
මාතලේ හිඹිලියාකඩට ජලය - මාර්ග හා අධ්‍යාපන පහසුකම්
හෙට්ටිපොළ නගරයේ ඉඩම් ගැටලුවට විසඳුම්
හල්දුම්මුල්ලේ අක්කර සියයට නව සංවර්ධන ව්‍යාපෘති 51 ක්
අලි මිනිස් ගැටුම විසඳීමේ මඟක්
හල්දුම්මුල්ලේ කුමාරතැන්න විද්‍යාලයට අලුත් පණක්
මෙතෙක් අපේ රටේ දුප්පත් ග්‍රාමීය ජනතාවගේ ජන දුක පිළිබඳව ඒ ගම්වලට ගොස් සොයා බැලූ ජනාධිපතිවරු ඉතා විරලයි. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගම සමඟ පිළිසඳර වැඩසටහන යටතේ පසුගිය වසර ඇතුළත රටේ විවිධ දුෂ්කර ගම්මාන කිහිපයකට ගොස් ඒ ජනතාවගේ ජනදුක බලා ඒ ගැටලුවලට විසඳුම් එවෙලේම ලබාදෙන්නට පියවර ගත්තේ ය.
පසුගිය අගෝස්තු 29 වැනිදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ ප්‍රදේශයේ පවතින මාර්ග හා සාමාජීය ගැටලු විමර්ශනය කොට පරිසරයට හානි නොවන අයුරින් නෙළුව - ලංකාගම මාර්ගය දින 90 කින් නිම කිරීමට උපදෙස් දුන්නේය.
යුද හමුදා ඉංජිනේරු බළකාය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ඇතිව සැප්තැම්බර් 02 වැනිදා ලංකාගම නෙළුව මාර්ග ඉදිකිරීම් ආරම්භ කළේය. නෙළුව - වාරුකන්දෙනිය සිට ලංකාගම දක්වා කි.මී. 6.5 ක කොටසක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ.
ඉන් කි.මී. 01 ක කොන්ක්‍රීට් ඇතිරීමට නියමිතය. ඉතිරි දුර ප්‍රමාණය වන කි.මී. 5.5 ක ඉදිකිරීම් අවසන්ව ඇත. මාර්ගයේ අලුතින් ඉදිකෙරුණු පාලම් සහ බෝක්කු සංඛ්‍යාව 34 කි. මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගයේ කාපට් ඇතිරීම ආරම්භ කර ඇති අතර, ඉන් කි.මී. 4 ක දුරක් කාපට් අතුරා අවසන් කර තිබේ.
දෙවන අදියර යටතේ ලංකාගම - දොඹගොඩ සිට දෙනියාය මාර්ගය ඉදිකරනු ලැබේ. එහි ඉදිකිරීම් ද දැන් ආරම්භ කර තිබේ.
මුළු දුර ප්‍රමාණය කි.මී. 5.4 කි. කි.මී. 1.8 ක ඉදිකිරීම් දැන් නිම කර තිබෙන අතර පාලම් සහ බෝක්කු 52 න් 14 ක වැඩ අවසන්ව ඇත. මාර්ගය ඉදිකිරීමේ දී පරිසර හිතවාදී ක්‍රම අනුගමනය කෙරේ. ගල් බෝර පිපිරවීම් කරන්නේ නැත.
මාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනයට හා අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටලු පිළිබඳව ඔවුන් සමඟ කථා බහ කොට ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර විසඳුම් දීම චාරිකාවේ අරමුණ විය.
‘ගම සමඟ පිළිසඳර’ දෙවන වැඩසටහනට සහභාගිවෙමින් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැඹුරු ඔය, ලේඩියන්ගල, අලියාවල, වෙහෙරගල, හිඹිලියාකඩ සහ අවට ප්‍රදේශ ගණනාවක ජනතාව හමුවීමට ද ජනපති කටයුතු කළේය.
ජනතාව ඉඩම් අයිතිය, පානීය සහ වගා ජලය, කිරි ගොවීන්, වකුගඩු රෝගය ආශ්රිත සහ තවත් ගැටලු රාශියක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.
දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති හෙට්ටිපොළ නගරයේ ඉඩම් ඔප්පු ගැටලුව නිරාකරණය ආරම්භ කර තිබේ. හිඹිලියාකඩ ගම්වැසියන් භුක්ති විඳින ඉඩම් සඳහා ඔප්පු 110 ක් සකස් කොට ප්රදානය කිරීමට සැලසුම් කර ඇත. හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට නව පන්ති කාමර ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසයක් ඉදිකිරීම සහ ක්‍රීඩා පිටිය සැකසීම යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුවී ඇත.
පිරිසිදු පානීය ජලය ලබාදීමට හිඹිලියාකඩ නාගවනාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු යන්ත්‍රයක් (ආර්.ඕ. ප්ලාන්ට්) සවිකිරීම සිදුවී ඇත.
