රාජපක්ෂලාගේ ‘නොවැම්බර් විප්ලවය’ | Page 3 | සිළුමිණ

රාජපක්ෂලාගේ ‘නොවැම්බර් විප්ලවය’

නොවැම්බර් හෙවත් ඉල් මාසය මේ රටේ දේශපාලනයේ තීරණාත්මකම මාසයක් කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. මේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාරණාවලට දේශපාලන පවුල් කිහිපයක්ම යම් යම් කාලවලදී දායක වී තිබේ. සේනානායකවරුන්, බණ්ඩාරනායකවරුන්, රාජපක්ෂවරුන් රටේ දේශපාලනයේ තීරණාත්මක අවධි වෙනුවෙන් දායක වී ඇත. රටේ ඉදිරිය වෙනුවෙන් ඈත අතීතයේ සිටම රාජපක්ෂවරුන් රට වෙනුවෙන් සිදු කළ සුවිශේෂී කාර්යභාරයයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමඟ නොවැම්බර් මාසයේ ඇත්තේ අරුම පුදුම බැඳීමකි. රාජපක්ෂවරුන්ගෙන් විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙක් මේ රටට බිහිවෙන්නේ ද නොවැම්බර් මාසයේ වීම විශේෂත්වයකි.

මහින්ද රාජපක්ෂ, කොටි ත්‍රස්තවාදයෙන් මුළුමනින්ම රට බේරා ගත් නායකයා, රට එක්සේසත් කළ නායකයා මුල් වරට ජනාධිපති ධූරයට පත්වන ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වූයේ 2005 වසරේ නොවැම්බර් 17 වැනිදාය. නොවැම්බර් මාසය තවත් විශේෂත්වයක් ගනු ලබන්නේ මහින්ද රාජපක්ෂගේ උපන් දිනය ද නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීම නිසාය.

2005 වසරේ නොවැම්බර් 17 වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නොවැම්බර් 18 වැනිදා නිකුත් වී මහින්ද රාජපක්ෂ මේ රටේ පස්වැනි විධායක ජනාධිපතිධුරයට පත්වෙන විට බොහෝ දෙනෙකු පැවසුවේ මහින්ද රාජපක්ෂට මතක හිටින උපන් දින ත්‍යාගයක් රටේ පොදු මහජනතාව විසින් ලබා දී තිබෙන බවයි. මේ රටේ හත්වෙනි විධායක ජනාධිපතිධූරයට පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ගෝඨාභය, මහින්දගේ මල්ලි කෙනෙකු වන අතර ගෝඨාභය මේ රටේ 07 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වන්නේ 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන්ය.

නොවැම්බර් මාසය තවත් විශේෂත්වයක් මේ රටේ දේශපාලන ඉතිහාසයට මෙන්ම රාජපක්ෂවරුන්ට ඇති කරන්නේ 2016 නොවැම්බර් 01 වැනිදා මේ රටේ පමණක් නොව ඉතා කෙටි කාලයකදී දකුණු ආසියාවේම අවධානයට යොමු වූ දේශපාලන පක්ෂය බිහිකිරීම නිසාය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එය බිහි වන්නේ ද නොවැම්බර් මාසයේ ය. 2016 නොවැම්බර් 01 වැනිදා පිහිටවනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැංවීමට මුල්වන්නේ ද රාජපක්ෂ කෙනෙකි.

ඒ මහින්ද රාජපක්ෂගේ තවත් මල්ලි කෙනෙකු වන බැසිල් රෝහණ රාජපක්ෂයි. මීට වසර 04 කට පෙර නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ ලාබාලතම දේශපාලන පක්ෂයට පසුගිය නොවැම්බර් 01 වැනිදාට වසර 04 කි. ලාබාලයකු වූවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව හොඳ හයිකාරයකු බව මේ වසර 04 තුළදී ප්‍රායෝගිකවම ඔප්පු කර තිබීම තවත් සුවිශේෂි කරුණකි.

