ජවිපෙ '20' ට පොතක් දාන හැඩ | Page 2 | සිළුමිණ

ජවිපෙ '20' ට පොතක් දාන හැඩ

රනිල්ගෙන් බෝම්බකරුවකු ගැන රහසක්
ඉස්සර රැලි වගේම‍ මේ කොරෝනා රැල්ලත් අපිට පාලනය කරන්න පුළුවන් 
- ජනපති

සජිත්ට ඇඟලුම් සේවිකාවන්ගෙන් දිගටම දුර ඇමතුම්
ගම්පහ සිසු දරුවන් රකින්න ප්‍රසන්නට රජයෙන් උපදෙස්

කැබිනට් මණ්ඩලය සුපුරුදු ලෙස ඉකුත් සඳුදා පස්වරු පහට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ. ඒ වන විටත් ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ රෝගය පිළිබඳව ජනතාව තිගැස්මකට ලක්වී බියක් ද පැතිරයමින් තිබුණි. කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර එහි සිටි මැති ඇමතිවරු තම තමන්ගේ ප්‍රදේශවල මෙන්ම නොයෙක් ප්‍රවෘත්ති මගින් ලැබෙන තොරතුරු පිළිබඳව කතාබහ කරමින් සිටියහ. 

කැබිනට් රැස්වීම ආරම්භවීමත් සමග තමන් වෙත ලැබී තිබූ තොරතුරු සමගින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි සිය හඬ අවදි කළාය.

“කොරෝනා මෙවර පැතිර ගිය විදිය පිළිබඳව අපි සොයමින් සිටින්නේ. ඒ පිළිබඳව ගැටලුවක් තිබෙනවා. නමුත් මේ වසංගතය පාලනය කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සෞඛ්‍ය අංශ උපරිම සිදු කරගෙන යනවා.

යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ මේ සඳහා උපරිම දායකත්වය ලබා දෙනවා. අදාළ සියලු පාර්ශවයන් දිනපතා මේ පිළිබඳව තොරතුරු රැස් කරමින් සාකච්ඡා සිදු කරනවා.

මෙය අපි දෙවැනි රැල්ල ලෙස හඳුනාගෙන තිබෙනවා. අදාළ අංශ දිවා රෑ නොබලා මේ සඳහා ක්‍රියා කරනවා” යැයි මෙහිදී ඇමතිවරිය අවධාරණය කළාය.

“ඔව් අපි ඒ සියලුම දෙනා ගැන බලන්න ඕන.” ජනාධිපතිවරයා සිය හඬ අවදි කරමින් කීවේය.

ජනපතිගේ විශ්වාසය

“මේ වන විට කොරෝනා තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ කළ හැකි සියලුම දේ සිදු කරමින් සිටිනවා. මට විශ්වාසයි පළමු රැල්ල පාලනය කළ අපිට මේ රැල්ලත් පාලනය කළ හැකි බව. ඒ සඳහා ජනතාවගේ සහයෝගය අවශ්‍යයි” ජනාධිපතිවරයා කීවේය.

“සර් ඇඳිරි නීතිය දාපු ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල හුඟ දෙ‍නකුට ආර්ථික දුෂ්කරතා තියෙනවා. ඒ අය වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.” යැයි ඇමැති ප්‍රසන්න රණතුංග ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

“හරි ප්‍රසන්න අපි ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමු. ඉතා ඉක්මණින් තීරණයක් ගමු” ජනාධිපති පිළිතුරු දුන්නේය.

මේ අතර ප්‍රසන්න ඇමතිවරයාට ඉකුත් සතියේ විශේෂ වගකීමක් පැවරුණි. ඒ අධ්‍යාපනයට සම්බන්ධවය. 5 වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට තීරණය කිරීමත් සමඟය.

