19 න් රටට කිසිම වැඩක් වුණේ නැහැ | Page 2 | සිළුමිණ

19 න් රටට කිසිම වැඩක් වුණේ නැහැ

දේශපාලන පක්ෂ, විපක්ෂය මෙන් ම බහුජන සංවිධාන රැසක්ම විසිවෙනි සංශෝධනය එපා කියනවා. ඇයි ඒ?

විපක්ෂය කියන්නේ හැමදේටම විරුද්ධ වන කණ්ඩායමක්. ඒ නිසා ඔවුන් සුපුරුදු පරිදි විස්ස ගෙන එනවාට විරුද්ධයි.

ඔවුන්ගේ දේශපාලන අධිකාරිය පෙන්වීමේ උත්සාහයක් හැටියටත් ඔවුන් මෙයට විරුද්ධව සිටින බව අපට පැහැදිලිව පෙනී යනවා.

19 ය ගෙන ආවේ අපි නොවෙයි නේ‍. 19 ය ගෙන ආවේ ඔවුන්මයි. මේ නිසාත් එය ආරක්ෂා කරන්නට ඔවුන් කටයුතු කරනවා. මෙය පුදුම විය යුතු කරුණක් නොවෙයි.

 

ඔබ නියෝජනය කරන ආණ්ඩුවේ ඇතැම් පිරිස් එදා 19 යට මනාප වුණා. මොකද ඒ ගැන කියන්නේ?

මේ පිළිබඳව විශේෂයෙන් කියන්න දෙයක් නැහැ.

මේක ගෙනාපු අයවත් දන්නේ නැහැ මෙහි මොනවාද තියෙන්නේ කියලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේක ගෙන එන්නට කටයුතු කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමැතිවරුන් පමණක් නොවෙයි. එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පවා ප්‍රකාශ කර තිබුණා 19 ය නරකයි උචිත නැහැ කියලා. මේ නිසා වෙන මොන කතාද කියලා ජනතාවට මේ මගින් ම වැටහෙනවා ඇති.

බොහෝ දෙනා මේ සම්බන්ධව දැන් කියන්නේ රියදුරන් දෙදෙනකු එකට වාහනය පදවනවා කියායි. දහනවය ගෙන එන්න ගොඩක් මහන්සි වූ සුමන්තිරන් මහත්මයා ප්‍රකාශ කරනවා දහනවය තාවකාලිකයි මෙය දීර්ඝ කාලීනව උචිත නැතැයි කියලා. මේ ප්‍රකාශවලින් තේරෙනවා 19 වැනි සංශෝධන මොනතරම් අවුලක් ද කියන එක.

 

ඉකුත් මහ මැතිවරණයේදී ඔබලා පැහැදිලිවම ප්‍රකාශ කරා 19 වැනි ව්‍යවස්ථාව අහෝසි කරනවා කියන කාරණය ඇයි ඒ?

පැහැදිලිවම එම මැතිවරණයේදී අපගේ ප්‍රධානතම කරුණක් වශයෙන් අපි ජනතාවට අවධාරණය කළා මේ සංශෝධනය සිදු කළ යුතු බව. ජනතාවගෙන් ඒ සඳහා අපි තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටියා. 19 ඉවත් කරන්නම් අපිට පාර්ලිමේන්තුව තුළ ඒ බලය අවශ්‍යයි. ජනතාව පැහැදිලිවම එය තේරුම් ගත් බව මැතිවරණ ප්‍රතිඵලයකින් පැහැදිලියි‍. ජනතාව අපිට තුනෙන් දෙකක බලයක් ලබාදී තිබෙනවා. මේ ප්‍රතිඵලය සහ අපගේ මූලිකවම බලාපොරොත්තුවූ කරුණක් අද අපිට ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙලා තිබෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ රටට අත්වූ ඉරණම මේ රටේ ජනතාව පැහැදිලිව දැක්කා. ඔවුන් ඒ තුළ තිබූ ගැටලු නිසාම ජනතාවට නොයෙක් කරදර, පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වුණා.

