නව තාක්ෂ­ණ­ය සහිත ගුණ­සේන ශාඛා­වක් මහ­නු­ව­රදී විවෘත වෙයි | Page 3 | සිළුමිණ

නව තාක්ෂ­ණ­ය සහිත ගුණ­සේන ශාඛා­වක් මහ­නු­ව­රදී විවෘත වෙයි

පොත් අලෙවියේ අඩුවීම ප්‍රකාශන හා මුද්‍රණ අංශයට අහිතකර ලෙස බලපා තිබෙන බවත් මෙයට පිළියමක් ලෙස ඊ පබ් ක්‍රමයට පොත් එළිදැක්වීම ඉදිරි තෙමසක කාලය තුළ ආරම්භ කරන බවත් එම්.ඩී ගුණසේන සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂ රජිව් ගුණසේන මහතා පවසයි‍.

ගුණසේන සමාගම වෙත මාසිකව අත්පිටපත් තුන්සියයක් හාරසියයක් පමණ ලැබෙන බවත් ඉන් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් කී ඒ මහතා, මෙරට ජනතාවගේ කියවීමේ රුචිය අඩුවීම නිසා පොත් අලෙවිය පහත වැටී ඇති බව ද ප්‍රකාශ කළේය.

මහනුවර යටිනුවර වීදියේ පිහිටි එම්.ඩී ගුණසේන සමාගමේ පොත් අලෙවි ශාඛාව අන්තර්ජාතික මට්ටමට ගැළපෙන සේ නවීකරණය කිරීමෙන් පසු විවෘත කළ අවස්ථාවේ ගුණසේන මහතා මේ බව පැවසුවේ ය.

මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පති ඇන්ඩෲ ෆවුලර් වොට් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැති අතර ඒ අවස්ථාවට පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා, ගුණ‍සේන සමාගමේ සභාපති ආනන්ද ගුණසේන, අධ්‍යක්ෂ හසිත නානායක්කාර, අලෙවි කළමනාකාර චතුර පින්ටෝ, ප්‍රකාශන කළමනාකාර ජයම්පති රාජකරුණා, අලෙවි විධායක පියුමි කොස්තා, මහනුවර ශාඛා කළමනාකාර ටී.එම්.බී ජලීල් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

වර්ෂ 1913 ආරම්භ කළ ගුණසේන සමාගමේ ශාඛා ජාලය මේ වන විට 16 ක් දක්වා වර්ධනය වී තිබේ. ඊ පබ් ක්‍රමය ඔස්සේ වැඩි පිරිවැයක් වැය නොකර නව ලේඛකයන්ගේ පොත් ද ප්‍රකාශනයට පත් කළ හැකි බවත් එහිදී අදාළ පොතට ඇති පාඨක රුචිය විමසා බලා එය මුද්‍රණය කිරීම හෝ නොකිරීම තීරණය කළ හැකි බවත් හෙතෙම අවධාරණය කළේය. අදාළ ක්‍රමය ඔස්සේ මෙරට පමණක් නොව විදේශ රටවල සිටින ශ්‍රීලංකිකයන්ට පවා බාගත කර පොත් කියැවීමේ අවස්ථාව ලැබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය. අන්තර්ජාතික මට්ටමට අනුගත වෙමින් නව ශාඛාව ප්‍රතිසංස්කරණය කර තිබෙන බවත් පාඨකයන්ට පොත් රචනා කළ රචකයන් හමුවී පොතේ අන්තර්ගතය ඇතුළු කරුණු සාකච්ඡා කිරීමට පවා අවශ්‍ය පහසුකම් එහි සලසා තිබෙන බවත් ගුණසේන මහතා තවදුරටත් පැවසුවේය.

ඡායාරූපය-රුවන් මීගම්මන අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර


රාජ්‍ය සේවයේ අතීත ආවර්ජනා ‘පිය සටහන්’ අද ජනගත කෙරේ

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධරයන්ගේ සංසදය විසින් සංගෘහිත ‘ පිය සටහන් ’- රාජ්‍ය සේවයේ අතීත ආවර්ජනා ග්‍රන්ථය ඡනගත කිරීම අද 09 පෙරවරු 9.30 ට කුරුණෑගල නගර සභා ශාලාවේදී රාඡ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ඩී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ. උදේනි සරත්චන්ද්‍රයන්ගේ සංස්කරණයක් වන මෙහි මුඛ්‍ය දේශනය සිදු කරනු ලබන්නේ සම්මානනීය ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතා විසිනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරීන් පනස් දෙනෙකු විසින් සිය දීර්ඝ වන චාරිකාවේදී මෙන්ම වසර ගණනාවක රාඡකාරි ජීවිතයේදී ලබාගත් අත්දැකීම් ඇසුරෙන් රචිත මේ ග්‍රන්ථය මඟින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සමාරම්භයේ සිට මෑත භාගය දක්වා රාජ්‍ය සේවයේ වගතුග මෙන්ම ඡන ජීවිතයද විදාරණය කරයි. මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගි වන මෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධරයන්ගේ සංසදය සහෘදයන්ට ආරාධනා කර සිටී.

 

Comments