සිංහල බස ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් භාෂාවක් | Page 3 | සිළුමිණ

සිංහල බස ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් භාෂාවක්

හෙතෙම ස්වාධීන බුද්ධිමතෙකි.මඟ හැරී ගිය සිංහල සම්ප්‍රදායේ හිඩැස් පිරවීමට අභයගිරි සම්ප්‍රදාය උරුම කොටගත් නූතන චින්තකයෙකි. ආදර සිරිත, සුකුමාල, රජස්, ගිරි මුදුන, සිවගිරියෙන් සීගිරියට ආදී කෘති මඟින් හෙතෙම ඉතිහාසය හා බෞද්ධ සාහිත්‍යය නූතනකරණයට ලක් කළේය. හේ නමින් සුජිත අක්කරවත්තය. අපි ඔහු විසින් විරචිත දෙහදක් කෘතිය මේ සංලාපයට පාදක කරගතිමු.

බෞද්ධ සාහිත්‍යයේ අපට පෙනෙන නැණ නුවණින් ප්‍රභාවත් රහතන් වහන්සේ දෙනමක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ. ‘දෙහදක්’ රචනා වී තිබෙන්නේ මේ චරිත දෙක ආශ්‍රය කරගෙන. මෙවැනි කෘතියක් රචනා කරන්න හිතුවේ ඇයි?

කුඩා වියේ සිටම මේ දෙදෙනා වහන්සේ පිළිබඳ සොයායන්න මට පිපාසවක් තිබුණා. බණ මඩුවෙත්; විශ්වවිද්‍යාල අධ්‍යාපනයේත් කොහේ ගියත් මට අහන්න ලැබුණේ කෝලිත සහ උපතිස්ස කියල යාළුවො දෙන්නෙක් හිටියා; ඒ දෙන්නා ගිරග්ග සමජ්ජ සැණකෙළියට ගිහින් ජීවිතය ගැන කලකිරිලා බුද්ධ සාසනයේ මහණ වෙලා; අගසව්වන් වුණා කියලයි. නමුත් ඊට එහා ගිය ගැඹුරු කතාවක් මෙතන තියෙනවා කියලා මට හිතුණා. මේ නිසා අවුරුදු නවයේ ඉඳලා මා මේ දෙන්න ගැන සොයන්න මහන්සි වුණා. අවුරුදු 17-18 වෙද්දී අපි හැමෝටම තියෙන ගැටලුවක් තමයි සර්වකාලීන මිතු දමක් නොවීම. කුඩා කාලයේ සිට පාසල් අවධිය දක්වාත් පසුව නොයෙක් ආයතනවල, සංවිධානවල, රැකියා ස්ථානවල කටයුතු කරද්දිත් අපට මිතුරන් මුණගැහෙනවා.

ඒත් ඒ මිත්‍රත්වය ඉතාම කෙටිකාලීනයි. එහෙම බැලුවම අප ඇසුරු කළ අයටත්, අපටත් තියෙන්නේ දුක් අඳෝනා හෝ චෝදනා පමණයි. සංසාරික භාව සගයකු ජීවිතයේ මුණ නොගැසෙන ප්‍රශ්නයක් අප හැමෝටම තිබෙනවා. සසර පුරා මෙවැනි මිත්‍රත්වයක් මේ දෙදෙනා ඇති කරගත්තේ මොන පදනමක් මතද කියල මං කල්පනා කළා. මොකද අපි අම්මා තාත්තට නොකියන රහස් ඔක්කොම කියන්නේ මිතුරකුට. අපි අපේ සැමියට බිරියට නොකියන රහස් අපි අපේ මිත්‍රයන් එක්ක බෙදා ගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය දේශනයේදී ජීවිතයේ ලැබෙන මංගල සම්පතක් විදියට මිත්‍ර සම්පතිය පිළිබඳව දේශනා කළේ. එහිදී මිතුරන් හතරදෙනකු පිළිබඳ උන්වහන්සේ අර්ථ විවරණයක් සපයා ඇත්තේ ඒ නිසයි. මේ මිත්‍රත්වය සොයාගෙන යන්න ඉස්සෙල්ලා සිද්ධාර්ථ යශෝදරාගේ සංසාරික බැඳීම ගැන ‘ආදර සිරිත’ කියලා පොතක් ලිව්වා. අප එහි දැක්කේ ස්ත්‍රියකගේ හා පුරුෂයකුගේ ආදරය සාංසාරිකව පවත්වාගනිමින් ඒ දෙදෙනා නිර්වාණය කරා පැමිණ බුද්ධත්වය පසක් කරන තෙක් බැඳීම පවත්වාගෙන ආ ආකාරයයි. ලෝකයේ ඉතිහාසයේ අසහාය මිත්‍රයන් දෙදෙනකු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වෙනස් නොවී මිත්‍රත්ත්වය පවත්වාගෙන ආවේ කොහොමද? ඒකට හේතුව මොකක්ද? කියල බණ කතාවෙන් එහාට සොයා ගිය ගමනේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ කෘතිය මා අතින් නිමැවෙන්නේ.

