‘20 වඩා නිවැරදිව සැකසීමේ ක්‍රියාන්විතය ජනතා ජයග්‍රහණයක්’ | Page 2 | සිළුමිණ

‘20 වඩා නිවැරදිව සැකසීමේ ක්‍රියාන්විතය ජනතා ජයග්‍රහණයක්’

- ජනාධිපති තනතුරෙන් සොරාගත් විධායක බලය 20න් යළි ස්ථාපිත වුණා...
- 19යේ හොඳ දේ ආරක්ෂා කරන්න පුළුවන් වීම ගැන සතුටුයි...
- විස්සේ මුල් කෙටුම්පත ආණ්ඩුව පාර්ශ්වයෙන් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් නොවී නිර්මාණය වූවක්...
- එජාපය ඒ අයගේ කාලයේම MCC අත්සන් කරන්නයි හැදුවේ, ඒත් අපි නිසා බැරිවුණා
- අපි කළේ 20 දුර්වලතා පෙන්වීම මිස රජයට විරුද්ධ වීම නොවෙයි...

20 ඇයි ඕන?

1978 ව්‍යවස්ථාවෙන් අපි දන්නවා අතිශය ශක්තිමත් බලසම්පන්න ජනාධිපතිවරයෙක් බිහි කරලා තිබුණේ. ඒ බලතලවලට අනුව ඇමැති දූරයක් දරන්න, පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු ලෙස පත් කරන්න, වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න, මෙවැනි බලතල රැසක් තිබුණා.

නීතිපති, පොලිස්පති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම ඇතුළු උසස් නිලයන් පත් කිරීමේ බලය මෙන් ම තමන්ගේ අභිමතය මත මේ පත් කිරීම් සිදු කිරීමේ බලය තිබුණා.

ජේ‍.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස යන ජනාධිපතිවරුන්ගේ ඒ බලය අපි විවේචනය කර තිබෙනවා. 19 වැනි සංශෝධනයෙන් මේ බලතල සියල්ලම ජනාධිපතිවරයාගෙන් ඉවත් කර අගමැතිවරයා අතටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවටත් සොරා ගන්න එක තමයි සිදු කෙරුණේ.

19 වැනි සංශෝධනයට අනුව ගතහොත් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහයි. අවුරුදු හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ජනාධිපතිවරයාට කිසිම ඇමැති ධුරයක් දරන්න බැහැ. ජනාධිපති මෛත්‍රීපාල මහතා ආරක්ෂක, මහවැලි ඇමැති ධුර දැරුවාට ඔහුගෙන් පසුව පත්වෙන කිසිම ජනාධිපතිවරයකුට ඇමැතිකම් දරන්නට බැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු ලෙස පත් කිරීමේදී සහ ඉවත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අනුමැතිය ලබාගත යුතුයි.

මෙන්න මේ කරුණුවලින් ඉතාම පැහැදිලියි මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයාට 19 නිසා තීන්දු තීරණ ගන්න හැකියාවක් නොමැති බව බලයක් නොමැති බව. 19 ය මගින් රාජ්‍ය නායකයාගේ පාලන බලය අහිමි කරලයි තිබෙන්නේ.

මේ වගේ තවත් කරුණු ගණනාවක් තිබෙනවා. මෙන්න ‍මේ කරුණු නිසා තමයි අපිට 20 වැනි සංශෝධනය අවශ්‍ය වුණේ. 20 වැනි සං‍ශෝධනයෙන් අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයාගේ අභිමතයට තැනක් ලැබෙන ඒ වගේම ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර වඩා හොඳ බල තුලනයක් තිබෙන ව්‍යවස්ථාවක්. අපි දකින ආකාරයට 20 වැනි සංශෝධනය තුළ ජනාධිපතිවරයාට අවුරුදු දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ජනාධිපතිවරයාට ආරක්ෂක අංශය ඇතුළු කැමැති ඇමැති ධුරයක් දැරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඇමැතිවරු පත් කිරීම හෝ ඉවත් කිරීම එතුමාට අභිමතය අනුව සිදු කළ හැකියි. වසර දෙක හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැරි නිසා පාර්ලිමේන්තුවත් සමඟ එකතු වී ඒ සම්බන්ධව තීරණ ගැනීමේ හැකියාවක් ඇති බවයි අපගේ අදහස.

