
කොරෝනා වසංගතය යළිත් වරක් රට තුළ වේගයෙන් පැතිර යාමත් සමඟ ආර්ථික, දේශපාලනික, සහ සමාජීය වශයෙන් රට දැඩි අර්බුදයකට පත්ව තිබේ. පෑලියගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් රජයට නොයෙක් බලපෑම් විවිධ අංශ ඔස්සේ එල්ල වෙමින් පවතී. ඉකුත් සතිය තුළදී පමණක් රෝගීන් පන්දහසක ප්‍රමාණයක් වාර්තාවීමත් සමඟ කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙම රෝගය අතිශය භයානකත්වයක් ජනතාව තුළ නිර්මාණය කර හමාරය.
ආණ්ඩුවේ අලුත් වැඩ පිළිවෙළ
කොරෝනා වසංගතය මේ ආකාරයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ආණ්ඩුවට නොසිතූ මොහොතක අකරතැබ්බයකට මුහුණ පාන්නට සිදුවිය. අසරණ වූ ජනතාවට සහන ලබාදීම සඳහා භාණ්ඩාගාරයට ලොකු මුදලක් වෙන් කිරීමට සිදුවූ අතර රෝග ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ද රජයට අතිරේක වියදම් විශාල ප්‍රමාණයක් එකතු වී තිබේ. රෝගී තත්ත්වය පාලනය කිරීමට කොළඹ කේන්ද්‍ර කරගත් මුළු බස්නාහිර පළාතටම හදිසියේ ම ඇඳිරිනීතිය පැනවීමට රජයට සිදු විය. ආර්ථික මර්මස්ථාන මෙන් ම රටේ වැදගත්ම ආයන රැසක් ම මේ හේතුවෙන් අකර්මනණ්‍ය විය. කෙසේ වෙතත් මෙම රෝගී වසංගතය පාලනය කිරීම සඳහා රජය තමන්ට කළ හැකි උපරිම දේ සිදු කිරීමට වග බලාගෙන තිබේ.
“ශවේන්ද්‍ර දැන් අපිට මේක වළක්වන්න තිබෙන හොඳම ක්‍රමය කුමක්ද?” සර් පවිත්‍රා ඇමැතිතුමිය මෙන්ම සෞඛ්‍යයට සම්බන්ධ බොහෝ නිලධාරීන් කියන්නේ මුලින් බස්නාහිරට ඇඳිරි නීතිය පනවමු කියාය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාපතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා එසේ කීවේය.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට අලුත් වැඩක්
මේ වනවිටත් සෑම උදෑසනකම ජනාධිපතිවරයා කොවිඩ් පාලනය කිරීමේ මෙහෙයුම් ප්‍රධානීන් සමඟ සාකච්ඡාවන් පවත්වන අතර එහි ප්‍රධානීන් සමඟ දිනපතා දුරකතන සංවාදයන් මගින් ද එක්වෙයි.
බස්නාහිර පළාත තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ඉකුත් ඉරිදා රැස්වූ කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික කමිටුව තීරණය කළේ ය.
මෙම රැස්වීමෙන් අනතුරුව ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් රාජපක්ෂයන්ගේ කාර්යාලයෙන් බස්නාහිර පළාතේ ආණ්ඩුවේ සියලුම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට විශේෂ පණිවුඩයක් ලැබුණි. එම පණිවුඩයෙන් සඳහන් වූයේ සඳුදා උදෑසන 10.30 ට බස්නාහිර පළාත සඳහා අත්‍යවශ්‍ය ආහාර බෙදාදීමේ වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡාවට පැමිණෙන ලෙසය. මෙම පණිවිඩය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබී තිබුණි.
මෙම විශේෂ හමුව ඉකුත් සඳුදා උදෑසන අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
බැසිල් රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ඇමැතිවරුන් වන රෝහිත අබේවර්ධන, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි එක්ව සිටියහ.