ඔබ ‘දෙහදක්’ හුදු කතා ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ඓතිහාසික රචනාවක් බවට එය පත් කරනවා?

ඔව්; ඔවුන් ජීවත් වූ තත්කාලීන සමාජය ඔවුන් ලැබූ අත්දැකීම් මේ සඳහා බලපෑවේ කොහොමද කියල මා සෙව්වා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළත්; බුදු සසුනේ සංවිධානාත්මක සංඝ පීතෘවරයින් දෙන්නා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමයි. මේ දෙදෙනාගේ සංවිධානාත්මක හැකියාවෙන් එකිනෙකට වෙනස් බලගතු චරිත ගණනාවක් සමාජ වෙනසක් කරන්න සංවිධානය කළේ කොහොමද කියන්න මට මෙහිදී වුවමනා වුණා. විශේෂයෙන් ම තථාගත ධර්මය ගැන කතා කරන බොහෝ අය ඛුද්දක නිකාය පර්යේෂණ ක්ෂේත්‍රයක් විදියට පාවිච්චි කර නැහැ. එහි තිබෙන අපදාන පාලියත් චර්යා පිටකයත් එක්ක මා පර්යේෂණයක නිරත වුණා. ඒ වගේ ම ථේර පිටකයත්, මහායාන පිටකයත්, තන්ත්‍රයාන පිටකයත් නිර්මාණය වෙච්ච සෑම රටක ම මේ දෙදෙනා පිළිබඳ විවිධ අදහස් තිබුණා. ඒ නිසා සාරිපුත්ත මොග්ගල්ලාන චරිත දෙක ආශ්‍රයෙන් තිබෙන අපදාන ඓතිහාසික අන්දර සියල්ල මා සොයා ගියා. ඉතිහාසය මගේ මූල විෂය පථය නිසා; මෙය බෞද්ධ ත්‍රිපිටකය ඇතුළේ ලියැවෙන නවකතාවක් වුණත් මට අවශ්‍ය වුණා ඒ තත්ත්කාලීන ලෝකය මොකක්ද; එය කොයිවිදියට ද තිබුණේ කියල හොයන්න.

දෙහදක්’ රචනා කිරීමේදී ඔබ ඉතා අපූරුවට පාලි සංස්කෘත භාෂා ඥානය නූතන රසිකත්වයට ගැළපෙන ආකාරයට ගෙත්තම් කර වෙනස් ම මුද්‍රාවක් තබනවා. එය ලෙහෙසි කටයුත්තක් නෙමෙයි. මේ පරිචය ඔබට ලැබෙන්නෙ කොහොමද?

