පාර්ලිමේන්තුව, මෙවර අය වැය හා මාධ්‍ය තහනම | Page 3 | සිළුමිණ

පාර්ලිමේන්තුව, මෙවර අය වැය හා මාධ්‍ය තහනම

ජනපතිට අගමැතිට  බැසිල්ට සුවිශේෂී සතියක්
ජවිපෙ මන්ත්‍රිනියගෙන් කලාපෙ අයට ලොකු උදව්වක්

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා රජය සිදු කරගෙන යන ක්‍රියාන්විතයේ දැවැන්ත වැඩ කොටසක් අගමැති මහින්ද රාජපක්ෂ විසින් ද සිදු කරගෙන යයි. කොවිඩ් මර්දනය සඳහා එක්ව ඇති කාර්ය සාධක බළකායේ සාමාජිකයන් අතර නිරන්තරයෙන් දුරකතන සංවාද සිය ගණනක් දවසකට සිදු කෙරෙන අතර අගමැති මහින්ද රාජපක්ෂ මේ සඳහා සිය සහයෝගය ඍජුව ලබාදෙන්නේ ඔහු සතු අත්දැකීම් ද එක් කරමින්ය. අමාත්‍යාංශ මට්ටමින් සිදු කෙරෙන සාකච්ඡා සඳහා බොහෝ අඩු පිරිසක් සහභාගි වන අතර අරලියගහ මන්දිරයේදී ඉකුත් සතියේ සාකච්ඡා කිහිපයක් ම පැවැත්වූ අගමැතිවරයාට කාර්ය බහුල සතියක් විය. 

“අපේ හාමුදුරුවනේ මේවා පිං බිම්, අපේ මුතුන් මිත්තන් මේ භූමි රැක ගත්තේ දිවිහිමියෙන් කැප කිරීම් රාශියක් කරලා. විදේශික ආක්‍රමණ මෙන් ම නොයෙක් බාධක මැද්දේ මේ පූජා භූමි රැක ගන්න ඔවුන් කටයුතු කළා. මතු පරපුරට මේවා ආරක්ෂා කරදීම අපගේ වගකීමක්” යැයි අගමැතිවරයා පැවැසීය.

බෞද්ධ නායකයන් මෙන්ම නායක භික්ෂූන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන ගෞරව කරන මහින්ද රාජපක්ෂ මෙලෙස සිය හඬ අවදි කළේ අම්පාර පොතුවිල් ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික මුහුදු මහා විහාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්ය.

ඓතිහාසික මුහුදු මහා විහාරයට පැමිණි අගමැතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වී සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

“ඔබතුමා කවදත් ආගමට දහමට ලැදි බව අපි දන්නවා. මුස්ලිම් දෙමළ කියලා නෑ ඔබතුමා ඕනෑම ජාතියකට එක වගේ සලකන ජනතාවගේ හදවත සමඟ සමීපතම කෙනෙක්නේ. මේ රට ගොඩ නඟන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලබාදීම අපගේ පරම යුතුකමක් මෙහිදී වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ ප්‍රකාශ කළහ.

මුහුදු මහා විහාරය පූජා භූමියක් වෙයි

ඓතිහාසික මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමිය සහ නැගෙනහිර පළාතේ හඳුනානොගත් පුරාවිද්‍යා ප්‍රදේශ ආරක්ෂා කරදෙන ලෙස මුහුදු මහා විහාරයේ විහාරාධිපති නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක වරකාපොළ ඉන්දසිරි නාහිමියෝ මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලීමක් ද කළහ.

අක්කරේපත්තුව ශ්‍රී විජයාරාමාධිපති දේවගොඩ සෝරත හිමි, බෞද්ධයා නාළිකාවේ සභාපති බොරලන්දේ වජිරඥාන හිමි ඇතුළු මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කරමින් අගමැති මහින්දට ආශිර්වාද කළහ‍‍.

ඉන් අනතුරුව මුහුදු මහා විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව පැවැති සාකච්ඡාවට එක්වූ අගමැතිවරයා විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළේ ය.

