සංස්කෘතිය එක තැන පල් වෙන දෙයක් නොවෙයි | Page 3 | සිළුමිණ

සංස්කෘතිය එක තැන පල් වෙන දෙයක් නොවෙයි

සංස්කෘතිය පෝෂණය නොවුණ හොත් රටකට ඉතිහාසයක් හෝ අනාගතයක් නැත. එබැවින් සංස්කෘතියේ උන්නතිය සහ සංරක්ෂණය උදෙසා මැදිහත් වීමක් සිදු විය යුතුය. අපේ රටේ සංස්කෘතිය වෙනුවෙන් මැදිහත් වන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අපේ රටේ සංස්කෘතිය උදෙසා දක්වන දායකත්වය පිළිබඳ ව විමසීමක් කරනු ලැබුවේ එබැවිනි. ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු සමඟ කළ සංලාපයකි මේ.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන සඳහන් කරනවා නම්?

ලංකාවේ සංස්කෘතික හා කලා කටයුතු සංරක්ෂණය, ව්‍යාප්තිය හා ප්‍රවර්ධනය උදෙසා කටයුතු කිරීම තමයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් වෙන්නේ. “නිවුණු හැදුණු පිරුණු සොඳුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් ගොඩ නැඟීම තමයි දෙපාර්තමේන්තුවේ තේමාව. 1956 දී ආරම්භ කළ සංස්කෘතික කටයුතු දෙපාර්ත‍ෙම්න්තුවට ආයතන 10 ක් අයත් වෙනවා. ඒ ආයතන 10 හැටියට මහාවංශ කාර්යාලය, ශබ්දකෝෂ කාර්යාලය, විශ්වකෝෂ කාර්යාලය, ජෝන් ද සිල්වා රඟහල, කලා භවන, නිදහස් මන්දිරය, උතුරු දකුණු මිතුරු සෙවණ, කුණ්ඩසාලේ කලා නිකේතනය, සරච්චන්ද්‍ර නාට්‍ය පාසල හා ජන සංගීත සංරක්ෂණ මධ්‍යස්ථානය හඳුන්වා දෙන්න පුළුවන්.

ඔබ සඳහන් කළ කාර්යභාරය සපුරා ගැනීම සඳහා දීප ව්‍යාප්තව කටයුතු කරන්නේ මොන ආකාරයට ද?

අපි ඒ සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. දිස්ත්‍රික් 25 ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කාර්යාල 331ක සේවයේ යෙදී සිටින සංස්කෘතික නිලධාරින් සම්බන්ධ කරගෙන අපි දිවයින පුරා විවිධ වැඩසටහන් 5000ක් පවත්වා තිබෙනවා. ලංකාව පුරා රසවින්දන වැඩසටහන් සහ වැඩමුළු පවත්වනවා. මේවන විට අපි වැඩසටහන් 5000 ක් පවත්වා තිබෙනවා. “දොළොස් මහේ පහන” යනුවෙන් නම් කර තිබෙන සංස්කෘතික වැඩමුළුවට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. දිස්ත්‍රික් 25 පුරා විසිරී සිටින කලාකරුවන්ගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩල ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් ප්‍රාදේශීය සාහිත්‍යය උත්සව 331ක් අපි වාර්ෂිකව පවත්වනවා. ඒ සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රු. 50,000/- ක ආධාර මුදලක් ලබා දෙනවා. ඒ වගේම දිස්ත්‍රික් සාහිත්‍යය උත්සව 25ක් වාර්ෂිකව පවත්වනවා. එහිදි එක් දිස්ත්‍රික්කයකට රු. 75,000/-ක මුදලක් ලබා දෙනවා. ඒ වගේම ප්‍රවීණ කලාකරුවන්ව බිම් මට්ටමට ගෙනිහින් අපි විවිධ වැඩසටහන් කරනවා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව රාජ්‍ය උත්සව ගණනාවක් පවත්වන බව අපේ මතකයේ රැඳී තිබෙනවා. ඒ ගැන යමක් සඳහන් කළ හැකිද?

