
ශ්‍රී ලංකාව තුළ හෙරොයින්, කොකේන්, හසීස්, මර්ජුවානා නිෂ්පාදනය කෙරෙන්නේ නැත. එම මත්ද්‍රව්‍ය ගුවන් මඟින් හෝ මුහුදු මඟින් පමණක්ම මෙරටට ගෙන්වාගත යුතුය. අසූව දශකයේ මුල්ම කාර්තුවේ මෙරට ආක්‍රමණය කළ හෙරොයින් තරම් වේගයෙන් ව්‍යාප්ත වූ පිටරටකින් මෑතකදී මෙරටට පැමිණි මත්ද්‍රව්‍යයක් තවත් නැත.
කොළඹ නගරය ආශ්‍රිතව මුල් යුගයේ පැතිරගිය හෙරොයින් වසංගතය හතලිස් වසරකට ආසන්න කාලයක් ගතවන අද දවස වන විට ඉතා ඈත පිටිසර ගම්බද ප්රදේශවලටද බෝ වී හමාරය.
එම අන්තරායකර මත්ද්‍රව්‍ය මෙරට තුළ වගා කෙරෙන්නේ නැති නම් නිෂ්පාදනය කරන්නේද නැති නම් මෙරටට ගෙන්වීම නතර කළ නොහැක්කේ මන්ද? ඒ මේ රටේ පුරවැසියන් සියල්ලන්ම එකාවන්ව එක පෙළට සිට ඇසිය යුතු ප්රශ්නයකි.
මේ දිනවල කොළඹ ප්‍රදේශයේ රුපියල් දාහක් තරම් මිලකට අලෙවි වන හෙරොයින් පැකැට්ටුවක් එක්දහස් නවසිය අසූවේ සිට අසූපහ දක්වා කාලය තුළ අලෙවි වී තිබුණේ රුපියල් දහයකටය.
සෙල්ලා, ඒ කාලේ රුපියල් දහයට කුඩු පැකට්ටුවක් මිලදී ගෙන කුඩු බටේ කටේ තැබූ තැනැත්තෙකි.
හෙරොයින් ජාවාරම ඇතුළේ දුටු සහ නොදුටු බොහෝ සත්‍ය තොරතුරු සෙල්ලා දනී. ඊට හේතුව තිස් වසරකට වැඩි කාලයක් කුඩු සමඟද කුඩ්ඩන් සමඟද කුඩු ජාවාරම්කාරයන් සමඟද ඔහු පවත්වාගෙන ආ සබඳතාවයි.
සෙල්ලා අසූ ගණන්වල පදිංචි වී සිටියේ කොළඹ කොටුවත් මරදානත් අතර බේරේ වැව ආශ්‍රිතව පිහිටා තිබූ පැල්පත් පේළියකය.
එම පැල්පත් ඉවත් කර එහි වාසය කළ පිරිස වෙනුවෙන් රජයෙන් ඉදි කරන ලද නිවාස සංකීර්ණයක නිවසක් සෙල්ලාටද ලැබී ඇත. ඒ නිවසේ කාමරයක් තුළ සෙල්ලා කුඩු උරමින් සිටී.
සෙල්ලාගේ කාමරයට කුඩු උරන්නට දින පතාම බොහෝ පිරිසක් පැමිණෙති.
මේ කාමරය තුළ කුඩු විකුණන්නේ නැත. කුඩු බීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක් නොවේ. වරද කුඩු සන්තකව තබා ගැනීම, ප්‍රවාහනය හා විකිණීමය. ඒ නිසා සෙල්ලාගේ කාමරයේ නිදහසේ හෙරොයින් පානය කළ හැකිය.
හෙරොයින් පානය සඳහාම වෙන්වූ එවැනි ස්ථාන බොහොමයක් කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා තිබේ. සෙල්ලාගේ කාමරයටත් හෙරොයින් පානය කරනු කැමැත්තෝ පැමිණෙති. ඔහු කුඩු උගුරක් වෙනුවෙන් ඒ කාමරය ජනසතු කර තිබේ. සියලු දේ එක් රටාවකට සිදුවේ. ඒ අතර ඔහු අප හා කතා කරයි.
සෙල්ලාගේ අත්දැකීම පරිදි කුඩු ලංකාවට පැමිණි වකවානුවේ ඒ පිළිබඳ ජනතාවට හරි අවබෝධයක් තිබී නැත. “ඒ කාලේ මහ පාරෙත් අපි කුඩු ගැහුවා.
මරදානෙ ස්ටේෂන් එකයි පොලීසියයි වෙන් වෙන තැන පාරක් තියෙනවා. ඒ පාර තියෙන්නෙ පොලිස් ක්වාටස්වලට.