20 වැනි සංශෝධනයෙන් ඒකාධිපති පාලකයෙක් බිහිවනවා කියන චෝදනාව වර්තමාන රජයට එල්ල වෙලා තිබෙනවා. ඒ පිළිබඳව ඔබ‍ගේ අදහස?

ඒක එක චෝදනාවක් විතරයි. ඕනෑම අයෙකුට චෝදනා එල්ල කරන්න පුළුවන්.

1978 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට ඇති බලතල සහ 20 වැනි සංශෝධනයේදී ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල සම්බන්ධව කෙනෙකුට සංසන්දනය කරලා බලන්න පුළුවන්. එහි ඒ පිළිබඳව අපිට යම් සලකා බැලීමක් සිදු කරන්නට පුළුවන්. අපගේ අදහස නම් 77 ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී තිබූ බලතල මෙහිදී ඒ ආකාරයටම 20 වැනි සංශෝධනයෙන් ලබාදීලා නැහැ. අපි එය වරදක් හැටියට දකින්නේ නැහැ. අපි එය හොඳක් හැටියට තමයි දකින්නේ.

අපගේ අදහස අදාළ පාර්ශ්වයන්ට බල තුලනයක් ලබාදෙමින් ජනාධිපතිවරයාට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය 20 වැනි සංශෝධනයෙන් ලබාදී ඇති බවයි.

ඔබ ‘යුතුකම’ සංවිධානයේ සභාපතිවරයා. ඔබලා‍ මේ රජය බලයට ගේන්න ක්‍රියාකාරී වූ පිරිසක්. ඔබ සංවිධානය බලාපොරොත්තු වූ දේශපාලන වෙනස සිදුවෙලා තිබෙනවාද?

ඔව්. දේශපාලන ක්‍රියාකාරිත්වයේ පැහැදිලි වෙනසක් සිදු වෙමින් පවතිනවා. 2015 දී යහපාලන රජයේ ක්‍රියාවලිය අපි දකින්නේ විජාතික කුමන්ත්‍රණයක් ලෙසයි. මැතිවරණය සඳහා මෙරට ජනතාව සම්බන්ධ වුණාට එම ක්‍රියාවලිය වෙනත් දෙයක්.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජයම්පති මන්ත්‍රීවරයා, සුමන්දිරම් මන්ත්‍රීවරයා මොවුන් එකමුතුවෙන් සම්මත කරගන්න හදපු පෙඩරල් ව්‍යවස්ථාව මේ රටේ ජනයාට රාජ්‍යයක පිහිට නැතිවෙන සම්පූර්ණ අනාථ භූමියක් බවට පත් කිරීම විජාතික බලවේගවලට තමන්ගේ හමුදා කඳවුරු පවත්වාගෙන යාම සඳහා හැකිව ඇති බල උවමනාවන් සඳහා භාවිතා කළ හැකි භූමියක් බවට මේ රට පත් කිරීම සිදු කළා. මෙන්න මේ ක්‍රියාවලිය නවත්වා ගැනීමට 20 නිසා අද හැකිවෙලා තිබෙනවා. මෙය මව්බිම පැත්තෙන් අපි ලබාගත් විශාල ජයග්‍රහණයක්.

ඔබ එසේ කීවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරයා ඉකුත් සතියේ ලංකාවට M.C.C අස්සන් කරන්න ද පැමිණියේ?

නෑ. ඔහුගේ පැමිණීම තුළ එවැන්නක් සිදු වනවා කියලා තිබුණේ නෑ. අනෙක් කාරණය ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කර තිබෙනවා M.C.C ගිවිසුම අත්සන් නොකරන බව. එම රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයට පත් කරලා තිබුණා M.C.C අත්සන් කිරීම සම්බන්ධව අවසන් තීරණය ශ්‍රී ලංකාව සතු බව. නමුත් පසුගිය රජය තිබෙන අවස්ථාවේ සිදුවුණේ මෙවැනි ක්‍රියාවක් නොවෙයි.

