
එළඹෙන මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සැලැස්ම මොකක්ද?
මේ මැතිවරණයෙන් පස්සේ තමයි අපේ රටේ දේශපාලනය දිග හැරෙන්නෙ. මොකද ආණ්ඩුවකට හොඳ කාලය ඡන්ද කාලයයි. අනෙක අලුත් ආණ්ඩුවයි. ඔය දෙකම මේ ආණ්ඩුවට තියෙනවා. එහෙම නම් දෙගුණයක් හොඳ වෙන්න ඕනෑ. නමුත් මේ ආණ්ඩුව දැන් කරන දෙයින්ම පේනවා ඡන්දයෙන් පස්සේ තත්ත්වය තවත් හොඳ නැති වෙන බව. ඒ වාගේම ආර්ථිකය ගැඹුරු අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මේ නිසා ජනතාව පීඩාවට පත් කරන තීන්දු තීරණ ගන්න වෙනවා. අන්න එතැනදි තමයි ජාතික ජනබලවේගයට යම් ශක්තිමත් බලවේගයක් ගොඩ නැගෙන්නෙ. එතැන් සිට තමයි අපේ දේශපාලන සිතියම එළෙන්නෙ. ඒ නිසා එදාට අපට ආණ්ඩු බලය නොතිබුණත් ප්‍රධාන විපක්ෂය නොවුණත් අපේ දේශපාලන ගමනට විශාල ජවයක් අගෝස්තු පස්වැනිදායින් පසුව ගොඩ නැගේවී. ඒ අනුව තමයි අපේ ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුතු වන්නෙ.
යහපාලන ආණ්ඩුවේ ඔබ විපක්ෂයේ හිටියත් ආණ්ඩුව සමඟ එකට වැඩ කළා. මෙවරත් ඔබලා විපක්ෂයේ සිට පත්වන ආණ්ඩුව සමඟ වැඩ කරනවාද?
ඔව් අපි පාර්ලිමේන්තුවේදි ජනතාවට හිතකර දේවලට සහය දෙනවා වගේම එවැනි හිතකර දේ ආණ්ඩුවෙන් කරගන්නත් උත්සාහ කරනවා. ඒ වාගේම ජනතාවට අහිතකර මවුබිමට හානිකර හැම දෙයක්ම පරාජයට පත් කරන්නත් කටයුතු කරනවා. ඒ වාගේම මේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකටම මේ රට ගොඩ ගන්න විසඳුමක් නැති බවත් අපි තහවුරු කරනවා. මේ අනුව අපි ප්‍රධාන ධාරාවන් තුනකින් පාර්ලිමේන්තුවට පණ පොවනවා. ඉන් පළමු වැන්න තමයි හොඳ දේට සහය දීම හා හොඳ දේ ඉටු කර ගැනීමට කටයුතු කිරීම. දෙවැන්න තමයි නරක දේට විරුද්ධ වීම හා නරක දේ පරාජයට පත් කර ගැනීමට කටයුතු කිරීම. තෙවැන්න වන්නේ මේ ප්‍රධාන දේශපාලන කඳවුරුවලට රට ගොඩනඟන්න නොහැකි බව සමාජගත කිරීම. ඒක තමයි අපේ එදත් අදත් හෙටත් කාර්යභාරය වන්නෙ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඉල්ලනවා. මීට ඔබලාගේ සහයත් ලැබෙනවාද?
තුනෙන් දෙකක් බලය ඉල්ලන අය රටට කියන්න ඕන මේ ව්‍යවස්ථාවේ කවර කරුණු ද සංශෝධනය කරන්නෙ කියලා. සමහර අය හිතන්නෙ ජනාධිපතිට අගමැති බාධා කරනවා කියලා. සමහර අය හිතනවා ජනාධිපතිවරයාගේ ඉතිරි බලයත් කෑලි කපලා අගමැතිට ගන්න. මේ විදියට ජනතාව කිව්වට රාජපක්ෂ සහෝදරයෝ උත්සාහ කරන්නෙ මහාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විනිසුරුවන් පත් කිරීමේ බලය ඔවුන් අතට ගන්නයි. ඒ වගේම විගණකාධිපති පත් කිරීමේ බලය ඔවුන්ට ගන්නයි.
