ඉදිරි පාර්ලිමේන්තුවට එල්.ටී.ටී.ඊ. බළල් අතක් | Page 3 | සිළුමිණ

ඉදිරි පාර්ලිමේන්තුවට එල්.ටී.ටී.ඊ. බළල් අතක්

 

දියෙස්පොරාවේ සිටින්නාවූ සියලු දෙනා එල්ටීටීඊ සාමාජිකයන් නොවන බව මීට කලිනුත් කියා තිබේ. එනිසා විදෙස් රටවල ක්‍රියාකාරී එල්ටීටීඊ සංවිධාන සහ පුද්ගලයින් හැඳින්වීමට වඩා සුදුසු යෙදුම "දියෙස්පෝරාවේ සිටින එල්ටීටීඊ සංවිධාන" හෝ “සාමාජිකයින්” බව මගේ හැඟීමයි. දියෙස්පෝරාවේ පවතින එල්ටීටීඊ යට සම්බන්ධ විවිධ සංවිධාන බොහොමයක් ඉදිරි සංවිධාන (Front Organizations) සෘජුව එල්ටීටීඊ ය මෙහෙයවන ඒවා ලෙස නොපෙනුණත් ඒවා හරහා එල්ටීටීඊ මතවාදය එනම් ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහිකිරීම අරමුණු කරගත් සංවිධානය. මේ සමහර සංවිධානයන් දැනටමත් විවිධ රජයන් විසින් තහනම් කර තිබේ. ඉන් බොහොමයක් ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වීමත් සමගම ක්‍රමක්‍රමයෙන් නිද්‍රාවට වැටී ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ දැන් එය විශාල අදායම් ලැබිය හැකි මාර්ගයක් නොවීමයි.

සිවිල් යුද්ධය පවතින අවදියේ තරම් දියෙස්පෝරාවේ වෙසෙන ද්‍රවිඩ ජනතාව දැන් මේ සංවිධානවලට මුදලින් සහයෝගය නොදේ. යුද්ධය පවතින අවදියේ එකතු කළ මුදල් වලින් ආරම්භ කළ විවිධ ව්‍යාපාර ඒවායේ පාලනය කළ වුන්ම බලහත්කාරයෙන්ම අත්පත් කරගෙන තිබේ. මේ පිළිබඳව අභ්‍යන්තර ගැටුම් රැසක් යුද්ධය අවසන් වූ අවස්ථාවේ වාර්තා විය. ඉන් සමහරක් උසාවි දක්වාද ඇදී ගියේය.

මේ ඉදිරි සංවිධාන වලින් යැපෙන ඉතා සුළු පිරිසක් තවමත් ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කරමින් සිටී. ඉන් වඩාත් ක්‍රියාකාරී ලෙස ඉතිරිවී ඇත්තේ නොර්වේ සිට ක්‍රියාත්මක වන නදියවන් ගේ නායකත්වයෙන් පවතින කණ්ඩායම සහ වඩා මිලමුදල් අතින් පොහොසත් ස්විට්සර්ලන්ත කණ්ඩායමයි. කැනඩාවේද නදියවන් කණ්ඩායමට සම්බන්ධ NTCC සංවිධානය තවමත් ක්‍රියාත්මක වන අතර; තවත් සමහර සංවිධාන එල්ටීටීඊ යේ ඉදිරිපෙළ සංවිධානයන් ලෙස සිටිමින්ම විවිධ උපක්‍රම යොදාගනිමින් රජයේ ආධාර ලබති.

එවැනි එක් කැනේඩියානු රජයේ ආධාර ලබන සංවිධානයක් ලෙස ටෝරන්ටෝවේ පිහිටි Tamil Eelam Society of Canada වාර්තා වේ. එම සංවිධානය රජයේ ආධාර ලබාගැනීම සඳහා TESOC Multicultural Settlement Services නමින් ක්‍රියාත්මකය. මෙහි TESOC කියන්නේ Tamil Eelam Society of Canada යන්නයි.

මේ හා සමාන නාම කුමන්ත්‍රණ තත්ත්වයක් චෙල්වනායකම් විසින් බිහි කළ ලංකාවේ ටැමිල් අරසු කච්චිද පාවිච්චි කරයි. එහි සෘජූ සිංහල තේරුම "දෙමළ රාජ්‍ය පක්‍ෂය" යන්නයි. ඉංග්‍රීසියෙන් එය Tamil State Party යන්නයි. නමුත් ප්‍රසිද්ධ භාවිතය වන්නේ Tamil Federal Party යනුවෙනි. ඒ අනුව එය සාමාන්‍ය ද්‍රවිඩයන් අතරේ ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රජ්‍යයක් ගොඩනැගීම සඳහා වූ පළමු දේශපාලන පක්ෂය ලෙස පෙනීසිටින අතර පිටතින් බලන්නන්ට එය ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථ දේශපාලන පක්ෂයක් ලෙස පෙනේ.

මේ අතර කැනේඩියානු රජය TESOC Multicultural Settlement Services හි "TESOC" යනු Tamil Eelam Society of Canada හි කෙටි නම බව නොදැනම, එය නව කැනේඩියානුවන්ට සහන සපයන ආයතනයක් ලෙස සලකා වාර්ෂිකව මුදලින් ආධාර සපයයි.

නීතියට අනුව කැනේඩියානු රජයේ ආධාර ලබන්නට නම් ඒවා පොදු ආයතන විය යුතුයි. සාමාජිකත්වය සැමට විවෘත විය යුතුයි. එහෙත් මේ කියන සංවිධානය එසේ නොවන බවයි රාජන් මහවලිරාජන් (Rajan Mahavalirajan) කියන්නේ.

