බලවේගය ඉතාමත් වටී. බණ්ඩාරනායක මැතිනිය ගත් මඟ වර්ධනය කිරීමයි ජාතික ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අප ප්‍රවේශයක් ලෙස ගත යුතු වන්නේ. එදා මැතිනිය ඒ ක්‍රියාමාර්ග ගනිද්දි එක අන්තවලට ගිය නිසා එය සාර්ථක නොවුණමුත් එහි පදනම ඉදිරියට ගෙන යෑමයි ගෝඨාභය රාජපක්ෂයන් කළ යුතු වන්නේ.

‘යහපාලන‘ ආණ්ඩුව ඇති වුණේ විජාතික බලවේග කළ විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසයි. එය මුළුමනින්ම වෙනස් කිරීමේ අවශ්‍යතාව මේ ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝගයයි.

13 වැනි සංශෝධනය ආව වෙලාවෙ ඉන්දියාව තමන්ගේ ආධිපත්‍ය අපේ රටේ ඇති කරගන්න උත්සාහ කරන ලදී. ඒ දවස්වල අපට අන්තර්ජාතික ප්‍රජාව ඇතුළත යාළු මිත්‍රාදීන් සිටියේ නැත. ජේ. ආර් ජයවර්ධන 13 වැනි සංශෝධනය ආව වෙලාවෙ කිව්වේ WE HAVE NO FRIENDS කියලා. ජේ. ආර් හිතුවෙ ඇමරිකාව ඔහුට උදවු කරාවි කියලයි. ඔහු දැනන් හිටියේ නෑ ඇමරිකාවත් ඒ කුමන්ත්‍රණයේ කොටස් කාරයෙක් කියලා. 13 වැනි සංශෝධනය අත්සන් කළ වෙලාවේ මුලින්ම සුබ පැතුවේ ඇමරිකන් තානාපති විසිනි. ඔවුන් අනාගතය ගැන කල්පනා කර බැලීමෙන් අනතුරුවයි එසේ කළේ.

අපට එදා මිතුරු රටවල් තිබුණේ නැත. නමුත් අද වන විට අපට ප්‍රබල මිතුරු රාජ්‍යයක් තිබේ. ඒ චීන රාජ්‍යයයි.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ චීනයට අප යටත් කර ගැනීමට අවශ්‍යතාවක් නැති වීමයි. චීනය අපේ ස්වෛරීභාවයට ගැටලු ඇති කිරීමට ක්‍රියා නොකිරීම අපේ වාසියට යොදා ගැනීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇත.

වෙළෙඳ ගනුදෙනු ඔස්සේ රට දියුණු කිරීමට ඔවුන්ගේ සහය ලබා ගැනීම වැදගත්ය. අප ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගැනීමට චීනයට වුණත් අවශ්‍ය නැති බවයි මගේ හැඟීම. ගෝඨාභය රාජපක්ෂයන් වචනයෙන් වගේම ක්‍රියාවෙනුත් ඔප්පු කළා අප නොබැඳි ජාතියක් බව. එය ඉතා අදීන ක්‍රියාවක් වශයෙන් අගය කළ යුතුයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ ‘ඔබලා චීනයේ ණය උගුලට අහුවෙලා‘ ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පිළිතුරේ සඳහන් කළේ ‘නෑ අප ණය උගුලට අසු වී නෑ; අප චීනය සමඟ කරන්නෙ ගනුදෙනුවක් ‘ ලෙසය. එවැනි නොබැඳි ගෞරවනීය ප්‍රතිපත්තියක් ගෝඨාභය රාජපක්ෂයන් රාජ්‍ය නායකයා ලෙස දැරීම ඉතාමත් වැදගත්ය. අනික අප කල්පනා කළ යුතුයි සහ අවධානයට ගත යුතුයි; අප කුඩා රටක් බව.

අපේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව රැක ගැනීම අත්‍යවශ්‍යයි. අප දරදඬු විදියට, අනම්‍ය විදියට නොවෙයි; බොහොම සූක්ෂ්ම විදියට අනෙක් රටවල් හා සබඳතාව ගොඩනඟා ගත යුතුයි වගේම ඒවායේ බලපෑම්වලින් ආරක්ෂා විය යුතුයි.

අන්තර්ජාතික සබඳතා රටට හිතකර විදියට පවත්වා ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. අනෙක් රටවල් හා කරන ගනුදෙනුව ගෝඨාභය රාජපක්ෂයන් ස්වාධීනව ප්‍රතිපත්තියක් දරමින් නඩත්තු කිරීම ඉතාම වැදගත්ය. අපි හැඟීම්බරව විවිධ හේතු නිසා යම් යම් ප්‍රකාශ කළත් අපට වෙනම රාජ්‍යයක් සේ පැවතීම පහසු කටයුත්තක් නොවෙයි.

