විස්ස ආවොත් රටම යන්නේ තනි මතයට | Page 2 | සිළුමිණ

විස්ස ආවොත් රටම යන්නේ තනි මතයට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

- 2015 අපට ලැබුණ ජනවරම පෞද්ගලික ගැටුමක් බවට පත්වුණා
- හිටපු ජනපතියි අගමැතියි පාස්කු ප්‍රහාර වගකීම පැහැර හැරියා
- 19ට එරෙහිව කතා කරන්න පුළුවන් සරත් වීරසේකරට විතරයි
- සමඟි ජනබලවේගයේ කිසිම ගැටුමක් නැහැ

විසිවැනි සංශෝධනයට ඔබ විරුද්ධ වන්නෙ ඇයි?

විසිවැනි සංශෝධනය මඟින් ඇත්තටම ජනාධිපතිවරයාට විධායකයේ සම්පූර්ණ බලයත් ඒ වගේම ව්‍යවස්ථාදායකයේ සම්පූර්ණ බලයත්, අධිකරණයේ සම්පූර්ණ බලයත් ලැබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදිව තිබිය යුතු මැතිවරණය සහ මැතිවරණ ක්‍රියාවලිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විගණන ක්‍රියාවලිය වැනි ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් මූලධර්ම සියල්ලම නොතකා තනි මතයට තනි අතට හිතුමතයට ගැනීමේ උත්සාහයක් තමයි 20 වැනි සංශෝධනයේ තිබෙන්නෙ.

1960 ගණන්වල ලතින් ඇමෙරිකානු රටවල තිබුණු මිලිටරි ක්‍රියාවලිය වගේම ආසියානු කලාපයේ සිටි ඒකාධිපතියන් ඒ කාලයට ගැළපුණාට අද නූතන ලෝකයේ කිසිම ආකාරයට මෙය ගැළපෙන්නෙ නැහැ. රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සියල්ල ඇහැරිලා ප්‍රජාතන්ත්‍ර විරෝධි බලයන් ශක්තිමත් වෙයි. තවත් වැදගත්ම කරුණක් තමයි රට ජාත්‍යන්තරව කොන් වෙන්න මේක තව හේතුවක් වෙයි.

දැනටමත් සමාජයේ මේ රජයට ඡන්දය ලබාදුන් පිරිස් අතරම බලගතු විරෝධයක් මතුවෙලා තිබෙනවා. මහා සංඝරත්නය අන්‍ය ආගමික පූජකතුමන්ලා අතර දැඩි විරෝධයක් ඇතිවෙලා තිබෙනවා. අන්න ඒ නිසා මේකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

19න් රටට සිදුවුණු සේවයක් නොමැති බව වර්තමාන රජය ප්‍රකාශ කරනවා. ඔබලාගේ යහපාලන රජය බිඳ වැටුණේ මේ හේතුව මතයි කියලා තවත් කතිකාවක් තිබෙනවා. මේ කියන කතා ඇත්තක් ද?

19 ගෙන එන්න ආණ්ඩුව පැත්තෙන් ඡන්දය දුන්නෙ 56 දෙනයි. අනෙක් අය ඔක්කොම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිසයි. 19 සම්මත කරන්න උදව් කරලා තියෙන්නෙ එක්සත් ජාතික සන්ධානයේ පිරිස. ඒ නිසා දැන් මේවා විවේචනය කරන්න එයාලට බැහැ. 19 වැරැදි කතා කරන්න පුළුවන් සරත් වීරසේකරට විතරයි. ඒ, ඔහු මේකට විරුද්ධ වූ එකම කෙනා නිසායි. අනෙක් සියලු දෙනා මෙය නිර්මාණය කරන්න, මෙය ඇති කරන්න මෙයට පක්ෂව හිටපු අය. ඒ පිළිබඳව ඔවුන් කතා කිරීම දේශපාලන විහිලුවක් හැටියටයි මා දකින්නෙ.

