
කාලයකට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදු කර ඔබ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත් කර තිබෙනවා. මෙය අභියෝගයක් නේද?
ඔබ නිවැරැදියි. ඇත්තටම මෙය විශාල අභියෝගයක් තමයි. දැවැන්ත පරාජයකට ලක්වෙලා පක්ෂය වැටිලා තිබෙන අවස්ථාවක තමයි මට මේ අභියෝගය එල්ලවෙලා තිබෙන්නේ. ඒ නිසා මෙම තනතුරම ලොකු අභියෝගයක් ලෙස මම භාරගෙන තිබෙනවා.
ඒ වගේම මම හිතනවා මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ප්‍රතිඵලය අපි සියලු දෙනාට විශාල පණිවිඩයක් ලබා දෙනවා කියලා. මේ පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවත් මැතිවරණ ප්‍රතිඵල වලින් අපිට පසක් කර සිටියා.
පක්ෂයක් හැටියට අපට කොතැනද වැරදුණේ. අපි මොනවද සිදු කළේ. පාක්ෂිකයන් ඇයි අපිව ඈත් කළේ කියන කාරණා පිළිබඳවත් අපි සිතිය යුතුයි. මෙන්න මේ කරුණු වලට හොඳ පිළිතුරක් සෙවීම මගේ ප්‍රථම අරමුණ වෙලා තිබෙනවා.
අගමැතිවරු, ජනාධිපතිවරු මෙන්ම මැති ඇමතිවරු රාශියක් බිහි කරපු දේශපාලන පක්ෂයක් හැටියට මේ දැවැන්ත පක්ෂය නැවත ගොඩ නැඟීමත් අනිවාර්යෙන්ම සිදු කළ යුතුව තිබෙනවා. මේ දැවැන්ත කර්තව්‍යය තරුණ නායකත්වයක් සමඟ අපිට සිදු කළ හැකි බව මගේ විශ්වාසයයි.
සමගි ජනබලවේගය බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසකගෙන්. විශේෂයෙන්ම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයකු වන සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නායකයන් රැසක් එම පක්ෂයට එක්ව සිටිනවා. ඔවුන්ව නැවත එක්සත් ජාතික පක්ෂ සමඟ සම්බන්ධ කර ගන්නේ කෙසේද?
ප්‍රථමයෙන් අප සිදු කළ යුත්තේ පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන් නැවත අපේ පක්ෂය වෙත එක්රැස් කර වීමයි. එලෙසම දැවැන්ත ප්රතිසංවිධානයක් කළ යුතුයි.
ඒ වගේම ඉදිරියේදි සමගි ජනබලවේගය සමඟ අපි සාකච්ඡා පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අපිට කිසිදු ගැටලුවක් නොමැති බව මා අවධාරණය කරන්න කැමතියි.
රටේ දැන් තිබෙන දේශපාලන වාතාවරණය දිහා බැලුවත් අපිට සමගි ජනබලවේගය පමණක් නොවෙයි තවත් පක්ෂ රැසක් සමඟ එකට වැඩ කටයුතු කරන්න සිදුවේවි. විපක්ෂයේ සියලු පක්ෂ ඉතා ඉක්මණින් එක මේසයක් මතට පැමිණිය යුතු කාලය එළඹ තිබෙනවා.
සමගි ජනබලවේගයත් සමඟ එක්ව වැඩකටයුතු කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉතා ඉක්මණින් ක්‍රියාවට නැංවිය යුතු බව මා අවධාරණයෙන් කියනවා. එපමණක් නොවෙයි ඒ සඳහා ගැටලුවක් නොමැති බවද මා නැවත නැවත සඳහන් කරන්න කැමතියි.
ඔබ ඉන් අදහස් කරන්නේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක කණ්ඩායමක් බවට පත් වනවා කියලද?
ඔව්. අපි එක කඳවුරක් තමයි. මොකද සමගි ජනබලවේගය තුළ වැඩිපුරම සිටින්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ නායකයන් සහ පිරිස්. ඔවුන් සහ අපි එකට එකමුතු වෙලා වැඩ කරපු අය. අපි පාර්ලිමේන්තුවේ සහෝදර මන්ත්‍රීවරුන් හැටියට හිටිය අය. මේ නිසා අපිට එකට වැඩ කළ හැකියි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තේරීපත් වූ ඔබට පළාත් සභා ජයග්‍රහණය කිරීමේ සටනට මුලින්ම මුහුණ දීමට සිදු වෙනවා. මේ පිළිබඳව ඔබ සතු සැලැස්මක් තිබෙනවාද?
මට ප්‍රථමයෙන්ම එල්ලවන මැතිවරණ අභියෝගය ලෙස මා මෙය නම් කිරීමට කැමැතියි. එය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ඔබ සඳහන් කර පරිදි මේ සඳහා දැවැන්ත සැලැස්මක් අපි පක්ෂයක් හැටියට ක්‍රියාත්මක කළ යුතුයි.
