සිංහල සාහිත්‍ය වංශය කළ පී. බී. සන්නස්ගල | Page 3 | සිළුමිණ

සිංහල සාහිත්‍ය වංශය කළ පී. බී. සන්නස්ගල

සිංහල සාහිත්‍ය වංශය කී පමණින් අපේ මතකයට එන අනික් නම සන්නස්ගල ය. පී.බී. සන්නස්ගල ය; පුංචි බණ්ඩාර සන්නස්ගල ය.

මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල අපේ සාහිත්‍යයේ ආරම්භයේ සිට ක්‍රි. 1963 දක්වා තොරතුරු සංගෘහිත “සිංහල සාහිත්‍ය වංශය” නම් මහා ග්‍රන්ථය 1964 දෙවන මුද්‍රණය අවසන් කර ඇත්තේ මෙසේය.

“සමස්ත සාධු ජනතාවට ප්‍රීති ප්‍රමොද්‍යවන වූ සිංහල සාහිත්‍යාවලිය අලළා සනස්ගල සන්නස් මුදියන්සේලාගේ පුංචිබණ්ඩාර හෙවත් පුංචිබණ්ඩාර සන්නස්ගල විසින් කරන ලද පුරාතන යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය හා සාහිත්‍යශෙෂය යන ප්‍රධාන පරිච්ඡේද සතරකින් යුත් “සිංහල සාහිත්‍ය වංශය මෙතෙකින් සමාප්ත ය.

“බුදුවසිනි දෙදහස

පන්සිය සතර වැනි වස

හෙද ගත් සයුර අලළා

ගත් මිණි මුතු රැසකි මේ

ඌවරට හෙළි කල

පට්ටිපොල කඳු පාමුල

සොබා දහමේ වරලත්

අඹේවෙල පියසෙහි දුනු

තිරුවරන්ගමු සන්

නස් පරපුරැති නිකසළ

පුංචිබණ්ඩාර සන්නස්

ගල කළ මෙ තැනැ තුස්වා

දුබික් නොම වේවා

රෝබිය ඇති නො වේවා

රජය සුව වේවා

ලකට සිරිසැප උදා වේවා

සන්නස්ගල මහතා ලියූ “සිංහල සාහිත්‍ය වංශය” කෘතිය ලිවීමේ දී කළ දුෂ්කර ක්‍රියාව ගැන ලංකා විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි මෙසේ සටහන් කර තිබුණි.

“මේ ග්‍රන්ථය සැපයීමේදී සන්නස්ගල මහතා ලක්දිව අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින්, පොත්ගුල් අවුස්සමින් මේ තාක් ප්‍රකාශයට නොපැමිණි නානා පොතපත ගැන සොයා බලමින්, මේ කාර්යයෙහි උත්සුක වූ බව දනිමි. දිනක් එතුමා සමඟ සාහිත්‍යගත යම් යම් කරුණු පිළිබඳ සාකච්ඡාවක යෙදී සිටි මම, පැරණි ව්‍යාඛ්‍යන ග්‍රන්ථයන් හි දක්නා ඉත්තුම්, හුල් පැලහුම් ආදි ශබ්ද කීපයක් ගැන තොරතුරු විමසමි. කීප දිනකට පසු ඒ උවමනා කළ විස්තර තොරතුරු පමණක් නොව, ඒවා ඇතුළත් වූ මේතාක් අමුද්‍රිතව පවත්නා පුරාණ සූප විධානය පිළිබඳ පුස්කොළ පොතක් මාහට ලැබෙන්නට සැලැස් විය. සොයන්නාට සම්භවේය යනු අගනා කියමනකි.”