මෙහිදී වැදගත් ‍තීරණ කිහිපයක්ම ගනු ලැබීය. විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර එය පූජාභූමියක් ලෙස නම් කිරීම, විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා අණුඛණ්ඩයක් පිහිටුවීම ඉන් කිහිපයකි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඇතුළු පිරිසක් එක්වූහ.

මෙවර අය වැය දෙකක්

මෙවර අය වැය ලේඛන දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදුවුණි. ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රථම අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ ගෙවී ගිය වර්ෂයේ සිදු කළ වියදම් වෙනුවෙන්ය. අනෙක් අය වැය ලේඛනය වැදගත්ම එකක් වන අතර එය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

මෙලෙස දෙවනුව ඉදිරිපත් කරන අයවැය ලේඛනය 2021 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරයි.

මේ අතර ඉකුත් බදාදා පක්ෂ නායකවරුන්ගේ රැස්වීම පැවැත්වුණි. ඒ පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීය. එහිදී ආණ්ඩු පක්ෂය යෝජනා කරනු ලැබුවේ අය වැය විවාදය දින 12 කට හෝ 15 වකට සීමා කිරීමටය. මේ සඳහා විපක්ෂය එකඟවූයේ නැත. මේ සම්බන්ධව ඔවුන් දිගින් දිගටම කරුණු කියන්නට පටන් ගත්තේ ය.

“මේක වැඩි කාලයක් විවාදයට ගන්න ඕන. ආණ්ඩුව අය වැයක් ඉදිරිපත් කරන්නේ වසර දෙකකට පසුවයි. මෙය රටක් විදියට මෙන් ම විපක්ෂය විදියට අපිට ඉතා වැදගත් අවස්ථාවක් යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු කීහ.

මේ තත්ත්වයෙන් පසු රජය සහ විපක්ෂයේ කණ්ඩායම් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු දින විසි එකක කාලයක් අයවැය විවාදය පැවැත්වීමටත් අවසන් ඡන්දය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමටත් තීරණයකට එලඹුණි.

මෙවර මාධ්‍යවලට විශේෂ සිද්ධියකට මුහුණ දීමට සිදුවෙයි. වෙනදා මෙන් ජනමාධ්‍යවේදීන්ට සිය රූපවාහිනි, පුවත්පත්වලට අයවැය පිළිබඳව වාර්තා කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයට යාමට නොහැකි වනු ඇත.

මෙවර අයවැය විවාදය සිජීවීලෙස නරඹා වාර්තා කිරීමට ජනමාධ්‍යයට ඉඩක් නැත. මාධ්‍යවේදීන්ට මෙම විවාදය වාර්තා කිරීමට හැකිවන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත සිටය. නැතහොත් තම කාර්යාල තුළට වී සිටිමින් ය.

රූපවාහිනිය ඔස්සේ සජීවීව අයවැය විවාදය විකාශනය කිරීමට පක්ෂ නායකයෝ එකඟතාවකට පැමිණි අතර මෙය රටේ පවතින කොරෝනා තත්ත්ව‍ෙයන් ආරක්ෂා වීම සඳහා ගනු ලැබූ තීන්දුවකි.

මෙම විවාදයෙන් පසුව සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහයට බොහෝ පිරිසක් සහභාගිවීම සාමාන්‍යයෙන් සිදු වුවත් මෙවර එය සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට පැවැත්වීමට ද තීරණය විය. ඒ අනුව සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයට සීමිත පිරිසකට පමණක් සහභාගි වීමට හැකි අතර එය පක්ෂ විපක්ෂ දෙකේම සමබර නියෝජනයක් වනු ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට පමණක් පැවැත්වෙන මෙවර පාර්ලිමේන්තු අයවැය රැස්වීම සඳහා සහභාගි කර ගනු ලබන්නේ ඒ ඒ දිනවලට නියමිත කථික මන්ත්‍රීවරුන් පමණකි. මුළු පාර්ලිමේන්තු සංකීර්ණයම විෂබීජ හරණය කිරීමට ද පියවර ගෙන තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය එසේත් නැත්නම් මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු ස්වාධීන කොමිසන් මෙන්ම තවත් මෙවැනි ආයතන රැසකට කාල සීමාව ඉක්ම යාමට දින කිහිපයක් පමණක් ඇති බැවින් මේවාට ඉදිරියේදී පත්කරන පිරිස් පුද්ගලයින් පිළිබඳව කාගෙත් අවධානය යොමු වී තිබේ.

විශේෂයෙන් ම ස්වාධීන කොමිසන් සභාවලට පත් කරන පුද්ගලයන් පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කර ඇත.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙකු ලෙස පත්වී ලබන 18 වැන­ිදාට වසරක් සපිරේ. වත්මන් ජනාධිපතිතුමා ඉකුත් වසරේ නොවැම්බර් 18 වැනිදා රුවන්වැලි මහා සෑය අබියසදී දිවුරුම් දෙනු ලැබුවේ පිරිත් සජ්ඣායනා මැද්දේය. ශ්‍රී ලංකා ඉතිහාසය තුළ ජනාධිපතිවරයකු මෙලෙස දිවුරුම් දුන්නේ ප්‍රථම අවස්ථාවටය.

ගෝඨාභය රාජප්කෂ මහතා ජනාධිපති ලෙස පත් වනවිට ශ්‍රී ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකයම වසංගතයකට මුහුණදී ලක්ෂ ගණනින් ජනතාව ඊට බිලි වෙමින් ජීවිත අහිමිව යමින් තිබේ. තවමත් මේ උවදුර ශ්‍රී ලංකාව ද වෙලා ගෙන ඇති අතර වත්මන් ජනපති ඉන් මිදීම සඳහා ගනු ලැබූ පියවර මුළුමහත් ලෝකය පුරාම පැසසුමට ලක්විය.

‍ගෝඨාභය රාජපක්ෂයන් වර්තමානයේ මේ රට පාලනය කරනු ලබන්නේ පරිනත දේශපාලනඥයන්ට එහා ගිය අත්දැකීම් ඇත්තෙකු වශයෙනි‍.

ජනපති වසරකට කළ වැඩ

ඔහු ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු මෙරට ඉතිහාසය තුළ ක්‍රියාත්මක වූ ප්‍රභූ ආරක්ෂක රථ පෙළපාළි සංස්කෘතියට තිත තැබුවේය. පදවිප්‍රාප්තිය වැඩ භාරගැනීමේ උත්සව ඉතාම චාම් අයුරින් උත්සව සැමරීමට ජනපති කටයුතු කළ අතර අනවශ්‍ය වියදම් රැසක්ම ඉවත් කර දැමුවේ ‍තම කාර්ය මණ්ඩලය ද අඩු කරමින් ය.

ඇමැතිවරුන්ගේ අනවශ්‍ය වියදම්, අමාත්‍යාංශවල අනවශ්‍ය වියදම් මෙන් ම රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් ගෝඨාභය පැමිණීමත් සමඟම නික්ම යනු ලැබීය.

දූෂිතව තිබූ රාජ්‍ය ආයතනවලට කඩා පැන එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සොයා බලා ජනතාවට අවශ්‍ය සේවය පමණක් ලබාදීමට පියවර ගනු ලැබීය‍. සිය හමුදා ජීවිතයේ ලද අත්දැකීම් මෙන්ම විදේශයන්හි ලද අත්දැකීම් මගින් මේ ර‍ට නව මාවතකට ගෙන ඒමට ජනාධිපති ගෝඨාභයට හැකිවූ අතර දැනට ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන කොරෝනා ව්‍යසනයෙන්ද මුළුමනින්ම රට බේරා ගැනීමේ හැකියාව ඔහුගේ නායකත්වයට හැකි බව මෙරට ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතී.