M.C.C ගිවිසුම අත්සන් කරනවාද? නැද්ද? යන්න පිළිබඳව ප්‍රශ්න කරන විපක්ෂයේ නායකයින් මෙන් ම එවකට විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර වැනි අය M.C.C ගිවිසුම වෙනුවෙන් මොනතරම් පෙනී සිටියාද? ඔවුන් සැලසුම් කරලා තිබුණේ ඒ අයගේ කාලයේම ගිවිසුම අත්සන් තබලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවට අරගෙන අත්සන් කරනවා කියලා නොවෙයි. නමුත් අපි ඇතුළු පාර්ශ්වවල විරෝධය නිසා ඒවා බැරි වුණා.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පැමිණීම සම්බන්ධයෙන් නොයෙක් ප්‍රකාශ කරන පාඨලී චම්පික මහතාගෙන් අපි අහනවා ඔහු එදා මොනවද M.C.C ගිවිසුම වෙනුවෙන් කළ විරෝධතාව. ඔහු එසේ කළේ නැහැ. ඔහු කීවේ M.C.C ගිවිසුමෙන් මෙරටට කිසිම හානියක් වෙන්නේ නැහැ කියන එකයි. විපක්ෂය මේ සම්බන්ධව ප්‍රශ්න කරනවා නම් ඔවුන් පැහැදිලිව කිව යුතුයි මේ ගිවිසුම කලින් අත්සන් කරන්න ගියේ ඇයි කියන කාරණය. අපි මේ වෙනුවෙන් දැඩි විරෝධතාවයක් එදා ඉඳලම ගොඩ නැඟුවා. M.C.C ගිවිසුම මේ රටට හානි කර බව අපි ජනතාවට පැහැදිලි කළා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මේ රජය මේ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගය ගන්නා බව. මේ රජය තුළ යහපත් වෙනසක් සිදුව තිබෙනවා.

ජනතාවට අවශ්‍ය එදිනෙදා භාණ්ඩ හිඟයක් මේ රට තුළ තිබෙනවා. මේ සම්බන්ධව ජනතාව රජයට චෝදනා කරනවා නේද?

එම විවේචනය රජයට එල්ල කළාට අපගේ රජයේ ප්‍රතිපත්තිය අනුව අපගේ අවශ්‍යතාවයන් මෙරටදීම නිෂ්පාදනය කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා ක්‍රියාත්මක වූ ජනාධිපතිවරයා මේ වනවිට පිටරටින් ගෙන්වූ බොහෝ දේ නවත්වා තිබෙනවා. ඒවා මේ රට තුළ නිෂ්පාදනය කරමින් සිටිනවා. ජනතාව යම් අපහසුතාවයකට පත් වුවත් ඉදිරියේදී එසේ සිදු වන්නේ නැහැ.

මීට පෙර කහවලට හොඳ ඉල්ලුමක් තිබුණා නම් කහ ගොවින් ඒවා වගා කරනවා. නමුත් වර්තමානයේ ඒ සඳහා විශාල ඉල්ලීමක් පවතිනවා. දැන් මේ රට තුළ කහ වගා කරනවා.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම තුළ යෝජනා වූයේ දේශීය දේ පිළිබඳව විශ්වාසය තබන ජාතික ආර්ථිකයක් අපගේ ව්‍යාපාරිකයන්, නිෂ්පාදකයන් සහ දේශීය ගොවීන් මත පදනම් වූ ආර්ථිකයක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියන කාරණාව. අද මේ රජය එය සිදු කරමින් පවතිනවා.

කොරෝනා වසංගතයට මේ ලෝකයට ගොදුරු වනවිට එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් දේශීය ආර්ථිකය මත ජාතික ආර්ථිකයක් ගොඩ නගන රජයක් බිහි කිරීම අපගේ වාසනාවකි.