පොහොට්ටුව හෙවත් නෙළුම් මල් පොහොට්ටුව ඉදිරියේ කතිරය සළකුණු කරන ලද මේ රටේ අති බහුතරයක් පොදු මහජනතාව පොහොට්ටුවට ලබා දුන්නේ රට වෙනුවෙන් ලබාදිය යුතු ජයග්‍රහණ කිහිපයකි. 2018 පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්නේ එම පක්ෂයට වසර දෙකක් ගතවීමටත් පෙරවීම තවත් විශේෂත්වයකි.

පළාත් පාලන ආයතනවලින් අතිබහුතරයක් ලබාගෙන ඉතා කෙටි කාලයකදී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ විප්ලවීයම දේශපාලන පක්ෂය වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතිහාසගත වේ. 2018 පෙබරවාරි 10 පැවති පළාත් පාලන මැතිවරණයේ මුළු පළාත් පාලන ආයතන 340 න් 241 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

ඉන්පසුව සිදු වූ සියලුම දේශපාලන කාරණාවලට කේන්ද්‍රීය සාධකය වන්නේ එම පළාත් පාලන මැතිවරණයයි. මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් ඇතුළු රාජපක්ෂ දරුවන් රට වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කරන විට ඔවුන්ගේ පියා හෙවත් මැදමුලනේ මහා රුක ඩී. ඒ. රාජපක්ෂයන්ගේ 53 වැනි ගුණ සමරුව යෙදී තිබෙන්නේ ද නොවැම්බර් මාසයේ 07 වැනිදා වීම තවත් විශේෂත්වයකි.

එම රාජපක්ෂ පුත්‍රයින්ගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය ද අභාවප්‍රාප්ත වී තිබෙන්නේ ද 1985 වසරේ නොවැම්බර් මස 02 වැනිදාය. 

මෙම දේශපාලන කරුණු හා සිදුවීම් රැසක් නොවැම්බර් මාසය තුළ එසේත් නොමැති නම් ඉල් මාසය තුළ සිදුවීම අපූර්වත්වයක් නොවන්නේද? අප දැන් මේ පසුකරමින් සිටින්නේ මේ රටට වාගේම රාජපක්ෂවරුන්ට විශේෂයක් වූ එම දින කිහිපයයි. එම සිදුවීම් සමඟ එම දේශපාලන පෙරළි නොවන්නට මේ රට අද පවතින්නේ මෙවැනි තත්ත්වයක නොව බොහෝ අඳුරු තත්ත්වයක වීමට බෙහෙවින් ඉඩකඩ තිබුණි.

එම සිදුවීම් ඒ ආකාරයෙන් සිදු නොවුණා නම් මේ රට මෙලහකටත් දෙකඩ වී අවසන් අතර එසේ නම් කොටි සංවිධානයේ නායක වේලු‍පිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටිනු ඇත.

රට දෙකඩ වුණා නම් කොටි සංවිධානය උතුරු - නැගෙනහිර පළාත් පාලනය කරමින් තමන්ගේ පාඩුවේ සිටින්නේ නැත. එසේ වුණා නම් මුළු ශ්‍රී ලංකාවම ඊළාම් රාජ්‍යයක් බවට පත්කර ගැනීමට ඔවුන් අනිවාර්යයෙන්ම වෙහෙස වන්නේය. නමුත් එම තත්ත්වයත් මුළුමනින්ම වෙනස් කිරීමට මෙම නොවැම්බර් විප්ලවවල නියමුවන් වූ රාජපක්ෂවරු කටයුතු කළහ. අප බොහෝ විට අසා තිබෙන්නේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයයි. 1917 මාර්තුවේ සිට ඔක්තෝබර් දක්වා රුසියාව පාලනය කරන ලද්දේ 'තාවකාලික රජය' විසිනි. ඔක්තෝබර් 24- 25 දිනවලදී බොල්ෂේවික්වරුන් විසින් එම ආණ්ඩුව බලයෙන් පහ කරන ලදී. එය සැලසුම්කොට ඊට නායකත්වය ලබා දුන්නේ ලෙනින්ගේ දෙවැනියා වූ ලියොන් ට්‍රෝස්කි විසිනි.

රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය එසේ ඉතිහාසගත වන විට නොවැම්බර් විප්ලවය ශ්‍රී ලංකාව තුළ ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනයට වාගේම රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට ද එය ඉතා වැදගත් කොට සලකමි.