මැතිවරණ පවත්වන ක්‍රම හදන බලය ඔවුන් අතට ගන්නයි. මේ අනුව 19 වන සංශෝධනය අහෝසි කරනවා කියන්නෙ මෙතෙක් ජනතාව දිනා ගන්නා ලද ප්රජාතන්ත්රවාදී කර්තව්‍ය හා ව්‍යුහ විනාශ කිරීමක්. එවැනි දෙයක් සිදු වීමට ඉඩ නොදී ඒවා පරාජය කරවීමට අපි කටයුතු කරනවා. එසේ නොමැතිව අපේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුවට සහය දෙන්න අපි සූදානම්.
ජවිපෙ අපේක්ෂාව අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ කියලද?
ඔව්. දැන් තියෙන අපේ ව්‍යවස්ථාව අවස්ථා 19 කදී සංශෝධනය වී තිබෙනවා. මේ හැම සංශෝධනයකම ගැබ්ව තිබෙන්නෙ ඒ මොහොතේ පාලනය හොබවපු පාලකයා ගේ වුවමනාවන් විතරයි. ජනතාවගේ වුවමනාවට ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බවක් පෙනෙන්ට නෑ. මේ නිසා අපේ රටට නව ජනවාදී ව්‍යවස්ථාවක් අවශ්‍යයයි. ඒ සඳහා කටයුතු කරන ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කරන්න සහය දෙන්න අපි සූදානම්.
අගෝස්තු 5 වැනිදායින් පසුව දිග හැරෙන ජවිපෙ දේශපාලන සිතියම මෙතෙක් කල් අකුලාගෙනද හිටියේ?
නෑ. මේ මැතිවරණයෙන් පස්සේ පැරැණි ජනතා අර්බුද අලුත් වෙලා දෙගුණ තෙගුණ වෙලා මතු වෙන කොට පිල් බෙදිලා හිටපු ජනතාව එදාට එක පිලකට එකතු වෙනවා. අන්න එතැනදී අපේ දේශපාලන ක්‍රියාකාරිත්වයට ජවයක් ලැබෙනවා. වසර 72ක් තිස්සේ මේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක මාරුවෙන් මාරුවට ආණ්ඩු 15ක් හදලා තියෙනවා. ඒ ආණ්ඩුවලින් ජනතා ප්‍රශ්නවලට ලැබිල තියෙන විසඳුම් මොනවද? අන්න ඒ ජන විඥානය අවදි කරන්න අපිට අගෝස්තු 5 දායින් පසුව අවස්ථාව ලැබෙනවා.
ඒක කරන්න සජිත්ටවත් රනිල්ටවත් බෑ. රනිල් ගේ අතපය බැදුම්කර වංචාවෙන් ගැට ගහලා තියෙනවා. සජිත් ගේ සංස්කෘතික අරමුදලේ කඹයෙන් අතපය ගැටගහලා තිබෙනවා. මේ අනුව දේශපාලනයේ නැවුම් හැරවුම්කරුවා ලෙස අගෝස්තු 05 දායින් පසුව ඉදිරියට එන්නෙ ජවිපෙ අපි පමණයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ බාරකාර රජයේ අමාත්‍ය මණ්ඩලය 16 කට සීමා කර තිබෙනවා. ඔබ හිතන විදියට ඉදිරියට පත්වන රජයේ අමාත්‍ය මණ්ඩල සංයුතිය කෙසේ විය යුතුද?