විසිවන සංශෝධනය මඟින් ජනාධිපති ගෝඨාභයට මොකද වෙන්නෙ?

ජනාධිපතිවරයා වටේ සිටින අය තර්ක කිහිපයක් ගෙන එනු ලබනවා. ඉන් එකක් තමයි විදේශ රටවලින් එන බලපෑම මෙන්ම ආක්‍රමණයන්ට එරෙහි වීමට විධායක ජනාධිපතිකම අවශ්‍ය වූ බව. නමුත් අපි දන්නවා ජේ. ආර්. ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂයන් ආරක්ෂක ලේකම්ව සිටියදී මහින්ද රාජපක්ෂයන් ජනාධිපතිව සිටියදී ඇමෙරිකාව සමඟ 'ඇක්සා' ගිවිසුම අස්සන් කළේත්, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය නෝර්වේ ඇතුළු රටවල් සාම සාධක ක්‍රියාවලියට කැඳවා ගත්තේත් මේ ජනාධිපති ධුරයේ බලය පාවිච්චි කරලා. රටේ ස්වෛරීභාවය උල්ලංඝණය කරපු තීරණ සියල්ල අරගෙන බැලුවාම ඒ සියල්ලම ජනාධිපති ධූරයේ බලයෙන් කරා මිසක් පාර්ලිමේන්තු බලයකින් සිදු කරපුවා නොවෙයි.

රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ජනාධිපති ධුරය වැදගත් කියන අදහස තවත් එකක්. නමුත් රටේ ඒකීයභාවය රැඳිලා තිබෙන්නෙ පාර්ලිමේන්තුව තුළ; 76 වගන්තිය අනුව නීති තනන්න පාර්ලිමේන්තුවට තිබෙන අයිතිය මතයි. 20 වැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුවට තිබෙන ස්වෛරී අයිතිය උල්ලංඝණය කිරීම සඳහා විධායක ජනාධිපතිවරු ක්‍රියා කරලා තිබෙනවා.

ඒ වගේම මේ රටේ ඒකීය භාවයට මරු පහරක් වෙච්ච පළාත් සභා ක්‍රමය ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ගෙන ආවේ ඔහුගේ ජනාධිපති ධුරයේ තිබූ බලතලවලින්. ඒ වගේම කොටි සංවිධානය සමඟ විටින් විට මහින්ද රාජපක්ෂයන් හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සාකච්ඡාවලට ගියේ මේ ජනාධිපති ධුරයේ බලතලවලින්. ඒ නිසා මේවා පාර්ලිමේන්තුවේ අනුමත කරගෙන සිදු කරපුවා නොවෙයි.

බෞද්ධකම ආරක්ෂා කරගන්න ශාසනයේ ආරක්ෂාව සඳහා විධායක බලතල අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. ඒක එහෙම මතයක් නොවෙයි. එදා ජාතික හෙළ උරුමයට ජනමතයක් ලැබුණා. ඒ ජන මතය හරහා අන්‍ය ආගම් පනත අපි පාර්ලිමේන්තුවට ගෙනාවා.

මෙන්න මේ නිසා මම පැහැදිලිව කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය බවට මේ කරුණු පෙන්වන්නෙ බොරුවට. මේ කතා සියල්ලම මේ විදිහටම 1978 දී ජයවර්ධන ජනාධිපතිවරයා කිව්වා. ඔහු එදා කිව්වා රට සංවර්ධනය කරන්න බලය ඕන බව. ඔහු එදා ඒ බලය ගත්තා. නමුත් අවසානයේ රට කෙලවර වුණේ ලේ ගංගාවකින්. ආර්ථික වර්ධනයක් වුණේ නැහැ. අන්තිමට ආර්ථිකයට සියයට 01ට වැටුණා 87 වෙනකොට. මේ කියන කතා වර්තමාන ලෝකයට ගැළපෙන කතා නොවෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජනසන්තක ආර්ථික ක්‍රම මඟින් ලබාගන්නා ජයග්‍රහණයන් තමයි තිරසර ජයග්‍රහණ කියන්නෙ. වර්තමාන ලෝකයේ තිබෙන ආර්ථික ගැටලු එක්ක ආර්ථික සංවර්ධන ජයග්‍රහණ ලබාගන්න බැහැ. එවැනි දේවල් වර්තමානයට ගැළපෙන්නෙ නැහැ. 20 වැනි සංශෝධනයට එල්ල වෙලා තිබෙන විරෝධය සමඟ අපිට පෙනී යන්නෙ මහජනතාව මේ පිළිබඳව අවබෝධයකින් ඉන්නා බවයි.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර ගැටුමට හේතුව 19 වැනි සංශෝධනය නොවෙයිද?

