
- රටක සංවර්ධනය ඇති කිරීමේදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛ කාර්යයක්
- ජනාධිපතිතුමා ප්‍රායෝගිකව බිම් මට්ටමේ වැඩ කරලා ප්‍රතිඵල පෙන්වූ චරිතයක්
- බැසිල් ගැන මෙතනදි කතා කරන්නේ දේශපාලන අවස්ථාවාදය නිසා
විසිවන ආණ්ඩුක්‍රම සංශෝධනය අවශ්‍ය වන්නේ ඇයි?
මෙහි මේ රටේ අනාගතයට අවශ්‍ය බොහෝ තීරණාත්මක කරුණු රැසක් ඇති නිසා මෙම සංශෝධනය අපි ගෙන ඒමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව සරලව කියනවා නම් රට අරාජික වන එක වැළැක්වීම සඳහායි 20 අවශ්‍ය වන්නේ. ඒක මුළු රටම ඇස් පනාපිට දැක්කා. කොතරම් ප්‍රමාණයක් ද කියනවා නම් 19 වැනි සංශෝධනයට අනුව යහපාලන ආණ්ඩුව කරන්න බැරි තත්වයකට මෙය රට රැගෙන ගියා. මේ රෙට් ජනතාව පැහැදිලිව එය දැක්කා.
රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය පිළිබඳ කිසිම දෙයක් කරන්න බැරි තත්වයක් උදාවුණා 19 වන සංශෝධනය නිසා. ඒ කියන්නේ එකිනෙක සමඟ අඛණ්ඩව ගැටෙන බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වුණා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වටා.
මෙයට හොඳම සාක්ෂිය තමයි පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසන් සභාව ඉදිරියේ දිනෙන් දින අනාවරණය වූ කරුණු. ඇත්තටම ඒවා අහන් සිටීමේදී පවා බියක් දැනෙනවා. මේ රටේ ඒ කාලයේ ආණ්ඩුවක් තිබුණාද නැද්ද කියන එක.
මේ ප්‍රහාරය සම්බන්ධව සියලුම විස්තර රජයට ලැබිලා තිබෙනවා. මහා විශාල ව්‍යසනයකට සූදානම් වීම. ප්‍රහාරය එල්ල කරන පුද්ගලයන්, ප්‍රහාරයේ සැලසුම්, ස්ථාන සියල්ලක් පිළිබඳව කරපු දෙස් විදෙස් ඔත්තු මාර්ග මගින් රජයට ලැබිලා තිබුණා. නමුත් මේ ප්‍රහාරය සම්බන්ධව රජය කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ගන්න සමත් වෙලත් නැහැ. මේ රටේ ආණ්ඩුවක් තිබුණා කියලා කාටවත් කියන්න බැහැ.
ඔබ කියන්නේ පාස්කු ප්‍රහාරයටත් මේ ‘19’ වග කියන්න ඕනෑ කියලද?
ඔව්. ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ මෙන්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග රැසක් කඩා කප්පල් කරන්නට අගමැතිවරයා පියවර ගනු ලැබුවා. එලෙසම අගමැතිවරයා ගන්න තීන්දු තීරණ ක්‍රියාමාර්ග කඩාකප්පල් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළා. ප්‍රතිපත්ති පිළිබඳව ගැටුම්. පුද්ගලයන් දෙදෙනෙකු අතර විරසකය. මේ සියල්ල නිසා රාජ්‍ය තන්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. මේකට වන්දි ගෙව්වේ මේ රටේ අහිංසක ජනතාව. ජීවිත 265 ක් වන්දි ගෙව්වා. අද කීදෙනෙක් ආබාධිත වෙලා ඉන්නවාද.
මේ තත්වයන් දිගටම ගෙනයනවා නම් අපිට පුළුවන් 19 වැනි සංශෝධනය තියාගන්න ක්‍රියාත්මක කරන්න. එහෙම කරන්න බෑ. මේ රටේ ජනතාව මේවා වෙනස් කරන්න තමයි අපිට බලය ලබා දුන්නේ. 20 අවශ්‍යයැයි කියලා අපි කියන්නේ අන්න ඒ නිසයි.