1947 වසරේ පිටු 200 කට සීමා වූ සිංහල සාහිත්‍යය වංශය අංග සම්පූර්ණ කිරීමට දොළොස් අවුරුද්දකට අධික කාලය තුළ සම්පූර්ණයෙන් යොදවා ආචාර්ය සන්නස්ගල තම විනෝද සමය, ඉගෙනීමේ වේලාව හා විවේක කාලය සම්පූර්ණයෙන් යොදවා පිටු 784 මහා ග්‍රන්ථයක් සකස් කර 1961 වසරේ නිකුත් කළේය. එහි එදා මිල රුපියල් 12 යි ශත 50 කි. එතුමා තම කෘතිය නිපදවීමේ දී වුවමනා හැටියට තම කාලය මේ සඳහා මිඩංගු කිරීමට හැකි විට ම උපකාර කළ ආදරණීය බිරිය වන නාලිනී සන්නස්ගල මැතිනිය සිහිපත් කර ඇත. තම ආචාර්යවරයකු වන පණ්ඩිත් ලබුගම ලංකානන්ද හිමි, හිතත් මිතුරකු වන පාලුගම සුමනසාර හිමි, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, වැඩිහිටි මිතුරකු වූ මොරවක ඩී. ඇෆ්. අභයවික්‍රම මහත් හරසරින් කතුවරයා මතක් කර තිබුණි.

මේ කෘතිය ලියන වේලාවේ සන්නස්ගල මහතා අදාළ පොත් සොයා ගෙන රට පුරා යන්නට සිදු විය. පරණ පොතක නම ඇසූ හැටියේ ම එය අසවල් තැන තියෙනවා යන ආරංචියත් ලැබුණ හැටියේ ඉම ඔහු වෙහෙස මහන්සි නොබලා ඒ තැන්වලට ගොස් ඇත. වරක් “මහ හටන” නම් පොතේ පරණ පුස්කොළ පිටපතක් ගිරාගම වලව්වක තිබෙන බව ආරංචි වි කාරයෙන් ගොස් කාරය යා නොහැකි හැතැප්ම 7ක් දුර වැස්සේ තෙමි තෙමී පයින් ම ගොස් බලා හිස් අතින් ගෙදර ආ බව සන්නස්ගල මහතා පවසා තිබුණි.

මෙතෙක් එළියට නා තවත් පුස්කොළ පොත් පෙට්ටි කිහිපයක් ගැන තොරතුරු කුරූණැගල, මාතලේ, බිබිලේ හා මරදන්කඩවලින් ලැබුණ නමුත් ඒවා බැලීමට යෑම සඳහා කාලය විසින් අවකාශයක් ලැබී ගියේ නැත. ඒ අතර පොත විශාල වීමේ භීතිය ද විය. එක්තරා දුර්ලභ පොත් තිබූ ඈත පන්සලක හාමුදුරුවෝ මුලින් ම ඉටිපන්දමකුත් ගිනි පෙට්ටියකුයි දී තිබූහ. ඉටිපන්දම දල්වාගෙන කළුවර කාමරයක් දිගේ බුරුත පෙට්ටියක් වෙතට යන්නට සන්නස්ගල මහතාට සිදු විය.

1961 වසරේ එච්.දොන්. පේද්‍රිරික් මහතාගේ බූදලයේ භාරකාර මණ්ඩලය විසින් පිරිනමන සාහිත්‍ය ත්‍යාගය වන රුපියල් 1000ක් පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා විසින් ලියූ “සිංහල සාහිත්‍ය වංශය” කෘතියට ය.

වරක් ආචාර්ය සන්නස්ගල හමුවීමට ගිය “සරසවිය” පුවත්පතේ මාධ්‍යවේදියකු (සරසවිය 1965 - 8 - 25) එතුමාගෙන් අසා තිබුණේ අපේ අනෙක් ලේඛකයන් මහන්සි නොවුණු පැත්තක් වූ සිංහල සාහිත්‍ය ඉතිහාසය ගැන උනන්දු වූයේ කෙසේද යන්න ය.