අපි මොනවා මේ ගැන කීවත් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ. යහපාලනය කළා වාගෙම රාජපක්ෂ සහෝදරවරුන් ඩග්ලස් දේවානන්ද ආණ්ඩුවට අරගෙන ජාතික ආණ්ඩුවක් හදල ඇමතිවරු තිහක සීමාව අයින් කරනවා. එහෙම කරල රාජපක්ෂ පවුලට අයවැය ලේඛනයේ බාගයකට වඩා මුදල් එකතු කරගන්න අමාත්‍යාංශ බෙදීමක් සිදු කරාවි. 1994 න් පස්සේ හැම ආණ්ඩුවකම ඇමතිකම් කරපු අයට මේ ආණ්ඩුවෙනුත් ඇමැතිකම් ලැබෙනවා. මේ රටේ අසාර්ථකත්වය ඉහළට ගෙනාපු නායකයින් නැවත අපේ සුක්කානම බාර ගන්නවා. ඊට වඩා යමක් වෙයි කියල හිතන්න බෑ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට වෙනස් මඟක ගෙනියන්න උත්සාහ කරන බව පෙනි පෙනී ඇයි ඔබලා හැම දේම අසුබවාදීව දකින්නෙ?
ගෝඨාභය ජනාධිපති වුණාම බොහෝ අය හිතුවා මැතිවරණයට අලුත් මුහුණු දාවි කියලා. එහෙම වුණේ නැහැ.
ඇයි ඔබ දන්නෙ නැද්ද වියත්මඟ නියෝජනය කරන උගත් අලුත් මුහුණු ටිකක් මැතිවරණයට තරග කරන බව.
ඔය වියත්මඟේ ඉන්න සාමාජිකයන්ගෙන් කීදෙනෙක්ද මේ මැතිවරණයට දාලා ඉන්නෙ. 6%ක්වත් ඒ සංඛ්‍යාව නෑ. රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කරන්නෙ සම්මුඛ පරීක්ෂණ තියල කියල විශාල ආන්දෝලනයක් කළා. එහෙමද පරිසර, රක්ෂණ, නිවාස අධිකාරිය වැනි ආයතනවලට ප්‍රධානියෝ පත් කරල තිබෙන්නෙ; නෑනේ. පරාජිත දේශපාලනඥයෝම ඒවාට පත් කරලා.
ඇයි ඔබට පිළිගන්න බැරි දේශපාලනඥයෝ වුවත් ඔවුන්ට ආයතනයක් පාලනය කරන්න හැකියාව තිබෙනවා කියලා?
මම ඔබ කියන කාරණය පිළිගන්නවා. නමුත් මේ පත් කරලා ඉන්න අයගෙන් සමහර අය ගැන අපි හොඳට දන්නවා. නම් ගම් හෙළි කරන එක හොඳ නෑ. ඒ නිසා ඒවා නොකිව්වත් ජනාධිපති අගමැති දෙන්නාම දන්නවා ඔය පත් කරල ඉන්න සමහර අයට තියෙන එකම සුදුසුකම දේශපාලඥයෙක් වීම පමණයි. ජනාධිපති රටට කීවේ ඒ ඒ ක්ෂේත්රයන් පිළිබඳ හසලතාවක් නිපුණතාවක් ඇති අය පත් කරනවා කියලනේ. ඒ වගේම ජනතාව විශාල බලාපොරොත්තුවකින් හිටියා එක නීතියක් එක රටක් කියලා.
දැන් එහෙමද? රටේ ආණ්ඩුව තහවුරු කරනවා කීවා. එහෙම නම් 2019 නොවැම්බර් මාසෙන් පස්සෙ MCC ගිවිසුම ගැන කතාබහක් ඇති නොවෙන්න තිබුණා. ඇයි ඒක ගැන තවමත් තෙපරබබා ඉන්නෙ. මේ වැනි කරුණු ගණනාවක් තිබෙනවා මේ අයගේ ගමන් මඟ කොයිබටද කියල පෙන්නුම් කරන. අපි යථාර්ථවාදීව මේවා පෙන්වාදී ඒවාට එරෙහි වෙනවා මිස අපි හැම දේම අසුබවාදී විදියට දකින්නෙ නෑ. අගෝස්තු 05 දායින් පසුව අපි මේ විදියට කථා කළොත් මට පුළුවන් වේවි අද මම මේ කියන දේ යථාර්ථයක් වී ඇති සැටි ඔබට පෙන්වන්න.