එක රටකට එක ආණ්ඩුවක් තියෙන්න ඕන. ආණ්ඩු දෙකක් තියෙන්න බැහැ. ඒක කඹ ඇදිල්ලක් බවට පත් වෙනවා. අන්න ඒ තත්වය තුළ කිසිම දෙයක් කරන්න බැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විස්තර සහිතව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විස්ස පිළිබඳ සඳහන් කර තිබෙනවා. මේ සඳහා ජනතාව අති විශාල බලයක් එතුමාට ලබා දුන්නා. වගකීම් රැසක් ඉෂ්ඨ කිරීම සඳහා ජනතාව බලය ලබා දුන්නා. අද එම වගකීම් ජනාධිපතිවරයා විසින් ඉටු කරමින් සිටිනවා. 69 ලක්ෂයක් ඡන්දය දීලත් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දරන්න බැහැ. 19 ට අනුව. ඒ තත්ත්වය අපි තවදුරටත් පිළිගත යුතු නැහැ. අපි ඒ සඳහා තමයි 20 වන සංශෝධනය ගෙන එනු ලබන්නේ.
19 වැනි සංශෝධනය තුළ ඔබ දුටු ප්‍රබලම දුර්වලකම් මොනවාද?
මෙම සංශෝධනයේදී එක් තැනක රාජ්‍ය බලය රැඳී නොපැවතෙනවා. එය ඉතා දුර්වල තත්වයක්. ජනතාවට අවශ්‍යම දේවල් සිදු කිරීමේදී ජනතාව පත් කරගන්නා නායකයන්ට විවිධ බාධක තහංචි පැනවීම. හැම අතින්ම තිරිංග දැමීමම. බලයට සීමා දැමිය යුතු තමයි. හැබැයි මෙහිදී බලයට සීමා පැනවීම වෙන තැනකට ගෙන යනවා. එතකොට කිසිම දෙයක් කරන්න බැරි තත්වයක් ඇති වෙන්නේ.
අත්තනෝමතික, අසීමිත බලය හොඳ දෙයක් නොවෙයි. හැබැයි ජනතාවට පොරොන්දු වූ දේවල් සිදු කිරීමට බලයක් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය බලය තිබිය යුතුයි. එය නොදෙනවා නම් ජනතාවට සේවය කරන්නේ කොහොමද?
ජනාධිපතිවරයාට බලය දෙන්න එපා කියන අය සිවිල් සමාජය නියෝජනය කරන කොමිසන් වලට බලය දෙන්න කියනවා. ඒක හරිද? එය තර්කානුකූලද? ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙනවාද? ජනතා ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිට බලය ලබාදිය යුතු බව පැහැදිලි කරුණක්.
20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලැබෙනවා නේද?
අසීමිත බලයක් ලබා දෙනවා කියන එක හරිද. ඒ කියන්නේ මොන බලය තිබුණත් ආණ්ඩුව ගෙන යා යුතුයි. ආණ්ඩුව ගෙනයාම සඳහා මුදල් අවශ්‍යයි. මුදල් පාලනය කරන්නේ කවුද? ජනාධිපතිවරයා නොවෙයි. මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුව.
ශ්‍රී ලංකා ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියේ පැහැදිලිව ප්‍රකාශ කරනවා මුදල් පාලනය කිරීම හුදෙක් භාර වන්නේ පාර්ලිමේන්තුවට බව. වෙන කිසිම කෙනෙකුට නොවෙයි. එතකොට ඒ කාරණය ආරෝපණය වෙලා නැහැ.
