‘අපිට පැවැරී ඇති වගකීමෙන් මිදෙන්න අපිට පුළුවන්කමක් නෑ’ | Page 3 | සිළුමිණ

‘අපිට පැවැරී ඇති වගකීමෙන් මිදෙන්න අපිට පුළුවන්කමක් නෑ’

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතරට වෛද්‍ය පීඨයක් ගෙන එන්න කටයුතු කළා කිව්ව ඔබට ජනතාව මෙහෙම සැලකුවේ ඇයි?

මට පාර්ලිමේන්තුවට එන්න තවත් ඡන්ද 78 ක් තමයි අඩු වුණේ. ඒ කියන්නේ එක් ඡන්ද මධ්‍යස්ථානයකින් තවත් ඡන්ද තුනක් බැගින් මට ලැබුණා නම් මටත් පාර්ලිමේන්තුවට යන්න තිබුණා. මට ඒ අවස්ථාව මෙවර අහිමි වෙලා තිබෙනවා.

ජනතාව මෙවර ඡන්දය පාවිච්චි කර තිබෙන ආකාරය අනුව පක්ෂයක් විදියට ඔබලා තවත් පසුපසට තල්ලු වී තිබෙනවා නේද?

ඇත්තටම ජනතාව මෙවර ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආණ්ඩුවක් හදා දෙන්න ඕනෑ කියන නිගමනයේ ඉද ගෙනයි. ඒ නිසා ඔවුන්ට ප්‍රතිපත්ති අවශ්‍ය වු‍ණේ නෑ. නමුත් දැනට පත්ව සිටින මන්ත්‍රි කණ්ඩායම දිහා බැලුවම ජනතාව මේ ඡන්දයේදී මීට වඩා කල්පනා කළා නම් හොඳයි කියල හිතෙනවා.ජනතාවත් අද එහෙම කල්පනා කරනවා.අපිට කතිර නොගහපු අයටත් කම්පනයක් තියෙනවා මේ ප්‍රතිඵලය සම්බන්ධයෙන්.

ප්‍රතිපත්තිගරුක දේශපාලන සංස්කෘතියක් බිහිකරන්න කැප වූ ඔබලා ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ ඔබලා ගේ වරදක්ද; ප්‍රතිපත්තිවල වරදක්ද?

අපි මුලදී ඉදලම උත්සහ කළේ ප්‍රතිපත්ති වටා ජනතාව එකතු කරන්නයි. නමුත් අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතියත් එක්ක ඒක අපිට විශාල අභියෝගයක් වුණා. ඒ නිසා අපිත් අඩියක් පස්සට තියල ප්‍රතිපත්තිවලට අමතරව අපේ දේශපාලනයේ යෙදෙන සහෝදරයෝත් ජනතාවට හඳුන්වා දෙන්න කටයුතු කළා. ඒක ජනතාව අතරින්ම ආපු ඉල්ලීමක්. පුද්ගලයින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කරලා පාර්ලිමේන්තු ඇවිල්ලා මොනවද කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් තමන් වියදම් කරපු මුදල හොයා ගන්න විවිධාකාරයෙන් කටයුතු කරනවා. ඒ කුමන තත්ත්වයක් යටතේ වුවත් අපි ප්‍රතිපත්ති දේශපාලන ගමන නවත්වන්නේ නෑ. නමුත් මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ඒ ප්‍රතිපත්ති දේශපාලනය ඇගැයීමකට ලක්ව තිබෙනවාද කියන ප්‍රශ්නයක් අපි හමුවේ මතුව තිබෙනවා.

විග්නේෂ්වරන් වැනි අන්තවාදී මතධාරීන්ටත් පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව උදාවී ඇත්තේ ප්‍රතිපත්ති දේශපාලනය සෝදා පාළුවට ලක්වෙලා ඇති නිසා නේද?

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පළමු සැසියේදීම කරන ලද අන්තවාදී ජාතිවාදී ප්‍රකාශයට විරුද්ධව එක වචනයක් කියන්න ඒ වෙලාවෙ කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. කථානායකවරයා ඒ සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාට අවවාදයක්වත් කළේ නෑ. ඒ ගැන අපිට කණගාටුවක් තියෙනවා. මීට පෙර පාර්ලිමේන්තුවේ දී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කළ ඔවැනි ප්‍රකාශයක් මගේ මැදිහත්වීම නිසා ඔහු ඉල්ලා අස්කර ගත්තා. සිංහල බෞද්ධ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය බහුතරය මේවැනි අවස්ථාවල නිහඬව හිඳ පසුව එළියේදී හඬ නැඟීම ඒ ඒ අයගේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රශ්නයට ලක් කරනවා.

ඔබේ ඊළඟ දේශපාලන පියවර මොකක්ද?

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණත් අපිට පැවැරී ඇති වගකීමෙන් මිදෙන්න අපිට පුළුවන්කමක් නෑ. මම කළුතර දිස්ත්‍රික්කයේ මැතිවරණයේ දී පරාජයට පත්වුවත් මෙරටේ අපි විසින් කළ යුතු දේශපාලන ක්‍රියාදාමය පරාජයට පත් වෙලා නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ආණ්ඩුව සමඟ රටේ දුප්පත්කම නැති කරලා, සමාජ විෂමතාව නැතිකරලා, ජාතික සම්පත් ආරක්ෂා කරලා, මේ රට ඉන්දියාවෙ හරි චීනයේ හරි කොලණියක් වෙන එක නතර කරලා රට සුරක්ෂිත කළොත් අපිට අපේ දේශපාලනය අවසන් කරන්න පුළුවන්. එතෙක් අපි රට වෙනුවෙන් දේශපාලනය කරනවා.

Comments