කුඹුරු අක්කර 2000 කට පමණ ජලය සැපයෙන විල්ගමුව කොට්ඨාසයේ වත්තේගෙදර සහ දොඩම්ගොල්ල වැව ඉදිකිරීම් කරමින් සිටී.
ජල මූලාශ්‍ර හඳුනාගනිමින්, වගා ළිං 10 ක් ඉදිකිරීම ආරම්භ කර ඇත.
වෙහෙරගල සිට හෙට්ටිපොළ නගරය දක්වා කි.මී. 2.8 ක් සහ හිඹිලියාකඩ වැව් තාවුල්ලේ සිට හිඹිලියාකඩ ග්‍රාමයට ඇති මාර්ගවල සංවර්ධන කටයුතු සැලසුම් කෙරෙමින් පවතී. හෙට්ටිපොළ - හිඹිලියාකඩ මාර්ගයේ ධාවනයට බස් රථයක් එක් කර තිබේ.
‘හල්දුම්මුල්ල’ බදුල්ල දිස්ත්‍රික්කයේ 48000 ක් ජීවත්වෙන දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි.
වෙලන්විට සහ අක්කරසියය එහි දුෂ්කරම ගම්මාන ලෙස සැලකේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගම සමඟ පිළිසඳර තෙවැනි වැඩසටහන වෙනුවෙන් හල්දුම්මුල්ල කුමාරතැන්න ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී ප්‍රදේශයේ ජන දුක ජනතා ප්‍රශ්න සොයා බැලුවේය. එහි මාර්ග සංවර්ධනයට ජනපති අතින් කටයුතු යෙදිණි. ඒ අනුව අක්කරසියය සිට වෙලන්විට දක්වා කි.මී. 12 ක් දිගැති මාර්ගය දැන් කොන්ක්‍රිට් අතුරා සකස් කරමින් පවතී.
අක්කර සියය සිට වෙලන්විට දක්වා කලින් තිබූ අබලන් පාරේ පැය 1 1/2ක් ගත වුව ද අලුත් මාර්ගයේ ඒ දුර ප්‍රමාණය යාමට ගත වන්නේ විනාඩි 20 ක් පමණි. මාර්ගය ඉදිකර අවසන් වූ වහාම බස් රථයක් ධාවනයට ලංගම සූදානමින් සිටී.
මේ ප්‍රදේශයේ සියලු නිවාසවලට ජලය විදුලිය හා මාර්ග ආදියත් හා පාසල් දරුවන්ට ගුරු අවශ්‍යතා තෙමසක් ඇතුළත ලබාදෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
ඒ අනුව ඔක්තෝබර් මුල සතියේ සිටම රාජ්‍ය ආයතන 19 ක් විසින් අලුත් සංවර්ධන ව්‍යාපෘති 51 ක් ක්‍රියාත්මක කරමින් කුමාරතැන්න වෙලන්විට හා අක්කරසියය ජනතාවට ප්රතිලාභ රැසක් ලබාදුන්නේය.
ඊට අමතරව ගම්පහ - වෙලන්විට - කැලිපනාවල, හාල්කන්න අක්කරසියය නක්කටුඅරාව බෙරගල වැල්ලවාය මාර්ගවල ඉදිකිරීම් ද දැන් අරඹා තිබේ.
මේ වන විට වෙලන්විට කුමාරතැන්න විද්‍යාලයට පන්ති කාමර හතරක ගොඩනැගිල්ලක් ඉදිකරයි. සෙරගුණේ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර ඇත.
ප්‍රදේශයේ සියලු විදුහල්වල ගුරු හිඟය මැඬ පවත්වා අඩුපාඩු වූ විදුහල්පතිවරු ද පත්කර ඇත.
හල්දුම්මුල්ලේ කොටබෙගස්තැන්න ක්‍රීඩා පිටිය ඉදිකර ජනතාවට පසුගියදා බාරදුන්නේ ද ජනපතිගේ උපදෙස් අනුවය.
ජනාධිපතිතුමා ප්‍රදේශයේ කළ චාරිකාවේදී වන අලි ප්‍රහාරයකින් විනාශයට පත් කුමාරතැන්න සරත් රණතුංගගේ නිවස ද නිරීක්ෂණය කළේය.
පසුව ජනපති දුන් උපදෙස් අනුව කාමර 3 ක් සහිත අංගසම්පූර්ණ නිවසක් ඒ මහතාට ඉදිකර දී ඇත.
අබලන්ව පැවැති වෙලන්විට සහ කුමාරතැන්න විදුලි වැට අලුත්වැඩියා කර ඇත. පතහ සිට අයිස්පීල්ල දක්වා අලුත් විදුලි වැටක් ඉදිකරනු ලැබේ.
දිගු කාලයක සිට කිසිදු රජයක අවධානයට ලක් නොවූ හල්දුම්මුල්ල අක්කරසියයට වෙලන්විට කුමාරතැන්න ප්‍රදේශවල ජන දුක හා වන ගැටලු සමනය කිරීමට ජනපති ගත් පියවර පැසසුම් කටයුතුය.