ඒ අනුව කොහොමද කියන්නේ ජනාධිපතිවරයා අත්තනෝමතික පාලකයෙක් බව 20 වැනි සංශෝධනයෙන් ජනිත වෙනවා කියලා. නොවැම්බර් 17 වැනිදා අපි බලාපොරොත්තු වෙනවා 2020 අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න. එය සිදු කරන්නේ 20 වන සංශෝධනය සිදු කිරීමෙන් පස්සේ.
දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය යවලා තිබෙනවා. ජනාධිපතිවරයාට සහ කථානායකයාට ඔහු ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට එය දැනුම් දෙනවා. ඔක්තෝබර් 20 ඒ කියන්නේ ඊට පස්සේ ඕනෑම වෙලාවක දෙවන වර කියවන්න පුළුවන්. ඒ කියන්නේ 20 වැනි සංශෝධනය විවාදයට ගන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ. කොහොමටත් එය සිදු කළ යුතුයි. නොවැම්බර් 17ට පෙර අපි එය ඉක්මනින් විවාදයට අරගන්නවා. නොවැම්බර් 17 ඉදිරිපත් කරන්නේ 2021 සඳහා අයවැය ලේඛනය.
මේ ඉදිරිපත් කරන අයවැය ලේඛනයෙන් තමයි ජනාධිපතිවරයාට මුදල් ලැබෙන්නේ. එතකොට එය තියෙන්නේ පාර්ලිමේන්තුව අතේ. පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාගේ හා රජයේ ක්‍රියාපටිපාටිය අනුමත නොකරනවා නම් මුදල් ලැබෙන්නේ නැහැ. මෙයින් පැහැදිලි වන්නේ ජනාධිපතිවරයාගේ ක්‍රියාපටිපාටිය සිදුවන්නේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය යටතේ කියන එකයි.
මෙයින් ඔබ කියන්නේ පාර්ලිමේන්තුවට ඇති බලය 20 වැනි සංශෝධනයෙන් ඉවත් නොවන බවද?
ඔව්. එය ඉතා පැහැදිලිව කිව හැකියි. පාර්ලිමේන්තුවට පුළුවන් අයවැය ලේඛනය ප්‍රතික්ෂේප කරන්න. අමාත්‍යාංශයක වැය ශීර්ෂය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අතීතයේ එවැනි දේ සිදු වෙලා තිබෙනවා. ඒ අනුව අපි කොහොමද කියන්නේ නාම මාත්‍රයෙන් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවක් වන බව. නැහැ එය කිසිසේත්ම සිදුවන්නේ නැහැ.
මුදල් බලතල ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ. මුදල් නැතිව රජය පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ බලය අපිට මෙහිදී පැහැදිලිව පෙනී යනවා.
20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක් නොමැති බවට විපක්ෂය ප්‍රකාශ කරනවා. එය එසේ වේවිද?
මෙය සම්මත කර ගැනීමට කිසිම ගැටලුවක් නැහැ. ජනතාව මේ වන විට ඒ සඳහා අපට බලය ලබා දී තිබෙනවා. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මොන කතා කීවත් ස්ථිරවම අපට මෙය සම්මත කර ගත හැකියි. අනෙක් කාරණය තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මෙහිදී අප සමඟ එක්වීමට කැමතිවෙලා තිබෙනවා.
අපි සන්ධානයක් නිසා සන්ධානයක් තුළ විවිධ මත තිබෙන්න පුළුවන්. මොකද අපි සමඟ තවත් විපක්ෂ කිහිපයක්ම එක‍්වෙලා ඉන්නවා. වෙන වෙනම පක්ෂවල මතවාද තිබෙන්නට පුළුවන්.
එහිදී අදහස් අතර වෙනස්කම් තිබෙනවා. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපි ඒ සියලු දෙනාට සවන් දිය යුතුයි. නීතියක් පිළියෙළ කරන අවස්ථාවේදී විවිධ ආකල්ප විවිධ මත ප්‍රකාශ වීම ස්වභාවිකයි. එය අලුත් දෙයක් හෝ අමුතු දෙයක් නොවෙයි.
ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක්. නමුත් මෙය අවසානයට සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදි අපි දැඩි ලෙස විශ්වාස කරනවා ආණ්ඩුව එකක් ලෙස කටයුතු කරමින් සාමූහික වගකීමට යටත්ව ක්‍රියා කරාවි. මේ පිළිබඳව අපට කිසිම සැකයක් නැහැ.
මත ගැටුම් තිබුණාට අවසානයේ ඔබලා තුනෙන් දෙක සඳහා එකතු වෙනවා කියනඑක පැහැදිලියිද?
ඔව් අනිවාර්යෙන්ම අපි එය විශ්වාස කරනවා. එය එසේම සිදු ෙව්වි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාලම තමයි සාමූහික වගකීම කියන එක. ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. සමස්ත රජය ගන්නා තීරණයට රජයේ සියලු දෙනා සාමූහිකව සහයෝගය ලබා දෙනවා කියන එක අපට විශ්වාසයි.
අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මහත්වරු 20 සම්බන්ධව විවේචන ඉදිරිපත් කරනවා නේද?
සමහර කරුණු ගැන ඒ අයට යම් මත තිබෙනවා. ඔවුන් දෙදෙනා පමණක් නොවෙයි. තවත් කිහිපදෙනෙකුට 20 යම් යම් කරුණු සම්බන්ධව විවේචන මෙන්ම සංශෝධනය විය යුතු කරුණු ගැන කතාබහ කරනවා. ඒවා පිළිබඳව අපි සාකච්ඡා මාර්ගවලින් විසඳුම් ඉදිරිපත් කරනවා. මේ කාරණා කොහොම වුණත් ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ විපක්ෂයට කිසිසේත් අවියක් ලබා දීමට හෝ රජය අපහසුතාවයට පත් කිරීමට තමන් කටයුතු නොකරන බවයි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරු පැහැදිලිව කියනවා තමන්ගේ මත ගැටුම් රජය දුර්වල කිරීමට ඉඩ නොතබන බවට. විපක්ෂය ශක්තිමත් කිරීමට ඔවුන් කිසිවිටක කටයුතු කරන්නේ නැහැ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා 20 වැනි සංශෝධනයේ වෙනස්කම් කිරීම සම්බන්ධව. එම කමිටුව පත්කිරීම සාර්ථකද?
ඇත්තටම එම කමිටුව පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක්. එම කමිටුව අවස්ථා කිහිපයකදීම රැස්වී සාකච්ඡා පැවැත්වුවා. එහිදී සමහර කරුණු පිළිබඳව පූර්ණ එකඟත්වයකට පැමිණීමට අසීරු වුණා. නමුත් ඒ කමිටුව මගින් ප්‍රායෝගික කාර්යභාරයක් ඉටුවුණා.
මෙම සංශෝධන ඉදිරිපත් කිරීමේදී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සමාජ කතිකාවක් ඇතිවී තිබෙනවා. ද්විත්ව පුරවැසිභාවය ඉවත් කිරීම සිදු කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා යැයි කියා. ඇත්තක්ද මේ කියන්නේ?
පුද්ගල කේන්ද්‍රීය, පුද්ගල පාදක සාධකයන් මුල්කර ගෙන නොවෙයි 20 වැනි සංශෝධනය සකස් කළේ. මොකද ඔය කතාව බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධව සිදුකරන විරුද්ධවාදී අදහසක් පමණයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා ලංකාවේ පුරවැසිභාවය පිළිබඳව. එහිදී සඳහන් වන්නේ සියලුම පුරවැසියන් එක ලෙස සලකන බවයි.
