
අලුත් ආණ්ඩුවේ අලුතින් ලැබුණ ප්‍රවාහන අමාත්‍යාංශය ගැන ඔබ මොනවද කියන්නෙ?
මේ මැතිවරණයේදී අප ජනතාවගෙන් තුනෙන් දෙකක වරමක් ඉල්ලුවා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඉවත් කිරීමට සහ කොරෝනා වසංගතය සමඟ කඩා වැටුණ ආර්ථිකය හදන්න. මේ සමඟ අපනයනය වැඩි කරලා ආනයනය අඩු කරනවා කියල අපි කිව්වා. ජනතාව ඒකත් අනුමත කරලා තියෙනවා. දැන් අපි සෞභාග්‍ය දැක්මේ කරුණු ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපේ රටේ මෙතෙක් සිදු නොවූ ආකාරයට විද්‍යානුකූල අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා තිබෙන්නේ. මට ලබා දී තිබෙන ප්‍රවාහන අමාත්‍යාංශය ගැන මම සතුටු වෙනවා. ඒ වාගේ ම මට හොඳ තරුණ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලබාදී තිබෙනවා. ඒ අනුව අප දැන් වැඩ පටන් ගන්න සූදානම් වෙනවා.
ප්‍රවාහන විෂය අභියෝගයක්. මේ අභියෝගය ජයගන්න ඔබට තිබෙන වැඩපිළිවෙළ මොකක්ද?
ඒක තමයි කීවේ වැඩ පටන් ගන්න සූදානම් වෙනවා කියලා. මේ දිනවල අපි කරන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතන පිළිබඳ අධ්‍යයනය කරන එක. මොකද මේ රටේ ජනතාව ගෙන් 90% ක් විතරම අපේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරලා තමයි ඔවුන්ගේ කටයුතු කරන්නෙ. ඒ නිසා ඔවුන්ට හොඳ සේවාවක් ලබාදෙන එක තිරසර වැඩපිළිවෙළක් වෙන්න ඕනේ. අපි දැන් අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් හා වගකිව යුතු නිලධාරීන් සමඟ සාකච්ඡා කරන්නේ අපිට තිබෙන සීමිත සම්පත්වලින් කොහොමද ජනතාවට උසස් සේවයක් ලබාදෙන්නේ කියලයි. ප්‍රවාහන සේවයේ ශ්‍රීලංගම වගේ ම දුම්රියත් ආරම්භයේ සිටම රාජ්‍ය ආයතන. මේ ගැන සුබ අසුබ දෙකෙන්ම මතවාද තිබෙනවා. ඒ මොනවා වුණත් අපි මහජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිද්දෙන් නියමිත කාල සටහන් අනුව මේ සේවාව පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේ ම මේ ආයතන දියුණු කරන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒවා ගැන තමයි දැන් අපි කියවන්නේ. තව සතියක් දෙකක් යන කොට අපිට පුළුවන් වෙයි මේ ආයතනවල ඉදිරි ක්‍රියා සැලැස්ම එළියට දෙන්න.
අමාත්‍ය මණ්ඩලය පත්වෙලා සති දෙකක් වෙනවා. තවමත් අමාත්‍යංශ කියවනවාලු සැලැස්ම හදන්න තව කාලයක් ගනී. මේ වසර අවසානයට පෙර වැඩක් සිද්ධ වෙන්නෙම නැතුවෙයි නේද?