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අවුරුද්දකට රාජ්‍ය උත්සව 15ක් පවත්වනවා. රාජ්‍ය සාහිත්‍යය සම්මාන උලෙළ, රාජ්‍ය නාට්‍ය උලෙළ, රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ, රාජ්‍ය චිත්‍ර හා මූර්ති උලෙළ, රාජ්‍ය ළමා චිත්‍ර උලෙළ, රාජ්‍ය සංගීත සම්මාන උලෙළ, රාජ්‍ය නර්තන උලෙළ, රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලෙළ, රාජ්‍ය ඡායාරූප සම්මාන උලෙළ, රාජ්‍ය රූපවාහිනි සම්මාන උලෙළ, ලෝක කවි දින උලෙළ, කලා භූෂණ සම්මාන උලෙළ, ලෝක රූකඩ උලෙළ, ජාතික සාහිත්‍යය මහෝත්සවය සහ ආබාධිත තැනැත්තන් සඳහා වන රාජ්‍ය සම්මාන උලෙළ යන උත්සව තමයි අපි වාර්ෂිකව පවත්වන්නේ.

අපේ රටේ වේදිකා නාට්‍ය සඳහා සම්මාන පිරිනැමුවාට ඒ කලා නිර්මාණ වේදිකාගත කිරීමේ නිසි වැඩපිළිවෙළක් නැති බවට චෝදනා නැ‍ඟෙනවා. ඇතැමුන් වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නේ සම්මාන උලෙළ ඉලක්ක කරගෙන යැයි පැවසෙනවා. මේ චෝදනාවලට ඔබ දෙන පිළිතුර කුමක්ද?

කෙටි නාට්‍ය සහ ළමා නාට්‍ය නිර්මාණය කෙරෙන්නේ සම්මාන උලෙළ ඉලක්ක කරගෙන තමයි. ඒත් රාජ්‍ය නාට්‍ය උලෙළට නාට්‍ය ඉදිරිපත් කරන්නේ ඒ වන විට වේදිකාගත කෙරෙන නාට්‍යවලින්. ඒ නිසා රාජ්‍ය නාට්‍ය උලෙළ ඉලක්ක කරගෙන වේදිකා නාට්‍ය බිහි වෙන්නේ නැහැ. අනික, සම්මානයට පාත්‍ර වන නාට්‍ය, කෙටි නාට්‍ය සහ ළමා නාට්‍ය අපි පළාත් 9 ම ගෙනිහින් වේදිකාගත කළා. උදේ වරුව නාට්‍ය වැඩමුළු පවත්වලා සවස් වරුවේ නාට්‍ය ප්‍රදර්ශනය කළා. 2020 වර්ෂයේදීත් අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

අද ප්‍රාදේශීය වශයෙන් කලායතන රාශියක් බිහි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්ත‍ෙම්න්තුව මැදිහත් වීමක් සිදු කරන්නේ මොන ආකාරයටද?

ලංකාවේ දැනට කලායතන 3000ක් තිබෙනවා. අපි ඒවායේ ඉගෙනගන්න ළමුන් අතර විවිධ තරග පවත්වලා ජයග්‍රාහකයන්ට තෑගි ලබා දෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ කලා සංගම් 500ක් දැනට ලියාපදිංචි කර තිබෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් මෙම සංගම් සඳහා ආධාර දෙනවා.

වර්තමානයේ සුභාවිත ගීත රසිකයන්ගෙන් ඈත් වී හරසුන් ගීත සමාජගත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවාද?