ර‍ෙට් පාර්ශ්වයන් දෙකක් රට පාලනය කරන ආකාරයක් තමයි මෙහිදී සිදු වුණේ. ආයතන පද්ධති කඩා වැටෙමින් නොයෙක් නොයෙක් අවුල් සහගත තත්ත්වයන් ඇති වුණේ මෙන්න මේ ප්‍රධාන කාරණාව නිසයි.

 

මේ ආණ්ඩුවට 19 යෙන් ඉදිරියට යන්න බැරිද? 20 අවශ්‍යමද?‍

ඇත්තටම බෑ. 20 අවශ්‍යමයි. මෙහි ඇති ගැටලු කිහිපයක් මට පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරීමට නොහැකි බව එක් තැනක සඳහන් වෙනවා. නමුත් තව තැනකදී කියවෙනවා ජනාධිපතිවරයා සතුව ආරක්ෂාව තිබිය යුතුයි කියලා.

20 වැනි සංශෝධනය මගින් ශක්තිමත් බල සම්පන්න විධායක ජනාධිපතිවරයෙක් බිහිවන බවත් පාර්ලිමේන්තුව නමට පමණක් බව සමහර දේශපාලන පක්ෂවල මතය බවට පත් වෙලා තිබෙනවා.මේ පිළිබඳව ඔබගේ අදහස?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වෙලා දැන් මාස දහයකට වැඩියි. ඔහු ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව මෙරට පාලනය කරනවා. සියලු ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව තමයි සිදු කළේ. ජනතාව පිළිබඳව රට පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී ප්‍රායෝගික විය යුතුයි. පොත පතට සීමාවෙලා එහෙම තීරණ ගන්න බැහැ. මේ රටේ ගැටලු විසඳා ගනිමින් මේ ර‍ට සංවර්ධනය කරා ගෙන යමින් යහපත් රටක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයට හැකියාව තිබෙනවා. මේ කාරණා නිසා අද ජනතාව අපිට තුනෙන් දෙකක බලය ලබා දී තිබෙනවා. ඔවුන් අප පිළිබඳව තබා ඇති විශ්වාසය අප රැක ගනිමින් ජනතා හිතැති නායකයන් වශයෙන් ක්‍රියා කිරීමට අප සියලු දෙනා බැඳී සිටිනවා.

 

යහපාලන රජය ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් රටට කිසිම සේවාවක් වුණේ නැහැ කියලද ඔබ කියන්නේ?

ඔව්. කිසිදු සේවයක් වුණේ නැහැ. රටේ ආරක්ෂාවට මොකද වුණේ. රටේ සංවර්ධනයට කිසිම දෙයක් සිදු වුණේ නැහැ. ර‍‍ෙට් ආර්ථිකය එන්න එන්නම කඩා වැටුණා. වසර පහකට ආසන්න කාලයක් මේ රටට කිසිදු වැදගත් දෙයක් සිදු කරන්නට යහපාලන රජයට නොහැකි වුණා‍. මේ වගේ කරුණු රාශියක් පෙන්වා දිය හැකියි. අන්න ඒ නිසා අපි පැහැදිලිවම 19 ය ඉවත් කළ යුතුයි.

 

මේ වනවිට 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39 ක් ගොනු කර තිබෙනවා. වැඩි ප්‍රමාණයක් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පුද්ගලයන්. මේ පිළිබඳව ඔබගේ අදහස?

විපක්ෂය නියෝජනය කරන අයගේ දේශපාලන මතවාද එළියට දාන්න තමයි අධිකරණයට ගොස් තිබෙන්නේ. රජයට විරුද්ධ වීම සඳහා යම් පසුබිමක් සකස් කරවා ගැනීමට තමයි ඔවුන් මේ මගින් උත්සාහ කරන්නේ. 19 ගෙනාවේ ඒ අය නිසා ඔවුන් එය ආරක්ෂා කරන්න කටයුතු කරනවා.

 

20 වැනි සංශෝධනයේ වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. මේ මගින් වෙනසක් සිදු වෙනවාද?

