ශ්‍රී ලංකාවේ පුස්ත­කාල ක්ෂේත්‍රය සඳහා අම­ර­ණීය සේවා­වක් කළ ඊශ්වරී කොරයා | Page 3 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ පුස්ත­කාල ක්ෂේත්‍රය සඳහා අම­ර­ණීය සේවා­වක් කළ ඊශ්වරී කොරයා

ශ්‍රී ලංකාවේ ප්‍රථම මහජන පුස්තකාලයාධිපති වීමේ භාග්‍ය ලත් ඊශ්වරී කොරයා මහත්මිය කොළඹ මහජන පුස්තකාලයේ සංවර්ධනය සඳහා කරන ලද සේවාව ඇය විසින් ලියන ලද ‘සේවා චක්‍රය පරිසමාප්ත වු වගයි’ යන ලිපියෙහි මෙසේ දැක්වේ.

“මා පාසල් ශිෂ්‍යාවක සිටි අවධියේ දී අපේ පන්තියේ රචනාවක් ලිවීමට ‘තව අවුරුදු 10ක් රැත වූ පසු මා කරන දේ’ නම් වූ මාතෘකාව දෙන ලදි. මා එහි දී ‘පුස්තකාලයාධිපතිවරියක වෙමි’ යන මාතෘකාව තෝරාගත් බව මට දැනුදු සිහිපත් වේ. මට මතක කාලයේ සිට ම මම පොත්පත්වලටත් කියවීමටත් ඉතා කැමැත්තෙමි. සිංහල වේවා ඉංග්‍රීසි වේවා ඕනෑම පොතක් කියවීමට මම ආශා කළෙමි.”

ඒ ලිපිය පළ වූයේ කොළඹ මහජන පුස්තකාලයේ වජ්‍ර ජයන්ති උළෙල වෙනුවෙන් ඊශ්වරී කොරයා මහත්මිය විසින් සංස්කරණය කර ප්‍රකාශයට පත්කරන ලද ‘ඥාන නිධි’ නම් කෘතියෙහිය. ඊශ්වරී කොරයා මහත්මිය පුස්තකාල වෘත්තියට පිවිසියේ ලංකාවේ පුස්තකාල වෘත්තිය වෘත්තියක් වශයෙන් ස්ථාපිත වීම සිදූ වු දශකයේ වීම අවධානයට ලක් කළ යුතු කරුණකි.

50 දශකය ලංකාවේ පුස්තකාල ක්ෂේත්‍රයේ වඩාත් කැපි පෙනෙන දශකයකි. එනම් පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යාපනය මෙරට ආරම්භ වන්නේ ද මෙම දශකයේ දී ය. වර්ෂ 1925 ජූනි 04 වන බණ්ඩාරගම අරලියගහවත්ත වලව්වේ දී උපත ලද ඊශ්වරී විජේසිංහ කන්නන්ගර සිය මූලික අධ්‍යාපනය විශාඛා විද්‍යාලයෙන් ලබා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වර්ෂ 1945 දී ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය ලබා ගත්තා ය. 1950 අප්‍රේල් මාසයේ දී කොළඹ මහජන පුස්තකාලයෙන් පුස්තකාල වෘත්තියට පිවිස නියෝජ්‍ය පුස්තකාලයාධිපතිනිය වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාව වනවිට පුස්තකාල කාර්යමණ්ඩලය ඇයත් සමඟ දහතුන් දෙනෙකුගෙන් පමණක් සමන්විත විය. වෘත්තීය සුදූසුකම් ලත් කිසිවෙකුත් එම පිරිස අතර නො වීය.

පුස්තකාලයාධිපතිත්වය පිළිබඳ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ගත් මුල්කාලීන පුස්තකාල වෘත්තිකයන් අතර ඇය කැපී පෙනෙන චරිතයක් වූවා ය. එක්සත් රාජධානියේ පුස්තකාල සංගමයේ වරලත් සාමාජිකත්වය ලබා ගැනීම ද සුවිශේෂ සිදුවීමකි. ඇය හෝමියෝපති වෛද්‍යවරයකු වශයෙන් මෙරට පමණක් නො ව විදේශීය රටවල පවා ප්‍රකට සී. වී. එස්. කොරයා මහතා සමඟ විවාහ දිවියට එළඹියේ 1960 මැයි මස 19 වන දී ය. ඊශ්වරි විජේසිංහ කන්නන්ගරගේ නාමය ඊශ්වරී කොරයා බවට පරිවර්තනය වන්නේ මෙම විවාහයෙන් පසුව බව සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකා පුස්තකාල සංගමය (ලංකා පුස්තකාල සංගමය) ආරම්භක අවධියේ සිට ම එහි ආරම්භක සාමාජිකාවක වශයෙන් විවිධ තනතුරු දරමින් කරන ලද සේවාව ද සදානුස්මරණිය වේ. ඊශ්වරී කොරයා මහත්මියගෙන් විශේෂයෙන් ම කොළඹ මහජන පුස්තකාලයටත් පොදූවේ මෙරට පුස්තකාල හා විඥාපන විද්‍යාවටත්, පුස්තකාල ක්ෂේත්‍රයටත් සිදූ වු සේවය ඉතාමත් සැකෙවින් මෙසේ සඳහන් කෙරේ.