ද්විත්ව පුරවැසියෙක් කියලා කියන්නේ මේ රටේ පුරවැසියෙක් වෙන රටක පුරවැසියෙක් වන අතර ශ්‍රී ලංකාවෙත් පුරවැසියෙක්. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නිසා එවැනි පුද්ගලයෙකුට පූර්ණ අයිතිය තිබෙනවා ඡන්දය භාවිතා කිරීම සඳහා. අන්න ඒ නිසා ඡන්දය දෙන පුද්ගලයෙකුට ඡන්දය ඉල්ලන්නත් අයිතිය තිබෙනවා. එකම කාසියේ පැති දෙකක්. ඡන්දය දෙන්න පුළුවන් නම් ඡන්දය ඉල්ලන්නත් පුළුවන්. අනෙක් කාරණය තමයි මේක හැමදාම මේ රටේ තිබුණා. 2015 දී 19 වන සංශෝධනය ඉදිරිපත් වනතුරුම මේ අයිතිය තිබුණා. අන්න ඒ නිසා ඒ සම්බන්ධව අපි අලුත් දෙයක් කරනවා නොවෙයි. 2015 ට පෙර තිබුණු තත්වය ඇති කිරීමක් පමණයි. මෙය අලුත් තත්වයක් නොවෙයි කියන එක ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්.
2015 ට පෙර කිසිම කෙනෙකුට මේක ගැටලුවක් වුණේ නැත්නම් ඇයි මේක දැන් ගැටලුවක් හැටියට දකිමින් ඒ ගැන දැඩි විවේචනයක් ඉදිරිපත් කරන්නේ. ආරම්භයේදී ගැටලුවක් වුණේ නැහැනේ. එහෙනම් ඇයි දැන් මෙය ගැටලුවක් ලෙස දකින්නේ.
බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කරලා මනාප ඡන්ද හාරලක්ෂ පනස්දහකට වැඩි ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණිලා. ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හැටියට ලොකු සේවයක් කළා. මේ රටට ඔහු අවශ්‍යම පුද්ගලයෙක්. එතකොට ඒ කාලය තුළ කවුරුත් කීවේ නැහැනේ ද්විත්ව පුරවැසිභාවය ගැන. ඇයි මේ හදිසියේ මෙම චෝදනාවක් ගෙන එන්නේ කියන එක ජනතාව තේරුම් ගන්නවා ඇති. මේක තුළ තිබෙන්නේ දේශපාලන අවස්ථාවාදය.
20 වැනි සංශෝධනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මොකද වෙන්නේ?
ඔය කියන්නේ ජනපතිට මහබලයක් ලැබෙනවා කියන එකද. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. 20 වැනි සංශෝධනය මගින් 2015 ට පෙර සිටි ජනාධිපතිවරයාට තිබූ බලතල වලට එහා ගිය විශේෂ හෝ වෙනත් බලතල කිසිවක් නොලැබෙන බව අප පැහැදිලිව ජනතාවට වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. 1978 සිට 2015 දක්වා මේ රටේ විධායක ජනාධිපති ධුරය තිබුණා. ඒ තිබුණු කාලය තුළ ජනාධිපතිවරයා සතු බලතල වලට එහා ගිය අලුත් බලයක් 20 වැනි සංශෝධනය මගින් වර්තමාන ජනාධිපතිවරයාට ලැබෙන්නේ නැහැ. 1978 සිට 2015 දක්වා තිබූ දේවල් ප්‍රශ්නයක් නොවුණා නම් ඇයි මේ හදිසියේ 20 ප්‍රශ්නයක් වෙන්නේ.
20 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාට මොකද වෙන්නේ?
අග්‍රාමාත්‍ය ධුරයත් එලෙසමයි. මීට පෙර තිබූ බලයම එම ක්‍රියාවලියම අගමැතිවරයා සතු වෙනවා. ඒ කියන්නේ 2015 ට පෙර තිබූ අගමැතිගේ බලතල එසේම තිබෙනවා. අලුත් දෙයක් සිදු වන්නේ නැහැ. මෙය ජනතාව තේරුම් ගත යුතුයි. නැති බියක් ඇති කරන ආකාරයක් තමයි දේශපාලන රාමුව තුළින් පෙන්නුම් කරන්නේ.
