ලාංකේය දේශපාලනයේ ගමන් මඟ පෙන්නුම් කරන මුද්දර | Page 3 | සිළුමිණ

ලාංකේය දේශපාලනයේ ගමන් මඟ පෙන්නුම් කරන මුද්දර

ශ්‍රී ලාංකීය මැතිවරණ ඉතිහාසය තුළ වෙනස්ම ආකාරයේ මැතිවරණයකට මුහුණදීමට අපි සැරසී සිටින්නෙමු. මෙරට 9 වන පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කර ගැනීමේ මැතිවරණය 2020 අගෝස්තු 5 දින පැවැත්වීමට තීන්දු කර තිබේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රී ලංකාවේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසුව පවත්වනු ලබන පළමු මහ මැතිවරණය මෙයයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමත්, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් යන කරුණු සාක්ෂාත් කර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව මහත් වෙහෙසක් ගනු ලබයි. සර්වජන ජන්ද බලය සහ ලාංකේය දේශපාලනයේ ගමන් මඟ මෙවර 'කියවන මුද්දර' මගින් ආවර්ජනය කරමු.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වැනි සංවත්සරය නිමිතිකොට ගෙන 2015 සැප්තැම්බර් 30 දින වටිනාකම රු.10,15, 25 හා 35 බැගින් වූ නව තැපැල් මුද්දර 4ක්, මුල් දින කවරයක් සහ සමරු පත්‍රිකාවක්ද නිකුත් කරන ලදී.

ලාංකීය දේශපාලනයේ ගමන් මඟ දේශපාලන පක්ෂ ක්‍රමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින සෑම රටකම දැකිය හැකි අනිවාර්ය ලක්ෂණයකි .බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව වැනි රටවල් ප්‍රබල දේශපාලන පක්ෂ දෙකක බල තුලනය මත පවතින අතර එය 'ද්වි පක්ෂ ක්‍රමය' ලෙස හැඳින්වේ. ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල දේශපාලන පක්ෂ රැසක් දක්නට ඇති අතර, එය 'බහු පක්ෂ ක්‍රමය' ලෙස හැඳින්වේ.

ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ලංකා සමසමාජ පක්ෂය ආරම්භවී මේ වන විට වසර 85 කි. පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි වාමාංශික මතධාරී දේශපාලඥයින් 1935 දී එම පක්ෂය ආරම්භ කිරීමට කටයුතු කළහ. ශ්‍රී ලංකාව තුළ සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම ඔවුන්ගේ අදිටන විය.

1943 දී ලංකා සමසමාජ පක්ෂයෙන් වෙන්වී ගිය පිරිසක් විසින් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ දේශපාලන බලය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට ශක්තිමත් දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය මතුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1946 සැප්තැම්බර් 6 වන දින එක්සත් ජාතික පක්ෂය බිහිවිය. ඩී. එස්. සේනානායක මහතා ඊට නායකත්වය ලබා දුනි. 1947 මහ මැතිවරණයෙන් වැඩිම ආසනය සංඛ්‍යාවක් දිනා ගත් එක්සත් ජාතික පක්ෂය සුළු පක්ෂ වලද සහායෙන් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම රජය පිහිටුවීය. මෙරට වියළි කලාපයේ ගොවි ජනපද ඇති කිරීම, ආහාර අතින් ස්වයංපෝෂණය සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අගමැති සේනානායකයන්ගේ නව රජයේ ප්‍රත්පත්තිය වී තිබුණි.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ ආරම්භක සාමාජිකයකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 දී ඉන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීය. එය සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වැනි පොදුජන බලවේග ඒකරාශී කොට වඩාත් ශක්තිමත්ව නැඟී සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය සැපයූ මහජන එකසත් පෙරමුණ 1956 මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා බලයට පත්විය. බණ්ඩාරනායක මහතා අගමැති ධුරයට පත්වූ අතර, වාමාංශික නායකයන්ට වැදගත් ඇමතිධූර පිරිනමන ලදී. එම රජය විසින් ජනසතුකරණය, කුඹුරු පනත, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් කිරීම, පිරිවෙන් විශ්ව විද්‍යාල බවට පරිවර්තනය කිරීම, නාවික හමුදාව සහ ගුවන් හමුදාව බ්‍රිතාන්‍යය පාලනයෙන් මුදවා ගැනීම ආදී වශයෙන් නව දැක්මක් රටට හඳුන්වා දුන්නේය. මෙම සභාග රජය තුළ මතුවූ දේශපාලන මත ගැටුම් අවසානයේ කෙළවර වුයේ බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ ඝාතනයෙනි.