“ඒ කාලයේ (හතළිහ දශකයේ) විද්‍යාලංකාර පිරිවෙන් සාහිත්‍ය විභාගයක් ඇරැඹුවා. එයට නියමිතව තිබුණ වැදගත් ම විෂයය සාහිත්‍ය ඉතිහාසය කියලා මට හිතුනා. මම ඒ විෂය ගන්න වැඩ කළා. මට සිංහල සාහිත්‍ය ඉතිහාසය රස වැටුණේ එතැන ඉඳලා.”

සන්නස්ගල මහතා විද්‍යාලංකරයේ සාහිත්‍යාචාර්ය විභාගයේ සිංහල රචනය පත්‍රයෙන් පළමුවැනියා වී එයට නියමිත තෑග්ග දිනාගෙන ඇත. ඔහුට ඒ විභාගයෙන් තෑගි ලැබී ඇත්තේ සිංහලයට පමණක් නොව සංස්කෘත භාෂාවටත් පළමුවැනියා වී තෑග්ග දිනා ගෙන ඇත. පෙරදිග භාෂාවෙන් ඉහළ ම උපාධියත් ඉංග්‍රීසියෙන් තවත් ඉහළම උපාධියත් දිනා ගන්නට මිනිසකුගේ ජීවිතයේ මුල් කොටස ප්‍රමාණවත් නොවන තරමට ඒවාට මහන්සි වී විය යුතු බව රහසක් නොවේ. මැදි විය උදාවන්නට කලින් ප්‍රචීන පණ්ඩිත උපාධියත් පී.එච්.ඩී. උපාධියත් දෙකම දිනා ගත් සන්නස්ගල 1915 වසරේ ජුනි 15 වෙනිදා ඌය රට හෙළි කළ පට්ටිපොල කඳු පාමුල පිහිටි අඹේවෙල, අඹගස්දෝවේ ගෙදර ගම් පියසේ උපත ලැබූ පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා මුලකුරු කියවූයේ පණ්ඩිත මාදෝවිට ශ්‍රී ඥානානන්ද මා නාහිමියන් පා සෙවණේ ය. හපුතලේගම, කඳුරුගමුවේ ස්වභාෂා මිශ්‍ර පාසැලෙන් අධ්‍යාපනය ලබා මෝල්ලිගොඩ සුවචනෝදය පිරිවෙවෙනෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ද වැඩි දුර අධ්‍යාපනය ලැබ සන්නස්ගලයෝ තම කුඩා අවදිය මෙසේ සිහිපත් කර ඇත.

“මගේ තාත්තාට උවමනා කළේ මාව සිංහල වෛද්‍යවරයෙක් කරන්න. මේ නිසා මට මුලදී ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ලැබුණේ නැහැ. මගෙත් කැමැත්ත තිබුණේ පෙරදිය භාෂාවලට වැඩි ආශාව නිසා මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට ආපු දක්ෂතම ශිෂ්‍යයන් අතර මාත් කෙනෙක් වුණා.

වයස 18 වෙන කොට මම පණ්ඩිත විභාගයේ ප්‍රාරම්භයත්, මධ්‍යමයත් දෙකම පාස් කළා. ඔන්න තාත්තගේ බලාපොරොත්තුව වෙනස් වුණා. එතුමා කල්පනා කළා මාව නොතාරිස් කෙනෙක් කරන්න. වෙදකමට වඩා ඒකෙන් සල්ලි හොයන්න පුළුවන් කියල තාත්තට හිතෙන්න ඇති. ඊටත් වඩා නොතාරිස් විභාගයට ප්‍රාචීන මධ්‍යමය සුදුසුකමක්. මධ්‍යම පාස් අයට ඕනෑ ගණන් පත්‍රයෙන් සමත්වන එක විතරයි. ඌවට නොතාරිස් කෙනෙකු ගන්නම නීතියකුත් තිබුණු නිසා මට ඒ වැඩේ හරියාවි කියලා බලාපොරොත්තුවක් තිබුණා. දෙ පාරක් විභාගයට ‍හිටියට පාස් වෙන්න බැරිවුණා. මගේ අදහස වෙනස් වෙලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පාණදුරේ සාන්ත ජෝන් විද්‍යාලයට ගියා.”