1950 අප්‍රේල් මාසයේ දී නියෝජ්‍ය පුස්තකාලයාධිපති තනතුරෙන් කොළඹ මහජන පුස්තකාලයෙන් පුස්තකාල වෘත්තියට පිවිසීම.

1950 වැඩ බලන පුස්තකාලයාධිපති, (1950 අගෝස්තු) කොළඹ මහජන පුස්තකාලය

1961 කොළඹ මහජන පුස්තකාල ඉතිහාසයට වඩාත් සුවිශේෂී වසරක් වනු ඇත. ඒ ස්වර්ණමය අවස්ථාව වනුයේ ඊශ්වරි කොරයා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය බවට පත් වීම ය. කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය බවට පත් වීමෙන් පසු පුස්තකාල සේවය ව්‍යාප්ත කිරීම සඳහා විශාල පොත් ප්‍රමාණයක් ලබා ගැනීම

1969 සැප්තැම්බර් 30 දින නව ශාඛා පුස්තකාල සේවාවක් ආරම්භ කිරීම. ප්‍රථම පුස්තකාලය වශයෙන් කිරුළපන ශාඛා පුස්තකාලය ආරම්භ කර ඇත.

1967 සභාපති, ශ්‍රී ලංකා පුස්තකාල සංගමය (1967 - 1968 දෙවසර කටයුතු කර ඇත)

1972 ළමා පුස්තකාල සේවාව ආරම්භ කිරීම හා හා විවිධ වැඩ සටහන් හඳූන්වා දීම කථා පැය, දේශන, චිත්‍ර ඇදීම ආදිය උදාහරණ වේ.

1975 ජංගම පුස්තකාල සේවාව ආරම්භ කිරීම හා 1980 ශ්‍රව්‍ය දෘශ්‍ය පුස්තකාල සේවාව ආරම්භ කිරීම (මෙම සේවාව සෑම තරාතිරමක පාඨකයන් අතර ජනප්‍රිය සේවාවක් බවට පත් විය)

1980 දෙසැම්බර් 17 වන දින නව පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කිරීම ඇයගේ ස්ථිර අධිෂ්ඨානයේ හා උත්සාහයේ ප්‍රතිඵලයකි.

1981 දෘශ්‍යාබාධිතයන් සඳහා වෙන ම අංශයක් විවෘත කිරීම මෙම අංශයෙන් බ්‍රේල් පොත් මෙන් ම කථන පොත් ද බැහැර ගෙන යාමට පහසුකම් සපයා ඇත.

1983 යුනිසෙෆ් ආයතනයේ ආධාරයෙන් කොළඹ නගරය තුළ පැල්පත්වාසී ළමයි සඳහා පොත් පෙට්ටි ක්‍රමය ආරම්භ කිරීම

1986 වසර 36ක (1950-1986) මහජන පුස්තකාල සේවයෙන් විශ්‍රාම ගැනීම

1986 සොන්ටා සමාජය මගින් “කාන්තා සේවා තිළිණය” පිරිනමා ඇයගේ දක්ෂ කළමනාකාරිත්වයට උපහාර දැක්වීම

1987 ජනවාරි මස 21 වන දින “36 වසර සේවාව : ඊශ්වරී කොරයා වෙත” නම් වූ සමරු කලාපයක් මුද්‍රණය කර ඇයගේ අමරණීය සේවාවට උපහාර දැක්වීමට කොළඹ මහජන පුස්තකාලය කෘතඥ විය.

1990 සභාපති, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය

1994 වසර 5ක සේවා කාලයෙන් පසු ශ්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් වීම.