මේ පිළිබඳව සාකච්ඡා කළ අවස්ථා ගණනාවකින් පසුව මෙහි යම් යම් වෙනස්කම් කිරීමට අප තීරණය කර තිබෙනවා‍. ඒ සම්බන්ධව අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා. නීතිපතිවරයා මාර්ගයෙන්.

19 ඉවත් කිරීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කරන්නේ කෙසේද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමත් තමයි අපි ප්‍රථමයෙන් සිදු කරන්නේ. ඒ මගින් මුලින් ම සිදු වෙන්නේ 19 ඉවත් වී ඊට පෙර තිබූ තත්ත්වයට යන එකයි.

අපි 18 ට ගියත් එයින් ප්‍රායෝගිකව සිදු කළ නොහැකි ගැටලු කිහිපයක්ම තිබෙනවා. අපි එය වෙනස් කරනවා මිසක් 19 යෙන් ගෙන ආපු වැඩි ප්‍රමාණයක් ඉවත් කිරීමට මෙහිදී කටයුතු කරනවා.

 

ජනමාධ්‍ය මගින් පැවසෙනවා ආණ්ඩුව තුළ සිටින පිරිසක්ම මේ සඳහා සහයෝගය ලබා නොදෙන බවත් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලය පෙන්වීමට නොහැකි බවත් මෙය සත්‍යයක්ද?

ඇත්තටම මට ඒ සම්බන්ධව තොරතුරක් නැහැ. නමුත් රජයට සම්බන්ධ සියලු දෙනා මේ සඳහා එක්ව සිටින බව පැහැදිලියි. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් මේ පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව සිටිනවා. ඒ අවශ්‍ය තුනෙන් දෙකක බලය පෙන්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටින බවට ජනතාව අතරින් කියවෙනවා. අධිකරණ ඇමැතිවරයා හැටියට ඔබ මේ සඳහා ලබාදෙන පිළිතුර?

ඇත්තටම අධිකරණ ඇමැතිවරයා හැටියට පාස්කු ප්‍රහාරය සම්බන්ධව ක්‍රියාත්මක වන පරීක්ෂණ වලට මම සම්බන්ධ නැහැ. මෙහි විමර්ශන සියල්ල සිදු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තු මගින් මේ පරීක්ෂණ ඉතා කාර්යක්ෂම සහ විනිවිද භාවයකින් කෙරීගෙන යනවා.

මීට අමතරව මේ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසම ක්‍රියාත්මකයි. එම කොමිසමේ කටයුතු ඉතා හොඳ මට්ටමින් සිදු කරගෙන යනවා. මේ දෙකෙන් ම කරුණු හෙළි කර ගත යුතුයි. පොදුවේ ගතහොත් මේ වනවිට හුඟක් ‍වැදගත් දේවල් හෙළිවෙමින් පවතිනවා. අපි බලාගෙන ඉන්නවා මේ විමර්ශන වලට මොකද වෙන්නේ කියලා. මේ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙන් ම ජනාධිපති කොමිසමෙන් රජයට ලබාදීමෙන් පසු අපි නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.

 

වර්තමාන රජය මහ බැංකු කොල්ලයට අදාළව සැකකරුවන්ට දඬුවම් කරන්නේ නැති බවට සමාජ මාධ්‍ය තුළ නොයෙක් ප්‍රචාරයන් සිදු කෙරෙනවා. ඇත්තට මෙම මූල්‍ය වංචාවේ සැකකරුවන්ට දඬුවම් දෙන්නේ නැද්ද?

මෙය අසත්‍ය ප්‍රචාරයක්. අදාළ පුද්ගලයන් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. නඩු පනවා තිබෙනවා. මේ සම්බන්ධව විශේෂ මහ අධිකරණයේ නඩු දාලා තිබෙනවා. එම නඩුව කරගෙන යන්න බැරි වෙලා තිබෙන්නේ මෙහි එක් චූදිතයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවේ නොමැති වීමයි. අපි ඒ සම්බන්ධව නිසි ක්‍රමවේදයකින් ක්‍රියාත්මක වෙනවා. මොකද අපිට ඒ රටට ගිහිල්ලා ඔහුව බලහත්කාරයෙන් ගෙන එන්න බැහැ.