“ඇඳිරි නීතිය පනවලා තිබෙන බස්නාහිර පළාතට අපි රුපියල් 5000 ක දීමනාවක් දෙන්න තීරණය කළා. ඒ වගේ ම නිරෝධායනය වන පවුල්වලට රුපියල් දස දහසක අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් ලබා දෙන්න මේ වනකොට අපි ලෑස්තියි. ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන නිසා මේ ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙදරටම ලැබෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. හැබැයි ඒක ඉතා පරිස්සමින් කරන්න ඕන.” බැසිල් කීවේය.
හමුව නිමාවනවත් සමඟ පැමිණ සිටි මැති ඇමැතිවරු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහක නියළුණහ.
“විපක්ෂය නම් කියන්නේ ආණ්ඩුව ෆේල් කියලයි” කතාව ආරම්භ කරමින් රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත කීවේය.
කොරෝනා පාලනයට ආණ්ඩුව ගෙන ඇති පියවර
“ඩොක්ටර්ස්ලා කියන්නේ මේ වනකොට හුඟක් ප්‍රදේශවල අවදානම අඩුවේගන යනවා කියලයි. තව සතියක් දෙකක් මේක අල්ලගෙන හිටියොත් මේක පාලනය කරගන්න පුළුවන්” පවිත්‍රා කීවාය.
“කොරෝනා මර්දනයට සජිත්ලා අනුරලාගෙන් වචනයකින්වත් උදව්වක් නැහැනේ. හැබැයි ලොකු විවේචන කරමින් රටේම බොරු පතුරනවා. එයාලා කැමැතියි කොරෝනා වැඩි වෙනවා නම්; මිය යන ගණන වැඩි වෙනවා නම්” රෝහිත කීවේය.
මෙවර කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි සඳුදා සවස 5.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොරෝනා පැතිරෙන නිසා රටම ලොක් ඩවුන් කරන්නැයි ඇතැමුන් කරන ඉල්ලීම් ගැන කීවේ කොරෝනා පාලනයට ආණ්ඩුව ගෙන ඇති පියවර ගැන ඇමැතිවරුන් දැනුම්වත් කරන අතරතුරය.
“හුඟ දෙනෙක් කියනවා රටම ලොක්ඩවුන් කළා නම් මේ තත්ත්වය වළක්වා ගන්න තිබුණා කියලා. නමුත් ඒක කරන්න බෑ. රට වැහුවහම ඒකෙන් වෙන බලපෑම වසර ගණනාවක් යනකම් බලපානවා. ඒ නිසා අපිට කොවිඩ් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. අපි රෝගය හැදුණු අයව ප්‍රතිකාර සඳහා යොමු කරන අතරතුර අනෙක් අයව නිරෝධායනයට යොමු කරන්නේ ඒ නිසයි. ජනාධිපතිවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ය.
සජිත්ගෙන් කොවිඩ් පාලනය ගැන විවේචන
“මේක ලෝකයම මුහුණ දෙන තත්ත්වයක්. එතනදී මේ වසංගතය මර්දනයට පිළියමක් සොයා ගන්නකන් සෞඛ්‍ය උපදෙස් අනුව දෛනික ජීවිතය පවත්වාගෙන යන්න අපි සූදානම් වෙන්න ඕන” ජනාධිපතිවරයා කීවේය.
වසංගතය මෙලෙස ව්‍යාප්ත වුව ද ඉකුත් සතියේ දී පාර්ලිමේන්තුව කැඳවා තිබුණි. රජය කොවිඩ් පාලනය කිරීමට අපොහොසත් බව විපක්ෂය දිගින් දිගටම දැඩිව විවේචනය කළේ ය.
අවසානයේ මෙම කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුණි.
මෙම විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි අතර උණුසුම් වාදයක් ද ඇති වුණි.