ඒ වගකීම ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල විභාගය පැවැත්වීම හා නිරෝධායනය වන පවුල්වල දරුවන් විභාගය සඳහා යොමු කිරීමේ වගකීමයි.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග වහාම සාකච්ඡාවක් පැවැත්වූ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ඔවුනට උපදෙස් දෙමින් ප්‍රකාශ කර සිටියේ විභාග මධ්‍යස්ථාන වහාම විෂබීජහරණය කර සෞඛ්‍ය අංශ සමග එක්ව දරු දැරියන්ට විභාගය සඳහා අවශ්‍ය ආරක්ෂාව සහ පරිසරය නිර්මාණය කර දෙන ලෙසයි. මේ අතර කැබිනට් රැස්වීමේදී තවත් වැදගත් තීරණ කිහිපයකට එළඹී තිබුණි.

විද්‍යාලංකාර අන්තර්ජාතික බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාව සේවා සැපයුම් තත්ත්වයට පත්කිරීම, ඌව වෙල්ලස්ස සරසවියට තවත් ඉඩමක් ලබාදීම, 2003 අංක දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය, බාස්මතී සහල් ආනයනය කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයකට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

කොරෝනා ශ්‍රී ලංකාව තුළ පැතිර යාමේ අවදානමක් යළි ඇතිවීමත් සමග බොහෝ සීමාවන් පැනවීමට රජය පියවර ගනු ලැබීය. විශේෂයෙන්ම උත්සව අවස්ථා සීමා කිරීම මෙන්ම ඒවාට සහභාගි වන පිරිස් අඩු කිරීම, මගී බස්රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම, මීටරයක දුරස්ථභාවය වැනි සෞඛ්‍ය කරුණු පිළිබඳව රජය ජනතාවට නොයෙක් අයුරින් දැනුම්වත් කිරීම් සිදු කරනු ලැබීය.

නිරෝධායන ගැසට් එක එයි

මේ අතර නිරෝධායනය සම්බන්ධයෙන් පනවා ඇති නීති සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඉකුත් 15 වැනිදා නිකුත් කළේය.

එය නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත නමින් මුද්‍රණය කර තිබිණි.

ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ චීනය අතර දැඩි හිතවත්කම් පවතී. එය තවදුරටත් ඉහළ නංවමින් චීන දූත පිරිසක් ඉකුත් සතියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යැංජිංයචි ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

මේ පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර කොවිඩ් වැළැක්වීම සඳහා චීනය නිපදවා ඇති එන්නතක් ලබාගෙන තිබුණි. මෙම දූත පිරිස චීනයේදී පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර තිබූ බව චීන තානාපති කාර්යාල තොරතුරු අනාවරණය කළේය.

දූත පිරිසට නවාතැන් ලබාදී තිබුණේ කොළඹ නගරයේ පිහිටි අධි සුඛෝපභෝගි හෝටලයකි. එම හෝටලයට මෙන්ම චීන දූත පිරිස නැවතී සිටි විශේෂ කලාපයට දැඩි ආරක්ෂාවක් ලබාදීමට රජය කටයුතු කර තිබුණි.

මෙම දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වූ අතර “එක මාවතක් එක තීරයක්” යන වෙළෙඳ ප්‍රතිපත්තිය පිළිබඳව එහිදී කතා බහකර තිබේ.

ලබන නොවැම්බර් මස 17 වැනිදා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට ලබන 2021 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර ඇති අතර එය ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව මාසයක පමණ කාලයක් එය විවාදයට ගනු ඇත.

මෙවර අය වැයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ග්‍රාමීය කර්මාන්ත, කෘෂිකර්මය නගා සිටුවීමට බව දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අමාත්‍යාංශ වෙත අයවැයෙන් මුදල් වෙන් කිරීම මෙවර සුවිශේෂි අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. මීට පෙර සාමාන්‍ය ක්‍රමය වූයේ කැබිනට් අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීමයි. එලෙස මුදල් වෙන් කර එමගින් පසුව රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ කටයුතු සඳහා මුදල් වෙන් කිරීම මෙතෙක් කල් සිදුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රථම වතාවට රාජ්‍ය අමාත්‍යවරුන්ට සිය බලය ගැසට් පත්‍රයක් මගින් ලබා දුන්නේය.