ලංකාව ඉතා කුඩා රටක්; අපි කොහොමද අපේ පැවැත්ම ආරක්ෂා කර ගන්නේ යන කාරණය හැඟීම්බර නොවී සිතිය යුතුයි; ඒ වගේම අවධානයට ගත යුතුයි. අනෙක් කාරණය මේක අපට අලුත් දෙයක් නොවෙයි. එදා ඉදන් අපේ රජවරු මේ ක්‍රමය කාලයක් තිස්සේ කිසිදු ගැටලුවකින් තොරව පවත්වා ගෙන එන ලදී. චෝලයන් එනකොට අපි පාණ්ඩ්‍යයන් සමඟ එකතු වුණා; වෙන වෙන ආක්‍රමණ එද්දිත් එහෙමයි.

කුඩා රටක් වශයෙන් අන්තර්ජාතික වශයෙන් අපේ පැවැත්ම අප තහවුරු කර ගත්තේ සූක්ෂ්මව ක්‍රියා කිරීමෙනුයි. ඒක අපට අලුත් දෙයක් නොවෙයි.

කුඩා ජාතියක් වශයෙන් අපේ පැවැත්ම ගැන අප සිතිය යුත්තේ අනෙක් බලවත් ජාතීන් සිතන අයුරින් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂයන් මේ තත්ත්වය ඉතාමත් බුද්ධිමත්ව හා සවිඥානිකව සමබර කරන බවට මේ වසරක කාල පරිච්ඡේදය නිදසුනක් සේ ගත හැකිය.

සිංහල ජාතියේ පැවැත්ම සඳහා ගෝඨාභය රාජපක්ෂයන් හැරෙන්නට වෙන විකල්පයක් නැති බව අප වටහා ගත යුතුයි. අනෙක එතුමාට පවුලෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් කරුණකි. පවුල් බලය ස්වාර්ථය සඳහා යොදා නොගෙන සිය ජනතාවගේ පරාර්ථය වෙනුවෙන් යොදා ගන්නේ කෙලෙසද යන්න නිදර්ශන සහිතව පෙන්වූ සහෝදරයන් තිදෙනෙක් එකතු වීම මට දැනෙන්නේ විශාල ශක්තියක් ලෙසයි. ඉන්දියාවේ නේරු පවුල ගත්තත් එලෙසයි.

ආත්මාර්ථය නොව පරාර්ථය සඳහා යොදා ගනිද්දී එය විශාල ශක්තියකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ට යුද්ධය පරාජය කිරීමට හැකි වූයේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන්ගේ සේනා සංවිධාන ශක්තිය හා එක අරමුණකට එකතු කිරීමේ, ක්‍රියාත්මක වීමේ හැකියාව නිසයි.

ගෝඨාභය රාජපක්ෂයන් වටා උගත් බුද්ධිමත් ප්‍රජාව එක්රැස්වීම තවත් වැදගත් කාරණයකි.

ඒ අය තමන්ගේ වගකීමක් සේ සලකා මේ ජයග්‍රහණය ලබා ගැනීමේ පිටුපස ඉතා ශක්තිමත්ව රැඳී සිටීම වැදගත්ය. රටක බුද්ධිමත් ප්‍රජාව නිකරුණේ අරමුණක් නැතිව එක් කරුණක් නිෂ්ඨාවට පත් කිරීම වෙනුවෙන් ඒකාරාශී නොවේ. රටක බුද්ධිමත් ප්‍රජාව ඉතාමත් තීරණාත්මක ලෙස රජයට බලපෑම් කිරීම රටක ආයෝජන ක්‍රියාවලියේ මූලික ශක්තිමත් ආරම්භයකි.

ගෝලීයකරණය වැනි සංසිද්ධියක් සැලකීමේදී එහි ශක්තිමත් පුරුකක් වෙන්නට නම් ජාතිකත්වය මත පිහිටීම තරම් වෙන කිසිම උපාය මාර්ගයක් ශක්තිමත් නොවන බව මගේ හැඟීමයි. ගෝලීයකරණය කියන්නේ ධනවාදයේ අවසන් අවස්ථාවයි.

බටහිර ලෝකය පවා අද වන විට යම් කලකිරීමකට ලක් වී ඇති සංකල්පයක් හා ක්‍රියාමාර්ගයක් විදියට ගෝලීයකරණය හැඳින්විය හැකිය. ඊට කලින් විකල්පයක් ලෙස ක්‍රියාත්මක වූයේ මාක්ස්වාදයයි. මාක්ස්වාදය අද පණ අදිමින් තිබෙන සංකල්පයකි.

ඒ නිසා ගෝලීයකරණයට මේ වන විට විකල්පයක් නැත. තිබෙන එකම විකල්පය වන්නේ ජාතිකත්වය මුල්කරගත් සභ්‍යත්ව රාජ්‍ය සංකල්පයයි. මම බොහෝ කාලයක් ජිවත් වූ අයෙක් නිසාත්; මේ වැනි දේ බොහෝ විඳ ඇති නිසාත් මේ සඳහා ඇති එකම විකල්පය සභ්‍යත්ව සංකල්පය යැයි මට විශාල විශ්වාසයක් තිබේ. චීනය ගැන කෙනෙක් මෑතකදී පළ කළ මතයක් මා කියෙව්වා, චීනය ගෝලීයකරණය ප්‍රතික්ෂේප කරමින් ධනවාදී නැඹුරුවකට ලක් වෙමින් තිබෙන බව එහි සඳහන් වී තිබිණි. මා දන්නා තරමින් එය විශාල වැරදි අර්ථකථනයකි.