“අපි රජයක් හැටියට මේ සම්බන්ධව අපිට කළ හැකි සියලුම දේ සිදු කර තිබෙනවා. සිදු කරමින් සිටිනවා” ඇය කීවාය.
“ඔබලාට අපි මුල ඉඳලම කිව්වා PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා. ඔබලා එසේ කළේ නැහැ. අද මේ රට තිබෙන්නේ අතිශය භයානක තත්ත්වයක. මේ රජය ජනතාව වෙනුවෙන් වග කියන්න ඕන.” සජිත් කීවේය.
“අනෙක් කාරණය තාක්ෂණය මේ තරම් දියුණු යුගයක අපේ ගරු සෞඛ්‍ය ඇමැතිවරිය කොරෝනා මඩින්න ගුප්ත විද්‍යා පසුපස යනවා යැයි” සජිත් මුළු විපක්ෂයම හිනස්සමින් පැවසීය.
මුහුදට බිලිවෙන්න පවිත්‍රාගේ සූදානම
“කොරෝනා උවදුර වෙනුවෙන් මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න අපි නොකරන දෙයක් නැහැ. කොරෝනාවෙන් රට බේරෙනවා නම් මම ඕනෑම වෙලාවක මුහුදට වුණත් බිලිවෙන්න සූදානම්” යැයි පවිත්‍රා ඉතා සංවේදී හඬකින් පාර්ලිමේන්තුව නිශ්ශබ්ද වන ලෙස පැවසුවාය.
මේ අතර එදින පාර්ලිමේන්තුවේ තැන තැන කසු කුසුවක් ඇසෙන්නට විය.
ඒ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඒ වෙනුවට බැසිල් රාජපක්ෂ දිවුරුම් දෙන බවය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව ඉතා ඉක්මනින් බැසිල් දිවුරුම් දෙන බව සමාජ මාධ්‍ය මෙන් ම බැසිල්ට හිතවත් බොහෝ දේශපාලනඥයෝ පවසා සිටියහ.
මන්ත්‍රී පුරප්පාඩුවක් සිදුවූ පසු ඒ වෙනුවට පත් කළ හැක්කේ ඒ දිස්ත්‍රික්කයෙන් තරග කර ඇති ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයාය. එහෙත් ජාතික ලැයිස්තුවට එම නීතිය වලංගු වන්නේ නොමැත. තරග කර හෝ තරග නොකළ පුද්ගලයෙක් ජාතික ලැයිස්තුවෙන් පත් කළ හැකිය. ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරනු ලබයි. මෙම පක්ෂය මෙවර මහමැතිවරණයට තරග කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙනි. හවුල්කාර පක්ෂ සමඟ තිබෙන එකඟතාව මත එම පෙරමුණට මන්ත්‍රී ධුරයක් හිමිවිය. ඒ අනුව ජයන්තට මෙම මන්ත්‍රී ධුරය හිමි විය.
කෙසේ වෙතත් දැනට කියැවෙන තොරතුරු අනුව කැටගොඩ ඉවත් වී ඒ වෙනුවට මන්ත්‍රී ධුරයට පත් කරනු ලබන බැසිල් කැබිනට් ඇමැතිවරයකු ලෙස ඉතා ඉක්මනින් දිවුරුම් දීමට නියමිතය. එය ඉදිරි දින කිහිපය තුළදී සිදුවනු ඇති බව අභ්‍යන්තර දේශපාලන තොරතුරුවලින් කියවේ.
සමගි ජනබලවේගය තනියෙන් ඉන්නයි හදන්නේ
සමගි ජනබලවේගය තුළ යම් යම් කරුණු එකිනෙකාට සඟවන බවට එහි දේශපාලනඥයන් චෝදනා කරමින් සිටින බව කියැවේ. 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව සමගි ජනබලවේගය පක්ෂය හවුල්කාර සුළු පක්ෂවලින් ඉවත්වී වෙනම තනි පක්ෂයක් ලෙස කටයුතු කිරීමේ සූදානමක් පවතින බවට ඉකුත් සතියේ පැතිර ගියේය. සුළු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම 20 ට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ මෙලෙස තනිව සිටීමට තීරණය කළ බවට දේශපාලන කරලිය තුළ කතා බහ පැතිර යනු ලැබිණි. එහෙත් එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොතිබෙන බව සමගි ජනබලවේගය සමඟ එක්ව සිටින වෙනත් පක්ෂ කිහිපයකම නායකයෝ පවසති.