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ගැන කතා කරන විට නොවැම්බර් මාසය අංග රැසකින් ම වැදගත් වන්නේ රට වෙනුවෙන් දේශපාලන පෙරළි රැසක් ඇති කිරීමට රාජපක්ෂවරුන් මුල් වීම නිසා ය.

මෙම රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ මූලාරම්භක සාමාජිකයා 1936 දී දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ඩී.එම්. රාජපක්ෂයන්ය. රුහුණේ සිංහයා වශයෙන් ද එකළ හැදින්වූයේ මෙම ඩී. එම්. රාජපක්ෂයන්ය.

1945 වසරේ අප්‍රේල් 18 වැනි දින ඩී. එම්. අසනීප වී අභාවප්‍රාප්ත වූ අතර දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එම පුරප්පාඩුව වෙනුවෙන් ඩී.එම්. රාජපක්ෂයන්ගේ බාල සොහොයුරා ඩී. ඒ. රාජපක්ෂයන් පත් කරන්නේය. 1945 ජූලි මස 14 වැනි දින නාම යෝජනා බාරදෙනු ලැබූ අතර මැතිවරණයේදී ඩී. ඒ. නිතරගයෙන්ම තේරී පත්විය. ඒ අනුව 1945 අගෝස්තු 08 වැනි දින සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඩී.ඒ. තම අසුන හෙබවූයේ දිවංගත වැඩිමල් සොහොයුරු ඩී. එම්. වගකීම් දැරූ කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාවේ සාමාජිකයකු හැටියටයි.

ඩී.එම්. රාජපක්ෂයන් මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තාය. එදා ඩී. ඒ. රාජපක්ෂයන්ගෙන් එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය.

රට වෙනුවෙන් එදා එම තීරණ ඩී. ඒ. රාජපක්ෂ ගන්නා විට ඔහුගේ අඩි පාරේ යමින් මැදමුලනේ මහා රුක ගත් තීරණයම රාජපක්ෂ පුත්‍රයන් විසින් 2016 වසරේ නොවැම්බර් 01 වැනිදා ගත්තේය. 1951 ජූලි මස 12 වැනිදා ඉතා වැදගත් සිදුවීමක් සිදු විය. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් පාර්ලිමේන්තුවේ සභා ගර්භය හරහා ගොස් විපක්ෂයෙන් අසුන්ගන්නා විට බණ්ඩාරනායකයන්ගේ සෙවණැල්ල මෙන් ඒ පසුපස ගියේ ඩී. ඒ. රාජපක්ෂයන්ය.

එදා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් සිංහල බෞද්ධයින්ට, ගමේ දිළිඳු මිනිසාට, රටේ උරුමයට, දේශීය කෘෂිකර්මයට නිසි තැනක් නොලැබෙන විට ඊට විරෝධය පාමින් බණ්ඩාරනායකයන් සමඟ විපක්ෂයේ අසුන් ගනිමින් ඩී.ඒ. රාජපක්ෂයන් තම ස්ථාවරත්වය රටට පැහැදිලි කළේය.

කවර බාධා පැමිණියද රටේ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් බණ්ඩාරණායක සමඟ නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට ඩී. ඒ. රාජපක්ෂ දැඩිව සිතා ගත්තේය.

1951 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන විට එහි දකුණේ සෙන්පතියා වූ ඩී. ඒ. රාජපක්ෂ ගත් තීරණය හරියටම හරි බව අදටත් මේ රජය පොදු මහජනතාව සාක්ෂි දරනු ඇත.

“නිසි තැන නිසි තීරණ ගැනීමට දරුවන්ට ඉගැන්වූ රාජපක්ෂ තාත්තා” යනුවෙන් දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු ඩී.ඒ. රාජපක්ෂ හැඳින්වූයේ ආවාට ගියාට නොවන බව දැන් හොඳින් පැහැදිලිවනු නොඅනුමානයි. එම නිසි තීරණ ගැනීමේ උපදෙස රාජපක්ෂ පුත්‍රයින් අකුරටම ක්‍රියා කළේය. 2015 වසරේ ජනවාරි 8 සිදුවූ දේශපාලන පෙරළියෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් ඇතිවිය.