බලය තිබුණ පලියට අපිට වගකීම් පැවරූ පලියට මහජනතාව ගේ මුදල් නාස්ති කරලා සංදර්ශන කරන්න අපි සූදානම් නෑ. අපිට තියෙන සම්පත් යොදාගෙන ඒ ආයතන දියුණු කරන ගමන් මහජනතාවට තෘප්තිමත් සේවාවක් ලබා දෙන්න නම් මේ ආයතන ගැන එකින් එක නිවැරැදිව අධ්‍යයනය කරන්න ඕනේ. මේ අධ්‍යයනයන් කරන ගමන් අපි අත්හදා බැලීම් කරන්නත් සූදානම්. අපි කොළඹ දිස්ත්‍රික්කයේ සිසු සැරිය බස් ධාවනය ක්‍රමවත් කරන්න අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න සූදානම් කරලා තිබෙනවා. කොළඹ පමණක් සිසු සැරිය බස් රථ 200 ක් පමණ තියෙනවා. ඒ බස් රථ සියල්ල හොඳ තත්ත්වයෙන් පිරිසිදුවට තබා ගෙන ධාවනයේ යොදවන්න ලබන 01 දායින් ආරම්භ කරලා 15 දා වන විට සම්පූර්ණ කරන්න අපේක්ෂා කරනවා. 15 දායින් පසුව සිසු සැරිය බස් 200 කොළඹ දිස්ත්‍රික්කයේ ධාවනය කරන ආකාරය බලලා එහි අඩු පාඩු හදාගෙන ඉතා හොඳ සිසු සැරිය බස් රථ සේවාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා.
ඔය වැඩෙත් කොළඹට කිරි ගමට කැකිරි වගේ වැඩක් වෙයිද?
අපි ආණ්ඩුවක් විදියට මොනවා කළත් විපක්ෂයට ඒ ගැන නොයෙක් විවේචන තියෙන්න පුළුවන්. නමුත් එක තැනක අත්හදා බලලා තිබෙන අඩුපාඩු හදාගෙන නිවැරැදිම දේ රටපුරා ක්‍රියාත්මක කිරීමයි අපේ අරමුණ. දැනටත් බස් රථ ධාවනය වනවා. නමුත් ඒවායේ අඩුපාඩු ගැන පැමිණිලි තියෙනවා. එවැනි පැමිණිලි නැවත නොඑන්න නම් අපි නිවැරැදි ලෙසට සිසු සැරිය බස් රථ ධාවනයේ යොදවන්න ඕනේ. ඒ වගේ ම කැලණිවැලි දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන කාර්යාල දුම්රියවලට අමතරව තවත් කාර්යාල දුම්රියක් ධාවනය කරවන්න අපි දැන් සැලසුම් කරගෙන යනවා. මේ දුම්රිය දෙක ධාවනය ආරම්භ කරන වේලාවේ පරතරය විනාඩි 15 යි.
ඔබ කියන දෙයින් පැහැදිලි වෙනවා බස් හා දුම්රිය පාඩු ලබන ආයතන බව. ඒ අනුව බස් හා දුම්රිය ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්ද?
නෑ. කිසිසේත්ම අපි මේ වේලාවේ බස් හෝ දුම්රිය ගාස්තු වැඩි කරන්නේ නෑ. එවැනි සාකච්ඡාවක් හෝ අපි පවත්වා නෑ. මේ ආයතනවල පාඩුව පියවා ගන්න අපි අලුත් ආදායම් මාර්ග හදනවා. දුම්රිය යොදාගෙන බඩු හා ඉන්ධන ප්‍රවාහනය කරන්න අපි දැන් අවධානය යොමු කරලා තියෙනවා. කෘෂිකාර්මික ප්‍රදේශවල ධාවනය කරන බස් රථවලත් පිටුපස ආසන කීපයක් ගලවා ඉවත් කර බඩු ප්‍රවාහනය කරන්න ඉඩ දෙන්න අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වාගේ ම මඩකලපුව වැනි ප්‍රදේශවල සිට දුම්රිය යොදාගෙන වැලි ප්‍රවාහනය කරන්නත් අපි අදහස් කරලා තිබෙනවා. ඒ වගේ ම අපි දැන් පෙට්ට්‍රෝලියම් කෝපරේෂන් එකේ ගනුදෙනු කාරයෙක් විදියට තමයි ඉන්ධන ලබා ගන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේක වෙනස් කරලා බස් හා දුම්රිය සඳහා ඉන්ධන ලබා ගැනීම ඉන්ධන අලෙවිකරුවෙකු සේ සලකා කටයුතු කරන්න කියල. එහෙම වුණොත් අපිට වාර්ෂිකව රුපියල් මිලියන 10 ක විතර ඉතිරියක් කරගන්න පුළුවන්.