අපි අදාළ නීතිමය කටයුතු සිදුකරලා සිංගප්පූරු රජයට දන්වලා තිබෙනවා මෙම සැකකරු මෙරටට ලබාදෙන්න කියලා. මේ කාරණය නිසා මෙහි ප්‍රමාදයක් තිබෙනවා.

 

වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට ජනතාව අතර ප්‍රසාදයකට ලක්වීමට හැකි වී තිබෙනවා පාතාල ක්‍රියාකාරකම් නතර කිරීම සහ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව ඉදිරියේදී මේ සම්බන්ධව නව නීති ගෙන එනවාද?

පොදුවේ ගත් කළ මේ ක්‍රියාදාමය සම්බන්ධව අපි සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ වගේම විවිධ පැතිවලදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයෙන් බොහෝ දේවල් ක්‍රියාත්මක කරනවා. ඉතාම සැලසුම් සහගතව මෙය ක්‍රියාත්මක වන්නේ. අපේ පැත්තෙන් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධව අපි සොයා බලමින් අදාළ නීති සම්පාදනය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින්නේ.

බන්ධනාගාරවල රැඳවියන් සම්බන්ධව නොයෙක් නොයෙක් ගැටලු ඇති වෙලා තිබෙනවා. අපි මේ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තින්දු තීරණ ගනිමින් සිටිනවා.

 

ඔබලා කුමන පරිශ්‍රමයක් දැරුවත් දිනපතාම බන්ධනාගාරවල ජංගම දුරකතන, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා ගනු ලබනවා. ඇයි මේවා බන්ධනාගාර ඇතුළතට යාම වළක්වාලන්නට බැරි?

ඇත්තටම අපි අපට පුළුවන් උපරිම විදියට ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම අධිකරණ අමාත්‍යාංශය එක්ව තමයි මේ කටයුතු සිදු කරන්නේ. විවිධ වූ ක්‍රියාපාටීන් මේ වෙනුවෙන් ක්‍රියාත්මකයි. බන්ධනාගාර ඇතුළත මාෆියාවක් ක්‍රියාත්මක නිසා මෙම වැරදි ක්‍රියා දවසකින් දෙකකින් ඉවර කරන්න බැහැ. මේ සඳහා ටික කාලයක් යාවි. නමුත් අපි අපට පුළුවන් උපරිම ලෙස කටයුතු කරමින් මෙම නීති වි‍රෝධී ක්‍රියා මාර්ග සම්පූර්ණයෙන් භාර කිරීමට පියවර ගන්නවා.

ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක වීම නිසා මෙම සැකකරුවන් ගේ මත්ද්‍රව්‍ය, අවි ආයුධ ජාලය දැන් කඩා බිඳ දමා තිබෙනවා. සියයට අසූවකින් අසූ පහකින් විතර දැන් අවසන් වෙලා තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා අපට අවශ්‍යතාව තිබෙනවා. ඒ සඳහා උනන්දුව තිබෙනවා. දේශපාලන නායකත්වය ලබා දීලා තිබෙනවා.

ජනාධිපතිතුමන් අගමැතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් මෙන් ම ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ සඳහා එක්ව කටයුතු කරනවා‍. අදාළ අමාත්‍යාංශ මෙන් ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන් ම අපගේ අමාත්‍යාංශයත් මේ වෙනුවෙන් කළ හැකි උපරිම දේ සිදු කරනවා.

 

ජනාධිපතිවරණයට, මහ මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔබගේ කඳවුර දිගින් දිගටම ප්‍රකාශ කළා. බඩු මිල අඩු කරලා ජනතාවට සහන සලස්වන බව. එහෙත් අද බඩු මිල සම්බන්ධව ජනතාව රජයට චෝදනා කරනවා නේද?