අපිට විශාල ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන එක මට කියන්නට බැහැ. හැබැයි ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක විය යුතුයි. පක්ෂය ගොඩනැඟීම මඟින් මෙම මැතිවරණයට මුහුණ දිය යුතුයි යන සැලසුම අප ක්‍රියාත්මක කළ යුතුයි.
පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවාද?
ඒ සඳහා දැන් අපි සැලසුම් සකස් කරමින් යනවා. විශේෂයෙන්ම ග්‍රාමසේවා කොට්ඨාස, ප්‍රාදේශීය බල ප්‍රදේශ, නාගරික බල ප්‍රදේශවල සිට ජාතික තලය දක්වා වූ ප්රතිසංවිධාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
අපගේ වෙනස්කම් රාශියක් සිදු කරමින් සිටින මේ අවස්ථාවේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තබා අප සමඟ සම්බන්ධ වන බව මට විශ්වාසයි.
පළාත් සභා අපේක්ෂකයන් තෝරන අවස්ථාවේදී ඒ සඳහා ජනතාව ඉල්ලන සුදුසුකම් ලත් නායකයන්ට අපේක්ෂකත්වය ලබාදීමට අප කටයුතු කරනවා. එහිදී උගත් බුද්ධිමත් මෙන්ම ක්‍රියාශීලී කණ්ඩායම් හැඟීම සහිත තරුණ පිරිසකට වැඩි අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
මේ ආකාරයට ජනතාවට ගැළපෙන ජනතාව ඉල්ලන නායකයන් සමඟ ගමන් ආරම්භ කළහොත් පළාත් සභා මැතිවරණයේදී අපිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවට මා විශ්වාස කරනවා.
ඔබ නියෝජ්‍ය නායකයා වශයෙන් තේරීපත් වීමෙන් පසුව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූවා එක්සත් ජාතික පක්ෂයේ නායක අර්බුදය දිග් ගැස්සෙන බව. මෙම ප්‍රවෘත්තිය සත්‍යයක් ද?
ඇත්තටම අර්බුදකාරී තත්වයක් දැන් නම් නැහැ. එවැනි තත්වයක් මීට පෙර පැවතියා කියල යමෙකුට කියන්න පුළුවන්. එය ප්රජාතන්ත්රවාදී අයිතියක්.
අර්බුදයක් තිබූ නිසා තමයි පාක්ෂිකයන් අපව හැර දාලා ගියේ. නායකයන් විවේචය කර ගන්න අවස්ථා රැසක් තිබුණා. වර්තමානයේ එවැනි තත්වයක් නැහැ. අනාගතයේදී ද අර්බුදකාරීත්වයක් ඇති නොවන්නට අප සියලු දෙනා වග බලා ගත යුතුයි.
අපි තනතුරුවලට නිතර නිතර සටන් කරලා කිසිඳු ඵලක් නැහැ. ඉදිරියේදි අපගේ නායකයන් සියලු දෙනා එක්ව සාමූහිකව ක්‍රියාත්මක විය යුතුයි කියලා මම අවධාරණය කරනවා. ඒ මඟින් එක්සත් ජාතික පක්ෂය අපට යළි ගොඩනැංවිය හැකියි. එක පුද්ගලයෙකුට මේ පක්ෂය ජයග්‍රහණය කරගෙන යන්න බැහැ. ඒක අපි කණ්ඩායමක් හැටියට එක්ව සිදු කළ යුතු ක්‍රියාවලියක්.
ලක්ෂ දහසයක ජනතාව තමන්ගේ ඡන්දය එක්සත් ජාතික පක්ෂයට ලබා නොදී ස්වාධීනව සිටි බව පැවසෙනවා. ඔය කියන ලක්ෂ දහසයක ජනතාවට ඔබට යමක් ප්‍රකාශ කිරීමට තිබෙනවාද?
ඔය කියන ප්‍රමාණයට වැඩි පිරිසක් අපෙන් ඈත් වෙලා කියන එක අපි පිළිගන්න ඕන කාරණාවක්. ප්‍රථමයෙන්ම සිදු කළ යුත්තේ මොවුන්ගේ විශ්වාසය දිනා ගැනීමයි. ඒ සඳහා අප නිවැරැදි දැක්මකින් නිවැරැදිව ක්‍රියාත්මක විය යුතුයි. ජනතාව අප විශ්වාස කර අප වෙත පැමිණීම අනිවාර්යෙන්ම ඉන් පසුව සිදු වේවි.
ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වීම, පක්ෂයේ නායකත්වයට ගැටුම් ඇති කර ගැනීම, පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොකිරීම නිසා ජනතාව අපෙන් ඈත් වුණා. නමුත් මේ තත්වය මඟහරවා ගැනීමට අප ක්‍රියා කළහොත් ජනතාව නැවත අප වෙත පැමිණෙනවාමයි කියන සිතිවිල්ල මා සතුව තිබෙනවා.