“සුළු පක්ෂත් සමඟ සමගි ජනබලවේගය ඉදිරියටම යනවා. මේ රටේ සුළු ජන කොටස්වලට ඇති හොඳම දේශපාලන නායකත්වය සජිත් ප්‍රේමදාස කිහිප දෙනෙක් අපගේ පක්ෂයෙන් වෙන් වී ගියාට එ්ක ගැටලුවක් නොවෙයි. අපි ඉදිරියේ දී මීට වඩා තවත් ශක්තිමත් වෙනවා. අපි දැනටමත් අලුත් ව්‍යවස්ථාවක් සකස් කරලයි තියෙන්නේ. ඉදිරියේදී එය ක්‍රියාවට නංවනවා යැයි” මනෝගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“නායකත්ව මණ්ඩලයක් මගින් ඉදිරියේදී අපගේ කටයුතු සිදු කරන්නේ එහි ප්‍රධානියා ලෙස අපගේ නායකයා සජිත් ප්‍රේමදාස පත්කර තිබෙනවා. අද මේ ආණ්ඩුව කොහෙටද ගමන් කරන්නේ. අඩු ගානේ ජනතාවට කන්න බොන්නවත් නැහැ. ආණ්ඩුවට විදෙස් ප්‍රතිපත්තියක් නැහැ. මොන රට සමඟ ද වැඩ කරන්නේ කියන ගැටලුවට ඔවුන් පත්වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව සුළු පක්ෂවලට පයින් ගහලා තමයි බලයට පැමිණියේ. ඒ නිසා ඔවුන්ට දීර්ඝ ගමනක් නැහැ. මේ ආණ්ඩුව මේ වනවිටත් කඩා වැටිලා අවසන් යැයි” මනෝ වැඩිදුරටත් විස්තර කළේ ය. සුළු පක්ෂ මන්ත්‍රී ධුරවලින් ආණ්ඩුවට 20 සම්මත කර ගත් බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මරණ දඬුවම ලබා සිටින දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150 දෙනකු අත්සන් කළ ලේඛනයක් ජනාධිපතිවරයා වෙත යවා ඇතැයි පැවසේ. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන් ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද අත්සන් තබා ඇතැයි පැවසේ. මනෝගනේෂන් මන්ත්‍රීවරයා මේ සඳහා අත්සන් තබා ඇතැයි මාධ්‍ය වාර්තාවලින් කියැවුණි. මනෝගනේෂන් හිතවතුන් මේ සම්බන්ධව ඔහුගෙන් විමසා තිබේ.
“ඔව් මම අත්සන් කළා තමයි. හැබැයි එසේ කළේ සම්පූර්ණයෙන් ම ඔබලා හිතනවාට වඩා වෙනත් අරමුණක් වෙනුවෙන්. මේ සිරකරු නිදහස් කරන ආකාරයෙන් ම දේශපාලන සිරකරුවන් ද නිදහස් කරගැනීම සඳහා කතිකාවක් ගොඩනැඟීම මගේ අරමුණයි. වසර ගණනාවක් ම දේශපාලන සිරකරුවන් දුක් විඳිනවා. නමුත් මේ එල්ල වෙන අපහාස විවේචන නිසා මම මගේ අත්සන ඉල්ලා අස්කරගන්න බලාපොරොත්තු වෙනවා යැයි ද මනෝ කීවේය.