දේශීය වශයෙන් අපගේ නිෂ්පාදන මෙන්ම ගෙන්වන භාණ්ඩ අතර යම් සමතුලිතතාවයක් පවත්වාගෙන යා යුතුයි. එම සමතුලිතතාව නිවැරැදි ආකාරයට පවත්වාගෙන යාම අභියෝගය තමයි අද අපගේ රජය මුහුණපාලා තිබෙන්නේ. මෙය අද යම් ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. කොවිඩ් වසංගතය තුළ ඊට පෙර ඉඳන්ම පාස්කු ප්‍රහාරයේ පටන්ම මේ රටේ සංචාරක ව්‍යාපාරයේ කඩා වැටීමක් සිදු වුණා. 2015 ඉඳන්ම නිෂ්පාදන ක්‍රියාවලිය දිගින් දිගටම පිරිහෙමින් පැවතුණා. මේ තත්ත්වයක් තුළ තමයි අද අපිට මේ රට භාරගන්න සිදුවෙලා තිබුණේ. මේ නිසා මෙය අභියෝගාත්මක තත්ත්වයක්. කොරෝනා වසංගතය නිසා මෙය තවදුරටත් වැඩි වුණා. එවැනි අභියෝගාත්මක තත්ත්වයක් තුළ ජනතාව පුරුදුවෙලා සිටි ක්‍රමය වෙනස් කරන්නට යාම තවත් අභියෝගයක්. මේ සියලු කාරණාවලට මේ රජයට මුහුණ දෙන්න වෙනවා. ඒ මුහුණදීමේ ශක්තිය මේ රජයට තිබෙනවා. රටක් හැටියට, ජනතාවක් හැටියට ණය ගෙවමින්, විවෘත ආර්ථිකය තුළ තවදුරටත් ඉන්නවාද කියන එක රටක් ජාතියක් හැටියට තීන්දුවක් ගන්න වෙනවා.

20 වැනි සංශෝධනයත් සමඟ රජය ඇතුළේ අර්බුදයක්ලු. ඇත්තක් ද මේ?

අපි බලාපොරොත්තු වෙච්ච, මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේශපාලන වෙනසක් අද සිදුවෙමින් පවතිනවා. 20 තුළ හෝ වෙනත් හේතුවක් නිසා මේ ආණ්ඩුව තුළ අර්බුදයක් තිබෙනවා කියන කාරණය ගොඩනගන්නේ දේශපාලන වාසි මෙන් ම විපක්ෂයේ පිරිස්වල අදහසක් පමණයි. අභියෝග රැසක් මැද වර්තමාන රජය රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරමින් සිටින්නේ. ඒ වගේම ඇල්ලේ ගුණවංස, මුරුතෙට්ටුවේ ආනන්ද හිමිවරුන් මෙන් ම තවත් ජාතික සංවිධාන විසින් 20 වැනි සංශෝධනය සම්බන්ධ නොයෙක් විවේචන එල්ල වුණා. දැනට රජයේ සිටින මැති ඇමැතිවරුන් ද මෙහි යම් යම් කාරණා සම්බන්ධව තමන්ගේ විවේචන ඉදිරිපත් කළා‍. ඒ ප්‍රශ්න කිරීම් තුළ විවේචන තුළ තිබෙන්නේ 20 වැනි සංශෝධනය ප්‍රතික්ෂේප කිරීමක් හෝ 20 එපා කියන එක නොවෙයි. ඒ වගේ ම 20 වැනි සංශෝධනයට විරුද්ධ වීමක් නොවෙයි. ඔවුන්ගේ අරමුණ වෙලා තිබෙන්නේ 20 වැනි සංශෝධනය වඩාත් හොඳ කර ගැනීමේ, වඩාත් නිවැරැදි කර ගැනීමේ උත්සාහයක්. එය ඉතා හොඳ ප්‍රවණතාවයක් හැටියටයි මා දකින්නේ.

අප අපගේ ආණ්ඩුව තුළදීම එවැනි විරෝධතාවක් දැක්වීමක් සිදු කිරීමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලද ජයග්‍රහණයක් හැටියටයි මා දකින්නේ. ඒක නේද සැබෑ දේශපාලනය. එක මතයක පමණක් නොසිට සෑම දෙනාටම සවන් දීම ඉතා හොඳ කාරණාවක් හැටියට පෙන්වා දිය හැකියි.

20 පිළිබඳව ඔබට දැන් ගැටලුවක් නැද්ද?