සන්නස්ගල මහතා බැරිවෙලාවත් නොතාරිස් විභාගයෙන් සමත් වුණා නම් අපට අසන්නට ලැබෙන්නේ ඌව පළාතේ පමණක් දන්නා සිංහල භාෂාවෙන් පෙත්සම් ලියන නොතාරිස් පුංචි බණ්ඩාර කෙනෙක් මිස සිංහල සාහිත්‍ය වංශය ලියූ පුංචි බණ්ඩාර කෙනෙක් නොවන බව මු. අරුක්ගොඩ ලේඛකයා ලියා තිබුණි.

සන්නස්ගල මහතා ලේඛන කලාවට පිවිසියෙත් අහම්බෙන් ලු. ඒ කාලයේ ඔහු පානදුරේ සාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙන ගන්න වයස අවුරුදු 18 ක ගැටවරයෙකි. පාණදුරේ පන්සලක කතාවක් කරන්න ප්‍රකට දේශපාලනඥයෙක් ඇවිත්. ඔහු අර දේශපාලනඥයාගේ කතාව සටහන් කර ගෙන ඒ කතාවට විරුද්ධව පිටු 15ක ලිපියක් ලියා “සිංහල බෞද්ධයා” පත්‍රයට යවා ඇත. ඒ ලිපියට මුල් තැනක් දී පළ වී තිබුණ නිසා සන්නස්ගල මහතා දිගට ම ලියන්නට පටන් ගෙන තිබේ. තමාට පණ්ඩිත විභාගය සඳහා පොතක් ලියන්නට තිබූ නිසා ඒ සඳහා තෝරා ගෙන තිබුණ විෂය සඳහා තෝරා ගෙන ඇත්තේ කවදත් ප්‍රිය කළ සිංහල සාහිත්‍ය ඉතිහාසයම ය. මේ පොත නිරීක්ෂණය කළ පණ්ඩිත සභාව කියා ඇත්තේ මහනුවර යුගය ගැන ලිවීමට දුන් මේ නිබන්ධනය අමාරු වැඩක්. මුළු සිංහල සාහිත්‍යය ම මෙහි ලියා ඇති බව ය. කිව්ව වගේ ම සන්නස්ගල මහතා මුළු සාහිත්‍යය ම ලිවීමට පටන් අර ගෙන ඒ කාලේ “සිළුමිණ” පත්‍රයේ ශාස්ත්‍රීය අතිරේකයට වසර තුනක් එක දිගට ලියා ඇත.

සිංහල සාහිත්‍ය වංශයට කරුණු හොයාගෙන පොත ලියාගෙන ලංකාවේ ප්‍රසිද්ධ හැම පොත් ප්‍රකාශකයන් සොයා දුෂ්කර ක්‍රියාවක් කර ඇත. එහෙත් මේ වගේ ලොකු පොතක් විකිණෙන්නේ නැහැ කියමින් එය බාර ගෙන නැත. අන්තිමේදි තාත්තාගෙන් රුපියල් 8000 ක් ඉල්ලා ගෙන 1947 “සිංහල සාහිත්‍ය වංශය” මුද්‍රණය කළේය. වසර දෙකක් තුළ මුල් මුද්‍රණය අවසන්ව ඇත. පිටු 200කි. මිල රුපියල් හයකි. ලංකා ඉතිහාසයේ මුල් යුගයේ සිට මහනුවර දක්වා ලියවුණු සිංහල පොත් ගැන ද මහනුවර යුගයේ සාහිත්‍ය පරපුර ගැන සවිස්තරව ද ලියා ඇති මේ පොත ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පණ්ඩිත උපාධි ප්‍රදානයෙන් පිළිගන්නා ලදි. 1948 වසරේ සන්නස්ගල මහතා “සංඝරාජ සාධුචරියාව” සංස්කරණය කළේය. වර්තමාන ධර්ම ශාස්ත්‍රොද්දිප්තියෙහි ආදී කර්තෘවරයාණන් වූ වැලිවිට පිණ්ඩපාතික සරණංකර සඟරාජ හිමියන්ගේ චරිතය අළලා ආයිත්තා ලියද්දේ මොහොට්ටාලයන් ලියූ මේ පො ලංකාවේ වෙහෙර විහාර සංඝ පරම්පරා ඇතුලු මහනුවර කාලයේ අගනා පුවත් හෙළි කර වන්නකි.