මැකෝ ගෙදර යන්න ලෑස්ති වෙයි
මැතිවරණ කොමිසමේ අවසන් රැස්වීම ඉකුත් 26 වැනිදා පැවැත්වුණි. මෙම රැස්වීම වෙනදාට වඩා විශේෂිත වූ එකකි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු ඉතා හොඳින් අඳුරන නිතර නිතර අමුතුම මාතෘකා බිහිකළ ‘මැකෝ’ එසේත් නැතිනම් මැතිවරණ කොමසාරිස් නැත්නම් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නොවන වශයෙන් කොමිසමෙන් සමුගන්නා දිනය නිසාවෙනි.
වෙනදාට නොමැති උනන්දුවකින් සභාපතිවරයා ඇතුළු නිලධාරීහූ කල් වෙලා ඇතිව කොමිසමට පැමිණි සිටියහ. මෙම රැස්වීම අතරතුර දිවා භෝජනය ද ලක ලෑස්ති කරමින් තිබුණේය. මෙම ආයතනයේ සියලුම සේවක සේවිකාවෝ එම ස්ථානයට පැමිණ සිටියහ. නිල වශයෙන් ප්‍රකාශ නොකළත් දේශප්‍රිය සහභාගි වන අවසාන අවස්ථාව මෙය බැව් එහි සිටි සියලු දෙනා දැන සිටියහ. ඊට පෙර දින මැතිවරණ කාර්යාලයේ සිටි බොහෝ පිරිස් සමඟ ඉතා ළෙන්ගතුකමෙන් කතා බහ කළ දේශප්‍රිය ඉන් නික්ම යනු ලැබීය.
ඉදිරි සතිය වනවිට මැතිවරණ කොමිසමේ නිල කාලය අවසන් වනු ඇත. ඉන් අනතුරුව කොමිසමට නව සාමාජිකයන් පස්දෙනකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ. ජනාධිපතිවරයා විසින් ඔවුන් පත් කිරීමෙන් පසුව එය පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණයට යටත්වනු ඇත.
රනිල් හමුවීම් සීමාකරයි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ බාහිර හමුවීම් සීමා කර තිබේ. කොරෝනා වසංගතය නැවත වරක් ඉතා වේගයෙන් පැතිර යාමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇත.
මේ පසුබිම තුළ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂයේ නායකයින් Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, පාලිත රංග බණ්ඩාර, සන්දිස් සමරසිංහ මේ සඳහා එක්වූහ.
“PCR පරීක්ෂණ දිගින් දිගට සිදු කළ යුතුයි. ප්‍රමාණයත් වැඩි කළ යුතුයි. ඒ බැව් රජයට බල කරලා කියන්න ඕන. වජිර අබේවර්ධන කතාව ආරම්භ කරමින් කීවේය. “ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ලෝකයම බලන් ඉන්නවා. ජො බයිඩන් දිනුවොත් ඒක ලංකාවට අවාසියක් බව තමයි ආණ්ඩුව කියන්නේ. වජිර පෙන්වා දුන්නේ ය.
ඇමෙරිකාවේ ප්‍රතිපත්ති ස්ථිර ප්‍රතිපත්ති
“ඇමෙරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප් දිනුවත් ජෝ බයිඩන් දිනුවත් රටේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. මානව හිමිකම් ගැන කොහොමත් ඒ අය ලොකු උනන්දුවක් දක්වනවා. මයික් පොම්පියෝ ආවේ ලංකාවේ ස්ථාවරය දැනගන්න මිසක් ට්‍රම්ප්ගේ දේශපාලනය ගැන කතා කරන්න නොවෙයි. විදේශ ප්‍රතිපත්තිය ගැන තීන්දු තීරණ ගන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතාව මත මිසක් ජනාධිපතිගේ ප්‍රමුඛතාව අනුව නොවෙයි. එහි පවතින්නේ ස්ථිර ප්‍රතිපත්ති” රනිල් පැහැදිලි කළේ ය.
