
නවසිය පහළොවේ ඇති වූ කලහයේ දී එවකට රටේ පාලකයාව සිටි ශ්‍රීමත් රොබට් චාර්මස් ආණ්ඩුකාරයා කල්පනා කළේ මෙය ඉංග්‍රීසි ආණ්ඩුව පෙරළා දැමීම උදෙසා අමද්‍යප සිංහල බෞද්ධයන් විසින් ඇති කරන ලද අරගලයක් බව ය. ආණ්ඩුකාර නියෝගය මත සිංහල බෞද්ධ ජනනායකයෝ ඉවක් බවක් නැතිවම සිරබාරයට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබනු ලැබූහ.
සේනානායක සහෝදරයන් තුන්දෙනා, ධර්මපාලතුමා, ඩී.බී. ජයතිලක අධිනීතිඥතුමා, පියදාස සිරිසේන, නීතිඥ ජෝන් ද සිල්වා ඇතුළු ජන නායකයන් මෙන් ම බත්තරමුල්ලේ සුභූති හිමියන් ද එසේ සිරබාරයට ගැනෙද්දී බොරලුගොඩ රාලහාමි නමින් ප්රකටව විසූ දොන් ජාකෝලිස් ගුණවර්ධන ප්රභූවරයා ද සිරබාරයට ගන්නා ලද්දේ ය. ප්‍රාදේශීය ලෙස සිය සිංහල බෞද්ධ බලය තහවුරු කරගනිමින් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ තමන්ගේ වැඩක් බලාගෙන ගැමි ජනතාවගේ දුක සැප බෙදාගෙන කටයුතු කළ ප්‍රාදේශීය නායකයකු වූ එතුමා සිරබාරයට ගැනීම එම පළාතේ අයට මෙන් ම පවුලේ ප්‍රධානීන්ට ද බලවත් ශෝකයට හේතුවක් විය.
සූරියප්පෙරුම ගුණවර්ධන හාමිනේ සිය ස්වාමියාගේ නිදහස පිළිබඳ වගකිවයුතු වැඩිහිටියකුගේ උපකාරය ඇතිව රටේ ආණ්ඩුකාරයා වෙත පෙත්සමක් සකස් කරවාගත්තාය. ඒ වන විට දහහතර වැනි වියේ සිටි තම දෙවැනි පුතු පිලිප් ගුණවර්ධනත් සමඟ බක්කි කරත්තයෙන් කොටුවේ ආණ්ඩුකාර මන්දිරය කරා ගියා ය. කරත්තකාරයා බක්කි කරත්තය රජගෙදර පෝටිකෝවටම දක්කාගෙන එන බව දකිද්දී මුරකාර සෙබළුන් කළේ ‘හෝල්ට්’.... ‘හෝල්ට්’ කියමින් තුවක්කු ද රැගෙන එළවාගෙන ඒමය. ඒත් බොරලුගොඩ මහ ගෙදර කරත්තකාරයා ද සුද්දන්ට යට වන්නෙක් නොවේ.
“බය නැතුව පෝටිකෝව යටට කරත්තය දක්කනවා” පිලිප් ගුණවර්ධන ගැටවරයාගේ කීම අනුව එය එසේ ම සිදු විය.
එයින් කලබලයට පත් ආණ්ඩුකාර මන්දිරයේ නිලධාරීන් හමුවේ කරත්තයෙන් බැසගත් බොරලුගොඩ හාමිනේ සිය පිලිප් පුතා ද කැටුව ගොස් තම පෙත්සම චාර්මස් ආණ්ඩුකාරයා අතටම පිළිගැන්වූවාය.
දේශපාලන වශයෙන් පසුකලෙක පිලිප් දරුවාට එය සමාජ වේදිකාවට අවතීර්ණ වීමට පන්නරයක් ද වූයේ ය. එහි පශ්චාත් ප්‍රතිඵලය ලෙස බොරලුගොඩ රාලහාමිට නිදහස ලැබිණි.
හැරී, පිලිප්, රොබට් නමින් පුතුන් තුන් දෙනෙකු වූ බොරලුගොඩ මහ ගෙදරින් පසුකලෙක සියරට නිදහස් කරගැනීමේ සටනට මහ මෙහෙයක් ද ඉටු වූයේය.
මුලින් ම මොරටුවේ වේල්ස්කුමර විද්‍යාලයේ ද පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ද ඉගෙනගත් පිලිප්, රොබට් සහෝදරයන් දෙදෙනා එකල විදුහල්පති ආචාර්ය පී. ද ඇස්. කුලරත්න මහතාගේ මඟ පෙන්වීම අනුව මතු කලෙක රටට ජාතියට ආගමට සෙත සලසන උදාර පුද්ගලයන් බවට පත් වන ලකුණු පෙන්වා සිටියේ ද ආනන්ද විද්‍යාලයේදී ය.