1948 වසරේ ලියූ “කව්සිළුමිණ සාහිත්‍යය” දඹදෙණි පැරකුම්බා රජු ලියූ කව් සිළුමිණට කළ මහ විවේචන පොතකි. කව්සිළුමිණ කර්තෘවාදය ඇතුළත් කරමින් පොත ගැන කළ මේ විවේචනය කියැවූ විට කව් සිළුමිණ නිකම්ම ඉගෙන ගැනෙනවා පමණක් නොව රස විඳ ගැනීමේ පුරුද්ද ද ඇති කරන්නැයි කතුවර සන්නස්ගලයන් පවසා ඇත. 1949 ඔහු විසින් ලියූ “සිංහල සන්දේශ සාහිත්‍යය” සිංහල සාහිත්‍යයේ සියලුම සන්දේශ පොත් අලළමින් ලියා ඇති තවත් මහා විවේචන කෘතියකි. 1954 ඔහු විසින් සංස්කරණය කළ “සඟසරණ” සිංහල සාහිත්‍යයේ තිසරණ පොත් පෙළේ තුන්වැන්නා වූ දඹදෙණි කාලයේ ලියූ සඟ සරණේ අලුත් සංස්කරණයයි. සඟ සරණේ ඇසුර අරභයා මෙහි කොට ඇති පර්යේෂණය සිංහල වාසගම් පොතක් ගැන මෙතෙක් කරන ලද පළමුවැනි පෙළේ උත්සාහයකි.” දළදා පූජාවලිය 1954 සංස්කරණය කළ සන්නස්ගල මහතාගේ කෘතියකි. කුරුණෑගල කාලයේ ලියැවුණු මේ පොත දළදා වහන්සේ ගැන ලියැවී අද ඉතුරු වී තිබෙන පැරණි පොත් දෙක තුන අතර එකකි.

1973 - 09 - 14 දින මෙම ලියුම්කරු “සරසවිය” පුවත්පත සඳහා සන්නස්ගල මහතා සමඟ කළ “සරසවිය සාහිත්‍ය වීමංසා” අතිරේකයට සංවාදය එක් වෙමිනි කියා සිටියේ පැරණි සාහිත්‍යකරුවා පොත් ලියුවේ සත්පුරුෂයන්ට බව පවසා සිටියේය.