අලුත් පක්ෂ 154 ක් ලියාපදිංචියට ඇවිත්

අලුත් දේශපාලන පක්ෂ 154 ක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර තිබේ. කොමිසම මුල් වටයේ පරීක්ෂා කිරීම් වලින් පසුව ඉල්ලුම්පත් ඒවා තිබූ දේශපාලන පක්ෂ එකසිය විසි එකක් සම්බන්ධයෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්විය.

ජනතා සේවක පක්ෂය, අරුණලු ජනතා පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, සමන්තුව කච්චි සහ සිංහල රාවය යන පක්ෂ ලියාපදිංචි කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ නායකයෝ විස්ස සම්බන්ධව දැඩි විවේචන ඉදිරිපත් කරමින් සිටිති. මේ සම්බන්ධව පක්ෂය විශේෂ සාකච්ඡා කිහිපයක්ම ඉකුත් සතියේ පැවැත්විය. ඔවුහු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව තමන්ට කළ හැකි දේ පිළිබඳව ද කතාබහ කළහ.

“අපට ගම්පහ තත්ත්වය ගැන සලකන්න වෙනවා. අපේ පාක්ෂිකයන් දිගින් දිගටම කතා කරලා ඔවුන් මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳව දුරකතන ඇමතුම් ලබා දෙමින් පවසා සිටිනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම අපේ ක්‍රියාකාරීන් නිතර නිතර කරුණු රාශියක් ගැන අහනවා.” යැයි නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

“අපි පුළුවන් උපරිම අයුරින් පාක්ෂිකයන්ට පමණක් නොවෙයි ජනතාවට ආධාර ලබා දුන්නා. සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අප ඔවුන් ළඟට ගියේ.” නලින් ජයතිස්ස හඬ අවදි කරමින් කීවේය.

“ආණ්ඩුව මොනවා කීවත් මේ සැරේ නම් ඔවුන් ජනතාව අසරණ කර තිබෙනවා. රජය ජනතාවට සහන ලබා දෙන පාටක් නැහැ. කලින් වතාවේ වගේ නොවෙයි මේ වතාවේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මැදිහත් වීමක් නැහැ. සුපර් මාකට්, වෙළෙඳ සැල්, ෆාමසි ඇරලා තිබුණට ජනතාවට බඩු ගන්න සල්ලි නැහැ.” ටිල්වින් සිල්වා කීවේය.

“අපි 20 ගැන අලුත් කතාවක් ජනතාව අතරට පත් කරන්න ඕන. කොරෝනා නිසා සම්මන්ත්‍රණ වැඩේ හරියට කරන්නත් බැහැනේ. මේ නිසා 20 ගැන පොතක ලියලා මේ පොත ජනතාව අතට පත් කරන්න ඕන.” නලින්ද ජයතිස්ස කීවේය.

රිෂාඩ් බදියුද්දීන් කෝ?

මේ අතර අධිකරණ නියෝග සහ නීතිපතිවරයාගේ උපදෙස් හෑල්ලුවට ලක් නොකර හිටපු කර්මාන්ත, වාණිජ හා අවතැන් වූවන් නැවත පදිංචිකිරීමේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අප්‍රමාදව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඉකුත් (15) වැනිදා රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීම් පසුගිය සතියේදී නතර කර තිබුණේ කොරෝනා වයිරසය සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන නිසාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන්ට මෙන්ම සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ කටයුතු කරන සියලු දෙනාටම දැනුම්දී තිබුණේ හැකි සෑම සනීපාරක්ෂක උපක්‍රමයක්ම අනුගමනය කරන ලෙසටය.

පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේ වැඩ කරන ඇතැම් අයට නිවසේ සිට රාජකාරි කිරීමට ඔහු අවස්ථාව ලබාදී තිබුණේය.