එකල රටේ ධනවතුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ තම පුතකු රට යවා නීතිඥවරයකු හෝ වෛද්‍යවරයකු හෝ කරවා ගෙන්වාගැනීම ය. ඒ අදහස අනුව රාලහාමිගේ දෙවැනි පුත් දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන තරුණයා ගියේ ඇමෙරිකාවට ය. එහි වින්කොන්සින් විශ්වවිද්‍යාලයේ දී උසස් අධ්‍යාපනය හැදෑරූ ගුණවර්ධන තරුණයා වෙනත් අධ්‍යාපන ධර්ම සමඟින් කෘෂිකර්මය ද ඉගෙන එයින් ද උපාධියක් ලබාගත්තේය. මෙහිදී පිලිප් ගුණවර්ධන තරුණයාගේ ගුරුවරයා වූයේ මහාචාර්ය ස්කොට් නියරින් මහතාය. මේ කළු තරුණයා මතුවට ලෝකයට කිසියම් මෙහෙයක් ඉටු කරන්නකු බවට එදා ද එහිදී ස්කොට් නියරින් මහාචාර්යතුමාගේ හැඟීම වූ බව පසුකලකදී හෙළිවූයේ ය.
රුසියාවේ සාර් පාලනයට විරුද්ධව පැන නැඟී පසුකලෙක මුළු යුරෝපාකරය පුරා පැතිර ගිය මාක්ස්වාදී අදහස් මාලාව ඇමෙරිකාවේ සිටි වින්කොන්සින් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් කෙරෙහි ද තදින් ම බලපෑවේ ය. පිලිප් ගුණවර්ධන තරුණයා ද මාක්ස්වාදයට වශී වූවෙක් විය. එම මාක්ස්වාදී රතු ලේබලය ඇලවෙන්නට වැඩි කලක් ගතවූයේ ද නැත. එහෙයින් අධ්‍යාපනය නිමා කර ඇමෙරිකාවෙන් එංගලන්තය බලා නික්ම යෑමට සැරසෙද්දී ඔහුව එහි සිට නීත්‍යනුකූලවම රටින් පිටත් වන්නට ඉඩ ලැබුණේ ද නැත.
පිලිප් ගුණවර්ධන තරුණයා කළේ පොත්පත් සහ ඇඳුම් බෑගය ද ගෙන පිරනීස් කඳුවැටිය ඔස්සේ පයින් ම රහස් පාරවල් මඟින් රටින් පිටවීමය. අන්තිමේ සැතපුම් සිය ගණනාවක් ගමන් කොට එම දුර්ග මාර්ග දිගේ ගොස් එංගලන්තයට ගොඩ බසින විට පිලිප්ගේ කකුල් දෙකේ ලේ ගලමින් තිබුණු බව ද වාර්තාගත ය.
එසේ පැමිණි පිලිප් ගුණවර්ධන තරුණයා එවේලේ එංගලන්තයේ මාක්ස්වාදී සුද්දන් විසින් පිළිගන්නා ලද්දේ වීරයකු ලෙසය. එහෙයින් සුදු මාක්ස්වාදීන් එහිදී ගමන්ගත් එක් පෙළපාළියකදී පිලිප්ගේ ඡායාරූපයක් ලොකු කර එහි ගෙන ගිය බව ද ඒ ඡායාරූපය දිගු කලක් ම එංගලන්තයේ මාක්ස්වාදී කාර්යාලයේ ගෞරවයෙන් එල්ලා තිබූ බව ද වාර්තා විය.
ඉන්පසුව කලෙක එංගලන්තයේ සිටි මාක්ස්වාදීන් සිය රටට පැමිණෙන්නට එරටින් වීසා ඉල්ලීමේදී පිලිප්ට හැර අනෙක් අයට අවසර ලැබිණි. මෙහිදී ඔවුන් තැකුවේ පිලිප් බරපතළ මාක්ස්වාදියකු බව ය.
අනෙක් අය ලංකාවට පැමිණි නමුදු මෙහිදී සිය පිලිප් පුතාට එසේ සියරටට පැමිණෙන්න අවසර නොදීම ගැන බරපතළ ලෙස කනස්සල්ලට පත් බොරලුගොඩ රාලහාමි කළේ එකල ඉංග්‍රීසි රජයේ ප්‍රධානියකු ලෙස බලධරයකු ලෙස සිටි ඩී.බී. ජයතිලක (පසුව ශ්‍රීමත්) මහතා හමුව එම කාරණය නිසා සහනයක් සලසා දෙන මෙන් ඉල්ලා සිටීමය.