ඔබ අසුබවාදි නොවෙයි කියල කිව්වත් ඔබ කරන කියන ඇතැම් දේවල් දේශපාලන කුහකත්වයෙන් පිරිලා?
ඔබ ඔය කියන දේ සනාථ කරන්න පුළුවන් එක කාරණයක් මට කියන්න.
මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මඬින්න ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඔබලා කුහක නිසා ඒවා දකින්න හෝ ඒ ගැන කියන්න කැමති නෑ නේද?
ඔබ හරි. ඔබ ඔය ප්‍රශ්න කරන්නෙ මත්ද්‍රව්‍ය ටිකක් අල්ලා ගත්තාම හුරේ දාන ජනතාව පැත්තේ ඉඳගෙනනේ. නමුත් අපි කියන්නෙ කෝ කොහේදිද මත්ද්‍රව්‍ය ගේන අය අල්ලාගෙන තිබෙන්නෙ. කිලෝ 250ක හෙරොයින් බිස්නස් එක කෝටි 300ක බිස්නස් එකක්. කෝටි 300ක් කියන්නෙ ලක්ෂ 30,000ක්. ලක්ෂ 30,000ක බිස්නස් එකක් කරන්න සාමාන්‍ය පුද්ගලයකුට පුළුවන්ද? මේවා කරන්නෙ මහ ධනවත්තු. ඒ අය කොහේද ඉන්නෙ මේ පාලකයන්ගේ ඔඩොක්කුවල. කුඩු අහුවෙනවා නමුත් ඒවා ගේන අය අහුවෙන්නෙ නෑ. ග්‍රෑම් දෙක ගානේ විකුණන එවුන් හා කුඩු බොන එවුන් විතරක් පොලීසිය අල්ලනවා. එහෙම කරල මේ ජාවාරම නතර කරන්න පුළුවන්ද?
ඔබත් පිළිගන්නවා බොහෝ දේවල් රජයකට තනිව කරන්න බෑ. ඔබ දන්නවා නම් කුඩු ගෙන්වන අය ගැන ඒ තොරතුරු අදාළ අයට නොදෙන්නෙ ඇයි?
අපි එවැනි තොරතුරු ලබා දුන්නත් ඔබ හිතනවාද අපක්ෂපාති පරීක්ෂණයක් කරලා ඔවුන් අත්අඩංගුවට ගනී කියලා. එහෙම වෙන්නෙ නෑ. මොකද මම මුලින් කීවා වාගේ මේ කෝටිපති ව්‍යාපාරිකයෝ ඉන්නෙ පාලකයා ගේ තොටිල්ලෙයි.
ඔබ අනුන්ගේ සංවර්ධනය ගැන කතා කළත් ඔබලට ලැබෙන විමධ්‍යගත මුදලින් මොනවද කරන්නෙ කියල ඇයි ඔබලා ජනතාවට කියන්නෙ නැත්තේ?
අපිට ලැබෙන ලක්ෂ 50ක තරම් කුඩා මුදල අපේ ගම්බිම්වල ජනතාව ගේ පාරක් පිහිල්ලක් වාගේ දේවල් හදන්න යොදවනවා. ලොකු පාලම් ගොඩනැඟිලි හදන්න මේ මුදල ප්‍රමාණවත් නෑ.