“හොඳ පැත්තකින් හෝ නරක පැත්තකින් හෝ සාහිත්‍යකරුවා ඉදිරිපත් කරන්නේ එදිනෙදා සමාජයේ බලපාන දර්ශනය අනුව සමාජය අවශ්‍යතාව යැයි මම විශ්වාස කරනවා. අපේ පැරණි සාහිත්‍යකරුවා විසූ සමාජය අද මෙන් සංකීර්ණ වූවක් නොවූ බව මෙහිදී පළමු කොට මතක තබා ගත යුත්තකි. අද මෙන් වෘත්තීය අධ්‍යාපනයක අවශ්‍යතාවක් එදා සමාජයේ දක්නට ලැබුණේ නැහැ. අද වෘත්තීය අධ්‍යාපනයෙන් බලාපොරොත්තුවන අවශ්‍යතාව පාරම්පරිකව ඒ ඒ කාලය විසින් එදා සමාජයට සම්පූර්ණ කරවනු ලැබීය. මේ නිසා එදා සාහිත්‍යකරුවාගේ කාර්යය ඊට කිසිසේත් සම්බන්ධයක් නැති ඒකායන පැහැදිලි මඟකට නැඹුරුව පැවතුණා. මේ මාර්ගය සමාජයේ කවර උවමනාවක් සම්පූර්ණ කරලීම සඳහා පැවතුණි ද යනු ඔවුන් ලියූ දෙයින් විවෘතව පෙනෙනවා. ඒ අනුව ගුරුළුගෝමීන් විසින් ලියන ලද්දේ නොවීයත් හුදු ජනයන් සඳහා බවත් පූජාවලිය කළේ සත් පුරුෂ ජනයන්ගේ සම්පත් සාදා දෙන පිණිස බවත්, දහම් සරණ ඉදිරිපත් කළේ සත් පුරුෂයන් සන්තෝෂය සඳහා බවත් ධර්මසේන හිමි ලියුවේ සත් පුරුෂයන්ට වැඩ සඳහා බව පැහැදිලියි.”

තම අප්පච්චි ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිනිය වූ ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට මාධ්‍යවේදිනී වත්සල් කරුණාරත්න අපූරු සටහනක් ලියා තිබුණි.

දියණිය කියන්නේ අප්පච්චි පාන්දර 4ට නැගිට මූණ කට සෝදාගෙන, තේ එකක් බී පත්තරය බලා අපව පාසල් ඇරලවා, තම මොරිස් මයිනර් කාර් එකෙන් ලේක්හවුසියට යන බවය. සිළුමිණ, නවයුගය පත්‍රවලට තමා ලියූ ලිපි බාර දී සිළුමිණ කර්තෘව සිටි හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ මහත්තයා හමුවෙලා කතා කරනු සුලබ සිද්ධියක්ලු.

“තාත්තා සරල අල්පේච්ඡ ජීවිතයක් ගතකළ කෙනෙක්. තාත්තා පොත්පත්වලට අසීමිතව ආදරය කළ නිසා දියතලාවේ පැත්තටම තියෙන පොත් සාප්පුවක් දැම්මා. අප්පච්චි පිළිවෙළට වැඩ කරපු කෙනෙක්. රෑ කෑමට අපේ ගෙදර ඔක්කොම මේසෙට වාඩිවෙන්න ඕනෑ. ඉතුරු කරන්න බෑ. එක ඇටයක්වත් වීසි කරන්නත් බෑ. දවසක් මම වට්ටක්කා ගොඩක් පිඟානට බෙදා ගෙන ඉතුරු කළා. “ළමයෝ අවශ්‍ය ප්‍රමාණය බෙදා ගන්න.” කිව්වා. දවසක් මගේ අතින් වීදුරුවක් බිඳුණා. මම කිව්වා - “අප්පච්චි සියලු දේ නැසෙන සුලුයි කියලා. එතකොට අප්පච්චි කිව්වා - “නැසෙන සුලු එක ඇත්ත ඒත් නසන සුලු වෙන්න එපා” කියලා.

තම අප්පච්චි පොත පතට ඇලුණු කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම නිසා අම්මාට අපේ කටයුතුත්, ගෙදර වැඩත් කිරීම ගැන කණගාටු වුණා. අප්පච්චි වැඩියෙන් ම තෘප්තිමත් වුණේ ශබ්ද කෝෂ කාර්යාලයේ වැඩ කිරීමෙන්. දියණිය කියා තිබුණා.