නමුත් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක වූ මහින්ද රාජපක්ෂට ඡන්දය ලබා දුන් ලක්ෂ 58 ක් ජනතාව එවැනි ජාතික ආණ්ඩුවක් කවදාවත් ඉල්ලු‍වේ නැත.

2015 අගෝස්තු 17 වැනි දින පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් 50 ලක්ෂයකට ආසන්න පිරිසක් ද එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියේ නැත.

නමුත් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ එක්වී ජාතික ආණ්ඩුවක් ගොඩ නැඟූහ. මෙම ජාතික ආණ්ඩුවත් සමඟ 'යහපාලන' ආණ්ඩුවට එරෙහි ජනතාවට නියෝජනය කිරීමට දේශපාලන පක්ෂයක් නොවීය. එදා 'යහපාලන' ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ දී විරුද්ධ වන මන්ත්‍රීවරුන්ට නියෝජනය කිරීමට ද දේශපාලන පක්ෂයක අවශ්‍යතාව බෙහෙවින් තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට මහින්ද රාජපක්ෂ කවදාවත් සිතුවේ නැත.

අඩුම තරමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරුන් වන බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා වන අනුර බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයට ගිය අවස්ථාවේදීත් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට තීරණය නොකළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් මිනිස්සුන්ට, එම දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවකට පැවති යහපාලන ආණ්ඩුව පල නොකියා පලා බෙදන විට ඔවුන් සියලුම දෙනා වෙනුවෙන් දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය ප්‍රබලව පැන නැඟුණු අතර මහින්ද, චමල්, ගෝඨාභය, බැසිල් ඇතුළු දේඹපාලන පක්ෂ නායකයින් එක්වී මේ ගැන දීර්ඝ වශයෙන් අවස්ථා ගණනාවකම සාකච්ඡා කළ බව නොරහසකි.

මහින්ද රාජපක්ෂ පරාජය වී මැදමුලනට ගිය විට රාජපක්ෂවරුන් දේශපාලන ක්ෂේත්‍රයෙන් අතුගා දැමීමට පිඹුරුපත් සකස් කළ යහපාලන ආණ්ඩුව ඉන්පසුව විවිධ අසත්‍ය චෝදනා නගමින් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට තීරණය කළේ කෙසේ හෝ එම අරමුණ ඉටු කර ගැනීමටය. මෛත්‍රී යහපාලන ආණ්ඩුවේ සිටි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් එක්සත් ජනතා සන්ධානයවත් ලබාගැනීමට රාජපක්ෂවරුන්ට නොහැකි විය. නව දේශපාලන බලවේගයක් රාජපක්ෂවරුන් විසින් ගොඩනංවාවි යන බියක් යහපාලකයන්ට ඇතිවූ නිසා ඔවුන් සිදු කළේ ඊට පෙර කෙසේ හෝ රාජපක්ෂවරුන් සිරගත කරමින් හෝ මේ නව දේශපාලන බලවේගය බිහි නොකිරීමටය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID), බරපතළ වංචා දූෂණ ගැන සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඇතුළු ආයතන වැඩ පටන් ගන්නේ ඒ අරමුණ ඇතිවය. ඇමෙරිකාවේ සිට පැමිණෙන බැසිල් රාජපක්ෂ මහ රෑ 12.00 ට සිරගත කිරීමට තරම් කඩුවෙල අධිකරණයේ සියලු දොරටු විවෘත වන්නේ ද ඒ නිසාය. නාමල්, යෝෂිත සිරගත කරමින් යහපාලකයින් බැලුවේ මහින්ද රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කිරීමටය. බැසිල් සිරගත කළ විට නව දේශපාලන ව්‍යාපාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යහපාලකයන් සිතුවද බැසිල් සිරමැදිරියේ සිටත් සැලසුම් කළේ නව දේශපාලන ව්‍යාපාරයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයයි. ගෝඨාභය රාජපක්ෂ දිනපතා (FCID) ජනාධිපති විමර්ශන කොමිසම්වලට සහ අධිකණවලට කැඳවමින් දැඩි උත්සහයක් ගනු ලැබුවේ කුමන හෝ කාරණයකට සිරගත කිරීමටය.