ඔබලා හඳුනාගෙන තිබෙන බරපතළ ජනතා ප්‍රශ්න පිළිබඳ ව්‍යාපෘති වාර්තා සකස් කරල රජය ලවා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ජනතාවට ප්රතිලාභ අරන් දෙන්න පුළුවන්කම තිබුණත් දේශපාලන කුහකත්වයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින දෙස බලා රජයට ඇඟිලි දිගු කිරීම හරිද?
නෑ. අපි කිසිසේත්ම එහෙම කරන්නෙ නෑ. මම පසුගිය පාර්ලිමේන්තු කාලය තුළ හැම අමාත්‍යාංශයකින්ම රටේ ප්‍රශ්න විසඳන්න සහය ගන්න උත්සහ කළා. නමුත් ඔබ බලන්න අපේ රටේ කෘෂිකර්මාන්තයේ තිබෙන ගැටලුව. ධීවර අධ්‍යාපන සෞඛ්‍ය ආදි මේ ක්ෂේත්රවල තිබෙන ගැටලු විසඳන්න මෙතෙක් සිටි පාලකයන් කටයුතු කරල නෑ. ඔවුන් ජනතා ප්‍රශ්නයට විසඳුම් හොයනවාට වැඩිය ඔවුන් අවධානය යොමු කර ඇත්තේ ජනතා ප්‍රශ්න විසඳන්න යාම හරහා තමන්ට කොපමණ මුදලක් ලැබෙනවාද කියලයි. ඒ නිසා තමයි පාලකයෝ විශාල ඉදිකිරීම්වලට කැමති වෙන්නෙ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රටේ හැම තැනම ලොකුම දිසාපති කාර්යාල, ග්‍රාම නිලධාරි කාර්යාල හදනවා.
නමුත් ඒ කන්තෝරුවලට ෆොටෝ කොපි මැෂිමක් නැතිව ජනතාව දුක් විඳිනවා. හැම ක්ෂේත්රයේම කරන්නෙ මේ වැනි ඉදිකිරීම් විතරයි. ඒකට හේතුව කොන්ත්‍රාත්කරුවන්ගෙන් සන්තෝෂම් ලැබෙන නිසයි. ඒ ඒ අමාත්‍යාංශවල කාර්ය සාධනය ශක්තිමත් කරන්න පහසුකම් සපයනවා වෙනුවට රට පුරා ගොඩනැඟිලි හදන්න හැම අමාත්‍යාංශයක්ම ප්‍රමුඛතාව දෙනවා. මේ විදියට බැලුවම අපේ රටේ තියෙන්නෙම ඉදිකිරීම් අමාත්‍යාංශයක් විතරයි කියලත් කාටහරි හිතෙන්නත් පුළුවන්.
ඔබලත් ජාතික දේශපාලනයෙන් බැහැරව පක්ෂ දේශපාලනය තුළ එකිනෙකා විවේචනය කරනවා හැරෙන්න වෙන මොනවද ඵලදායි දෙයක් කියල කරන්නෙ?
අපි කවුරුත් විවේචනය කරන්නෙ නෑ. අපි ඇත්ත පෙන්වා දෙනවා. ඒක නීරස වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ රට ගොඩනඟන මාවතත් කියනවා. නමුත් අපි කියන කරන දෙයින් වඩාත් සමාජ කතාබහට ලක්වෙන‍්නෙ අපි අඩුපාඩු පෙන්වා දෙනවා කියන කාරණය පමණයි. ඒකත් අපි විවේචකයෝ විදියට තමයි පෙන්වන්නෙ.