මම කියන්නෙ ඕකට වෙනම කතාවක්. මොකද ඔවුන් දෙදෙනාම තමන්ට ජනතාව ලබා දුන් ජනවරම අවබෝධ කරගත්තෙ නැහැ. මෛත්‍රීපාල සිරිසේන තමන්ට ඡන්දය ලබා දුන්නු ජනතාවට පටහැනිව ක්‍රියා කළා. රනිල් වික්‍රමසිංහව අමතක වුණා. තමන්ගේ කණ්ඩායමට ඡන්දය ලබා දුන්නෙ ලක්ෂ 24. එය ලක්ෂ 62 දක්වා ආවේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ශක්තියෙන් බව.

2015 තමන්ට ලැබුණු ජනවරම පෞද්ගලික එකක් ලෙස සලකා උදම් වෙලා කටයුතු කළා. ඒ දෙදෙනාගේ පෞද්ගලික ගැටුමක් බවට මේක පත්කරගෙන තිබුණා. අද එහෙම ගැටුමක් කිසිසේත්ම ඇති හේතුවක් නැහැනේ.

අද ජනාධිපතිවරයාගේ අයියා තමයි අගමැති මහින්ද රාජපක්ෂයන්. ආර්ථිකය මෙහෙයවන්නෙ බැසිල් රාජපක්ෂයන්. සිවිල් ආරක්ෂාව භාරව ඉන්නෙ මේ හැමදෙනාගේම ලොකු අයියා චමල් රාජපක්ෂයන්. එතකොට මේ එක පවුලක සාමාජිකයන් මේ අය අතර කිසිම ගැටුමක් හටගන්න විදිහයක් නැහැ නේද?

ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරු කිහිප දෙනෙකුම 20 වැනි සංශෝධනය යම් යම් කාරණා විවේචනය කරනවා. විශේෂයෙන්ම උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන ඇමැතිවරු. ඔබ මේ පිළිබඳව මොකද හිතන්නෙ?

ඇත්ත වශයෙන්ම ඔය සිදු කරන්න බොරු රඟපෑමක් කියන එක මම පැහැදිලිව කියනවා. ඒ වගේම ඔය සිදු කරන්නෙ කලින් කතාබහ කරපු දේවල්. මොකද ඡන්දය විමසන අවස්ථාවේ ඔය සියලු දෙනාම විස්සට පක්ෂව ඡන්දය ලබා දෙනවා.

20 සම්බන්ධව මේ රටේ අද විරෝධතාවන් ඇතිවෙලා තිබෙනවා. අපේ මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධ ජනතාව අතරේ සෙසු ජන කණ්ඩායම් අතරේ මේ ඒකාධිපති ගමනක් යන්න යනවා. මේක මහා විනාශයක්. මේ පිළිබඳව ඔවුන්ට තිබෙන්නෙ කම්පනයක්.

සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදුන් අය නොවෙයි. කෙලින්ම ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන් අයගෙන්ම මේ විරෝධතාව පැමිණිලා තිබෙනවා. එතකොට ඒ ජන පදනමේ විරෝධතාව තමයි නියම විරෝධතාව.