ලේඛන කාර්යයේදී විශේෂ මුද්‍රාවක් මට තිබේ නම් එ් මා ලැබූ ජීවන අත්දැකීම් සම්භාරය නිසයි. මා ප්‍රබුද්ධ සමාජය, මධ්‍යස්ථ සමාජය, සිහින සමාජය, පාදඩ සමාජය කියන මේ හැම සමාජයක් ම ඇසුරු කරනවා. භාෂාව කියල කියන්නේ මේ හැම සමාජ ස්තරයකට ම එකසේ ගලාගෙන යා හැකි ප්‍රවාහයක්. නමුත් බොහෝ දෙනා එය නිසියාකාරව වටහගෙන නැහැ. මේ තත්ත්වය ලංකාවෙ පමණක් නෙමෙයි ලෝකය පුරාම දකින්න ලැබෙනවා. ලංකාවේ තිබෙන විශේෂ ප්‍රශ්නයක් තමයි ලේඛන කාර්යයෙහි නිරත බොහෝ ලේඛකයන් බොහෝ දුරට ප්‍රබුද්ධ හා සිල්ලර විදියට කාණ්ඩ දෙකකට බෙදී සිටිනවා. විශේෂයෙන් බෞද්ධ ඉතිහාසය සම්බන්ධයෙන් ගත්තාම; තමන් ප්‍රබුද්ධයි කියන එක පෙන්වන්න අති පාණ්ඩිත්‍ය භාෂාවක් යොදාගෙන තේරුම්ගත නොහැකි ආකාරයේ ලේඛනයක නිරත වන ආකාරය අප බොහෝ විට දකිනවා. ඒ වගේම මේක ඩිජිටල් යුගය භාෂාව අති සරල කරන්න ඕන කියන බොළඳ තර්කයකුත් මතු වී තිබෙනවා. මේ කාරණා දෙකම සලකා බැලුවොත් භාෂා ප්‍රවර්ධනයට වගේම සමාජය සවිඥානික කිරීම සඳහා තිබෙන බාධක දෙකක් කියලයි මට හිතෙන්නේ. භාෂාව අසීමිතව ගැඹුරු කිරීමත් අසීමිතව බාල කිරීමත් ඒ භාෂාව විනාශ මුඛයට ඇදගෙන යන ගමනක්. සංස්කෘත භාෂාව අද ලෝකයේ මළ භාෂා ගණයට වැටී තිබෙන්නේ එ් නිසයි.

ඒ භාෂාව පැරණි ග්‍රන්ථවලට පමණක් අද සීමා වෙලා. පාලි භාෂාවත් කවුරුවත් කතා කරන්නේ නැති භාෂාවක් බවට පත් වුණේ මේ අසීමාන්තික ගැඹුරු කිරීම නිසයි. එනිසා මා මේ කියන අන්ත දෙකෙන් ම මිදිලා මේ මොහොතේ සජීවි යථාර්ථය මත පිහිටන්න පුළුවන් භාෂාවක් නිර්මාණය කර ගත්තා. යථාර්ථය මත භාෂාවක් ගොඩනගන්න නම් සිංහල භාෂාවේ අනන්‍ය උරුමය වන පාලි හා සංස්කෘත භාෂා වගේම දෙමළ හා හින්දි භාෂාවල තාල රිද්ම හා වදන්වලින් එය පොහොසත් වෙච්ච විදිය පිළිබඳව අවබෝධයක් තිබෙන්නට ඕන. ඒ අවබෝධයෙන් ඕනෑම ගැඹුරු දෙයක් අනවශ්‍ය ලෙස සරල නොකර භාවිත භාෂාවත් එක්ක යා කරන්න පුළුවන් නියලා මට පෙන්නන්න ඕන වුණා. සිංහල භාෂාව මගේ මවු භාෂාව ලෙස දකිමින් එමගින් ලේඛනයේ නිරතවන කෙනෙක් විදයට සිංහල භාෂාව අද කිසියම් අභියෝගයකට මුහුණ දී තිබෙන බව මා දකිනවා. නමුත් සිංහල භාෂාව කියන්නේ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් භාෂාවක්. ඒ බව මෙමඟින් මා ඔප්පු කර තිබෙනවා.

බෞද්ධ පිටක සාහිත්‍යය, දර්ශනය හා නූතන සාහිත්‍යය පිළිබඳ කිසියම් පරිචයක් ඇතිව ලේඛනයේ නිරත වූ ලේඛකයන් අතළොස්සක් අපේ රටේ සිටිනවා. ඔවුන් අතරින් ප්‍රභාවත් ම සාහිත්‍ය කරුවන් දෙදෙනා තමයි සයිමන් නවගත්තේගම සහ ජයසේන ජයකොඩි. ඔබට මේ දෙදෙනාගේ සාහිත්‍ය අභිමුඛ වෙන්නේ කොහොමද?