ඔබලා විපක්ෂයේ සිටියදී ටොප් 10 ටොප් 20 කියල යහපාලනයේ දූෂණ වංචා ගැන කථා කළා. ප්‍රවාහන අමාත්‍යාංශයටත් එදා ඔබලාම චෝදනා කළා. එදා ඔබලා හෙළි කළ වංචා දුෂණවලට සම්බන්ධ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරනවාද?
ඔව්. අපි දැනටමත් ප්‍රවාහන අමාත්‍යාංශයේ සිදුව ඇති වංචා දූෂණ අකටයුතු ගැන සොයා බලා ගෙන ඒ පිළිබඳ තොරතුරු රැස් කර ගෙන යනවා. මේ තොරතුරු අපි FCID දෙන්නෙ නෑ. රටේ නියමිත පොලිසියට දීලා වැරදි කර තිබෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා.
කොටුව ප්‍රධාන දුම්රියපොළ ආශ්‍රිතව කරන්න හදන වෙනස මොකක්ද?
දුම්රිය මගීන් දුම්රිය එන තුරු දුම්රිය ස්ථානයේ රැඳී ඉන්නවා. දුම්රිය ආවාම ඒකෙන් ගිහිල්ල රෑ බෝවෙලා ගෙවල් ළඟ කඩෙන් බඩු ගන්න යනවා. මේ නිසා අපි කල්පනා කළා කොටුව දුම්රිය ස්ථානයේ සියලු රාජ්‍ය ආයතනවලින් ක්‍රියාත්මක කරන අලෙවි සැල් සංකීර්ණයක් හදන්න. එහෙම වුණාම රාජකාරි ඉවරවෙලා යන අයට ගෙදරට දරුවට අවශ්‍ය දේවලුත් අඩු මිලකට ලබාගෙන නිවසට යන්න පුළුවන්. ගුවන් තොටුපළේ ‘ඩියුටි ප්‍රී’ අලෙවි සල තිබෙනවා වගේ දුම්රිය ස්ථානයෙත් එවැනි වෙළෙඳ සැල් ස්ථාපිත කරන්නයි අපි සැලසුම් කරන්නේ. වෙළඳසැල් වගේ ම හොඳ ආපන ශාලා කීපයක් ද ආරම්භ කරනවා. හොඳ වැසිකිළි පද්ධතියකුත් ස්ථාපිත කරනවා.
ඔබ සඳහන් කළා ජනතාව තුනෙන් දෙකේ බලයක් දීලා ව්‍යවස්ථා සංශෝධනයක් අපේක්ෂා කරනවා. නමුත් දැන් අළුයට ගින්දර මෙන් මේ තුනෙන් දෙකේ බලය කේවල් කරන උත්සාහයක් ගැන සඳහන් වෙනවා. ඔබ ඒ ගැන මොනවද කියන්නෙ?
එහෙම දෙයක් මට නම් දැනිලා නෑ. මේ මැතිවරණය ජයග්‍රහණය කළේ විවිධ කණ්ඩායම්වල සහයෝගයෙන් කියන කාරණය අපි පිළිගන්නවා. නමුත් ඒ කණ්ඩායම් අපේක්ෂා කරන ආකාරයට ඔවුන්ව සතුටු කරන්න බෑ. මේ ආරම්භයේ යම් යම් කාරණා අඩුපාඩු වගේ දැක්කත් අපි වැඩ කරගෙන යන කොට ඒ අඩුපාඩු සකස් වෙලා අපිට එක කණ්ඩායමක් විදියට මේ වසර පහ රට වෙනුවෙන් කටයුතු කරන්න හැකියාව ලැබෙයි.
ඔබ වෘත්තිය සමිති නායකයෙක් විදියට අමාත්‍ය තනතුර හා වෘත්තීය සමිති කටයුතු එකට ගළපා ගන්නේ කොහොමද?
අපි ප්‍රතිපත්තියක් විදියට වෘත්තීය සමිති ඉල්ලීම් ගැන විශේෂ අවධානය යොමු කරනවා. ඉල්ලීම් සාධාරණ නම් අරගල කරන්න පෙර ඒ ඉල්ලීම් අපි ලබා දෙනවා. මේ නිසා මට අපේ අමාත්‍යාංශයේ වෘත්තිය සමිතිවල මෙන් ම ඉන් බාහිර වෘත්තීය සමිතිවල මෙන් ම ඉන් බාහිර වෘත්තීය සමිතිවලත් හොඳ සහයක් ශක්තියක් මේ අමාත්‍ය ධූරයේ කටයුතු කරන්න ලැබිල තියෙනවා.