ස්කූල් කිට් එකෙන් ඒ පාරෙ කොලේලො කුඩු ගහනවා. කට්ටිය රවුමට වටවෙනවා. දෙන්නෙක් මැද ඉන්නවා. කුඩු බෙදන කෙනයි, ගහන කෙනයි. ෂොට් එක ගහලා එකෙක් නැගිටිනවා, තව එකෙක් ඉඳගන්නවා. පොලීසියෙ මහත්තුරු අපි ළඟින් යනවා එනවා.
පාරෙ යන එන අයත් ඔහේ යනවා එනවා. මරදානෙ පොලිසියෙ තාප්පෙ අයිනෙත් සමහරු කුඩු ගැහුවා. මේ කියන කාලේ අපට වැඩිමහල් පරපුරට කුඩු ගැන අවබෝධයක් අත්දැකීමක් තිබුණෙම නෑ.”
මේ අත්දැකීම් දිගහරින්නේ මේ පාපකාරී වසංගතය ගැන නොදැන ඊට ඇබ්බැහි වූ පරපුරය. හෙරොයින් වසංගතයක් සේ පැතිර යන්නේ එහි මුල්ම ඇබ්බැහිකරුවන් වූ ඔවුන් අනුව ගිය පිරිස සමඟය.
මේ අමුතු මත්ද්‍රව්‍යයට හුරු වූ තරුණ පිරිස වරෙක සිරීපාදය වඳින්නට ගොස් තිබිණි. “ නල්ලතන්නියෙදි තාප්පයක් අයිනෙ කට්ටිය අපි කුඩු ගහන්න ගත්තා.
කට්ටිය ඉන්න තැනට පොලිසියෙ මහත්තයෙක් ආවා. එයා ඇහුව මොනවද කරන්නෙ කියලා.
අපේ කෙනෙක් කිව්ව සීතල නැතිවෙන්න කඳු නඟින අය පාවිච්චි කරන බෙහෙත් වර්ගයක් අරගන්නවා කියල. ඒ මහත්තයා ගියා. එළිය වැටෙනකොට අපි දැක්කා බෝඩ් එකක්. ඒකෙ ලියල තිබුණා ‘පොලීසිය - නල්ලතන්නිය’ කියලා. ”
මේ තරුණයන් කුඩු ගසා තිබුණේ නල්ලතන්නිය පොලිසියේ දොරකඩය. එදා සමාජයේ පැවති මේ අවිඥානිකත්වය මත්කුඩු උවදුර මේ තරම් ශීඝ්‍ර ලෙස සමාජය ගිල ගන්නට හේතු වී තිබිණි. මේ වන විට හෙරොයින් ඇතුළු අන්තරායකර මත්ද්‍රව්‍ය පිළිබඳ රටම තිගැස්මෙනි.
සෙල්ලලා නොදැනුවත්ව ගැසූ කුඩු දැන් කොල්ලන් කුරුට්ටන් ගහන්නේ ඉතාම දැනුවත්වය. කුඩු ජාවාරමට පොලිසිය, දේශපාලනය, සූක්ෂමව ඉඩ ලබා දී ඇත්නම් එසේ කරන්නේත් ඉතාම දැනුවත්වය. මේ මොහොත වන විට තත්ත්වය මුළුමනින්ම වෙනස්ය.
මත්ද්‍රව්‍ය ජාවාරම මේ වන විට රට තුළ මෙහෙයවනු ලබන්නේ මහා පරිමාණ අපරාධ හා අපරාධකරුවන් විසිනි. විටෙක මේ අපරාධකරුවන්ට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
තවත් විටෙක කුඩු තොග පිටින් අත්අඩංගුවට ගැනේ. මෑතක සිට මේ මෙහෙයු හොඳින්ම ක්‍රියාත්මක වන බව පෙනේ.
මේ මෙහෙයුම්වල සාර්ථක අසාර්ථක බව හොඳින්ම දැනෙන්නේ කුඩුවලට ඇබ්බැහි වූ කුඩ්ඩන්ටය. සෙල්ලා කියන්නෙ මෙවැන්නකි.
“ කුඩු ගහන්න පටන් අරන් අවුරුදු 30 වැඩියි. ජීවිතේ මුල් වතාවට තමයි මේ වගේ රේට් එකක් දකින්නෙ. ආණ්ඩුව ලොකු බරක් දාල වැඩේ ගෙනියනවා.
ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මොන තරම් ඇල්ලුවත් බඩුවල හිඟයක් නැති එක. මේ අල්ලන විදිහට කුඩුවල ගානවත් ඉහළ යන්න එපායැ.
කොළඹ පැකට් එක තාම රුපියල් තුන්සීයට විකුණන තැන් තියෙනවා. මේ දවස්වල ගොඩක් තැන්වල විකුණන කෑල්ලක් ලෙහෙපුවාම බත්මුල වගේ යහමින් බඩු තියෙනවා.” ඒ කුඩ්ඩන්ගේ කතාවය.