මෙහිදී අප කළ යුතු වන්නේ සුභාවිත ගීතය රසිකයන් අතර ප්‍රචලිත කිරීමයි. ඒ හැර හරසුන් යනුවෙන් බිහි වන කිසිම නිර්මාණයකට තහංචි පනවන්න බැහැ. එකි අදහසේ සිටිමින් අපි 60 - 70 දශකවල ගීත ගැයූ එහෙත් මේ වන විට මාධ්‍යවලින් ආරාධනා නොලැබෙන ගායක ගායිකාවන් එකතු කරලා සංගිත ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා. එය නම් කර තිබෙන්නේ “සුභාවිත ගී වියමන” යනුවෙන්. මෙම ගී ප්‍රසංගය සඳහා අවශ්‍ය වාදක මණ්ඩලය, ශබ්ද, විදුලි ආලෝකය සියල්ල අපි සපයනවා. මෙම සංගීත ප්‍රසංගයකට අපි අය කරන්නේ රු. ලක්ෂ 3ක් පමණයි.” සුභාවිත ගී වියමන” සංගීත ප්‍රසංගයට විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ මඟින් රසිකයන්ගේ රසවින්දන මට්ටම වැඩි දියුණු වෙනවා. දැනට ආරාධනා නොලැබෙන ගායක ගායිකාවන්ටත් සෙතක් සැලසෙනවා.

අද කිසිවකුගේ හව්හරණක් නොමැතිව ගිලන් වී අසරණව සිටින කලාකරුවන් සිටිනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මොන ආකාරයටද?

ඔවුන් වෙනුවෙන් “කලාකරු සුවදම්” යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එය 2016 ආරම්භ ‍කළේ. මෙම වැඩසටහනෙන් කෙරෙන්නේ ගිලන් වී සිටින කලාකරුවා පදිංචි ප්‍රදේශයට අදාළ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, සංස්කෘතික නිලධාරි යන අයගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් සුවදුක් විමසා බැලීමයි. මෙම කලාකරුවන්ට වෛද්‍ය ආධාර ලබා දෙනවා. අවමංගල්‍ය ආධාර සපයනවා. මේ වන විට අපි 12,000 පමණ කලාකරුවන් පිරිසකගේ සුවදුක් බලන්න ගිහින් තිබෙනවා. ඊට අමතරව අවුරුද්දකට කලාකරුවන් 4 දෙනකු ඇගයීමට ලක් කරනවා. අගහිඟ ඇති කලාකරුවන්ට වසරකට රු. 10,000.00 ක ආධාර මුදලක් දෙනවා.

සාහිත්‍ය සම්බන්ධයෙන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර නැතිද?

ඇයි නැත්තේ. අංකුර ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් ජාතික අත්පිටපත් තරගයක් පවත්වනවා. කර්තෘ ප්‍රකාශන පොත් රු. 25,000.00ක මිලදී ගන්නවා. නවක ලේඛක ලේඛිකාවන්ගේ කුලුඳුල් පොත මිල දී ගන්නවා. සාහිත්‍යය වැඩමුළු පවත්වනවා.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සම්මානයට පාත්‍ර වන කලාකරුවන් උදෙසා ඉන් ඔබ්බට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් තිබෙනවාද? නැතිනම් සම්මානයත් සමඟ ඔවුන්ව අත්හැර දමනවාද?

අපි කලාකරුවන්ව කවදාවත් අත්හැර දමන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් අපට හැකි උපරිම අන්දමින් වැඩ කරනවා. සම්මාන ලබන කලාකරුවන්ව අපේ ප්‍රතිපාදන අනුව විදේශීය සංචාර සඳහා සහභාගි කරවනවා. විදේශීය සම්මානලාභින්, ඒ ඒ විෂයන්ට අදාළ ප්‍රාමාණිකයන් මෙරටට ගෙන්වා ඔවුන් වෙනුවෙන් වැඩමුළු පවත්වනවා. ඒ වගේ යම් යම් වැඩපිළිවෙළ කීපයක් අපි දැනට ක්‍රියාත්මක කර තිබෙනවා.

සංස්කෘතික හා කලා කටයුතු සංරක්ෂණය කිරීම අරමුණු කර ගෙන කටයුතු කරන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංස්කෘතික සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරනවාද?

ලංකාවේ සිටින ජනවර්ග සම්බන්ධයෙන් ඔවුන්ගේ කලාව සම්බන්ධයෙන් පර්යේෂණ කරනවා. ජන සංගීතය ගැන පර්යේසණ කර තිබෙනවා. ඒ වගේම ජන සංගීතය ආශ්‍රයෙන් අලුත් සංගීත ඛණ්ඩ 10ක් නිර්මාණය කර තිබෙනවා. එය ළඟදීම එළිදැක්වීමට නියමිතයි.