මෙවැනි මර්ධනකාරී දැඩි පිළිවෙතක් ක්‍රියාත්මක වුයේ රාජපක්ෂ සළකුණ මෙරට දේශපාලනයෙන් අතු ගා දැමීමටය.

නමුත් නිවැරදි අවස්ථාවේ දී ගත යුතු හොඳම තීරණය ගන්නා ලෙසට තම පියා කියා දුන් අවවාදය රාජපක්ෂ පුත්‍රයින්ට නිතරම කල්පනා විය. මොනතරම් බාධක පැමිණියද රට වෙනුවෙන් ගත යුතු තීරණ ගනිමින් නව දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීමට රාජපක්ෂවරුන් තීරණය කරන අතර එහි තිරය පිටුපස ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පැවරෙන්නේ බැසිල් රාජපක්ෂටය.

නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම අසීරු නොවේ. අභියෝගය වන්නේ නව දේශපාලන පක්ෂය මැතිවරණවලට ඉදිරිපත් කොට ජයග්‍රහණය කිරීමය. මේ වනවිට ඉතිහාසය නව දේශපාලන පක්ෂ පිහිටුවා ඉතා කෙටි කළකින් ජයග්‍රහනය කළ නායකයින් වන්නේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 දී පිහිටුවීමෙන් අනතුරුව 1956 දී පංච මහා බලවේග සමඟ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් ගොඩනැගීමට නායකත්වය ලබා දෙන්නේ බණ්ඩාරනායකයි. බණ්ඩාරනායක එම දේශපාලන නායකත්වය ලබා දෙන විට ඔහුට සෙවණැල්ලක් සේ සිටිමින් එම ජයග්‍රහණයට ප්‍රබල සහායක් ලබා දෙන්නේ ඩී.ඒ. රාජපක්ෂයි.

2016 නොවැම්බර් 01 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයෙන්, 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන්, 2020 අගෝස්තු මස 05 වැනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා අතිවිශිෂ්ට ජයග්‍රහණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලබා ගන්නේ වාර්තා පිට වාර්තා තබමිනි.

යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම පළිගැනීම් සිදු කරන විට ඊට නොබියව පොහොට්ටුව පිහිටුවීමට දේශපාලන නායකත්වය ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂය. එදා තම පියා රට වෙනුවෙන් නොබියව කළ කාර්යභාර්යය මේ වන විට ඩී. ඒ. රාජපක්ෂ පුතුන් විසින් සිදු කරනු ලබයි. සමඟි ජන බලවේගය නව දේශපාලන බලවේගයක් ලෙස කෙතරම් පුරසාරම් කතා කළත් ඵලක් නොවේ.

ඊට හේතුව ජනාධිපතිවරණයේදී සජිත් ලබා ගත් ඡන්ද ලක්ෂ 54 න් ලක්ෂ 27 ක් පමණක් ඔවුන්ගේ නව දේශපාලන බලවේගයට හිමි වීමයි. සජිත්ගේ නව දේශපාලන ව්‍යාපාරය ඡන්ද ලක්ෂ 27 ක් අහිමි කර ගන්නා විට මහින්ද නායකත්වය ලබාදෙන බැසිල් නිර්මාණය කළ පොහොට්ටුව ඡන්ද ලක්ෂ 11 ක් වැඩිකරගෙන ලක්ෂ 69 ක් ලබා ගෙන ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජයග්‍රහණය කරයි.

සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේදී 2/3 ක බහුතරයක් තබා සරල බහුතරය ද ලබා ගැනීම අභියෝගයක් වන අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබා ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණි.

එම නිසා මේ නොවැම්බර් මාසයේදී ඩී.ඒ. රාජපක්ෂගේ දරුවන් කළ විප්ලව එක් පැත්තකින් සැමරෙන විට එම දරුවන් බිහිකළ අභීත, ශ්‍රේෂ්ඨ පියෙකු වන ඩී.ඒ. රාජපක්ෂයන්ගේ 53 වැනි ගුණ සැමරුම ද මේ මස 07 වැනි දා පැවැත්වීම ද විශේෂත්වයකි.