බස් හා දුම්රිය කාල සටහනකට ධාවනය නොවන බවට නිතර මැසිවිලි නැගෙනවා. ඊට ඔබට විසඳුමක් තිබෙනවාද?
මම මුලදී කීවා සේ අපිට තිබෙන සීමිත සම්පත්වලින් තමයි අපිට වැඩ කරන්න සිදුව තිබෙන්නෙ. මේ නිසා තව ටික දිනක් යන තුරුත් පරණ තත්ත්වය තිබෙන්න පුළුවන්. කොහොම වුණත් අපි දැනටමත් දුම්රිය සාමාන්‍යාධිකාරිට හා ලංගම සභාපතිට දන්වල තිබෙනවා බස් හා දුම්රිය නියමිත කාල සටහනකට ඒ ඒ මාර්ගවල ධාවනය කරවන්න කියල. එහෙම කරන්න බැරි නම් ඒකට හේතු කියන්න කියලත් අපි දැනුම් දීල තියෙනවා. ඒ වගේ ම තාක්ෂණය යොදා ගෙන අපි දුම්රිය හා බස් ධාවන කාල සටහන ඇප් එකක් හරහා ජනතාවට දැනුම් දෙන්නත් පියවර ගනිමින් ඉන්නවා.
ඔබ හා රාජ්‍ය අමාත්‍යවරයාත් නිලධාරිනුත් ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී එතුමා සඳහන් කළේ බස් සෝදන තැනින් පටන් ගන්න කියලයි. එමඟින් ගම්‍ය වන්නෙ ප්‍රවාහන අමාත්‍යංශය පූර්ණ ලෙසම ප්‍රතිසංවිධානය විය යුතු බව නේද?
ඔව්. අපි ජනාධිපති සඳහන් කළ දේ මතු පිටින් හා අභ්‍යන්තරවත් අවබෝධ කරගෙන කටයුතු කරනවා. විශේෂයෙන් බස් රථයක් ගමනාන්තයට පැමිණි පසු නැවත අලුත් ගමනක් පටන් ගන්න පෙර බස් රථය ඇතුළත හා පිටත පිරිසිදු කරන්න කියල අපි ශ්‍රීලංගමට දැනුම්දීලා තිබෙනවා. ගමනා ගමන කොමිසම හරහා පෞද්ගලික බස් ධාවකයන් ගෙනුත් අපි මේ ඉල්ලීම කරල තිබෙනවා. ඒ වගේ ම ජනතාව තෘප්තිමත් වන ආකාරයට ඉහළ සේවාවක් ඇති කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කමුත් අපි හඳුනා ගෙන ජනාධිපති සමඟත් සාකච්ඡා කරල ඒවත් ක්‍රියාත්මක කරනවා.
පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට නියමිතයි. ඊට මුහුණ දෙන්න ඔබලාගේ සූදානම කොහොමද?
පළාත් සභා මැතිවරණයට අපි මුහුණ දෙන්නම ඕනේ. මෙරටේ මැතිවරණ ප්‍රතිඵල උඩු යටිකුරු කරපු මේ මහ මැතිවරණය වගේ ම පළාත් සභා මැතිවරණයත් අපිට ජයගන්න පුළුවන්. ජනාධිපතිවරණයක් ඉවර වුණාම හුඟක් අය හිතන්නේ ඊට පසුව පැවැත්වෙන මහ මැතිවරණ ප්‍රතිඵල අඩුයි කියලයි. නමුත් මෙවර ඒක වෙනස් වුණා. පළාත් සභා මේ ආදර්ශය ගනීවි. අපි මේ දිනවල කරන වැඩ නිවැරැදිව ජනතාවට සමීප කළොත් අපිට මැතිවරණ ගැන බය වෙන්න දෙයක් නෑ.
ඡායාරූපය - නිශ්ශංක ද සිල්වා