රජයක් වශයෙන් අපි කළ හැකි සියල්ල සිදු කරනවා. රජය අපි භාර ගන්න කොට මේ රට ආපස්සට ගියපු ර‍ටක්. ආර්ථික, සමාජීය, සංස්කෘතික මේ සෑම අංශයක් ම ඉකුත් කාලයේදී කඩා වැටිලා තමයි තිබුණේ. නමුත් අපි බලයට පත්වූ විගස මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා හැකි සෑම ක්‍රියාදාමයක් සිදු කරනවා.

ජනතාවට ඉදිරි කාලයේදී එහි ප්‍රතිඵල දැකගත හැකියි.

අපි බලයට පැමිණෙන විට මේ රට කොවිඩ් 19 වසංගතයට මුහුණ දී තිබුණේ. අපි එයට සාර්ථකව මුහුණදීලා මේ රට ඉන් ගොඩ ගැනීමට කටයුතු කළා.

අද මුළු ලෝකයම ආර්ථික වශයෙන් කඩා වැටිලා සමාජීය වශයෙන් කඩා වැටිලා. රටක් හැටියට අපි අද ලෝකයේ ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් හැටියට අපට මේ සඳහා සතුටු විය හැකියි. මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ශ්‍රී ලංකාවෙත් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම කඩා වැටිලා. මේ සියල්ලත් එක්ක අභියෝගාත්මක කාලයක් තමයි අපි ගත කරන්නේ.

මේ සියල්ල මැද කොවිඩ් අවධානමත් තිබුණා. රට ඉන් මුදාගන්න අද බොහෝ ව්‍යාපාරික ක්‍රියාදාමයන් බිඳ වැටිලා මෙන්න මේ වගේ කාලයක තමයි අප ජීවත් වෙන්නේ.

කොවිඩ් අවදානමක් නැතිව ජීවත්වීමට හැකිවීම අපි සියලු දෙනා ලබාගත් ජයග්‍රහණයක් හැටියට තමයි මා දකින්නේ. මේ නිසා මා හිතනවා රජය මේ වනවිට දැඩි කැපවීමකින් සහ ජනතා හිතවාදීව ක්‍රියා කර තිබෙනවා කියලා.

 

රටක් වශයෙන් දැඩි ණය අර්බුදයක සිටින රටක්. කොහොමද ඉන් මිදෙන්නේ?

අපි දේශීය ආර්ථිකය ගොඩගැනිය යුතුයි. ඒ මත පදනම් විය යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ වන විට ඒ වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. අපි අපනයනය වැඩි කළ යුතුයි. නාස්තිය කළමනාකරණය කළ යුතුයි. විවිධ අංශවල ආර්ථික පුනර්ජනනයක් සිදුකළ යුතුයි. අපි රජයක් හැටියට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේවා ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මෙවැනි ක්‍රියාදාමයන් මගින් ආර්ථිකය ශක්තිමත් කිරීම තමයි මේ සඳහා තිබෙන එකම විසඳුම.

 

මෙවර පත් කළ කැබිනට් අමාත්‍යධුර සහ ඔවුන්ගේ විෂයන් පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

මෑත ඉතිහාසය තුළ කැබිනට් මණ්ඩලයත් ඉතා හොඳ මට්ටමින් පත් කළ අවස්ථාවක් හැටියට පෙන්වා දිය හැකියි. ඉතාම හොඳ සංයුතියක් මෙන් ම විෂයයන් බෙදීම ඉතා හොඳින් සිදුකර තිබෙනවා.

කැබිනට් ඇමැතිවරු යටතේ රාජ්‍ය ඇමැතිවරු පත් කිරීමේදී වෙනම ක්‍රියාදාමයක් හැටියට සිදුකර තිබෙනවා.

විශේෂයෙන් ම වෙනදා මෙන් නොවෙයි රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල පවරා තිබෙනවා. ඔවුන් නාමිකව පත් කිරීමක් තමයි මින් පෙර සිදු වුණේ.

Comments