බොහෝ දෙනකුගේ විවේචන, ඇනුම් බැනුම් එල්ල වන සම්මාන උත්සවවලට විනිශ්චය මණ්ඩල තෝරා ගැනීම සිද්ධ වෙන්නේ මොන ආකාරයටද?

ජාතික කලා මණ්ඩලයත් ශ්‍රී ලංකා කලා මණ්ඩලයත් උපදේශක සභා 13කුත් උපදෙස් සහ අනුශාසනා ලබා දෙමින් අපිට සහයෝගය ලබා දෙනවා. ඒ අයගෙන් තමයි අපි විනිශ්චය මණ්ඩලය තෝරා ගන්නේ. එහි විවිධ ක්ෂේත්‍රවල ප්‍රාමාණිකයන් වගේම විද්වතුන් සිටින නිසා ඔවුන්ගේ මැදිහත්වීම අපක්ෂපාති විනිශ්චයන් සඳහා ඉතා වටිනවා.

වර්තමානයේ සංස්කෘතික මිනිසා යටපත් වී තාක්ෂණික මිනිසා ඉස්මතු වන බව පෙනෙනවා. එවැනි වාතාවරණයක සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉටු කරන කාර්යභාරය ඵල රහිත ක්‍රියාවක් වේවීද?

සංස්කෘතිය කියන දේ කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ලෝකයේ හැම දෙයක්ම එහෙම තමයි. අනික අද යුගය සමඟ අපිට තාක්ෂණය බැහැර කරන්න බැහැ. අපි කළ යුත්තේ අපේ සංස්කෘතික හර පද්ධති රැක ගනිමින් තාක්ෂණය සමඟ ඉදිරියට යෑමයි. ඒකට මම සරල උදාහරණයක් කියන්නම්. ඉස්සර කාලේ අපි උදෑසන අවදි වුණේ හතරවටින් ඇහෙන කුරුල්ලන්ගේ කිචිබිචි නාදයෙන්. දැන් නගරෙ ජීවත් වෙන අයට කුරුල්ලන්ගේ නාදයෙන් නැගිටින්න බැහැ. ඒ අය අවදි වෙන්නේ එලාම් හඬින්. ඒත් ඒ අයට පුළුවන් කුරුල්ලන්ගේ නාදය තියෙන හඬක් එලාම් එකට දමාගෙන ඒ ශබ්දයෙන් අවදි වෙන්න. ඒ වගේ සංස්කෘතික හර පද්ධතින් රැක ගනිමින් තාක්ෂණික මෙවලම් එක්ක අපි යන්නෙ කොහොමද කියලා අපි හඳුනා ගන්න ඕනෑ. අපි සංස්කෘතික වැඩසටහන් සහ දේශන සංවිධානය කරන විට ජීවත් වීමේ කලාව ගැන කියා දෙනවා. සංගීතය, සාහිත්‍යය, නාට්‍ය තාක්ෂණික ජීවිතය එක්ක බද්ධ කර ගන්නේ කොහොමද කියලා අපි වැඩමුළුවලදි පැහැදිලි කරනවා. සංස්කෘතිය කියන්නේ එක තැන පල් වෙන දෙයක් නොවෙයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉටු කෙරෙන මෙහෙවර සඳහා ලැබෙන ප්‍රතිපාදන ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

සංස්කෘතිය කියන්නේ රටක ප්‍රබල සාධකයක්. සංස්කාතිය සංරක්ෂණය වුණොත් තමයි රටක් ගොඩ නැ‍ඟෙන්නේ. ඒ හේතුව නිසා ම ලෝකයේ බොහෝ රටවල් සංස්කෘතික කටයුතු සඳහා ප්‍රතිපාදන වැඩිපුර වෙන් කරනවා. අපට ලැබෙන මුදල්වලින් අපි වැඩ කරනවා. ඒ ප්‍රතිපාදන මීට වඩා වැඩි කළා නම් අපිට තවත් වැඩ කරන්න පුළුවන්.

Comments