ජයතිලක මැතිතුමා එයට නිසි ප්‍රතිචාර දක්වාලමින් බ්‍රිතාන්‍ය වගකිව යුත්තන් දැනුවත් කරවීම නිසා පිලිප්ට සිය රට පැමිණිමේ අවසරය ලැබිණි. මෙහිදී එහි සිට මාක්ස්වාදී පොත් කිහිපයක් ම රැගෙන ආ පිලිප් ගුණවර්ධන තරුණයා කළේ ලංකාවේ රේගුවෙන් තමන් විශේෂයෙන් පරීක්ෂා කරන නිසා එම පොත් නැවේදී අන් හිතවත් කිහිපදෙනෙකුට දී ගොඩ බැස්සාට පසුව ඒවා එකතු කරගැනීමය.
තමන් එංගලන්ත පාලකයන්ගේ ග්රහණයෙන් මුදාගෙන ලංකාවට ගෙන්වා ගැනීමට ඩී.බී. ජයතිලක මැතිතුමා එදා කළ මෙහෙයට පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා කලගුණ සැලකූවේ වර්ෂ 1939 දී සිදු වූ බ්රේස් ගර්ඩල් සිද්ධිය අවස්ථාවේදී ජයතිලක ඇමැතිතුමා ඇමැති මණ්ඩලයෙන් ද කොන් කළ විටදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී එතුමන් වෙනුවෙන් කතා කිරීමෙනි.
වර්ෂ 1935 දී ‘ලංකා සම සමාජ පක්ෂය’ පිහිටුවාගැනීමට ද මුල් වූ පිලිප් ගුණවර්ධන මහතා සක්රීයවම එම මාක්ස්වාදී දේශපාලන දර්ශනය ප්‍රචලිත කිරීමෙහි යෙදුණේ ය. බොරලුගොඩ පිලිප් ගුණවර්ධන, තොටළඟ ඇන්.ඇම්. පෙරේරා, අකුරැස්සේ ඇස්.ඒ. වික්‍රමසිංහ, කටුපැලැල්ලවත්තේ ඊ.ඩබ්ලිව්. අදිකාරම් ආදී වශයෙන් මේ මාක්ස්වාදී තරුණයෝ සිය දර්ශනය ද සමඟින් මහජනයා අතරට පිවිසියෝ ය.
1936 දී පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී රුවන්වැල්ල ආසනයේ එතෙක් සිටි ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි පරදවා එහි මන්ත්‍රීවරයා වීමේ අවස්ථාව ඇන්.ඇම්. පෙරේරා මහතා වෙත සැලසිණි. එහිදීම අවිස්සාවේල්ල ආසනයේ ඔබේසේකර මැතිතුමා පරදවා පිලිප් ගුණවර්ධන මහතා මන්ත්‍රීවරයා බවට පත් වූයේය. පසුවදෙවැනි ලෝක මහා සංග්‍රාමය සමයේදී පිලිප් ගුණවර්ධන සහ ඇන්.ඇම්. පෙරේරා මන්ත්‍රීවරුන් දෙදෙනා සිරබාරයට ගෙන බදුල්ල - බෝගම්බර ආදී සිරගෙවල්වල රඳවා තබන්නට ඉංග්‍රීසි රජය කටයුතු කළේය. පසුව වර්ෂ 1942 දී පාස්කු දිනට පසුව දා බෝගම්බර සිර මැදිරිය කඩාගෙන පිලිප්, ඇන්.ඇම්. කොල්වින්, සමරක්කොඩි පැනගොස් පසුව ඉන්දියාවට ද ගිය බව ද සැලවිය.
පසු කලෙක ඉන්දියාවෙන් අල්ලාගන්නා ලද ඔවුහු ලංකාවට ගෙන එනු ලැබූහ. මෙහිදි කිවයුතු එක් කරුණක් නම් ලංකාවේ සිටියදී පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා කුසුමා අමරසිංහ තරුණිය කසාද බැඳගෙන සිටීමය.
පිලිප් ඉන්දියාවට පැන ගිය පසු තම ස්වාමියා හමු වීම පිණිස කුසුමා මැතිනිය එහි ගියේ තම මාමා කෙනෙකු සමඟ නිවාඩුවකට ලංකාවට පැමිණ ආපසු ඉන්දියාවට යන පාසල් සිසුවියක ලෙස වෙස් වළාගනිමිනි. එහිදී ලද පිලිප් කුසුමා යුවළගේ කුලුඳුල් පුතුට ඉන්දික යන නාමය තබන ලද්දේ ද ඉන්දියාවත් ලංකාවත් අතර වූ ගමන සිහිපත් වන්නට ය.