“මේ වගේ අවස්ථාවලදී මම මගේ කාර්ය මණ්ඩලය දිහා නම්‍යශීලීව බලන්නේ. මම කාර්යාලයේ මහ රෑ වෙනකම් වැඩ කරන හැම දවසකම ඔය අයත් මාත් එක්ක හිටියා. මේ අවස්ථාවේදී අවදානමක් තිබෙන අය ගෙදර ඉඳගෙන වැඩ කරන්න” සජිත් විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඇතැම් අය නිවසේ සිට රාජකාරි කළ අතර වට්ස් ඇප් හා දුරකතන මාර්ගයෙන් නිරන්තරයෙන් ඔවුන් හා සම්බන්ධ වෙමින් රාජකාරි කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායකවරයා වැඩපිළිවෙළක් යොදා තිබුණේය. එසේ නිවසේ සිට රාජකාරි කරන අයද දිවා රෑ නොමැතිව තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට ද අතපසු කර තිබුණේ නැත.

මහජන හමුවීම් නොපැවැත්වුවද මේ සතියේ සමගි ජන බලවේගයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක්ම පැවැත්ව‍ූවේය. කොරෝනා අවදානමට මුහුණදීමට ආණ්ඩුව අසමත්වීම පිළිබඳව මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැනත් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

“ඔබතුමා කිව්ව කතා දැන් කාටත් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ‍වයිරසය ආසාදනය වී ඇති පිරිස් සඳහා ප්‍රතිකාර කිරීමට රෝහල්වල තියෙන ඇඳන් ප්‍රමාණය ප්‍රමාණවත් නෑ” රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.

මේ අතර කටුනායක වෙළෙඳ කලාපයේ සේවිකාවන් කිහිපදෙනෙක් විපක්ෂ නායකවරයාට දුරකතන ඇමතුම් ලබාදුන්හ. තමන්ගේ දුක ඔවුහු විපක්ෂ නායකවරයාට පැවසූහ. ඒ ඔහු ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන අයගේ දුක් ගැන වැඩි අවධානයක් යොමු කරන බව දන්නා නිසාය.

හරීන් යෝගි ව්‍යායාම්වල

“සර්, අපිට පී.සී.ආර්. පරීක්ෂණ තියන්න කියලා එක දවසක් ගෙන්වා ගත්තා. එදා අපිට පරීක්ෂණ කරන්නේ නැතිව යැව්වා. පස්සේ දවසක නැවත ගෙන්වා ගත්තා. අපිට පැයක් ඇතුළත එන්න කියලා කැඳවා ගත්තේ. අඩුම තරමේ අපට අරගෙන යන්න ඕන අත්‍යවශ්‍ය දේවල් අරගෙන යන්නවත් මේ අය වෙලාව දුන්නේ නෑ” වෙළෙඳ කලාප සේවිකාවෝ සජිත්ට කීහ.

“ගිය වතාවේ හමුදාවේ රණවිරුවෝ කොරෝනා මෙහෙයුමට දාලා එයාලාට කොරෝනා ආසාදනය වුණාම සමහරු එයාලට ගල් ගහන තත්ත්වයට පත්වුණා. එහෙම කළගුණ නොදන්න අය ඉන්නවා. ඔයාලා වෙනුවෙන් අපි පුළුවන් උපරිමය කරනවා.”

සජිත් වහාම විවිධ පාර්ශව දැනුම්වත් කරමින් මේ පිළිබඳව සිය අවධානය යොමු කළේය.

අභයාරාමයේ බෝධි පූජාවට පැමිණි අමුත්තා කවුද?

ලංකාව පුරාම දිනමු කමිටු පිහිටුවීමේ වැඩසටහන කරට ගෙන සිටි‍යේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. කොරෝනා අවදානමත් සමග දිනුම් කමිටු පිහිටුවීමේ වැඩසටහනට තාවකාලික විරාමයක් ලබා දුන්නේය. මේ නිසා තරමක දේශපාලන විවේකයක් ලැබී සිටින හරීන් ප්‍රනානදු මන්ත්‍රීවරයා අලුත් වැඩකට අත ගසා තිබේ. ඒ යෝගී ව්‍යායාම් කිරීමටය.