රජය තුළ ඉඳන් විරෝධතාව කරනවා කියන්නෙ රඟපෑමක්. මොකද ඔය කිසිම කෙනෙකුට කොන්ද පණ නැහැ. 20 වැනි සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන්න. මොකද සංශෝධන තිබුණත් නැතත් ඔය අය ඡන්දය ලබා දෙනවා.

20 වැනි සං‍ශෝධනය නිසා ආණ්ඩුවේ අර්බුදයක් තිබෙන බව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා. ඇත්තක් ද?

ආණ්ඩුවේ අර්බුදයක් පිළිබඳව මට හරියටම කියන්න බැහැ. මතුපිටින් පේනවා එහෙම අර්බුදයක් තිබෙන බව.

මොකද බැසිල් රාජපක්ෂයන් හිතවත් කණ්ඩායම් විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ වැනි අයට සමාජ මාධ්‍ය මඟින් නොයෙක් ප්‍රහාරයන් එල්ල කරනවා අපිට දකිනට පුළුවන්. හැබැයි අපි දන්නෙ නෑ මේවාවල සත්‍යතාව. මේ මොන දේ සිදු වුණත් සමාජ අර්බුදයක් තිබෙනවා. අපිට ඒක පැහැදිලිව කියන්න පුළුවන්.

දේශානුරාගය, සිංහල බෞද්ධ පදනම මහ ඡන්දය ලබා දුන් උගත් වැදගත් ඡන්දදායකයින්. ඒ වගේම බෞද්ධ භික්ෂුන් වහන්සේ අද මේ ආණ්ඩුව පිළිබඳව දැඩි කලකිරීමකින් අප්‍රසාදයකින් තමයි සිටින්නෙ. ඒ බව පැහැදිලිව පෙනෙන්නනම් තිබෙන්නෙ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්, ඇල්ලෙ ගුණවංශ ස්වාමින් වහන්සේ. මේ ආණ්ඩුව ගැන කරන විවේචන තුළින් පෙනී යනවා.

මේ ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ඒ වෙනුවෙන් පෙනී සිටි අය අතරේ සිදු කෙරෙන කතාබහ අනුව එතැනින් පෙන්නුම් කරනවා මේ ආණ්ඩුවේ බරපතළ කඩා වැටීමක්.

ඔබ, ඔය මොන චෝදනා නැඟුවත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරයකු ප්‍රකාශ කළා සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් 20ට සහාය දක්වන බව. මෙය සත්‍ය කරුණක් නොවෙයි ද?

මෙය අපිට බලාගන්න පුළුවන් ඡන්දය පැවැත්වෙන අවස්ථාවේදී. එවැනි දේවල් වෙනවා. ඒකෙ අනික් පැත්තක් තිබෙනවා. මේ රජය පිළිබඳව කලකිරුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරු අප සමඟ එකතු වීමට සාකච්ඡා කරමින් බලාගෙන ඉන්නවා.

සමඟි ජන බලවේගයේ නායකයන් අතර ගැටුමක් ඇති බවට ආණ්ඩුවේ ඇමැතිවරුන් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබෙනවා. කුමක්ද ඔය කියන ගැටුම?

කිසිම ගැටුමක් අර්බුදයක් නැහැ කියන එක මම පැහැදිලිවම කියනවා. අපි ඉතා කෙටි කාලයකදී ජයග්‍රහණ රැසක් ලබාගන්න පක්ෂයක්. අපිට හොඳ නායකයෙක් සිටිනවා. ඔහුට හොඳ දැක්මක් තිබෙනවා. අපේ නායකයා සජිත් ප්‍රේමදාස. ඔහු ඉතා මිත්‍රශීලිව අනෙත් සාමාජිකයන් සමඟ වැඩ කරනවා. අනෙක අපි පක්ෂ සම්මේලනයක් පවත්වලා එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

20 සංශෝධනයට ආණ්ඩුවට තුනෙන් දෙක ලබාගන්න හැකි වේ ද?