නූතන සාහිත්‍ය ශානර සියල්ල අත් පත් කර දෙනන භාව සන්නිවේදනයට එහා ගිය අතිශය මානුෂීක ගැඹුරු හා බහු විධ භාව සන්නිවේදනක් බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍ය අධ්‍යයනය ඇතුළෙ අපට හමු වෙනවා. ගැටලුව වෙන්නේ අප ඒ ආකාරයෙන් එය අධ්‍යනය කරන්න උත්සාහ නොකිරීමයි. බුද්ධත්වය කියන්නේ මනුෂ්‍යත්වය මත පදනම් වූ දෙයක්. එය ජාතියක් හෝ ආගමක් ඇතුළේ රාමු කළ දෙයක් නෙවෙයි. නමුත් බොහෝ නූතනවාදීන් සිතන්නේ බෞද්ධ සාහිත්‍යය වනාහී ආගමික හා ජාතික මෙවලමක් විදියටයි. ඒ සම්පූර්ණයෙන් ම වැරදි වැටහීමක්.

ත්‍රිපිටකය බෞද්ධ දර්ශන මත පදනම් වූ ජීවන විලාසිතාවේ අග්‍ර ඵලයයි. ඒ නිසා නූතන සියලු සාහිත්‍ය ශානර අබිබවන තරම් ඉතාම ගැඹුරු භාව අත්දැකීමක් ත්‍රිපිටකය හරහා වින්දනය කරන්න පුළුවන්. අපේ පූර්වගාමීන් විදියට ත්‍රිපිටකය හා බෞද්ධ සාහිත්‍යය ඇතුළෙ නූතන නවකතාවට ආවේශ ප්‍රවේශය නිවැරදි විදියට අත්පත් කර ගත්තේ ජයසේන ජයකොඩි හා සයිමන් නවගත්තේගම කියන එකයි මගේ විශ්වාසය. ඔවුන් දෙදෙනාටම ඒ සඳහා වන ජීවන පරිචයේ අත්දැකීම් සමුදායක් තිබුණා. මේ දෙදෙනාම ශාස්ත්‍රාලීය පුහුණු ආකෘතීන්වලට එපිටින් තමයි ඔවුන්ගේ සාහිත්‍ය අනන්‍යතාව සලකුණු කරන්නේ. මේ දෙන්නා කළ වැදගත් ම දේ වෙන්නේ ගුරුකුල අධිකාරීවාදයෙන් මිදීමයි. පසුකාලීනව සයිමන් නවගත්තේගම වාමාංශික ප්‍රවණතාවෙන් පවා මිදිල සිය සාහිත්‍ය කටයුතුවල නියැළුණා. දේශපාලනික වශයෙන් ඉතාම අභියෝගාත්මක තීරණයක් ඔහු ගත්තා. මේ දෙදෙනාගේ ජීවිත ස්වභාවවාදයට ඇතුළත් වුණාට පස්සේ ඔවුන් මේ මාර්ගය හඹා ගියා.

ඔවුන්ට අහු නොවුණු ඔබට අහු වුණු ඒ පැති මානය මොකක්ද?