ලංකාවේ ලොකුම කුඩු තොග හසුවුණත් කොළඹ කුඩු සුලභය.
එයත් වෙනම විමසිය යුතු කාරණාවකි. කුඩු කොපමණ හසුවුණත් නඩු අසා ඉවරවෙන කොට හුඟදෙනෙක් නිවැරදිකරුවෝය.
විස මත්කුඩුවලට නඩු දැම්මත් රස පරීක්ෂක වාර්තා එන විට එක්කෝ ඒ කුඩු දත්කුඩුය. නැති නම් සෝදන කුඩුය.
“ මාත් දන්න හෝල් සේල් බිස්නස් කරපු කුඩු ඕනර් කෙනෙක් තොටළඟදි මාට්ටු වුණා. කුඩු කිලෝ දහයක් තිබුණ කියලා තමයි නඩුව දැම්මේ. කුඩු කිලෝ දහයට එක්කො කන්ඩම් (මරණ දඬුවම). නැති නම් ලයිෆ් ටයිම් (ජීවිතාන්තය දක්වා සිර දඬුවම්).
පොතේ එහෙම ලියලා තිබුණට දවස් විසිඅටෙන් මෑන් එළියෙ. රසපරීක්ෂණ වාර්තාව ඇවිත් තිබුණ කිලෝ දහයම දත් කුඩු කියලා.
මේ ඕනර්ට ඇප දෙන දවසෙ මටත් නඩුවක් තිබුණ. අපි දෙන්නම උසාවි බැස්සෙ එකම දංවැලේ. මම කුඩු ගගහ ඉඳල මාට්ටු වුණේ.
මගෙ අතේ බඩු තිබුණෙ නෑ. පොලිසියෙන් කෑල්ලක් දාල තමයි මට නඩුව දැම්මේ. මම එක කෑල්ලට මාස හයක අච්චුවක් ඇද්දා. මේ වගේ සිද්ධි මම ඉහේ කෙස් ගානට විඳලා තියෙනවා.”
සෙල්ලා එහෙම කියන විට ඇඟ හිරිවැටෙයි. මේ රට මත්කුඩු දත්කුඩු, ලී කුඩු හෝ සබන් කුඩු කළ හැකි රටක්ය. වියදම් කරන්න හැකි නම් මේ රටේ බොහෝ දේ කරගත හැකිය.
අල්ලන කුඩු ගඟේ මුහුදේ යන්නේ නැත. ඒවාත් ආයෙත් සෙල්ලලාටම ය. අප ජීවත් වෙන්නේ පොලිස්පතිලා කුඩු ජාවාරම්කාරයන්ගේ ගෙවල්වල ගොස් පාටි දැමූ ඉතිහාසයක් සහිත රටකය.
මේ මිනිසුන් කියන ආකාරයට ගොඩක් දෙනෙක් කුඩු ප්‍රවාහනය කරන්නේ නොදැනුවත්කමිනි. “ පහු ගිය දවස් දෙක තුනකට ඉස්සර උපාසකම්ම කෙනෙක් ත්‍රීවීල් එකක් පිටිපස්සෙ ඉඳගෙන යනවා අටපිරිකරක් ඔඩොක්කුවේ තියාගෙන.
පාත්තරේ ඇතුළේ තියාගෙන තමයි වටේට බඩු ටික සේල් කළේ. ත්‍රීවීල් එක එළවාගෙන යන ඒකෙ අයිතිකාරයවත් දන්නෙ නෑ මගෙ ත්රීවීල්එකේ තියාගෙන මේ උපාසකම්ම කුඩු විකුණනවා කියලා.
ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර මල්ලි කෙනෙකුට පොඩි ගානක් දීල මේ පාර්සලේ අහවල් තැන ඉන්න කෙනාට දෙන්න කිව්වම අඩු ගානකට ප්‍රවාහනය සිද්ධ වෙලානෙ.
ඒ විදිහට ගොඩක් දෙනෙක් නොදැනුවත්කමින් කුඩු ප්‍රවාහනයට දායක වෙනවා. ඔය බස්වලට නැඟල හිටගෙන ඉන්න ලස්සන නංගිල තියාගන්න දෙන බෑග්වලත් සමහරවිට කුඩු තියෙන්න පුළුවන්.” සෙල්ලා හිනාවෙයි. ඒ කතා ඇසෙන විට ඇඟපත සීතල වී යයි.
තමන්ගේ කාමරයට එන කුඩු උරන්නන් අතරට සෙල්ලාටත් යා යුතුව ඇති බව පෙනේ. ඔහුගෙන් සමුගත් මම පාරට පිවිසියෙමි. සෙල්ලා තවමත් කුඩු උරනවා ඇත. ඔවුන්ට ගැටලුවක් පැනනැගී නැත. අවශ්‍ය හෙරොයින් ඕනෑ තරම්ය. හිඟයක් නැත. ගැටලුව එතැනය.