
දංගහකඩවල බොරලු කැපිල්ලෙන් යෝධ ඇළ බැම්ම අනතුරේ
හිමිදිරිය එළැඹී අඩහෝරාවක් පමණ ගතවුවද තවමත් ජයගඟ හන්දියට හිරු එළිය පතිත වී නැත. වලාකුළෙන් බර අහස අරඅදින්නේ වැස්සකටය. එහෙත් පිනි වැටුණු තෙත මහපොළොව සමඟ කැත්තෙන් උදැල්ලෙන් පොරබදන රජරට මිනිසුන් සිය දෛනික කටයුතු අරඹා තිබේ. ඔවුනට දෙවැනි නොවෙමින් අපිද හිමිදිරියේම බටුවත්තෙන් ඇරඹෙන මහවැලි දකුණු ඉවුරු ඇළ දිගේ ස්ටීවන් අප්පුහාමි මහතා සොයා ගමන් ඇරඹූවෙමු.
1977 දී ජලපාලක අංශයේ සේවකයෙකු ලෙස මහවැලියට එක්වූ ස්ටීවන් අප්පුහාමි දැන් හැත්තෑ හතර හැවිරිදි විශ්රාමිකයෙකි. මුල් ගම් බිම් සියනෑවේ මල්වතුහිරිපිටියේ වුවද, රාජකාරියට තැනින් තැන මාරුවෙමින් ජීවිතය ගත කළ ඔහු අද පදිංචිව සිටින්නේ රජරට තලාවේ, බටුවත්තේය. ඒ මහවැලියෙන් බදු පදනමට ගත් ඉඩමකය. ඔහුගේ නිවහන ඇත්තේ දෙගම්බඩ තැනිතලාවක වූ අපුරු මිටියාවතකය. නිවෙසට එක්පසෙකින් යෝධ ඇළට දියවර සපයන මහවැලි දකුණු ඉවුරු ඇළය. අනෙක් පසෙන් ඇත්තේ පැරණි යෝධ ඇළය.
“මම මහවැලියට බැඳෙන කොට රජරට මිනිස්සු මහවැලි වතුර නිසා උද්දාමයට පත් වෙලා හිටියේ. එතෙක් අහස් දියෙන් පිරෙන ගම් වැව්වලින් වැඩ කරපු මිනිස්සු, පිටාර ගලන ඇළ පාරවල් අයිනේ තමන්ට ලැබුණු ගොඩ මඩ ඉඩම්වල කඩියෝ වගේ වැඩකළා. කෙසෙල්, ගස්ලබු වගේ බෝග වියළි කලාපවල සරුවට වැවෙන්න ගත්තා. වී වර්ගත් එහෙමයි. ඒත් අනූව විතරවෙද්දි පැතිරුණු වකුගඩු ලෙඩෙත් එක්ක මහවැලි වතුර ආශිර්වාදයක්ද, ශාපයක්ද කියල හිතන තැනට මිනිස්සු පත්වුණා. අද වෙනකොට ඒකට පිළියමක් හොයාගෙන (පිරිපහදු කළ ජලය) ඉවරයි. දැන් වෙළඳපොළ ගැන සහතිකයක් තියෙනවා නම් මිනිස්සු ආපහු වවන්න පටන් ගනීවි. අතහැර යන මහවැලි ඉඩම්, වගා නොකරන මහවැලි ඉඩම් ගොවිතැනට කැමැත්තෙන් ඉන්න තරුණ පිරිසට බෙදලා දෙන්න ඕන.”
තැනින් තැන මහවැලි ජලපාලක කාර්යාලවලට අනුයුක්තව සේවය කළ ඔහු තලාව ආසන්නයේ සේවයට පැමිණ ඇත්තේ අනූව දශකයේ මැද භාගයේය.
සොහොන් බිමත් පරණ යෝධ ඇළේ
“ඒ කාලෙත් ජයගඟ හන්දියේ යෝධ ඇළ බැම්ම හඳුනාගන්න පුළුවන්කම තිබ්බා. අද බටුවත්ත ජලපාලක කාර්යාලේ තියෙන්නේ පරණ යෝධ ඇළ ගොඩ කරල පුරවපු බිමක. එතැන පුංචි උද්‍යානයකුත් හදලා තිබුණා. දැන් ජයගඟ හන්දයේ සොහොන්බිම තියෙන්නෙත් පරණ යෝධ ඇළේ තමයි.”