ජනාධිපතිවරයාට අලුත් බලයක් නොලැබෙනවා සේම 2015 ට පෙර අගමැතිවරයාට තිබූ බලය ඔහුගෙන් ගිලිහී යන්නෙත් නැහැ. 2015 ට පෙර පැවතුණු තත්වය ඒ විදියටම ක්‍රියාත්මක වනවා.
වසරකට ආසන්න වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය ඔබ දකින්නේ කෙසේද?
අපි එය බැලිය යුත්තේ ඔහු මෙතෙක් කල් ගත් තීරණ සහ ක්‍රියා කරපු ආකාරය පිළිබඳව. එය තමයි මිනුම් දණ්ඩ විය යුත්තේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව ජනතාවට මේ තරම් විශ්වාසය තබන්නේ ඔහු මීට පෙර ක්‍රියා කරපු ආකාරයත් සමගයි. ඔහුට තිබෙන්නේ විනය ගරුකව වැඩ කිරීමේ හැකියාව. ඔහු නිතරම ක්‍රියාවෙන් යමක් ඔප්පු කර පෙන්වන්නෙක්. කතා කිරීම, දර්ශන වැනි දේ නොවෙයි වැඩ කිරීම ඔහුගේ වටිනා ගුණාංගය ලෙස මා දකිනවා. න්‍යායාත්මකව නොවෙයි ප්‍රායෝගිකව, බිම් මට්ටමේ සිට වැඩ කරලා ප්‍රතිඵල පෙන්වූ චරිතයක්.
පැහැදිලිවම ඔහු යුද්ධය සම්බන්ධව ඒක කළා. එදා තිබුණු මතය තමයි මේ තිස් අවුරුදු යුද්ධ ජය ගන්න බෑ කියන කාරණය. 2010 - 2015 කාලයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් හරි පුද්ගලයන් හරි තැන්වලට පත් කළා. හරි වෙලාවට හොඳම තීරණය පරක්කු නොකර ගනු ලැබුවා. හොඳ අධීක්ෂණයක් තිබුණා. ලෝකයම පුදුම කරවමින් සාකච්ඡාවෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික යුද්ධය මගින් එම ජයග්‍රහණය ලබාගනු ලැබුවා. පසුව ඔහු නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මේ රටේ නගර සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් අලංකාර නගර බවට පත් කරමින් මහජනතාවට අලුත් අත්දැකීමක් එක්කළා. කොළඹ නගරය ආසියාවේ ආකර්ශනීය නගරයක් බවට පත් කළා.
හරිත නගරයක්, ජලය, මංතීරු, ඇවිදින මංතීරු, ශාරීරික සෞඛ්‍ය සඳහා ව්‍යායාම සිදු කරන ස්ථාන ඇති කරමින් අපිට අදටත් ප්‍රයෝජනවත් ඉදිකිරීම් සිදු කළා. නිවාස, මහාමර්ග අලුතෙන් නිර්මාණය කරමින් මාර්ග සංකල්ප වශයෙන් නොව භෞතික වශයෙන් කරලා පෙන්නුවා. මෙන්න මේ කාරණා නිසා ජනතාවට ලොකු විශ්වාසයක් ඔහු පිළිබඳව ඇති වුණා. එහි ප්‍රතිඵලයක් තමයි ඔහු ඡන්ද ලක්ෂ 69 ලබා ගනිමින් ජනාධිපති ධුරයට පත් වෙන්නේ.
ඉකුත් වසරක කාලය තුළ ඔහු ගත්ත ඉකුත් තීන්දු තීරණ පිළිබඳව අපි අමුතුවෙන් කිව යුතු නැහැ. රටේ ජනතාව එය හොඳින් දන්නවා. කොරෝනා වසංගතය හමුවේ ලෝකය ඉදිරියේ අපි රටක් හැටියට පැමිණි තැන පිළිබඳව ශ්‍රී ලාංකිකයන් පමණක් නොව මුළු මහත් ලෝකයම දැන ගත්තා. ඒ ජනාධිපතිවරයාගේ තීරණ නිසා.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න