මේ තත්ත්වයට මාධ්‍යයේ ඔබලත් වගකියන්න ඕනේ. පුරවැසියත් වග කියන්න ඕනේ. අපේ රටේ මාධ්‍යයත් පුරවැසියනුත් වඩා කැමති කොටවන ප්රවෘත්තිවලටයි. අතීතයේ මාධ්‍ය තුළ තොරතුරු වාර්තා වුණත් අද එකට එක ගැටුම්කාරි තොරතුරු තමයි වාර්තා කරන්නෙ. ඔබ අපිට විවේචකයන් ලෙස කීවත් අපි මේ රටේ සෑම ක්ෂේත්රයක් ගොඩ ගැනීම සඳහා වූ ප්‍රායෝගික සැලසුම් ඇතිව යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒවා සමාජගත වෙන්නෙ නෑ.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න ජනාධිපති දැන් විශේෂ කමිටුවක් හරහා තොරතුරු රැස් කරමින් ඉන්නවා. ඔබලාගේ යෝජනා මේ කමිටුවට දුන්නාද? ජාතික අධ්‍යාපන ප්රතිපත්තියක අවශ්‍යතාව ඔබලා පිළිගන්නවාද?
අපිත් පිළිගන්නවා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව. අපිත් එවැනි ප්‍රතිපත්තියක් හදලා තිබෙනවා. අපිට මේ ගැන කථා කරන්න රජයෙන් ආරාධනාවක් ලැබෙනවා නම් අපි සාකච්ඡා කරන්න කැමැතියි.
මේ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගන්න පත්වෙන රජයට නොහැකි වුණොත් පාර්ලිමේන්තුවේ යහපත් කටයුතුවලදි තුනෙන් දෙක සම්පූර්ණ කර ගන්න ඔබලා සහය දෙනවද?
පත්වෙන ආණ්ඩුව අපේ සහය ගන්න බලා ඉන්නෙ නෑ. අපේ රටේ සල්ලිවලට ගන්න පුළුවන් මිනිස් කඳන් පාර්ලිමේන්තුවට එනවා. වට අඩි ගාණට විකිණෙන මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම මේ ගැන කියල තියෙනවා. දින 52 ආණ්ඩුව කාලේ මන්ත්‍රිවරයකු මිලියන 500 දක්වා ඉහළ ගියා කියලා. මේ අතීත අත්දැකීම් අනුව සජිත්ගේ හා රනිල්ගේ පිරිසක් ආණ්ඩුවට ගිහිල්ල තුනෙන් දෙක හදාගන්න උදව් කරනවා. ඒක නොවෙන දෙයක් හෝ අලුත් දෙයක් නොවෙයි. 2010 දීත් එහෙම වුණා. 58% ඡන්ද ගත්තත් තුනෙන් දෙක හදා ගන්න බැරි වුණා. එදාත් එජාප පිරිසක් ආණ්ඩුවට ගිහිල්ල තුනෙන් දෙකක් හදලා දුන්නා. මේ පාරත් ඒක එහෙමම වෙනවා.
ඔබලා ඡන්දය ඉල්ලලා ජනතාව වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වන්නෙ?
ජනතාව අපිට ඡන්දය දීලා අපේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ගියොත් අපි ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව ශුද්ධ කරන අරගලය පටන් ගන්නවා. එහෙට මෙහේට පැනීම, අසික්කිත හැසිරීම, අපරාධකරුවන් වීම වැනි මේ අය අඩු කරන්න මාලිමාවට ඡන්දය දෙන්න කියලයි අපි ඉල්ලන්නෙ. අනෙක ජන පීඩනයට එරෙහි ප්‍රබල හඬක් නඟන්න අපිට ඡන්දය දෙන්න. ආර්ථික සමාජයීය කඩා වැටීම බේරා ගෙන රට නිවැරැදි දිසාවට යොමු කරවන්න අපිට ඡන්දය දෙන්න. අපිට ඡන්දය දෙන අයට සාධාරණයක් කරන්න අපි හැම විටම පාර්ලිමේන්තුවේදී හා ඉන් පිටතදීත් නිවැරැදි තැන හිටගෙන ඉඳලා තිබෙනවා. මෙවරත් ඒ විදියටම අපි කටයුතු කරලා ජනතාවගේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරනවා.