ළහිරු මඩල | Page 3 | සිළුමිණ

ළහිරු මඩල

අගය වඩන දෙමවුපියෝ

මුළු ලෝකයේම ඇති ඉතාම වටිනා සම්පත වන්නේ දෙමාපියෝ ය. අම්මා දස මසක් තිස්සේ තම කුසේ දරා ගෙන තමන්ගේ ඇස් දෙක මෙන් අප රැක බලා ගන්නීය. අප උපන් දා සිටම අද වන තුරුත් තාත්තා අපේ සියලු දුක සැප බලා ගනී. ඔහු දහඩිය මහන්සිය වගුරවා දිවා රෑ නොබලා අව්ව වැස්ස නොබලා මහන්සි වී උපයන ධනයෙන් වැඩි කොටස විය පැහැදම් කරන්නේ අපේ ආහාර, ඇඳුම්, පැළඳුම්, පොත්පත්, බේත්හේත් වැනි දේ සඳහා ය.

අම්මාත් තාත්තාත් දරුවන් වෙනුවෙන් මෙලෙසින් ක්‍රියා කරන්නේ දරුවන්ට ඇති කරුණාව ආදරය නිසා ය. දෙමවුපියන්ට දරුවන් තරම් වටිනා සම්පතක් නැත. අප රෝගී වූ විට දෙමාපියෝ කෑම නොකා නොබී නින්දක් නොමැතිව අපට උපස්ථාන කරති. අපේ දස්කම් විස්කම් දුටු විට මෙලොව අන් සැමටත් වඩා සතුටු වන්නේ අපේ දෙමාපියන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඇතැම් දරුවෝ දෙමාපියන්ට අකීකරු වෙති. ඔවුන්ගේ සිත් රිදවමින් ක්‍රියා කරමින් ජීවිත විනාශ කරගනී. දරුවන් අකීකරු වනවිට වැරදි මාර්ගයේ යනවිට දෙමාපියන් බොහෝ දුක්වේ. පළමුව දෙමාපියන්ට විරුද්ධ වන ළමයා දෙවනුව සමාජයට විරුද්ධ වේ. එවිට ඔහු මුළු ලොවටම කරදර කාරයෙක් වනු ඇත. එවිට ඔහුට හිමි වන්නේ සිර කූඩුවකි.

දෙමාපියන් තම දරුවන් යහමග යැවීමට නිතරම වෙහෙසේ. එය තේරුම් නොගන්නා දරුවෝ දෙමාපියන් කරදර කාරයින් යැයි සිතති. එවැනි දරුවන්ට කිසිදාක යහපතක් සිදුවන්නේ නැත. අප යම් දියුණුවක් ලබයි නම් ඒ සියල්ල දෙමාපියන් ගෙන් ලැබුණු බව මතක තබා ගත යුතු ය.

ආර්.එම්. සශ්මික ප්‍රභාෂ්වර

6 ශ්‍රේණිය ‘ඊ’,

නාලන්ද විද්‍යාලය,‍

කොළඹ 10

--------------

අප්පච්චි නැති දා

මතක මතකය සිතට වධදී
හිමි සෙනෙහස සිහිවුණේ...
අප්පච්චි නුඹ ගිහින් ඈතට
නිවෙස ගනඳුරක ගිල්වා
අම්මාගේ නෙත්වලත් කඳුළු
මගේ ළමා විය හුදකලා විය
අප්පච්චි ඔබ නැති නිසා
කඳුළු කවියක් හැඩ කළා‍‍‍...

ටී‍‍.ඩබ්.එම්. මිලාන්

සඳකැළුම්

12 ශ්‍රේණිය ‘ඒ’,‍

කලා අංශය,

ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලය.

නොච්චියාගම

--------

අම්මා

අ‍ම්මේ ඔබේ කදුළු බිමට වැටෙන විට
මතක් වුණා ඔබ මා නැළවූ හැටි
ලේ කිරි කර පොවා මට දුන් මගෙ අම්මා
මතු බවයක බුදු වේවා ආදර අම්මා!

සනෙත් බිනුදික සුරසිංහ

7 ශ්‍රේණිය ‘බී’,

ශ්‍රාස්ත්‍රාරවින්ද විද්‍යායතනය,

පොල්ගොල්ල

------------

පරිසරය රැක ගනිමු

පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. එමෙන් ම පරිසරය සොබාදහම් මාතාවගේ වටිනාම තිළිණය ලෙසින් ද හැඳින්වීමට හැකි ය. ගස් වැල්, ගංගා, ඇළ දොළ, වනාන්තර, දියඇලි පරිසරයට අයිති වස්තූන් ලෙසට හඳුනා ගැනීමට හැකි ය. පරිසරයෙන් අපට බොහෝ ප්‍රයෝජන ලැබේ. ස්වාභාවික විපත් සිදුවන්නේ ද පරිසරයෙනි. අප පරිසර දූෂණය වළක්වා ස්වාභාවික විපත් අවම කරගත යුතු ය.

පරිසරයෙන් අපට ලැබෙන ප්‍රයෝජන ලෙසට ආහාර ලබාදීම, ස්වසනය ලබාදීම, ජලය ලබාදීම උදාහරණ කොට ගත හැකි ය. මිනිසාට අත්‍යවශ්‍ය වන ඉහත කී මූලික අවශ්‍යතා ද සපයන්නේ පරිසරයෙනි. මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද වාසස්ථාන පරිසරය මඟින් ලැබේ. අපට පරිසරයෙන් දැව ලබා ගැනීම, භූමිය ලබා ගැනීම වැනි ප්‍රයෝජන ගත හැකි වුවද අනවශ්‍ය ලෙස නොගත යුතු ය. එවිට සොබාදහම් මාතාව කිපී ස්වාභාවික විපත් ලෙස අපට දඬුවම් ලබාදෙයි.

“මේ ලෝකයේ ඇති සියලුම ගංගා, ඇළ දොළ, වැව් සිඳී ගිය විට, සියලුම ගස්වැල් මැරී ගියවිට මිනිසාට තේරේවි මුදලින් ඵලක් නැති බව.” මෙය රතු ඉන්දියානු නායක සියැටල්ගේ ප්‍රකාශයකි. එතුමාගේ ප්‍රකාශය සත්‍ය කරමින් මිනිසුන් අන්ධයන් මෙන් පරිසරය විනාශ කරමින් සිටිති. කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට දැමීම, දුම් වායුවට මුදා හැරීම, වගුරු බිම් ගොඩ කිරීම, ගස් කැපීම ආදිය පරිසර දූෂණය ලෙස දැක්විය හැකි ය.

පරිසරයෙන් සිදුවන බොහෝ ස්වාභාවික විපත්වලට හේතුව ලෙස පරිසර දූෂණය හෙවත් සත්ත්ව හා මිනිස් ක්‍රියාකාරකම් ගත හැකිය. ස්වාභාවික විපත්වලට උදාහරණ ලෙස නායයෑම්, නියඟය ඇතිවීම් ගත හැකි ය. අපි පරිසරයේ වැදගත්කම ගැන මිනිසාට කියාදී ඔවුන්ව යහමගට ගත යුතු ය.

පබා පද්මපානි හේවගේ

8 ශ්‍රේණිය ‘ඩී‘,

යසෝදරා දේවී බාලිකා විද්‍යාලය,

ගම්පහ

--------------

පාසල් නිවාඩු කාලය

අපේ පාසල් නිවාඩු කාලය ඉවර වෙන්න ළඟයි. මම නිවාඩු කාලයේ අයියත් සමඟ සෙල්ලම් කළා. තාත්තා අපිව නැන්දලාගේ ගෙදර එක්ක ගෙන ගියා. නැන්දලාගේ ගෙදර හැමෝම එක්ක මුහුද බලන්න ගියා. මම අයියත් එක්ක මුහුදේ නෑවා. සිප්පි කටු ඇහින්දා. මුහුද හරිම ලස්සනයි. නිවාඩු කාලයේ තාත්තා මාව කොළඹ එක්කගෙන ගියා. මම නිවාඩු කාලය බොහෝම සතුටින් ගත කළා.

සෙනෙත් නිම්සර සිල්වා

6 ශ්‍රේණිය ‘ඒ’,

කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලය,

කටුකුරුන්ද

------------

පෙත්තප්පුගෙ මාලය

දෙමාපියන් පෙත්තප්පුගේ
කන්න බොන්න ගෙනත් ‍දීලා
පෙන්වයි යුතුකම ‍ඔහුගේ
මෙසේ කරන කොට පෙත්තප්පුට
කැලේ ඉන්න යාළුවන්ගේ
කොහොමද අපි සලකන්නේ
දෙමාපියන් හට සලකන අයහට
කියා ගෙනත් දැම්මා කැලේ
තිබෙන රතු වනමල් මාලයක් සදා
එදා දැමූ මල් මාලය අදත් ඇතේ
මාල ගිරවට පරම්පරාවෙන් හිමි වී

ඒ.ඒ. සුහර්ෂා නිර්වානි ඇටම්පොළ

6 ශ්‍රේණිය ‘ඩී’,

මලියදේව බාලිකා විද්‍යාලය,

කුරුණෑගල

------------

මගේ තාත්තා

වෙහෙස දරා වැඩ කරලා
මා වෙනුවෙන් දුක් වින්දා
ඒ හින්දා ඔබ තාත්තේ
මතු භවයේ බුදු වේවා!

වැරදිවලට දඬුවම් දී
මට යහ මඟ කියලා දී
මගෙ සිත සැනසූ ඔබ හට
පිං ලැබේවා මගෙ තාත්තෙ

එස්.එම්. කවීෂ ගිම්හාන්

7 ශ්‍රේණිය ‘බී’,

ශාස්ත්‍රාරවින්ද්‍ර විද්‍යායතන පිරිවෙන,

පොල්ගොල්ල

-----------

 

ආදර අම්මා

දස මාසයක් දුක් විද මා හැදූ අම්මා
ලේ කිරි කර පොවා මා හට පෙව් අම්මා
කැත කුණු මගේ අත ගා මා හැදූ අම්මා
මම ණය ගැතිය ඔබ හට ආදර අම්මා

රසවත් අහර පිස මා හට කැව් අම්මා
ගුණ දම් කියා දී මා දැඩි කළ අම්මා
රැකවල් සලසමින් මුර දෙවි වූ අම්මා
මම ණය ගැතිය ඔබ හට ආදර අම්මා

ලෙඩක් දුකක් මා හට නොකියූ අම්මා
මගේ සුවය හැමදාමත් පැතූ අම්මා
මා වෙනුවෙන් දිවියම කැප කෙරු අම්මා
මම ණය ගැතිය ඔබ හට ආදර අම්මා

ආර්. කාවින්ද්‍යා සත්සරණි

8 ශ්‍රේණිය ‘ඒ’,

ආඬිඅම්බලම මහා වි.

ආඬිඅම්බලම

---------

හොඳ ළමයා

කෑම ගන්නා වෙලාවේ
කතා කර කර සිටීමෙන්
කෑම බීම හැලීමෙන්
නරක ළමයා කියයි කවුරුත්
කෑම කන විට තළු නොගසන්න
නැති අයටත් කෑම බෙදා දෙන්න
අනුන්ගේ කෑම හොරෙන් නොගන්න
කාගෙත් හිත ගිය හොඳ ළමයෙක් වෙන්නේ

එම්.ඒ. දැහැමි දිව්‍යාංගි

4 ශ්‍රේණිය ‘බී’

කීනදෙණිය ප්‍රාථමික විද්‍යාලය,

අඹේපුස්ස

------------

උදෑසනක අසිරිය

උදෑසන හිරු කුමරා වලාකුළු අතරින් එබී බලයි. උදෑසන කුරුලු ගීත ඇහෙනවිට ඉතා‍ මිහිරියි. උදෑසන මල් පිපී ගමම සුවඳ කරයි. ගොවියෝ කුඹුරට යති. ළමයි කඩිසරව එක රෑනට පාසල් යති.

කුළිඳු රවිහාර

3 ‘ඩී’,

ගෝතමී කණිෂ්ඨ විද්‍යාලය,

ගම්පහ

--------

ජලය සම්පතකි

ජලය නොමැති වුවහොත් මේ පෘථිවියේ ජීවයක් නොරැදෙයි. මිනිසාට, සතුන්ට පමණක් නොව ගස්වැල්වල පැවැත්මට ද ජලය අත්‍යවශ්‍ය වූ දෙයකි. බීමට, ආහාර පිසීමට වැනි සෙසු දෛනික කටයුතු සඳහාත් ස්නානයට ආදී පවිත්‍ර කටයුතු සඳහාත් ජලය අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව කෘෂිකර්මාන්තය ගෘහ නිර්මාණ ශිල්පය ආදී සෙසු කටයුතු සඳහා ද ජලය නැතිවම බැරි ය.

මේ ලෝකයේ වැඩි ප්‍රමාණයක් ඇත්තේ ජලය බව පෙනුණත් වඩාත් ඇත්තේ සාගර ජලයයි. මිනිස් පරිභෝජනය සඳහා ඇත්තේ 01% ක් පමණ කුඩා ජල ප්‍රමාණයකි. ලෝකයේ ජනගහනය දෙස බලන විට පරිභෝජනය සඳහා ඇති ජල ප්‍රමාණය ඉතා සීමිත ය. එසේ නම් අපි කොතරම් ආරක්ෂාකාරී ලෙස ජලය පරිභෝජනය කළ යුතු ද?

ඇතැම් මිනිස්සු තම නිවෙසේ පිට වන අපද්‍රව්‍ය විසිකර දමන්නේ ද ගලා යන පිරිසිදු ජල පහරකට ය‍. එවැනි ක්‍රියාවලින් ජලය අපිරිසිදු වෙයි.

අද ලෝකය දෙස බලන විට විවිධ රටවල් උග්‍ර ජල හිඟයකින් පීඩා විඳියි. එබඳු ජල හිඟයක් අනාගතයේදී ඇති වීමට ඉඩ නොදී ඒ භයානක ඉරණම පිළිබඳ ජනතාව දැනුවත් කොට ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනයාගෙන් අයැද සිටීමට සිදුවී තිබේ. හෙට ලෝකය වෙනුවෙන් ජල සම්පත සුරක්ෂිත කිරීමට අපි හැම එක් වෙමු.

දෙව්මිණි මධුෂිකා

වනිගසේකර

9 ශ්‍රේණිය ‘ඩී’,

අඹන්පොළ ම.ම.වි.,

නාකොළගණේ

 

 

Comments