1960 ජූලි මැතිවරණයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත්ව, ලොව ප්‍රථම අගමැතිනිය වීමේ කීර්තිය හිමිකර ගත්තාය. බණ්ඩාරනායක අගමැතිතුමාගේ සමාජවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට එම නව රජය ජනතාවට පොරොන්දු විය. ඛනිජ තෙල්, රක්ෂණය වැනි ප්‍රධාන ව්‍යාපාර ජනසතු කරන ලද අතර, නව ව්‍යවසායන් ගණනාවක් අලුතින් ඇති කරන ලදී .සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම හා බණ්ඩාරනායක මැතිනිය නොබැඳී ජාතීන්ගේ රාජ්‍යනායක සමුළුවට සහභාගීවීම මෙම යුගයේ කැපී පෙනෙන සිදුවීම් විය.

1965 මාර්තු මහ මැතිවරණයෙන් එක් පක්ෂයකටවත් වැඩි ආසන සංඛ්‍යාවක් හිමි නොවූ බැවින්, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය, ප්‍රධාන දමිළ පක්ෂය වූ ෆෙඩරල් පක්ෂය සමඟ සන්ධාන ගතව නව රජයක් පිහිටුවනු ලැබීය. මෙහිදී ඩඩ්ලි සේනානායක මහතා සිව් වෙනි වරටත් අගමැති ධූරයට තේරී පත්විය. කෘෂි කර්මාන්තයට වැඩි අවස්ථාවක් හිමිවූ මෙම අවදියේ මහවැලි ව්‍යාපාරයේ සමාරම්භයද සනිටුහන්වීම කැපී පෙනෙන සිදුවීමකි.

1970 මහ මැතිවරණයේදී නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය එක්ව සැදුණු 'එක්සත් පෙරමුණ', පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව ජයග්‍රහණය කළෝය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නැවතත් අගමැති ධූරයට පත් වූවාය.1971 කැරැල්ල,1972 ජනරජ ව්‍යවස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය, කච්චතිව් දූපත ලංකාවේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, පොල්ගොල්ලෙන් මහවැලිය හැරවීම ආරම්භවීම මෙම යුගයේ දක්නට ලැබුණු සුව්ශේෂී අවස්ථාය.

1977 මහ මැතිවරණයෙන්, මුළු ආසන සංඛ්‍යාව වූ ආසන 168න් ආසන 140ක් ජයග්‍රහණය කරමින් ජේ. ආර්. ජයවර්ධන මහතා නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන ලදී. 1978 නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් වන්නේ මෙම රජය යටතේය. ඒ මඟින් පුළුල් විධායක බලයක් සහිත විධායක ජනාධිපති ධූරයක් ස්ථාපනය කෙරිණි. නිදහස් ආර්ථික ප්‍රතිපතියක් රටට හඳුන්වාදීම මේ යුගයේ කැපී පෙනෙන සිදුවීමකි. තවද, මහවැලි සංවර්ධනය කඩිනම් කළ අතර, කොත්මලේ, රන්දෙනිගල, වික්ටෝරියා, රන්ටැඹේ සහ උල්හිටිය ආදී ස්ථානවල ජලාශ පිහිටුවන ලදී.

1977 සිට 1988 දක්වා ජයවර්ධන යුගය වූ අතර, ඉන් පසු බලයට පැමිණියේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයායි. ජනතා විමුක්ති පෙරමුණේ සිවිල් අරගලය මධ්‍යයේ පැවති 1988 ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ජයගත් ප්‍රේමදාස මහතා, 1993 වනතුරු ජනපති ධූරය හොබවන ලදී. ජනසවිය, පාසැල් දරුවන්ට නොමිලේ නිල ඇදුම්, දිවා ආහාර ලබා දීම, ගම් උදාව වැඩසටහන හා ඇඟලුම් කර්මාන්තය ගමට ගෙනයාම මේ යුගයේ කැපී පෙනුණි.

1993 මැයි 1 දින ඝාතනයට ලක්වූ ප්‍රේමදාස මහතාගේ අනුප්‍රාප්තිකයා ලෙසින්, එවකට අගමැතිව සිටි ඩී. බී. විජේතුංග මහතා පත් කරන ලදී. 2004 පෙබරවාරි 15 දින ඩී. බී. විජේතුංග මහතා නමින් සමරු මුද්දරයක් නිකුත් කරන ලද අතර, ඔහු මෙරට තෙවන විධායක ජනාධිපතිවරයා වූයේය.

Comments