රාජන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ටෝරන්ටෝවේ සිටින ද්‍රවිඩයෙකි. වරක් TESOC හි සාමාජිකත්වය ලබාගැනීමට ගිය රාජන්ට එහි සිටි TESOC නිලධාරියෙකු වූ මහේන්ද්‍රරාජා මර්කන්දු හෙවත් සින්නන් රාජන් ගේ අයදුම්පත ප්‍රතික්ෂේප කරයි. ඒ ගැන විමසු විට ඔහුට පහර දෙයි. මේ පහර දීමෙන් පසුව රාජන් TESOC නිලධාරි මණ්ඩලයටම නඩු පවරනු ලබයි. ඔන්ටාරියෝ සුපිරි යුක්ති අධිකරණයේහි (Ontario Superior Court of Justice) පවරා ඇති මෙම නඩුවේ රාජන් මහවලිරාජන් කියන්නේ TESOC ආයතනය තමන්ට එහි සාමාජිකත්වය ලබා නොදීමට හේතුව වන්නේ තමන් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙකු හෝ එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ගේ ග්‍රාමය වන වැල්වැටිතුරෙයි සිට පැමිණි තැනැත්තෙකු නොවීම නිසා බවයි.

තවදුටරත් ඔහු සිය පෙත්සමේ කියා සිටින්නේ මෙම TESOC ආයතනයේ රැකියා ලබාදෙන්නේද එල්ටීටීඊයට සම්බන්ධව කැනඩාවට සංක්‍රමණයවී සිටින "මහවිරු" පවුල්වල සාමාජිකයින්ට පමණක් බවයි. ඔවුන් සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමට සහ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට එල්ටීටියට දිවුරුම් දී ඇති දැඩිලෙස හිංසාකාරී මනස සහිත පිරිසක් වන අතර ඔවුන් සිය සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලන එල්ටීටීඊයට සම්බන්ධ නොවන පුද්ගලයින්ට පහරදී එලවා දැමීමට පවා පසුබට නොවන මානසික තත්වයකින් යුතු අය වෙති.

මේ හැරුණුකොට 2014 මාර්තු 15 දින ටෝරන්ටෝවේ පිහිටි ශ්‍රී ලංකා කවුන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරිපිට පැවති ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතාවේදී ශ්‍රී ලංකා ධජය සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජායාරුපයක් පාගා දැමු අය අතර නිලධාරි මණ්ඩලයේ සාමාජිකයින්ද වන බව රාජන් සිය පෙත්සමේ කියා සිටියි. මීට අමතරව එවකට නිලධාරි මණ්ඩලයේ සාමාජිකයෙකු වූ දෙවා සභාපති යන අය තවත් එල්ටීටීඊ ඉදිරිපෙළ සංවිධානයක් වූ Transnational Government of Tamil Eelam සංවිධානයේ මන්ත්‍රී වරයෙකු ලෙසද කටයුතු කරන බවද වාර්තා වේ.

මෙවැනි එල්ටීටීඊ සම්බන්ධකම් සහිත සංවිධානයක ක්‍රියාකාරී පුද්ගලයෙකු දැන් ටීඑන්ඒ මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට ඉදිරිපත් කොට තිබේ. උතුරේ අලවඩ්ඩි ප්‍රදේශයේ උපත ලැබූ මේ පුද්ගලයා දැනට ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසි භාවය සහිත පුද්ගලයෙකු වුවත් ඔහු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් ටීඑන්ඒ මගින් ඉදිරි මහ මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කරද්දී කිසිවකු විරෝධතා ඉදිරිපත් කර තිබුණේ නැත.

ඉතා දීර්ග කාලයක් ටෝරන්ටෝවේ TESOC ආයතනයේ සේවය කළ ඔහු එහි සිටියදී එහි ටි.එන්.ඒ. සංවිධානයට රහසේ මුල්‍ය ආධාර සැපයීම බාරව සිටි නකීරන් නැමැත්තා සමග කටයුතු කළ අතර එමගින් ටී.එන්.ඒ නායක සම්පන්දන් සමඟ ළඟ ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ. මේ හේතුන් මත සම්පන්දන්ගේ සෘජු සහයෝගයෙන් මොහු සම්පන්දන්ගේ ඇවෑමෙන් ටී.එන්.ඒ. ඉහළ පුටුවටම යෝජනා කෙරී ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව ටී.එන්.ඒ. ඉහළ පුටුවට නැගීමට අවශ්‍ය අනෙක් සුදුසුකම වන ඉහළ කුල අවශ්‍යතාවද මෙම පුද්ගලයා විසින් සපුරා ඇති බව වර්තා වේ. ඉන්දියාවේ සිටියදී ඉහළ කුලයක බ්‍රාහ්මණ ස්ත්‍රියක් සමඟ විවාහ වී සිටි මොහු දැනට ඇයගෙන් වෙන්වී ජීවත් වෙයි.

මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරියේ දී මේ පුද්ගලයා හරහා දියෙස්පෝරාවේ එල්ටීටීඊ සංවිධාන වල සෘජු බලපෑම්වලට ලක්වීමට නියමිතයි. මීට අමතරව වඩාත් භයානකම කරුණ වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතට පත්විය හැකි රාජ්‍ය අභ්‍යන්තර තොරතුරු මේ පුද්ගලයා හරහා ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන අතට පත්විය හැකි වීමයි.

ඔබේ යෝජනා සහ අදහස් යොමුකරන්න;

[email protected]

Comments