පොළොන්නරුවේ රාජ්‍ය කඨින පින්කම

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඩු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (08) වැනිදා පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද බිමේදී පැවැත්වුණි.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

කපු වගා කර, නූල් කටිමින් එම නූලෙන් වියූ කපු රෙදි භාවිතා කරමින් කඨින චීවරය මසා පඩු පොවා සාංඝික කිරීම පෙර රජ දවස සිදුවූ චාරිත්‍රයකි. මෙම උත්සවය සඳහා පැමිණි ගෝඨාභය රාජපක්ෂ සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගනු ලැබීය.

මෙහිදී දහවල් දානමය පුණ්‍යකර්මයෙන් අනතුරුව පඩු පෙවූ චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පෙරහරින් වැඩම කරනු ලැබීය.

නාමල් - බැසිල් අලුත් වැඩක

නාමල් රාජපක්ෂ සිය අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලට අමතරව කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා ද සිය දායකත්වය ලබාදීමට කටයුතු කරයි.

කොවිඩ් වසංගතය තුළ ක්‍රීඩකයන්ගේ එම දක්ෂතාවයන් රදවා ගැනීම සහ සෞඛ්‍ය ක්‍රමවේද මගින් ඔවුන් සිය දෛනික කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී නාමල් සිය අවධානය යොමු කර යාපනය ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය කර එම ක්‍රීඩකයන් සහ තරුණ ප්‍රජාව සමඟ කතාබහ කළේය.

මේ අතර රජය කොවිඩ් පාලනය කරන කාර්ය සිදු කරගෙන යන අතරේම තවත් කර්තව්‍යයක් ආරම්භ කළේය. මේ සඳහා මූලිකත්වය ඇමැති නාමල් සහ බැසිල් ‍භාරගනු ලැබීය. මේ මගින් කොවිඩ් අතරතුර ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා කළයුතු කඩිනම් පියවර ගැනීමට තීරණය කරනු ලැබීය

මෙම වැඩසටහන යටතේ කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් තිස් දෙදෙනෙකුගෙන් යුත් විශේෂ අනුකමිටු හතරක් පත් කර ගනු ලැබීය. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඒවායේ නිරීක්ෂණ චාරිකාවල නිරතවී එම දිස්ත්‍රික්කවල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඊට කඩිනම් පිළියම් යෙදීමට මේ කමිටුවලට හැකි වන්නේ ය.

සාමාජීය යටිතල, ජීවනෝපාය, ග්‍රාමීය යටිතල යන සංවර්ධන කමිටු මෙලෙස ක්‍රියාත්මක වනු ඇත.

මෙම කමිටුවල ප්‍රධානීන් ලෙස මහින්දානන්ද අලුත්ගමගේ, සී‍.බී. රත්නායක, ප්‍රසන්න රණතුංග යන ඇමැතිවරුන් පත්වී සිටිති.

මේ යටතේ ඉකුත් සඳුදා මාතලේ දිස්ත්‍රික් හෝටල් පාසලේ ශ්‍රවණාගාරයේදී ප්‍රථම සාකච්ඡා ආරම්භ කෙරිණි.

“අපි මුළු රටටම කියනවා හැම තැනම හැම දෙනාටම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා. කෝ මෙතැන මීටරයක දුර නැහැනේ සී.බී. කීවේය.

“ඒක නේන්නම් ඇමැතිතුමා යැයි පැවසූ අලුත්ගමගේ ඉතා ඉක්මනින් ක්‍රියාත්මකවී එහි සේවකයන් කිහිපදෙනකුම කැඳවා ආසන අතර මීටරයක දුර තබන්නට ක්‍රියා කළේ ය.

ප්‍රසන්න - ලන්සා ලොකු කතාවක

ඉන්පසු සාකච්ඡාව ආරම්භ වූ අතර මෙහි සිටි මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාට සිය විරෝධය පළ කිරීමට සී.බී. කටයුතු කළේ ය.