ඒ තමයි ලෞකිකත්වය හා යෞවනත්වය අතර ති‍ෙබන දාර්ශනික පිපාසාව. අද ළමයෙක් හෙරොයින් බිව්වාම අප සිතන්නේ ඔහු නරක අයකු ලෙසයි. එය මා දකින්නේ ඔහු හොඳද නරක ද කියන කෝණයෙන් නෙමෙයි; ඔවුන්ගේ භාවය ඇතුළෙ මේ ක්‍රමයට විරුද්ධව ගහන කැරැල්ල විදියටයි. අපි නරකයි කියන හැම ළමයෙක් විසින් ම පෙන්නන්නේ මේ ක්‍රමයට දක්වන විරෝධය. ඒ අර්ථයෙන් එදා කෝලිත උපතිස්ස කියන්නෙත් නරක ළමයි දෙන්නෙක්. අම්මා තාත්තා විසින් උරුම කරදීමට බලාපොරොත්තු වූ සැපවත් ජීවිතය පිළිගන්නේ නැතිව ලෝකය අත හැර නිවෙසින් බැහැර වූ; සම්ප්‍රදාය විරෝධී සිද්ධාර්ථ ගෞතමයන් සමඟ එකතු වූ දෙදෙනෙක් විදියටයි. මේ අයව එදා පවුල් සංස්ථාව දැක්කේ නරක අය විදියට. ලෝක ඉතිහාසය පුරාම යෞවනත්වය ඇතුළේ හීයක් වගේ මේ කැරැල්ල දුවනවා. මේ කැරැල්ල ඇත්තෙන් ම සෞන්දර්ය කැරැල්ලක්. නමුත් ඒ මොහොතේ පවතින අධිපති දේශපාලනය විසින් හෝ ආගමික චින්තාව විසින් එය වෙනත් අර්ථ නිරූපණයක් දී මර්ධනය කරනවා. අපේ පූර්වගාමී ලේඛකයන්ටත් භාවමය විවරණ ඇතුළෙ මේ යෞවනත්වයේ පිපාසාව මඟ හැරුණා. ඒ සඳහා ජීවිතයෙන් ම මුහුණ දුන්නු කෙනා තමයි තථාගතයන් වහන්සේ. සිද්ධාර්ථගේ මවුපියන්ටත්; සමාජ සම්ප්‍රදායන්ටත් ඔහුගේ යෞවනත්වයේ පිපාසාව තේරුම් ගන්න නොහැකි වුණා. ඒ පැතිමාන ක්ෂේත්‍රයට මගේ පර්යේෂණය යොමු කරන්න මා මෙහිදී උත්සාහ කළා. එහිදී එය පණ්ඩිතමානී පර්යේෂණ ගන්ථයක් නොවී භාව වින්දනාත්මක නවකතාවක් බවට පෙරළුණා.

ඔබ ඔය කියන බෞද්ධ දාර්ශනික භාවමය ඥාන මීමංසාව ගවේෂණය නොකර හුදු ප්‍රවෘත්ති මාත්‍රයෙන් දත් කරුණු මත පමණක් පදනම්ව සාහිත්‍යකරණයේ නිරත වන තරුණයන් අද අප දකිනවා. ඇතැම් අය පසුගිය දවස්වල දඬුවමට පවා යටත් වුණා. ඔබ ඔය කියන දාර්ශනිකත්වය ඒ යෞවනත්වය තුළ අප දකින්නේ නැහැ. නමුත් ඔහුට හෝ ඇයට ලේඛනයේ යෙදීමට තියෙන අයිතියට වැට බඳින්න කාටවත් අයිතියක් නැහැ. මේ කාරණා ගැන ඔබේ අදහස මොකක්ද?

පළමු දේ තමයි ලේඛකයාගේ ස්වීය පරිකල්පනය රාජ්‍යකටවත්; සමාජයකටවත් ජාතියකටවත් ආගමකටවත් නීතියටවත් අර්ථ නිරූපණය කළ හැකි දෙයක් නෙමෙයි. ඒ අයිතිය මානව සමාජයක් පිළිගත්තොත් තමයි ඒ මානව සමාජය ඉදිරියට යන්නේ. ඒ නිසා මේ මුළුමහත් මානව සමාජයම ලේඛකයාට වාරණ පැමිණවීමට කිසියම් නීතියක් සම්ප්‍රදායක් ආගමක් ජාතියක් භාවිත නොකළ යුතුයි. මේ සමාජය මානව සමාජයක් වෙන්නේ එතකොටයි. මොකද ලේඛකයා කියන්නේ මේ සමාජ තත්ත්වය වෙනස් විදියට පරිකල්පනය කරන කෙනෙක්. ඔහුට සීමා පනවන්න කාටවත් බැහැ. එහෙත් ලේඛකයා ජීවත් වන්නේ සම්මුතිගත සමාජයක. ඒ සම්මුතිගත සමාජයේ ජීවත්වන ලේඛකයා තමන් විසින් තමන්ට ම ස්වයංවාරණයක් පනව ගන්න ඕන. සමාජ සම්මුතියෙන් එළියට යන්න ඕන ඒ පිළිබඳව මා තුළ අවබෝධය තිබේනම් පමණයි. ලියන්නා තුළ අවබෝධගාමීත්වය නැති නම්; අන් විෂයන් කෙසේ වෙතත් ජාතික ආගමික හා ඓතිහාසික දේවල් සම්බන්ධයෙන් හෝ පෘථුල වූ අත්දැකීම් සම්භාරයක් සහ අවබෝධයක් තිබිය යුතුයි. නැතිනම් වෙන්නේ ඔහුත් සමාජයත් විනාශය අත් කරගැනීමයි.