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ අධි සාමාජිකත්වය ද, එක්සත් රාජධානියේ පුස්තකාල සංගමයේ වරලත් සාමාජිකත්වය හා ජාතික අන්ධ සේවා සංගමයේ සාමාජිකත්වය ලබා ඇය විසින් කරන ලද සමාජීය මෙහෙවර හා උපදේශීකාවක වශයෙන් ඇම්. තිරුචෙල්වම් මහත්මිය සමඟ සම්බන්ධ වී ජාතික අන්ධ සේවා සංගමයේ සාමාජිකත්වය සඳහා කරන ලද දෘශ්‍යාබාධිතයන් සඳහා තිබෙන කථන පොත් ව්‍යාපෘතිය ද උතුම් සමාජ සේවාවකි. පුස්තකාල වෘත්තියට අදාළව අන්තර්ජාතික සම්මේලන හා විදේශ චාරිකා කීපයක් ද නියෝජනය කිරීමේ අවස්ථාව ඇයට හිමි විය.

සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් දේශීය හා විදේශීය වෘත්තියමය සඟරාවලට ලියා ඇති ලිපි සංඛ්‍යාව අති විශාල ය. ඒ අතුරින් පුස්තකාල, ලංකාවේ අධ්‍යාපනය : (ක්‍රි. පූ. ස වැනි සියවසේ සිට අද දක්වා) (1969), සියවස ප්‍රකාශනය ෂෂෂ කාණ්ඩයට සපයා ඇති ලිපිය විශිෂ්ට ය. ඇය විසින් සම්පාදිත ලිපි මගින් පුස්තකාල සේවය පිළිබඳ ජනතාවට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදි.

පුස්තකාල විද්‍යා සාහිත්‍යයේ පෝෂණය සඳහා ප්‍රකාශිත කෘති හා සංස්කරණය කරන ලද කෘති ගණන අති විශාලය. ඒ අතුරින් කොළඹ මහජන පුස්තකාලයට වසර 50ක් (1925-1975) සම්පූර්ණ වීම නිමිත්තෙන් 1975 දී ප්‍රකාශිත පුස්තකාල හා ජනතාව නම් සමරු සංග්‍රහයත්, 1980 දෙසැම්බර් මස 17 වන දින නව ගොඩනැගිල්ල විවෘත කිරීම නිමිත්තෙන් නිකුත් කරන ලද නුවණට මං නම් වූ සමරු සංග්‍රහය හා දියමන්ති උලෙළ නිමිත්තෙන් ප්‍රකාශිත ඥාන නිධි නම් වූ ශාස්ත්‍රීය සංග්‍රහ සංස්කරණය කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ර මෙරට පුස්තකාල හා විඥාපන විද්‍යා සාහිත්‍යයේ විවිධ ක්ෂේත්‍ර නිරාවරණය කෙරෙන ප්‍රකට ශාස්ත්‍රීය මූලාශ්‍රය වශයෙන් භාවිත කෙරේ.

ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවාවට අදාළ සෑම ආයතනය ම උපදේශකවරියක හා ගුරුවරියක වශයෙන් සේවය කිරීම ඇයගේ විශිෂ්ටත්වය තවදුරටත් පිළිබිඹු කරන්නකි. කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලයවල පුස්තකාල හා විඥාපන විද්‍යා පාඨමාලාවල බාහිර කථිකාචාර්යවරියක වශයෙන් කරන ලද සේවාව කැපී පෙනේ. කොළඹ මහනගර සභාවේ බෞද්ධ සංගමයේ අනුශාසකවරියක වූ ඇය ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සාමාජිකාවක් ද වූවා ය. ශ්‍රී ලංකාවේ පුස්තකාල ක්ෂේත්‍රය සඳහා අමරණීය සේවාවක් කළ මෙරට ප්‍රවීණ ජ්‍යෙෂ්ඨතම පුස්තකාලයාධිපතිනියක වූ ඊශ්වරී කොරයා මහත්මිය අවුරුදු 93ක් ආයු වළඳා ජීවිතයේ අනිත්‍යතාව මොනවට පැහැදිලි කරමින් 2019 මැයි මස 14 වන දින සිය සහෘදය පිරිසගෙන් සමුගත්තා ය.

සිය වෘත්තීය ජීවිතයේ වෘත්තිකයන් අතර අයෝමය ශක්තියකින් යුතුව කටයුතු කළා වූ ද, තමන් වෙත පැවරුණු සමාජ හා ශාස්ත්‍රීය මෙහෙවර නිමවා නිධානප්‍රාප්ත වූ ඊශ්වරී කොරයා මහත්මිය නම් වූ මනාව දයාවෙන් පිරි සියලු වෘත්තිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ කොරයා මැතිනියෙනි, ඔබතුමියට අජරාමර නිර්වාණ ශාන්තිය ප්‍රාර්ථනා කරමි.

 

Comments