
මෙවර මැතිවරණයේ දී පැරණි දේශපාලනඥයන් පරදවා අලුත් අය පාර්ලිමේන්තුවට පත් කර තිබෙනවා. මේ ගැන මොනවද හිතන්නේ?
ඇත්තටම සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරන්න ජනතාව තුළ ලොකු උනන්දුවක් තිබුණා.ඒ සඳහා ජනතාවට අවස්ථාව ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල නිසයි. මොකද එතුමා වියත්මඟ සංවිධානය හරහා උගත් තරුණ කණ්ඩායමක් දේශපාලනයට හඳුන්වා දුන්නා. ඒ පිරිස අපේ ජනතාව ආදරෙන් පිළිගත්තා. ඒ නිසයි සමහර දිස්ත්‍රික්කවල පැරණි ප්‍රබලයන් පෙරලා ගෙන මේ අලුත් පිරිස වැඩි මනාප ලබා ගෙන තිබෙන්නේ. රට ගැන අලුතින් හිතන්න ජවයක් ඇතිව වැඩ කරන්න නිර්මාණාත්මකව වැඩ කරන්න මේ තරුණ මන්ත්‍රීවරුන්ට පුළුවන්. අපේ පැරණි දේශපාලනඥයන් අලුත් කණ්ඩායමට හොඳ මඟ පෙන්වීමක් කළොත් රට සීග්‍රයෙන් ගොඩ නඟන්න පුළුවන් වෙයි.
ඔබේ ජයග්‍රහණය ගැන ඔබ සතුටින්ද?
ඇත්තටම ඔව්. මොකද අපේ පළාතට මන්ත්‍රීවරයෙක් හිටියේ නෑ. දැන් මම ඉන්නවා. මට පුළුවන් මේ ප්‍රදේශයේ ජනතාව සමඟ ඔවුන් ගේ ප්‍රශ්න විසදා ගන්න උදව් කරන්න. මමත් අලුතින්ම තමයි පාර්ලිමේන්තුවට පත් වුණේ. ඒ නිසා අපිට අලුතින් හිතල අලුත් දෙයක් ජනතාව හා රට වෙනුවෙන් කරන්න පුළුවන් කියල මම හිතනවා.
අලුත් මුහුණු පාර්ලිමේන්තුවට ගියා කියල රටේත් ජනතාවගේත් ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳන්න පුළුවන්ද?
නෑ එහෙම කරන්න බෑ. අ පිට පැවරුණ වගකීම අපි ඉටු කරන ආකාරය අනුව තමයි රටේත් ජනතාවගෙත් ප්‍රශ්න විසදන්න පුළුවන් වෙන්නෙ. අනෙක මොන දේ කරන්නත් අපි හැමදෙනාම එකතුවෙලා රටේ ආර්ථිකය ගොඩ නඟන්න ඕන. ඒ සඳහා අපි හැමෝටම වගකීමක් තිබෙනවා. පළමු වටයේදී රටේ ජනතාවත් හවුල් කර ගෙන ආර්ථික සංවර්ධනය සදහා අපි කැප වෙන්න ඕනෑ.
කවුරු හරි තමන් ගේ ගෙවත්තේ පැලයක් හිටවනවා නම් ඒකත් රටේ ආර්ථික සංවර්ධනයට බලපානවා. එහෙම හිතල මුළු රටම එකම වැඩ බිමක් සේ රටේ ආර්ථිකය ගොඩ නඟන්න තම තමන් ඉන්න තැන්වල ඉඳගෙන හැකි අයුරින් දායක වෙන්න ඕන.
අලුත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් තිබෙන එක අනර්ථකාරි වෙන්න පුළුවන් කියල මතයක් තිබෙනවා. ඔබ මොනවද ඒ ගැන කියන්නේ?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සමඟ අපි මෙවර මැතිවරණයේ දී තුනෙන් දෙකේ බලයක් ඉල්ලුවේ අනර්ථකාරී 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්නයි. ජනතාව අපේ ඉල්ලීමට තමයි මේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ. ජනතාව දන්නවා රාජපක්ෂවරු කවදාවත් බලය යොදා ගෙන ජනතාවට අනර්ථයක් කරන්නේ නෑ කියල. ඔබට මතකද එදා ජේ.ආර්.ජයවර්ධන හයෙන් පහක බලයක් ලබා ගෙන රටට කරපු විනාශය.අදටත් අපිට ඒ විනාශය නවත්වා ගන්න බැරිවෙලා තියෙනවා.එවැනි රටට අහිතකර ජනතාවට හානිකර කිසි දෙයක් අපේ ආණ්ඩුව කරන්නේ නැ කියල අපිට විශ්වාසයි.
අලුත් අමාත්‍යංශ සංයුතිය පිළිබඳව ඔබ මොනවද හිතන්නේ?
ඇත්තටම කාලෙකට පස්සේ අපේ ඇමති මණ්ඩලයට ශ්‍රී ලාංකේය පදනමක් දැම්මා කියලයි මට නම් හිතෙන්නේ. දේශිය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කර අපේ නව අමාත්‍ය මණ්ඩලය පත් කරල තියෙනවා. ඒ හැම දෙනාටම ඉලක්ක ගත වැඩ පිළිවෙළකුත් ලබා දීල තිබෙනවා. ඒ අනුව මේ ඇමැති මණ්ඩලය කටයුතු කළොත් අපිට අපේ රට කෙටි කාලයක් තුල ලෝකයේ නමක් දිනා ගත් රටක් බවට පත් කරන්න පුළුවන්. ජනාධිපති දුන්නු ඉලක්කය සපුරා ගන්න නොහැකි වුණොත් ඒ තනතුරු ආපසු ගන්න පසුබට වෙන්නෙ නෑ කියලත් ජනාධිපති කියල තියෙනවා. ඒ නිසා ඉස්සර වාගේ ඇමතිකම් අර ගෙන රට සවාරි යන්න ලැබෙන්නෙ නෑ.
ගෝඨාභය රාජපක්ෂ ජනපති ඇතුලු රාජපක්ෂවරු පස්දෙනෙක් අමාත්‍ය තනතුරු දරනවා. ඒ ගැනත් විවිධ චෝදනා එල්ල වෙනවා. ඔබ මොනවද මේ ගැන කියන්නේ?
ඔබ කියන විදියට රාජපක්ෂවරු තනතුරු දරන්නේ ගෙදර නිදා ගෙන ඉදලා නින්දෙන් නැගිටලා ඇවිත් නොවෙයි නේ. මෙරටේ පැවැති තිස් අවුරුදු යුද්ධය නිම කර රටට සාමය උදාකර දුන් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ලෝක ඉතිහාසයට එක්ව ඇති වීරයෝ. ඔවුන් දැන් මෙරටේ රජ පවුලක්. හැබැයි ඒ රජකම උරුමයට ලැබුණ එකක නොවෙයි; මේ රටට ආදරය කරන නිසා ජනතාව දුන්නු රජකමක්. 2015 දී ජනතාව නොමඟ යවලා මහින්ද රාජපක්ෂ ගෙදර යවපු අය; පාර්ලිමේන්තුවේ පස්සට දාල රාජපක්ෂ පවුල පාර්ලිමේන්තුවේ ඉස්සරහට ගන්න ශක්තිය දුන්නේ ජනතාව. ඒ නිසා ජනතා බලයට චෝදනා කරන්න බෑ. ජනතා කැමත්ත තියෙන තාක්කල් රාජපක්ෂ පවුල මේ රටේ නායකකම් කරන එක නවත්වන්න කාටවත් බෑ.