යෝගි ව්‍යායාම්වල යෙදෙන හරින්ගේ ඡායාරූප කිහිපයක් පක්ෂයේ නායකයින් සිටින වට්ස් ඇප් ගෲප් එකකට ඇතුළත් කර තිබුණේය.

“මොකද මේ හරින් යෝගා කරන්න පටන් අරගෙන තියෙන්නේ” ඒවා දුටු සජිත් විමසුවේය.

“කොරෝනා අවදානම පහුවුණාට පස්සේ මීට වඩා වැඩි ජවයකින් ‘දිනමු’ කමිටු පිහිටුවීමේ වැඩ කරන්න ඕන. මම ඒකට සූදානම් වෙනවා” හරීන් උත්තර දුන්නේය.

සජිත් කීවේද කොරෝනා අවදානම පහව ගිය පසුව පක්ෂයේ යාන්ත්‍රණය වේගවත්ව බිම් මට්ටමේ සිට ගොඩ නැගිය යුතු බවය.

රටේ වර්තමාන තත්වයත් එක්ක දහවලක් රැයක් නැතිව කැපවෙලා ඉන්න සියලුම සුව විරුවන්ටත් රටේ මහජනතාවටත් සෙත් පතන බෝධිපූජාවක් නාරාහේන්පිට අභයාරාමයේදී පසුගියදා පැවැත්විණි. වෙළෙඳ අමාත්‍යාංශය මඟින් තමයි මේ බෝධිපූජාව සංවිධානය කර තිබුණේ. ආචාර්ය බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ද වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීහු මෙයට එක්ව සිටියහ.

මේ ආශිර්වාදාත්මක බෝධි පූජාව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ තමයි මෙහෙයවූයේ. බෝධි පූජාව පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි එකපාරටම කවුරුත් බලාපොරොත්තු නොවුණ අමුත්තෙක් පැමිණියේය. කිසිම දැනුම්දීමක් වත් ඉඟියක් වත් නැතිව මෙතනට ආවෙ වෙන කවුරුත් නෙවෙයි. ඇමති බන්දුල හැමදාමත් ගරු කොට සලකන අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාණන්ය. බෝධි පූජා පිංකම පටන් ගන්න පූජාවටත් ඉඳලා අගමැතිතුමා සුහද කතා බහක යෙදෙන ගමන් රටේ වත්මන් දේශපාලන තත්වයත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනත් එතැන හිටපු ඇමති මන්ත්‍රීවරුන් එක්ක අදහස් හුවමාරුවක යෙදිණි. අතිශය කාර්යබහුලත්වය හින්දා අගමැතිතුමා එතැනින් ගියාට පස්සෙ ඇමති බන්දුල මාධ්‍යට අදහස් දැක්වුවේ නිකුත් කිරීමට තීරණය කරපු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල ආනයන බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය ගැනයි.

එ.ජා.ප. නායකයා බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත රාජකාරි නිම කොට අනතුරුව දේශපාලන පළිගැනීම්වලට අදාළ ජනාධිපති කොමිසමේ සාක්කි ලබාදීමට ගියේය. ඊට පෙර සිරිකොතට පැමිණි විශාල පිරිසක් සහ නිලධාරින් සමග විශේෂ කතාබහක ද ඔහු නිරත විය.

“අඟහරුවාදා පාස්කු කොමිසමේ දී මොකද වුණේ” එ.ජා.ප. නීති නිලධාරියෙක් විමසීය.

“අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා. එච්චරයි” නායකයා කීවේ මද සිනහවක් ද සමගිනි. “ජනමාධ්‍ය අයින් කරලා පාස්කු එකේ බෝම්බකරුවෙකු නිදහස් කිරීමට ගිය ආණ්ඩුවේ යම් පාර්ශවයක් සම්බන්ධ බවට වැදගත් තොරතුරක් හෙළි කළා කියලා ජනමාධ්‍යවල එහෙන් මෙහෙන් ගියා. ඒ සිද්ධිය මොකක්ද?” නායකයාට යොමු වූ තවත් පැනයකි. 