අපි එය ඡන්දය පැවැත්වෙන වේලාවට බලමු. හැබැයි මෙතැනදී එකක් පැහැදිලියි. ආණ්ඩුවට තිබුණු ජනවරම, ආණ්ඩුවට තිබූ විශ්වාසය ජනාධිපති ගෝඨාභය මහත්තයා පිළිබඳව රටේ ජනතාවට තිබූ විශ්වාසය මෙතැනින් අවසන් වෙනවා. එය තවදුරටත් ගැටලුවක් බවට පත්වෙනවා. ඒක මේ ආර්ථික අර්බුදය සහ කොවිඩ් ව්‍යාපෘතියත් බලපානවා. මේ නිසා ජනතාවට අවශ්‍යයි අලුත් ගමනක් අලුත් නායකත්වයක් සහ අලුත් වැඩපිළිවෙළක්. ඒකට මේකම ලොකු පිම්මක් වෙයි. 20 සම්මත වුණත් නැතත්.

ඔබට ආණ්ඩුව සමඟ එක්වීමට ආරාධනා කළහොත් ඔබ ආණ්ඩුවට එකතු වෙනවා ද?

කිසිසේත්ම නැහැ. මට ජනවරමක් දීලා තිබෙන්නෙ. මේ ආණ්ඩුවට එරෙහිව අලුතෙන් හිතලා අලුත් ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්න. ඒ වෙනුවෙන් මම කැපවෙලා ක්‍රියා කරන්නෙ.

මාව කොමිෂන් සභා විශාල ප්‍රමාණයකට කැඳෙව්වා. උසාවියේ නඩු ගණනාවක් මට විරුද්ධව පනවා තිබෙන්නෙ. මාව සිර කරනවා කියලා පාරම් බාන්නෙ. ඒ වගේ දේවල් කරන තත්ත්වයක් තුළ මම ආණ්ඩුවට එක්වන්නෙ නැහැ. මම ඔය කිසිම දේකට බය නැහැ. අපි යන ගමන ඔය බාධකවලින් නවත්වන්නටත් බැහැ. අපි අනිවාර්යයෙන්ම ජනතාවගේ ආණ්ඩුවක් බොහොම ඉක්මනට බිහි කරනවා. අපි මේ රට ආර්ථික අර්බුදයෙන් ගලවාගන්න පුළුවන් ආණ්ඩුවක්. දේශයට ආදරය කරන ආණ්ඩුවක් පිහිටුවනවා.

මේ රජය බලයට පැමිණෙන්නෙ බැඳුම්කර කොල්ලය සහ වංචනිකයන්ට දඬුවම් ලබාදෙන පොරොන්දුව මත. හොරු අල්ලන්නෙ නෑ කියන චෝදනාව ආණ්ඩුවට තිබෙනවා නේද?

ආණ්ඩුව සහ ආණ්ඩුවට සහාය දෙන මාධ්‍ය බළඇණි ජනතාව බියට පත් කරමින් ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව කතාබහ කළා. බැඳුම්කර මගඩිය, බැඳුම්කර හොරු සහ අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් අල්ලාගෙන එන බව. කුමාර් නාදනන් කොටි නායකයා ගෙන ආපු අපිට මේවා කජ්ජක් නේද කියලා ජනතාවට කිව්වා. දැන් මාස එකොළහක් අර්ජුන් මහේන්ද්‍රන්ගේ එක මයිලකටවත් මුකුත් වෙලා නැහැ.

ඒ විතරක් නොවෙයි, අපරාධකරුවන් උසාවියට එනකම් අපරාධකාරයන්ව අල්ලගන්න මේ ආණ්ඩුවට බැරි වුණා. තත්පර පහක් හිරේ දාන්න බැරි වුණා ඇලෝසියස්ව. අපි අට මාසයක් ඔහුව හිරේ දැම්මා. ඒ වගේම බැඳුම්කරේ පාඩුව අය කරගත්තා. දැන් මහජනතාව දන්නවා ඒක නාටකයක් කියලා.