මේ තත්ත්වය ඇත්ත වශයෙන්ම ධනවාදයටත් නැති, මාක්ස්වාදයටත් නැති තත්ත්වයකි. චීනය කියන්නේ මුළුමනින්ම සභ්‍යත්වය මත ගොඩනඟන ලද රාජ්‍යයකි. චීනය ගැන වටිනා කරුණු රැගත් පොතක් තියෙනවා; WHEN CHINA RULES THE WORLD යනුවෙන් ජැක් මාටින් ජැක් කියන ලේඛකයා විසින් ලියන ලදී. ඔහු ඒ කෘතියේ සඳහන් කරනවා, සම්පූර්ණයෙන්ම චීනය කියන්නේ චීන සභ්‍යත්වය මත ගොඩනැගුණු රාජ්‍යයක් බව.

උදාහරණයක් ලෙස ඉන්දියාව ගන්න. ඉන්දියාවත් හින්දු සභ්‍යත්වය මත ගොඩනැගුණු රාජ්‍යයකි. මේ අනුව පෙනෙන්නේ කිසිම රටකට වෙන විකල්පයක් නැති බවයි. ගෝලීයකරණයට ඇති එකම විකල්පය, මාක්ස්වාදය නොවෙයි. ගෝලීයකරණය ප්‍රතික්ෂේප කරනවා නම් අපට තිබෙන්නේ අපේ සභ්‍යත්වය මත ගොඩනැගුණු දර්ශනයකින් යුතු දේශපාලන ප්‍රතිපත්තියක්; ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනඟා ගැනීමයි. මෙය අප දැන්වත් වටහා ගත යුතුයි.

අපට සමාජවාදය වුවමනා නම් අපේ සභ්‍යත්ව රාජ්‍ය වගේ එකක් ගොඩනැඟිය යුතුයි. මොකද බුදුදහම අනුව ගොඩනැගුණු අපේ සභ්‍යත්වයේ අපට තිබෙනවා අපට අවශ්‍ය සමාජවාදය. ඒ නිසා සමාජවාදය පිටින් ගෙනැල්ලා ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවක් අපට නැත.

‘අපට මොකටද මාක්ස්වාදය, අපේ බුද්ධාගමේ මේ ඔක්කොම තියෙනවානේ‘ ලෙස යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ වරක් ප්‍රකාශ කරන ලදී. හැබැයි ඉන්දියාවට එහෙම නැත.

ඉන්දියාවේ හින්දූත්වය උඩ සමාජවාදී ප්‍රවේශයකට වඩා ඇත්තේ ධනවාදී ප්‍රවේශයකි. සියයට හැත්තෑවකින් දරිද්‍රතාව අඩු කරන ලද චීනයට සමාජවාදයක අවශ්‍යතාවක් නැති අතර එහි තිබෙන්නේ එරට සභ්‍යත්වය මත පදනම් වූ ආර්ථිකයකි.

ආසියාතික රටවල ඇත්තේ සභ්‍යත්ව රාජ්‍යයයි. විජාතිකයන්ට යටත් වෙනකම් ලංකාව, බුරුමය, කාම්බෝජය, තායිවානය, සියම මේ ඔක්කොම රටවල් වල තිබුණේ මේ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පයයි.

තායි බුද්ධිමතෙක් ලියූ බොහොම වටිනා නීරීක්ෂණයක් සහිත ලිපියක් මා කියවා තිබේ. ඔහු මතු කරන්නේ මේ රටවල්වලින් විජාතික ආණ්ඩු ඉවත්ව යන විට මේ රටවලට තමන්ගේ පාරම්පරික පාලනය වෙත යෑමට අවස්ථාව තිබුණාය යන්නයි.

මේ වගේ රටවල් තුනක් දකුණු ආසියාවේ තිබුණු බවත් ඒ බුරුමය , තායිවානය හා ලංකාව බව ඔහු සඳහන් කරයි. මේ රටවල් තුනටම ඒ ශක්තිය තිබුණු බව ඔහු සඳහන් කර තිබුණි.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ට මේ අවස්ථාව සඳහා මාර්ගය පෑදුණත් ඔහුට එය ඉටු කරගත නොහැකි වූ බවත් මේ ලිපියේ සඳහන් ව තිබුණි. ඒ නිසා මේ ලංකාවට ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීම සඳහා ලැබුණු ස්වර්ණමය දායාදයයි.

ගෝඨාභය රාජපක්ෂයන්ගේ විජයග්‍රහණය පිටුපස ඇත්තේ ඒ ක්‍රියාවින්තයේ බරයි. ඔහු එය ඉටු කරන බවට මේ ගතවුණු අවුරුද්ද ප්‍රමාණවත් ලෙස සාක්ෂි සපයනු ලබන බැව් මගේ විශ්වාසයයි.

Comments