එදා 1947 මහ මැතිවරණයට ඩී.ඒ. රාජපක්ෂ “අත” ලකුණින් බෙලිඅත්ත ආසනයට තරඟ කළේය. ඩී.ඒ. රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කවි ලියැවුණු අතර ඉන් එක් කවියක් පහත දැක්වේ. 

“රන් කුරහින් කරල් මාලය පුදා බැතින් 
පින්කඳ නමට පවරා බෙලිඅත්තෙ නිතින් 
ලංකාවටම සැනසිල්ලක් ගෙනෙන සිතින් 
ඡන්දය දෙන්න ඩී.ඒ. ගේ අතට ඉතින්”

ඩී.ඒ. රාජපක්ෂයන්ගේ වැඩිමහල් පුතණුවන් වන චමල් රාජපක්ෂ තම පියාගේ මතකයන් අවදි කළේ 1947 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ අත්දැකීම් සමඟිනි.

“1947 වසරේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසිරුවා හරිනු ලැබුවා. ඒ නිසා හම්බන්තොට දිස්ත්‍රික්කය බෙලිඅත්ත, හම්බන්තොට ලෙස දෙකඩ වුණා.”

මැතිවරණයකින් ප්‍රකාශයට පත්වුණා. මගේ පියා බෙලිඅත්ත ආසනයට නාම යෝජනා ලබා දුන්නා. එතුමාගේ ඡන්ද ලකුණ වුණේ “අත” ලකුණයි.

අපේ මුළු ගෙදරම මඟුල් ගෙදරක් වුණේ ජනතාව දහස් ගණනින් මහගෙදරට පැමිණුනා. මගේ පියා ජයග්‍රහණය කරවීමට ජනතාවගේ දැඩි උනන්දුවක් තිබුණා.

මමත්, මගේ මහින්ද මල්ලිත් පාසැලේ සිට පැමිණ අඟුරුවලින් “අත” ලකුණ ඇඳ මැදමුලන නිවසේ බිත්තියේ, තාප්පයේ මැතිවරණ ප්‍රචාරක රථයේ ඇලෙව්වා. “තාත්තාට ජයවේවා” යනුවෙන් මමත් මහින්ද මල්ලිත් ඔල්වරසන් දුන්නා. තාත්තා මැතිවරණය දිනුවා. බෙලිගල්ලේ පණ්ඩිත අමරසේන කවියා මගේ පියාට කවියක් කිව්වා.

“ගොවියන් එඩේරුන් එකතුව බෙලිඅත්තේ 
මැතිඳුන් හට කදිම කෙවිටකි දී ඇත්තේ 
සොයමින් හරක් ඇත්දැයි මැතිසබ අස්සේ 
එමඟින් මෙතැන් සිට ඉන් වැඩ ගත යුත්තේ”

රටේ දේශීයත්වය, කෘෂිකර්මාන්තය, ගැමිකම ඇතුළු කාරණා දැනගෙන රට වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකළ ඩී. ඒ. රාජපක්ෂයන්ගේ පුත්‍රයින් ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, කතානායක, ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් වී රටට කළ සේවය අති මහත් බව අතිශෝක්තියකින් තොරව ප්‍රකාශ කළ හැකිය. ඩී.ඒ. රාජපක්ෂයන්ගේ පුත්‍රයින් පමණක් නොව මුණුබුරන් ද අද ඔහු ගිය අඩිපාරේ ගමන් කරමින් සිටී.

අධිරාජ්‍යවාදීන්ගෙන්, බෙදුම්වාදී බලවේගවලින්, දේශද්‍රෝහි බලවේගවලින් කෙතරම් අභියෝග එල්ල වුවද රාජපක්ෂ පුත්‍රයින් රට වෙනුවෙන් සිදු කළ යුතු වගකීම් තවමත් සිදු කරමින් සිටි. මුළු රටේම අනාගතය වෙනුවෙන් නොවැම්බරයේ සිදු වූ විප්ලව දෙස නෙළුම් පොහොට්ටුව බලා සිටී.

Comments