ඇත්තටම අපගේ රටේ ජනයා ලබපු හොඳ ජයග්‍රහණයක් මේ රජය බලයට ගෙන ඒම. අපගේ ආණ්ඩුව හොඳයි, අපගේ ආණ්ඩුවේ තීන්දු තීරණ හොඳයි හැම එකටම ඔව් කියන්නේ නැතිව අපි එක මතයකම සිටින්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා 20 අඩුපාඩු පෙන්නලා 20 නිවැරැදි කර ගන්න උත්සහ කරා.

ජනාධිපතිවරයා සහ අපගේ රජය මේකට කන්දීලා ප්‍රධානම වගන්ති කිහිපයක් වෙනස් කරලා තිබෙනවා. අනෙක් අදහස්වලට අවස්ථාව ලබාදීලා තිබෙනවා. ජනතාවගේ අයිතීන් මේ ක්‍රියාවලිය තුළ උපරිම ලෙස ආරක්ෂා කිරීම වෙනුවෙන් අප පෙනී සිටියා. ඉදිරියේදීත් ඒ ආකාරයෙන්ම පෙනී සිටිනවා.

19 ය ඉවත් කරලා 20 ගෙන එන්න තමයි අපි ක්‍රියා කළේ. මෙය ඉවත් කිරීමේදී ජනයා ගේ අයිතීන් වෙනුවෙන් යම් ගැටලුවක් මතු වෙනවා නම් මේ වෙනුවෙන් ක්‍රියාකිරීම තමයි සිද්ධ වුණේ.

ඇමැතිකම්වල සීමාව, විවිධ අණපනත් සම්බන්ධව අධිකරණයට යාමට තිබෙන අයිතිය, රාජ්‍ය ආයතන සියල්ල සමාගම් පවා විගණකාධිපතිවරයාගේ පරීක්ෂාවට යටත් බව කියන කාරණා මේ රටට ආදරය කරන ජනතාවගේ බලවේගවල ඉල්ලීමට අනුව රජය මේ සම්බන්ධව ක්‍රියා කළා.

මේක නේද මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු ප්‍රජාතන්ත්‍රවාදය. මේක නේද සැබෑ දේශපාලනය තනි තීන්දු ගන්නේ නැතිව සාකච්ඡා කර සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසා තීන්දු තීරණ ගැනීම මම හිතන්නේ මෙය හොඳ ප්‍රවණතාවක්.

රජය බිහි කරන්න ක්‍රියාත්මක වූ බලවේග 20 වැනි සංශෝධනයේ දුර්වලතා පෙන්වා දීමක් සිදු කළා මිස, මේ රජයට විරුද්ධවීමක් සිදු වෙලා නැහැ. අනික් කාරණය රජය මේ සියලු දෙනාගේ අදහස්වලට සවන් දී ක්‍රියා කළා. ඒ වෙනුවෙන් ක්‍රියා කළ භික්ෂූන් වහන්සේ සහ එම බලවේගවලට අපි විශේෂයෙන් ම ස්තුතිවන්ත වෙන්න ඕන. රට සැබෑ නායකත්වයට ගෙන යාම මෙන්ම රජයට නිවැරැදි මාර්ගය පෙන්වීම හොඳ ප්‍රවණතාවක්. රජයටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. රජය මේ සම්බන්ධව නම්‍යශීලීව ක්‍රියා කිරීම සම්බන්ධ රටේ හඬට රජය අද සවන්දීලා තිබෙනවා. ජනතාවට එය පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා‍. මෙහි මට පෙන්වා දිය හැකි ගුණාත්මක දේ තමයි අලුත් ව්‍යවස්ථාව කියන කාරණයේදී සංවාදයක් බිහිවීම. අද ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රකාශයට පත්වෙලා තිබෙනවා. ලබන වසරේ නොවැම්බර් මාසයට පෙර එය ගෙන එනු ලබනවා. ඉදිරියේදී නව ව්‍යවස්ථාව සම්බන්ධව ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. අනික් පැත්තෙන් භික්ෂුන් වහන්සේගේ මැදිහත්වීම තුළ ර‍ෙට් ජනයාටත් විශාල බලාපොරොත්තුවක් ඇතිවෙලා තිබෙනවා රටට අවශ්‍ය ව්‍යවස්ථා සකස් කර ගැනීම සඳහා.

(ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නෙ)

Comments