මහාචර්ය සන්නස්ගල හා ලීල් ගුණසේකර සංස්කරණය කළ 1966 සාහිත්‍ය දින විශේෂ කලාපයක් වූ සාහිත්‍යය සඟරාව විශේෂ තැනක් ගනී. “ප්‍රශස්ති සහ හටන් කාව්‍ය” ග්‍රන්ථාවලිය පිළිබඳ විස්තර සාහිත්‍ය විමර්ශන කෘතිය දකින අපට සිතෙන්නේ එදා ඒ සංග්‍රහයට ලියූ බොහෝ ඇසූ තැන් ඇති උගතුන්ගේ අහේනියයි. කීර්තිම පරිපාලන නිලධාරි (එවකට සංස්කෘත අධ්‍යක්ෂ) ලීල් ගුණසේකර, කේ.ජී. අමරදාස වැනි නිලධාරින් වෙනුවට අද බොහෝ තැන්වල සිටින අවර ගණයේ නිලධාරීන් ගෙන් රටට වන හානිය මැනවින් කැපී පෙනේ.

ආචාර්ය ලීල් ගුණසේකර පවසන්නේ මහාචාර්ය සන්නස්ගල වචනයේ පරිසමාර්ථයෙන්ම මහා පඬිවරයකු බව ය. තමා සභාපතිත්වය දැරූ සිංහල ලේඛක සංගමය සම ලේකම්වරුන් වූයේ ආචාර්ය සන්නස්ගල සහ ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න ය. මහා උගතකු වුවත් කිසිදා හිස උදුම්මා නොගත් චරිතයක් හිමි එතුමා තම නම නිසා බැබළුණා මිස තනතුරු නිසා බැබළෙන පුස්සකු නොවූ බව ය. මේ අවස්ථාවේ ‍මගේ පුද්ගලික සිද්ධියක් ද සිහිපත් කරන්නේ කෘතගුණ සැලකීමක් වශයෙනි. 1975 මා නිර්මාණය කළ පොත් කවර (කංචුක) චිත්‍ර ප්‍රදර්ශනය සමුද්‍රා කලාගාරයේ පැවැත්වීමට අත හිත දුන්නේ සිංහල ලේඛක සංගමයේ සභාපති ලීල් ගුණසේකර මහතා ය. සන්නස්ගල, අහුන්ගල්ලේ අරුණතිලක, ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න හා කේ.ජී. පෙරේරා මැතිතුන් එදා අපට දැක් වූ අනුග්‍රහය මට අමතක නොවේ.

1960 මාර්තු මහා මැතිවරණය එ.ජා.ප. නායක ඩඩ්ලි සේනානායක මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් හපුතලේ ආසනය සන්නස්ගල මහා පරාජය ලැබීය. බොරු පොරොන්දු නුදුන් මහත්මා දේශපාලනයක් කළ අවස්ථාවාදී නොවූ අවංක ප්‍රතිපත්තියක පිහිටීම මේ පරාජයට හේතුව යැයි ප්‍රවීණ දේශක, සිනමාවේදි උපුල් සන්නස්ගල තම ලොකු අප්පච්චි ගැන කියා තිබුණි. උපුල්ගේ අප්පච්චිගේ ලොකු සහෝදරයා මහාචාර්ය සන්නස්ගල ය.

1997 මාර්තු 22 වෙනිදා මහාචාර්ය සන්නස්ගල දැයෙන් සමු ගත්තේ අගනා සාහිත්‍ය මාණික්‍යයක් වූ “සිංහල සාහිත්‍ය වංශය” රටට සදාකාලික සිහිවටනයක් ලෙස ඉතුරුකරය. එතුමා අන් කිසිදු ශාස්ත්‍රීය කෘතියක් නොකොට “සිංහල සාහිත්‍ය වංශය” පමණ ලීවත් එය සාහිත්‍ය නිධනයක් වනු නොඅනුමානය.

එවකට විභාග කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය කේ.ටී.ඩබ්ලිව්. සුමසූරිය “නවයුගය” සඟරාව ලංකාවේ මෑතක ලියූ මහ උතුම් සාහිත්‍ය පොත ලෙස ය.

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත් 

Comments