යෝධ ඇළ මිහිදන්වී ගොසිනි. කලකට පෙර යෝධ ඇළ පාමුල ජීවත්වූ මිනිසුන්, මිහිදන් වූ යෝධ ඇළ මත්තෙහි සිය අවසන් නින්ද නිදනු ජයගඟ හන්දිය පසුකොට එප්පාවල දෙසට යන අයෙකුට දැක හඳුනාගත හැකිය. කතාබහෙන් අනතුරුව අපි ස්ටිවන් මහතා සමඟ පැරණි යෝධ ඇළ දකින්නට ගියෙමු. යෝධ ඇළ තිබූ බිමෙහි අද ඇත්තේ සශ්‍රීක කුඹුරු යායකි. ඉන් ඔබ්බෙහි තැනෙක කොහිල වළක් ලෙස යෝධ ඇළ දැකිය හැකිය. යෝධ ඇළේ බැම්ම වල් වැදී තිබුණද, තැනින් තැන තිබෙන තල් ගස් ඒ යෝධ ඇළේ බැම්ම හඳුනාගන්නට අපට උපකාරී වේ.
“මෙතැනින් එහාට යෝධ ඇළේ වෙනසක් තියෙනවා. ඒ තමයි යෝධ ඇළට දෙපැත්තෙන්ම බැම්මක් තියෙන එක. ඒකට හේතුව මෙතැනින් එහාට හිදෝගම වෙනකම් යෝධ ඇළ ගලන්නේ උස්බිමක හදපු කෘත්‍රිම ඇළක් විදියට. රජකාලේ ඉඳන් ඒ කොටස එහෙම තිබුණා කියල තමයි හිතන්නේ.. යෝධ ඇළ දෙපැත්තේ මිනිස්සුන්ට, යාන්ත්‍රික ක්‍රමයකින් හැර ස්වභාවිකව තමන්ගේ ඉඩම්වලට වතුර ගන්න මේ කොටසෙදි බෑ”
ස්ටීවන් අප්පුහාමි මහතා අපට සමුදෙමින් එසේ පැවැසූවේ යෝධ ඇළ ගැන සොයා යන අපට තිබිය යුතු පූර්ව අවබෝධයක වැදගත්කම හඳුනාගෙන විය යුතුය.
බටුවත්තෙන් කිලෝමීටරයක් පමණ ඉදිරියට යන විට නව මහවැලි ඇළ පරණි යෝධ ඇළට එක්වන ස්ථානය යාන්තමට හඳුනා ගත හැකිය. ආරම්භයේ පැවැති යෝධ ඇළ බැම්මට වඩා මේ ඉසව්වේදී යෝධ ඇළ බැම්ම පටුය. යෝධ ඇළ දෙපසින්ම ඇත්තේ හේන් යායය. ඒවායේ මෑ, පතෝල, කරවිල සහ බටු වගා කර ඇති අයුරු පෙනේ. අතරින් පතර සරුසාර ගස්ලබු වගාය.
දිනකට වතුර ලීටර් 4000ක් අලෙවියේ
අනුරාධපුරය දක්වාම යන්නට හැකි මේ මාර්ගය බොහෝ දෙනා තෝරා නොගන්නේ කාරණා කිහිපයක් නිසාය. එකක් ඉසව්වේ සිදුකරන බොරළු කැපීමේ ව්‍යාපෘතියක ටිපර් රථ ගොස් පාර හෑරී මඩවී ඇති නිසාය. අනෙක් කාරණය වල් අලි මඟ රැඳී සිටීමේ ඇති අවදානම නිසාය. පවතින වැහි අඳුරත්, හුදකලාභාවයත් නිසා අපද මේ කොටසේදී යෝධ ඇළ බැම්ම දිගේ ඉදිරියට ගියේ තරමක චකිතයකින් යුතුවය.
මේ මාර්ගයේ පළමුවෙන්ම හමුවන ගම්මානය වරාගොඩගමයි. ඉන්පසුව හමුවන්නේ කුඹුක්වැවයි.