රෝගීන් වර්ධනය වීම මෙන්ම දවසින් දවස සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව, ඒවායේ ප්‍රතිඵල මත ගන්නා ඉදිරි පියවර සම්බන්ධව පක්ෂයේ ඉදිරි කතාබහ ගැන ද සියලුම දෙනා සිය අදහස් ප්‍රකාශ කළහ.
සජිත් අනුරපුරේ පන්සල් වන්දනා කරයි
මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ අනුරාධපුර ප්‍රජා නගරයේ සංචාරයක නිරතවෙමින් විහාරස්ථාන කිහිපයකටම ගොස් මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගත්තේ ය. ඒ සමඟම ඔහු එම විහාරස්ථානවල අඩුපාඩු සොයා බැලීමට ද අමතක නොකළේ ය.
දිනෙන් දින රටපුරා වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය පිළිබඳව සජිත් දඩි අවධානයක් යොමු කරනු ලැබීය. අනුරාධපුර ඉසුරුමුණි විහාරයට ගිය සජිත් පූජ්‍යපාද මතව සී. සංඝරක්ඛිත සුමංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
සජිත් එම විහාරස්ථානයට පැමිණි බවට තොරතුර පිටවීමත් සමඟ සජිත්ට හිතැති බොහෝ පිරිසක් විහාරස්ථානයේ පිටතට රැස්ව සිටිනු දැක ගත හැකි විය.
“ආණ්ඩුව හිතුවාට සැමදාම ජනතාව රවට්ටන්න බොරු කරන්න පුළුවන් කියලා. ඒක හරි යන්නේ නැහැ. ඔය මොන ආණ්ඩුවටත් වැරදුණේ ජනතා ප්‍රශ්න අමතක කරලා ඉන්න කොට තමයි සජිත් කීවේය.
මේ අතර එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන්ට ද සජිත් අවධානය යොමු කළේය.
“ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ අවශ්‍ය දේට නොවෙයි; අනවශ්‍ය දේට බව අද පැහැදිලිව පෙනෙන්නට තියෙන කරුණක්. අඩු තරමේ නව සෞඛ්‍ය පනතක් සහ නව නිරෝධායන පනතක් ගෙන එන්නටවත් උවමනාවක් ආණ්ඩුවට නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ සජිත් කීවේය.
“ඉකුත් මැතිවරණ දෙකේදීම ජනතාව ආණ්ඩුව සමත් කර රටේ පාලනය බාරදී ඇතත් දැන් ආණ්ඩුවේ සත්‍ය තත්ත්වය ජනතාව අවබෝධ කරගෙන තිබෙන්නේ.”
තවම තියෙන්නේ සුද්දා ගෙනාපු නිරෝධායන නීතිය
“තවම තිබෙන්නේ සුද්දා ගෙනාපු නිරෝධායන නීති ආණ්ඩුව 19 වෙනස් කරන්න තිබ්බ හදිස්සිය අලුත් නිරෝධායන පනතක් ගෙන එන්න තිබුණේ නැහැ. සජිත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
ඉන් පසුව විපක්ෂ නායකවරයා මිරිසවැටිය විහාරස්ථානය වෙත ගියේය. ඒ අතරතුර සජිත් අසල සිටි රෝහණ බණ්ඩාර සජිත්ට යමක් පෙන්නුවේය. “සර් මෙන්න ආණ්ඩුව කොරෝනාවලට අලුත් බෙහෙතක් හොයාගෙන එසේ කියන ගමන් ඔහු සජිත්ට තම ජංගම දුරකතනය පෙන්නුවේය.
සජිත් කුතුහලයකින් යුතුව ඒ දෙස බැලුවේය. ඇමැති පවිත්‍රා ඇතුළු පිරිසක් ගංගාවකට කළගෙඩි විසිකරන වීඩියෝ දර්ශනයක් එහිදී සජිත්ට දැකගත හැකි විය.