සහරාන් සිද්ධිය බලන්න. එහෙත් එහෙමයි. සහරාන් පිටුපස්සෙ ඉන්නවා කීවා. විවිධ ගොඩ් ෆාදර්ලා, ව්‍යාපාරිකයන්, ඒ වගේම දේශපාලකයන් ඔය වගේ සමාජයේ නොයෙක් බලගතු පිරිසක් ඉන්නවා කියලා කිව්වා. කවුද අද අත්අඩංගුවට අරගෙන තිබෙන්නෙ. කොහේද මේ පරීක්ෂණ විසඳලා තිබෙන්නෙ. අඩු ගානේ එදා කීවා තොරතුරක් ලැබිලත් සහරාන් අල්ලගන්න බැරි වුණා කියලා. අද මෙයට අදාළයි කියන අය ප්‍රසිද්ධියේ ඉන්නවා. ඔවුන්ව අල්ලගන්න බැහැ කියනාව.

ඒ විතරක් නොවෙයි එම්.සී.සී. ගිවිසුම ගැන කිව්වා. ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන කිව්වා. නමුත් ඇමෙරිකාව ඒ ගැන කතාබහ කරන්නට ලබන සතියේ ලංකාවට එනවා. මෙහිදී සෝපා එක ගැන කතා කරනවා. මේවාට විරුද්ධව උපවාස කරපු අය උද්ඝෝෂණ කරපු අයට අද ඇමැතිකම් ලැබිලා. ආණ්ඩුකාරකම් ලැබිලා. නොයෙක් නිලතල ලැබිලා. හැබැයි මේ රටේ ජනතාවට තේරෙනවා තමන්ව අන්ත අසරණ කරලා. තමන්ව ඉතා නින්දිත රැවටීමකට ලක්කරලා. තමන්ව අසරණ කරපු බව මේ බලවේග සියල්ලම.

සහරාන් ප්‍රහාර එල්ල කළේ යහපාලන රජය පැවැති සමයේ. ඔබ එහි ඇමැතිවරයෙක්. මේ ප්‍රහාරයේ වගකීම කවුද භාර ගන්නෙ?

පොලිසියට මේ පිළිබඳව තොරතුරු ලැබුණා නම් පොලිසිය ඊට අදාළ අංශ සමඟ සම්බන්ධ වී මෙයට පිළියම් යොදන්නට ඕනෑ. මොකද ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් අහ අහ ඉන්න ඕන නැහැ. නමුත් ජනාධිපතිට වගකීමක් තිබෙනවා. සේනාධිනායකයා වශයෙන් සහ අදාළ ඇමැතිවරයා වශයෙන් මේ පිළිබඳව දැනුම් දුන්නා නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න.

අගමැතිවරයාත් මෙහිදී ඔහුගේ වගකීම පැහැර හැර තිබෙනවා. අපි බොහොම නිහතමානීව කියනවා. අපිටත් මෙහි වගකීම මඟහරින්න බැහැ. අපිත් වගකිව යුතුයි.

සමඟි ජන බලවේගයේ ඉදිරි ගමන්මඟ කෙසේ ද?

පක්ෂයක් හැටියට අපි සියලුම දෙනා එකා මෙන් ක්‍රියා කරමින්. ගම්බිම් මට්ටමින් සමිති ශාඛා පිහිටුවමින් පක්ෂය පුළුල් ව්‍යාපෘතියක් සිදු කරනවා. නව සාමාජිකයින් දිනෙන් දින අප වටා රොක්වෙමින් සිටිනවා. ඉදිරියේදී අපි සමඟ ජන බලවේගය හැටියට සෙසු පක්ෂ සමඟ සමඟ ජන සන්ධානය වශයෙන් කටයුතු කරනවා. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා ජයග්‍රාහි කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වීමට අවශ්‍ය සියලු දේශපාලනික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

Comments