වරාගොඩදී අපට හමුවූයේ පිරිපහදු කළ ජලය විකුණන තරුණයෙකි. නමින් මලින්ද රුක්ෂාන් වන ඔහුගේ පදිංචිය තඹුත්තේගමයි. නල ළිංවලින් ගන්නා ජලය යන්ත්‍රානුසාරයෙන් පිරිපහදු කර අලෙවිකරන ඔහු දිනකට වතුර ලීටර් හාරදහසක් පමණ විකුණන බව අපට පැවැසුවේය. දවසක් හැර දවසක් ඔහු එකම මඟක වතුර විකුණන්නට යන බවත්, එවැනි මාර්ග හතරක මාරුවෙන් මාරුවට යන බවත් ඔහු අපට පැවැසීය. ඔහු සඳහන් කරන පරිදි රජරට මහා පරිමාණ ජල වෙළෙන්ඳකු දිනකට රුපියල් පනස්දහසකට ආසන්න මුදලක් උපයන අතර ඉන් හරි අඩක්ම ලාභය ලෙස සලකන්නට පුළුවන.
අපි උදෑසන ආහාරය වෙනුවෙන් නැවතුණේ කුඹුක්වැව හන්දියේ පිහිටි කඩයකිනි. එහි සිටියේ තරුණ යුවළකි. වට වැස්සේ වාසිය ගෙන ඔවුනගේ ඉඩම පස පෙරළන්නේ කුඩා ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර යොදාගනිමිනි.
“කොම්පැණියක් ගමට ඇවිත්, ගර්කින් වවන්න උදව් කරනවා… අස්වැන්නත් ගන්නවා…” අපිත් මේ කන්නේ ගර්කින් වගාව කරන්නයි ඉන්නේ…”
බනිසයක් කා තේ බිව් අපි යෝධ ඇළ ගැන වගතුග දැනගන්නට කෙනෙකු නැද්දැයි විමසුවේ යොවුන්වියේ ඔවුනට, යෝධ ඇළ ගැන දැනුමක් හෝ අත්දැකීමක් ඇතැයි නොසිතූ නිසාය.
“වැස්ස නිසා ගමේ ගොඩක් අය තේක්ක කෑල්ලේ මැද්දෑවේ හේන් වලට ගිහිල්ලා… දැන් නම් හොයාගන්න අමාරුයි…”
ගොඩවී ගිය පිළිසකර නොකළ වැව්
මේ ඉසව්වේ කුඹුරු නොමැත. ඇත්තේ හේන් පමණි. යහමින් වැස්ස ලැබෙන ඊසාන දිග මෝසමේ කැලෑ කපා හේනක් කොටා ගැනීමේ හෝ ගොඩ කුඹුරක් සකසා ගැනීමේ පැරණි රජරට හුරුව මේ ඉසව්වේ මිනිසුනට තිබේ. එබැවින් අපි කුඹුක්වැවෙන් ඉදිරියට තිරප්පනේ වැව දෙසට ගියෙමු.
තිරප්පනේ නගරය පිහිටා ඇත්තේ අනුරාධපුර දඹුලු පාරේ අතරමඟකය. ඒ ආසන්නයේද තිරප්පනේ වැව නමින් වැවකි. නමුත් තලාවට ආසන්නයෙන් යෝධ ඇළ බැම්මේ යන අපටද තිරප්පනනේ වැවක් හමුවේ. එහෙත් එය ගොඩවී ගොසින්, විල්ලුවක් පමණක් දක්නට ඇත.
මහවැලි කලාපවලදී රජරට වැව් පද්ධතිය ට සිදුකළ විනාශය ඉන් ඔබ්බේදී දකින්නට අපේක්ෂා නොකළ අපට මහවැලි කලාපයක් නොවන රජරටදීත් දක්නට ලැබෙන්නේ ගොඩවී ගිය වැව්ය. කළකින් ප්‍රතිසංස්කරණය නොකළ වැව්ය. නමුත් මේ ගැන අදහසක් ගන්නට තරම් මිනිස් පුළුටක් හෝ හමුනොවන නොවන කලාපයක් බැවින් අපි තවදුරටත් මඩවී ඇති පාර දිගේම ඉදිරියට ගියෙමු. අප ඊළඟට පිවිසියේ තරමක් එළිමහන් ප්‍රදේශයකටය. සිතියමට අනුව අප දැන් සිටින්නේ දංගහකඩවලය. පාපැදිවලින් අප ඉදිරියට එන වැඩිහිටියන් දෙදෙනෙකු දුටු අපේ සිතට සතුටක් ඇතිවිය. පළමුවැන්නා ජේ.එම්. දිසානායකය. දෙවැන්නා ජී.එම්. අබේසිංහය.
“මේ හරියෙදි යෝධ ඇළ තිබුණට, අපි වගා කරන්නේ අහස් දියෙන්. කුඩාවැව, හැළඹවැව කියල වැව් දෙකක් තිබ්බට ඒවගෙත් ඒ හැටි වතුරක් නෑ..”