“රහසක් කියන්නේ රහසක්. ඒවා තැන තැන කියන්න බැහැ.” නායකයා කීවේ එවැන්නකි.

“20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දාන්න කලින් ලීක් වෙලා. ජනමාධ්‍යවල යනවා.” වජිර අබේවර්ධන කීවේ නායකයා දෙස බලාය.

“ලීක් වෙච්ච කරුණුයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන කරුණුයි ගැළපෙනවාද මුලින්ම බලන්න ඕනේ. ගැළපුනොත් ලීක් වෙච්ච එක ලොකු ප්‍රශ්නයක් තමයි. මොකද අදාළ තීන්දුව යවන්නේ ජනාධිපති හා කථානායකට විතරයි. ලීක් කළේ දෙන්නගෙන් කවුද කියලා එතකොට ලොකු ප්‍රශ්නයක් එනවා.” නායකයා පැහැදිලි කළේය.

එ.ජ.ප. ය යළි නගා සිටුවීමට අදාළව රුවන්, සාගල, කොඩිතුවක්කු ඇතුළු කණ්ඩායමේ වාර්තාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

“ඒ වාර්තාව මට ලැබුණා. කීප දෙනෙක් එක්ක සාකච්ඡා කළා. කොරෝනා නිසා අදාළ තීන්දු තීරණ ගන්න ටිකක් කල් යාවි. ඒත් ඉක්මණින් නායකත්වය, අලුත් නිලධාරීන් හා පක්ෂය නගා සිටුවීමේ උපාය මාර්ග ගැන තීන්දුවකට එනවා. කවුරුත් එක්කත් කතා කරලායි තීන්දු ගන්නේ. ආපහු ගහගන්න බෑ. අග්‍රවිනිශ්චයකාරයා වගේ මට තනියම තීන්දු ගන්නත් බෑ.” එ.ජා.ප. නායකයාගේ ස්ථාවරය එය වේ.

අකිල පාර්ලිමේන්තුවට?

එ.ජා.ප. ජාතික ලැයිස්තුව සඳහා මහලේකම් අකිලගේ නම ඔහු විසින්ම මැතිවරණ කොමිසමට යැවීමට උත්සාහ කළ බවට පසුගිය දා සමාජ මාධ්‍යවල පළවිය. ඒ ගැන ද කතාබහක් ඇති විය.

“අකිලටත් යන්න ඕන වෙලා වගේ පේනවා. අකිල වගේම සුදුසුකම් තිබෙන තවත් අය මේක ඉල්ලනවා. පක්ෂයේ එකඟත්වය නැතුව පාර්ලිමේන්තුවට නම් කරන්න අමාරුයි. අනික ඡන්දයෙන් නොතේරුණු කෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් යන්න බෑ කියලා එ.ජා.ප. තීන්දුවකුත් තියෙනවා. අකිල ද වෙන කවුරු හරිද පාර්ලිමේන්තු යන්නේ කියලා ඉක්මනින් තීන්දු කරන්න ඕනෑ.” නායකයා කීවේය.

කෝවිඩ් රැල්ල යළි ගම්පහෙන් ඇරඹි රට පුරා සමාජගත වන අනතුර තිබියදී ආණ්ඩුව එය මර්දනයට වඩා 20 ට මුල්තැන දීම පිළිබඳද එ.ජා.ප යේ අභ්‍යන්තර නොසතුට පල විය.

“ඒ වහපු සමහර ප්‍රදේශවල මිනිස්සුන්ට කන්නවත් නෑ. ඡන්දය ඉවර නිසාද කොහෙද දැන් 5000 ත් නෑ. මේ පාර ජාතිය අමතන්නේ නැතිව අඩු කළාය කියන සැමන්, පරිප්පු, ලූනු වෙළෙඳ පොලේ ඇත්තෙත් නෑ” එහිදී කියවුණේ එවැනි මතවාදයකි.

Comments