ඒ අර්ථයෙන් අපේ පුරෝගාමී පරපුරේ ජ්‍යෙෂ්ඨයකු වන මාර්ටින් වික්‍රමසිංහ පවා බෞද්ධ ත්‍රිපිටක අධ්‍යයනයේදී දුර්වලයකු බවට පත් වුණා. ඔහුට මාක්ස්වාදී දෘෂ්ටියෙන් සිද්ධාර්ථ ගෞතමයන් දෙස බැලීමට හැකි වූ බව සැබෑව. නමුත් ඔහුට බෞද්ධ ප්‍රඥා මාර්ගික දැක්මෙන් මේක වින්දනය කර ගන්න බැරි වුණා. ඔහුගේ ‘බවතරණය’ අසාර්ථක කෘතියක් බවට පත්වන්නේ එනිසයි. නමුත් අදට වඩා එදා සමාජයේ ඒ සඳහා ප්‍රතිචාර දැක්වූයේ ඉතාම සාධනීය ආකාරයටයි. ඒ නිසා ඒ කෙරෙහි ඇතිවෙච්ච විරෝධය නීතිමය විරෝධයක් බවට පත් නොවී ශාස්ත්‍රීය ව්‍යායාමයක් බවට පත් වුණා. මේ නිසා ලංකාවේ විශිෂ්ට විචාර ග්‍රන්ථය බවතරණය ආශ්‍රය කොටගෙන යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් අතින් ලියැවුණා. උන්වහන්සේ මෙරට සිටිය ප්‍රභාවත් ම බෞද්ධ පඬිරුවනක්. එදා වගේ නෙමෙයි අද මේ දේවල්වලට ශාස්ත්‍රීයව විවේචනය ගේන්න මේ සංස්ථා අසමත් වී තිබෙනවා. ඔවුන් අද ඒ වෙනුවට මර්ධනය වෙතට යොමු වී තිබෙනවා. මේ ව්‍යායාම දෙක දෙකක් වුණාට මේ යුග දෙකේ තියෙන ගැටලුව ඉන් නිරාවරණය වී තිබෙනවා.

අප දකිනවා නූතනත්වය බෞද්ධත්වයට චින්තනමය වශයෙන් මැළිකමක් දක්වනවා. ඔවුන්ගේ චින්තනමය මූලාශ්‍රය බවට පත් වී තිබෙන්නේ බටහිර සාහිත්‍ය ශානර හා දර්ශනවාද පමණයි. නමුත් ඔවුන් තමන්ගේ කෘති බෞද්ධ වදන් යොදා අලංකාර කරන්න උත්සාහ ගන්නවා. නැත්තම් බෞද්ධ චිත්‍ර යොදා ගන්නවා. එහෙමත් නැත්තම් බෞද්ධ සංකල්පයකට අසීමාන්තිකව පහර දෙනවා. මේ එකක්වත් වැරදියි කියනවට වඩා මේ එකකින්වත් ඔවුන් අවබෝධාත්මක පෘථුල නිර්මාණයක් කර නැති බව පේනවා. ජනප්‍රියභාවය සහ අවධානය දිනා ගැනීමට බෞද්ධ අදහස් කෘතිමව ඔබ්බවා ගැනීමක් මේවා තුළ ප්‍රකට වෙනවා. මේ දේවලින් ඉවත් වෙලා කිසියම් ඥාන ගවේෂණයකින් පසුව එවැනි දේ සඳහා යොමුවීම වඩා සාධනීය බවයි මගේ අදහස.

Comments