ඉවක් බවක් නැති බොරලු කැපීම්
1970 දශකයේ අග භාගයේදී මේ ප්‍රදේශය ජනපදකරණයට ලක්වූ බවත්, ඔවුන්ට පැරණි යෝධ ඇළ ගැන සුවිශේෂී මතකයක් නොමැති බවත් පැවැසූ ඔවුහු හැකිනම් එම ප්‍රදේශයට ගැටලුවක් වී ඇති බොරලු කැපීමේ ව්‍යාපෘතිය ගැන පත්තරයට ලියන්නැයි අපට කීහ.
“කිසිම දැනුම්දීමක් කලින් කළේ නෑ. මාසෙකට විතර කලින් තමා පටන් ගත්තේ. දවසකට ටිපර් පනහක් විතර අනුධපුරේටත්, කුඹුක්වැව පැත්තෙන් තලාවටත් යනවා. යෝධ ඇළ බැම්ම දිගේ යන නිසා බැම්මත් මඩ වෙලා. අපිට පාරක යන්න නෑ.. යෝධ ඇළ බැම්මේ ඉඳන් කිලෝමීටරයක් ඇතුළේ තමයි බොරලු කන්ද තියෙන්නේ. අපේ ගෙවල් හරියෙමයි. ඒ පාරේ මෙහෙමවත් යන්න බෑ.”
යෝධ ඇළ බැම්ම අසාමාන්‍ය ලෙස මඩවීමට හේතු සොයමින් බටුවත්තේ සිට ඉදිරියට පැමිණි අපට එයට හේතුවන අයුරින් ගමන්කරන පස් පටවාගෙන එන ටිපර් රථ කිහිපයක් දැකගන්නට ලැබිණි.
තවත් ඉදිරියට එන අපට, දිවුල්වැව ප්‍රදෙශයේ පිහිටි කුඩා වැවකින් පිටාර ගලන ජලය, යෝධ ඇළට වැටෙන්නට හැකි වන ලෙසින් තැනූ පැරණි ගල් සොරොව්වක් දැකගත හැකිවිය. එහි වර්ෂය සටහන් වී තිබුණේ 1880 ලෙසය. ඒ අනුව ඉංග්‍රීසීන් විසින් යෝධ ඇළ ප්‍රතිසංස්කරණයට සමගාමීව මෙම බෝක්කුව ඉදිකර ඇති බව පෙනේ. එසමයේදීත් යෝධ ඇළ ගලා ගොස් ඇත්තේ පිහිටි බිමට වඩා පහළින් කෘත්‍රිමව සැකසූ ඇළ පාරක් දිගේ බව අවබෝධ කර ගන්නට එය පැහැදිලි සාක්ෂියක් විය.
ඉන් අනතුරුව හමුවූ දිවුල් වැවේදී යෝධ ඇළට ඉහළින් වූ පාලමකින් එගොඩව, ඇළේ අනෙක් ඉවුරට මාරුවී යෝධ ඇළ දිගේ යන්නට සිදුවිය. කේඬෑරිව ගලන යෝධ ඇළ සරුසාර වන්නේ දිවුල් වැවේ කෙළවරදීය. කිරිඅමුණූකොලෙන් නව ජයගගෙන් දකුණට හැරී සාජුව නාච්චාදූව වැවට ගලායන වතුර පාර, නාච්චදූවෙන් විහිදෙන අතුරු ඇළකින් දිවුල්වැවට වැටී එතැනින් යෝධ ඇළට එක්වන්නේය.
ඒ සරුසාර යෝධ ඇළ දකින්නට අපේක්ෂා කරමින් අපි දිවුල් වැව බැම්මට පිවිසුණෙමු.
යෝධ ඇළ දිගේ යන අපේ ගමනට එක් කළ යුතු යමක් ඔබටත් ඇත්නම් [email protected] ලිපිනයෙන් අපට ලියන්න.
(සංචාරය සඳහා අවශ්‍ය පාපැදි සම්බන්ධීකරණය කළ එප්පාවල සුනිල් විල්සන් මහතාටත්, සම්බන්ධීකරණ කටයුතු කල තලාව ප්‍රාදේශිය සභා උප සභාපතිතුමා ඇතුළු අදහස් දැක්වූ ගම්වැසියන්ටත් ස්තූතියි!)
[email protected]
ඡායාරූප - චතුර හේමාල්