1947 මහ මැතිවරණයේදී පිලිප් ගුණවර්ධන මැතිතුමෝ අවිස්සාවේල්ල මන්ත්‍රී ආසනය දිනාගත්හ. එහෙත් 1949 දී එතුමාට විරුද්ධව ඇතිවූ නඩුවක් නිසා හය මාසයකට සිරගෙට නියමවූ හෙයින් අවිස්සාවේල්ල ආසනය අහිමි විය. එහෙයින් අතුරු මැතිවරණයකට නාම යෝජනා කැඳවූ හෙයින් එයට ඉදිරිපත් වූයේ කුසුමා ගුණවර්ධන මැතිනිය පමණකි. එතුමිය නිතරගයෙන් අවිස්සාවේල්ල මන්ත්‍රී බවට පත් වූවාය. කුසුමා ගුණවර්ධන මැතිනිය ඉන්පසුව පාර්ලිමේන්තුවට ගියේ ගොතටුවේ මහ විදුහල අසල රෝලන්ඩ්ස් බංගලාව කුලියට ගෙන පදිංචිව සිටිමිනි. දැනට අමාත්‍ය පදවියක් ද දරන දිනේෂ් පුතු මෙන් ම ගීතාංජන පුතු ද ඉපදුණේ එම මන්දිරයේ දී ය. පසුව 1952 දී ද අවිස්සාවේල්ල ආසනයේ මන්ත්‍රී වශයෙන් කුසුමා ගුණවර්ධන මැතිනිය පත් වූවා ය. එම වසරේදී රටේ විරුද්ධ පක්ෂ නායකයා වීමට බණ්ඩාරනායක මහතාට අවස්ථාව ලැබුණේ එවේලේ දී කුසුමා ගුණවර්ධන මැතිනිය එතුමාට සිය ඡන්දය ලබාදීම නිසා ය.
1955 අවසානයේ එවකට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග එකතු කිරීමේ යෙදුණු බණ්ඩාරනායක මැතිතුමා පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය ද එයට එකතු කරගත්තේ ද එම යුතුකම සලකාගෙන ය.
1956 දී ඇතිවූ මහජන එක්සත් පෙරමුණ රජයේ ආහාර සහ ගොවිකම් ඇමැති පදවිය පිලිප් ගුණවර්ධන මැතිතුමාටත් එතුමාගේ අනුගාමික පී.එච්. විලියම් ද සිල්වා මැතිතුමාට ධීවර ඇමැති පදවියත් ලැබුණු බවය.
පිලිප් ගුණවර්ධන ඇමැතිතුමා රටේ ආර්ථිකය නඟාසිටුවා ජනතාව ස්වයංපෝෂිත කිරීමට ගත් වෙහෙස ‘කුඹුරු පනත’ ලෙස ඉදිරිපත් කෙරිණි. එයින් එතුමා බණ්ඩාරනායක අගමැතිතුමාට පමණක් දෙවැනි වූ ක්‍රමවත් සේවාවක් ඉටු කළේය.
පසුකලෙක බණ්ඩාරනායක අගමැතිතුමාගේ විරුද්ධවාදීන් කළේ එතුමා සමඟ පිලිප් ඇමැතිතුමාට විරුද්ධව ගතු කියා කෙටවීමය. එහි ප්‍රතිඵලය වූයේ බණ්ඩාරනායක අගමැතිතුමා එතුමාට පල නොකියා පලා බෙදන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. මෙහිදී පිලිප් ඇමැතිතුමෝ ආණ්ඩුවෙන් සහ තම ඇමැති පදවියෙන් ඉල්ලා අස්වූහ. ඉන්පසුව විරුද්ධ පක්ෂයේ අසුනක වාඩි වූහ. ඉන් අනතුරුව නැඟිට සිටි එතුමා “ගරු අගමැතිතුමනි, ඔබ තුමා පරිස්සම් වෙන්න. ඔබ තුමා පරිස්සම් විය යුත්තේ ඉදිරියෙන් එන හතුරන්ගෙන් නොව ළඟින් ඉන්න මිතුරන්ගෙනි” යනුවෙන් අවවාදාත්මකව ස්වරයෙන් පැවසූහ.
එයට බණ්ඩාරනායක අගමැතිතුමා කළේ අත්දෙක ඉහළට ඔසවා “මට හතුරන් නෑ” යනුවෙන් කියා සිනාසීමය. එහෙත් ගතවූයේ ඉන්පසු හාර මාසයක් පමණි. අගමැතිතුමාට විරුද්ධව කුමන්ත්‍රණ කළ එතුමන් ළඟම සිටි අය එතුමෝ බිහිසුණු ලෙස මරා දැමූහ.
ඉන්දික, දිනේෂ්, ප්‍රසන්න - ගීතාංජන සමඟ ලක්මාලි දියණියෝ ද පිලිප් ගුණවර්ධන යුවළගේ දරුවෝ වූහ. ඔවුහු ද සිය මවුපියන්ගේ ගෞරවය රකිමින් රට ජාතිය වෙනුවෙන් සිය සේවාව කැප කළහ.