
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට පසුගිය සතිය තීරණාත්මක එකක් විය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය හිමි වුණේ පසුගිය සතියේදීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය පක්ෂ සම්මේලනය මඟින් අනුමත කිරීමට නියමිතව තිබුණේ පසුගිය 03 වැනිදා බ්‍රහස්පතින්දාය. පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් එදින පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි අතර ඔවුන් හැඟීම් බර කරවීමට මෙන්ම අමන්දානන්දයට පත් කිරීමට කරුණු යෙදුවේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
එම සම්මේලනයට සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මියද පැමිණ සිටියාය. අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ නම සම්මේලනය හමුවේ යෝජනා කිරීමට වේදිකාවට කැඳවද්දී ඔහු ඒ අවස්ථාවට එක් වන ලෙස හේමා ප්‍රේමදාස මහත්මියටද ආරාධනය කළේය. ඇගේ අත අල්ලාගෙන වේදිකාවේ කථික මණ්ඩපය අසලට ගිය අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළේ ඇය ද වේදිකාවේ රඳවාගෙනය. එය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ද ආවර්ජනය කෙරුණු හැඟීම් බර මොහොතක් වුවද අග්‍රාමාත්‍යවරයාගේ එම අනපේක්ෂිත පියවර හේතුවෙන් පක්ෂ සාමාජිකයෝ විශාල සතුටකින් යුතුව ප්‍රිති ඝෝෂා නැඟූහ. ඒ අතරේ අතිශයින් හැඟීම්බරව සතුටු කඳුළු වැගිරූ පාක්ෂිකයන්ද දැක ගත හැකි විය.
සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කිරීමෙන් අනතුරුව ඊට පක්ෂ අය අත ඔසවන්නැයි අග්‍රාමාත්‍යවරයා කී අවස්ථාවේදී සියලු දෙනාම පාහේ එක හඬින් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අත ඔසවා අනුමැතිය පළ කළහ. ඊට විරුද්ධ වන කෙනකු සිටි බවක් නොපෙනිණි. ප්‍රේමදාස මහතාගේ මෑණියන් වේදිකාවෙන් බැස තම පුතු සිපගෙන සුබ පැතූ සංවේදී දසුන මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සෙසු සමාජ ජාල තුළ පැතිර ගොස් හමාරය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය සමඟ පක්ෂයේ බලමුළු ගැන්වීම් ශීඝ්‍රයෙන් සිදු වන අතර විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය හැර ගිය ජ්‍යෙෂ්ඨයන් යළි පක්ෂය වෙත ආකර්ෂණය වීමත් විවිධ දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් ක්‍රමයෙන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට පැමිණීමත් පසුගිය සතිය පුරා දක්නට ලැබිණි.
පක්ෂයෙන් ඈත්ව සිටි හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ පුනරාගමනය සමඟ පක්ෂයෙන් ඈත්ව සිටි බොහෝ අය අත්තනායක මහතාට පෞද්ගලිකව අමතමින් යළි එක් වී කටයුතු කිරීමට කැමැති බව දන්වා සිටියහ. ජනතාව අතර පිළිගැනීමක් ඇති ඉමිටියාස් බාකීර් මාකර් වැනි ජ්‍යෙෂ්ඨයෝ ද සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සටනේ බර කරට ගැනීමට මේ වන විට සුදානමින් සිටිති.
ජනාධිපතිවරණයේ නාම යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ ලබන සඳුදාය. ඊට පෙර මැතිවරණ ප්‍රතිපත්ති සැකසීම මැතිවරණ ව්‍යාපාරයට අදාළ සම්පත් ඒකරාශී කිරීම ඇතුළු සියලු කටයුතු සඳහා මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ සියලුම කණ්ඩායම් විශාල කැපවීමකින් යුතුව සූදානම් වන පසුබිමක් දැකිය හැකිය. මේ සටනට අවශ්‍ය ජන නායකයන්ගේ සහාය මෙහිදී අතිශයින් වැදගත් වන අතර මේ කාර්යට උර දී සිටින්නේ හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාය.
වාමාංශික දේශපාලන පසුබිමක් සහිත ආතාවුද සෙනෙවිරත්න හිටපු අමාත්‍යවරයා ඇතුළු වාමාංශිකයන් පිරිසක්ද පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාගේ සමාජ ප්රජාතන්ත්රවාදී වැඩපිළිවෙළ අගයමින් ඔහුට සහාය ලබාදීමට පැමිණි අතර මෙතක් එක්සත් ජාතික පෙරමුණ සමඟ නොසිටි සංවිධාන 20ක ආසන්න ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට සහාය ලබාදීම කෙරෙහි මේ අනුව ඉදිරිපත් වී සිටී. ඒ අතරින් හිටපු එජාප ක්‍රියාකාරී ප්‍රබලයන් වන ඩබ්ලිව්. බී. ඒකනායක, නියෝමාල් පෙරේරා වැනි දේශපාලකයන්ගේ සහාය විශේෂිත විය.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලුම පක්ෂද මේ වන විට තම අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් විවිධ සැලසුම් වැඩසටහන් රැසක් සංවිධානය කරමින් තිබෙන අතර මේ සියල්ල ලබන සඳුදා නාම යෝජනා ලබාදීමෙන් අනතුරුව වේගවත්ව දියත් කිරීමට නියමිතය.