“කොවිඩ් පාලනය කරන්න සෞඛ්‍ය අංශ නිර්දේශයන් දුන්නාම ඒක ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒක නරක පූර්වාදර්ශයක්. මෙතන මීටරයක දුර නැති එක දැක්කම මිනිස්සු බණින්නේ අපිට. ඔබතුමාලාට නොවෙයි. ඒක නිසා මේ වගේ වැඩවලදී මේ පිළිබඳව මීට වඩා සැලකිලිමත් වෙන්න සී.බී. කීවේය.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා අය වැය යෝජනාවලිය ඉදිරිපත් කෙරිණි. ඒ 2020 සඳහා ය. පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තු ලොබිය සහ තවත් ඒ අවට ස්ථාන කිහිපයකම මැති ඇමැතිවරු කසු කුසු ගසනු දැකගත හැකි විය. පාර්ලිමේන්තු ලොබියේ එක් ස්ථානයක ආණ්ඩුවේ පෙරළිකාර කණ්ඩායම සිටියහ. ප්‍රසන්න, අලුත්ගමගේ, පියල් ඇතුළු තවත් කිහිපදෙනෙකුම ලොකු කතාබහකය.

“විපක්ෂය දැන් කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේනේ. පෞද්ගලික ආයතනයකින් ගෙන ආපු කොරෝනා පරීක්ෂණ උපකරණවල වගකීමක් රජයට දාන්නයි උත්සාහ කළේ‍.” ප්‍රසන්න කීවේය.

හෂිනි අමරසූරියගෙන් කලාපෙ අයට උදව්

“ඒ කතාව හරියට හරි ඇමැතිතුමා ඒ අය සුවඳ පැනින් නාපු අය වගේ තමයි කතා කරන්නේ. ලන්සා මහ හයියෙන් හිනාවෙමින් පැවසුවේය.

“මම නම් කියන්නේ විපක්ෂයේ චෝදනාවලට අපි උත්තර දෙන්න ඕන. නැත්නම් මිනිස්සු හිතනවා. උත්තර නොදෙන නිසා ඒවා ඇත්ත කියලා” ප්‍රසන්න කීවේය.

මමත් ඉන්නේ ඔය ස්ථාවරයේ. දේශපාලනය අතහැරලා කොරෝනාවලින් රට බේරාගන්න බලමු කියලයි විපක්ෂය මහලොකුවට කියන්නේ. හැබැයි කට ඇරියොත් ආණ්ඩුවට බොරු චෝදනා එල්ල කරනවා. පියල් කීවේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියක් ලීවාය.

“කටුනායක සහ වෙනත් ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවිකාවන් හිරවී සිටිනවා. ඔවුන්ට ඔවුන්ගේ බෝඩිමෙන් පිටතට යන්න විදියක් නැහැ. අත්‍යාවශ්‍ය ආහාරපාන ලබාගන්න විදියක් නැහැ. කරුණාකර ඒ සඳහා අවශ්‍ය පිළියම් යොදන්න” මන්ත්‍රීවරිය ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව ආයෝජන මණ්ඩලයෙන් මන්ත්‍රීවරියට පිළිතුරක් ලබාදී සඳහන් කර තිබුණේ ඒ සඳහා ඉතා ඉක්මනින් අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවය.

ඉකුත් සතියේ කොළඹට හිරවී සිටි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහනුවර බලා පිටත්ව ගියේය. ඒ ඔහුට හදිසියේ ම ලැබුණු පණිවිඩයක් සමඟිනි. මල්වතු පාර්ශ්වයේ යටිනුවර උප ප්‍රධාන සංඝනායක ඉලුක්කුඹුරේ පඤ්ඤාරතන නාහිමියන්ගේ අපවත්වීම සැලවීමත් සමඟිනි.

මේ අතර ඉදිරි දින කිහිපය තුළදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී බැසිල් රාජපක්ෂ ඇමැතිවරයකු ලෙස පත්වීම අයවැය විවාදය අතරතුර සිදු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් ඉකුත් සතියේ කියැවිණි.