19 වැනි සංශෝධනය සිදු කරද්දී ඔබ එහි කොටස්කරුවෙක්. ඒ කියන්නේ එවකට ඇමතිවරයෙකුව සිටියා. එම සංශෝධනය ඉවත් කර 20 වැනි සංශෝධනය ගෙන ඒමට වර්තමාන රජය ක්‍රියාත්මකයි. ඔබ විස්සට එකඟද?
නැහැ මම විසිවන සංශෝධනයට සම්පූර්ණ විරුද්ධයි. එක්සත් ජාතික පක්ෂය හැටියට අප සියලු දෙනා මෙයට විරුද්ධව ක්‍රියාත්මකයි.
ඇයි ඔබ සහ එක්සත් ජාතික පක්ෂය 20 වැනි සංශෝධනයට විරුද්ධ?
මෙම සංශෝධනය මඟින් මේ රටේ ප්රජාතන්ත්රවාදයට විශාල හානියක් සිදු වෙනවා.
අපි 19 වැනි සංශෝධනය ගෙන ආවේ ඊට පෙර ප්රජාතන්ත්රවාදය නොතිබූ නිසායි. විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන් මැදිහත්වෙලා තමයි මෙම සංශෝධනය සිදු කළේ.
එහිදී ප්‍රධාන වශයෙන් අපි සිදුකළේ ඒකාධිපති පාලනය ඉවත් කරමින් ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කරන්නයි. අපි ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට ලබා දුන්නා. නිදහසේ ක්‍රියාත්මක වීම සඳහා කොමිෂන් සභාවලට බලතල ලබා දුන්නා. දේශපාලනීකරණය වී තිබූ රාජ්‍ය අංශයේ බොහෝ ආයතනවලට දේශපාලන බලපෑමකින් තොරවක ක්‍රියාත්මක වීම සඳහා අපි අවස්ථාව ලබා දුන්නා. ඒ තුළින් මේ රටට යහපාලනයක් ඇති කිරීමට අපට හැකි වුණා. මෙන්න මේ චේතනාවෙන් තමයි අපි 19 වැනි සංශෝධනය ගෙන ආවේ.
20 ගෙන ඒම මඟින් සිදුවන්නේ යූ ටර්න් එකක් දාලා පරණ ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමක්. අනික් කාරණාව තමයි මීට පෙර කිසිදිනක ජනාධිපතිවරයෙකුට නොතිබූ බලතල ප්‍රමාණයක් විසිවන සංශෝධනය හරහා ගෙන ඒමට වර්තමාන රජය කටයුතු කරමින් සිටිනවා. මේක රටේ ජනතාවට ලොකු ගැටලුවක් වේවි. මෙහිදී ස්වාධීන කොමිෂන් ඉවත් කිරීම ප්රජාතන්ත්රවාදයට එල්ල කරන දැඩි බලපෑමක් වගේම විශාල හානියක්. පොලිසිය, අධිකරණය ඇතුළු අනෙකුත් ආයතන සඳහා ක්‍රියාත්මක වන කොමිසම් ඉවත් කළහොත් රෙට් අනාගතය පිළිබඳව ගැටලුවක් ඇති වෙනවා. එයින් පසුව ඇති වන්නේ ඒකාධිපති ස්වරූපයක්.
ඔබ මින් අදහස් කරන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒකාධිපති පාලකයකු කියන එකද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මෙම සංශෝධනය යහපත් සිතින් ගෙන එන්නට පුළුවන්. ඒ රටේ යහපත උදෙසා. නමුත් ඔහුගෙන් පසුව එන නායකයා කුමන විදියේ කෙනෙක්ද ඔහු මේ බලතල කුමන ආකාරයට භාවිතා කරයිද කියන බය ජනතාවට ඇති වෙනවා.
ජේ.ආර්. ජයවර්ධන මෙම ව්‍යවස්ථාව ඇති කරලා රටේ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ඒ යහපත් සිතින්. නමුත් මේ බලතල වැරදි විදිහට භාවිතා කරන නායකයෙකු බිහි වුණොත් මොකද වෙන්නේ කියන ගැටලුව ඇති වෙනවා.
වර්තමාන ජනාධිපතිවරයා රටට සේවයක් සිදු කරනවා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?
වර්තමාන ජනාධිපතිවරයා මේ රටට ඉතා හොඳ තීන්දු තීරණ රැසක්ම ලබා දුන්නා. අපි ඒවා අගය කරනවා. ඒ වගේම විසිවෙනි සංශෝධනය වැනි වැරදි තීරණ ලබා දෙන්නේ නම් අපි ඒවාට විරුද්ධව කටයුතු කරනවා.