කොරෝනා මඬින්න සජිත්ගෙන් ලොකු වැඩක් 

කොරෝනා නිසා පීඩාවට පත් ජනතාවගේ ගැටලු යොමු කිරීම සඳහා සමගි ජනබලවේගය විසින් ‍විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබීය. එම අදහස විපක්ෂනායක සජිත් වෙත ගෙන ආවේ හරීන්ය. රටපුරා විසිරී සිටින කොරෝනා උවදුර හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හරින් සැලසුම් කර තිබේ.

“හරින් ඉතාම හොඳ වැඩක් ඒක හොඳට කරමු” යැයි සජිත්ගේ පූර්ණ ආශිර්වාදය සහ සහය ඒ සඳහා ලැබුණි.

මේ සමඟම මනුෂ, මරික්කාර්, නලින් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මේ සඳහා එක්වූහ. මොවුන් විසින් හඳුන්වා දෙනු ලැබූ දුරකතන අංකවලට කෙළවරක් නොමැතිව දුරකතන ඇමැතුම් ගලාගෙන ආවේය.

“කෝල් සෙන්ටර් එකට එක දිගටම කෝල්ස් එනවා. මිනිස්සු ඉන්නේ පුදුම ප්‍රශ්න ගොඩක මේ වැඩේ පටන්ගන්න එක ලොකු පිනක්” හරින් සජිත්ට කීවේය.

“සියලුම ඇමැතුම් සටහන් කරවන්න. ඒ අයගේ ප්‍රශ්න ගැන හරියට බලන්න. ඒ වගේ ම අදාළ පාර්ශ්වයන්වල අවධානය යොමු කරවන්න. ඒ විතරක් නොවෙයි. අපි දන්නා කියන අය හරහා ඒ අයට සහනයක් වෙන වැඩපිළිවෙළක් හදමු.” සජිත් කීවේය.

“කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිෂ්පාදනය වෙලා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. ලංකාවේ යම් ප්‍රතිශතයකට ඒ එන්නත ලබාදීමට නියමිත බවත් කියනවා” නලීන් බණ්ඩාර පැවසීය.

“ඒවා දෙන්න ඕන නිසි සායනික ක්‍රියාවලියක් තුළින් විතරයි. අපගේ රටේ ජනතාව පරීක්ෂාගාර මීයන් බවට පත් කරන්න බෑ” සජිත් කීවේය.

“අනික නිසි ප්‍රමිතියකින් යුත් එන්නත් තෝරාගත් පිරිසකට පමණක් නොවෙයි. අවශ්‍යතා මත සියලු ආසාදිතයන්ට නොමිලේ ලබාදීම රජයේ වගකීමක්” සජිත් වැඩිදුරටත් කීවේය.

සමගි ජනබලවේගය සමඟ විවිධ පාර්ශ්වයන් එකතුවන අතර කළුතර නගරාධිපති අමීර් නසීර් මහතා ඇතුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 11 දෙනකු සජිත් සමඟ එකතුවීමට සිය කැමැත්ත ප්‍රකාශ කරනු ලැබීය.

එජාපය අලුත් වෙයි

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සකස් කිරීම ඇතුළු සැලසුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, රංගේ බණ්ඩාර, සදිප් සමරසිංහ, සාගල රත්නායක මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් ඉකුත් සතියේ මුණ ගැසිණි. ඒ කොළඹ පස්වන පටුමග පිහිටි රනිල් වික්‍රමසිංහගේ නිවසේදීය.

ඒ අනුව ඔවුන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම බ්‍රහස්පතින්දාට යොදාගෙන තිබුණි.

“සර් කොළඹට ආවොත් ආපසු යන්න දෙන්නේ නැහැ කියනවා‍. ප්‍රශ්නය බරපතළයි වගේ මොකද කරන්නේ” සදිප් සමරසිංහ කීවේය.

“මටත් කිහිපදෙනෙක්ම කතා කළා රනිල් කී‍වේය. මම අනිත් අයත් සමඟ සාකච්ඡා කරලා කියන්නම් වර්කින් කමිටි එක තියනවාද නැද්ද කියලා රනිල් කීවේය.

Comments