අනේක වූ වාරයන් වලදී, අනේක වූ තැන්හි දී නොයෙක් පුද්ගල චරිතයන් හිත තුළින් ම ඉස්මතුව එනවා. එක් වරක දැකීමකින්, කෙදිනකවත් නොදැක ඇසීමෙන් ඔවුන් මතින් විවිධ භාවයන් උපදින්නේ ඒ භාවයන්ගේ සංකලනය නිසාම යි.
නමුත් ඒ සැවොම අතරින් එක් අයෙකු පමණක් ඔබව ලුහු බඳීවි. නැත්නම් ඔබ ඔහු ව ලුහු බඳීවි. තවත් වරෙක ඔබ යළි යළිත් ඔහු සොයා යාවි. ඔබ ඔහු වීමටත්, ඔහු ඔබ වීමටත් ඒ සිත් තුළ ඇති භාවයන් නිදොස් විය යුතුමයි.
ඔබ තුළින් උපදින කවර හෝ සිතිවිල්ලකට මුවා වී ආදරය නමැති සේයාවේ නොරැඳී ඔහුව සොයයි නම් ඒ සිතිවිල්ල සියල්ලන්ටම සඟවන්න වේවි.
ඔබ පිළිබඳ කෙසේ වැටහීම් ලබා දෙන්නේ දැයි නොදන්නා මුත් ඔහු තුළත් ඔබ සැඟව ඇති බව දැනේවි. ඔබේ දෙනෙතින් ලොව දෙස බලමින් මා ලබන සෑම ඡායාවකට ම ඔහුගෙන් රිදුමක් තිළිණ සේ ලබමි.
නොදුටු අප දිනෙක හමු වූ විට නිති මා මුව ගොළු වේවි. ඒ පෙර ලැබූ රිදුමෙන් මා ලද භාවය නිසායි. තවත් වරෙක මා සිතමි, ඔබෙන් අසමි. ඔබට කිව හැකි ද.? මේ නැවුම් සිතිවිලි වල ජන්මය තුළම මා සොයමි. මන් ද ඔබ හැඳින මේ සියල්ල ඔබට පවසන්න ඇති රිදුම නිසායි. දනිමි දිනක මෙවන් ඇරඹුමක් වන බව.
එහෙත් නොදනිමි නොදුටු ගමනක කෙළවර. පෙර මා සෙවූ ඔබ, තවම සොයයි ඔබ මා කොතැනක ද වග. එහෙත් මා ඔබත්, ඔබ මාත් අප දෙදෙනම නොහඳුනනා ඉසව්වකයි.
පතොක් මල් පිපිලා
සෙවූ මා තුළ
ඔබ නැවුම් වූ
තව ම ඇරඹුමක ම කියා
හුදෙක් මා ඔබ පතා නොතැවෙමි
මම තවම ඒ ඔබ නිසා
සොයා ගැඹුරක කිමිද සසරක
මා තුළත් ඔබ නැති නිසා
තවම සිසිලද ලැබූ දෙනෙතක
කඳුල වී මා ඔබ නිසා
සොයා ආ මා
ඔබට වරද ම
රැස් කළේ කුමට ද කියා
ඔබ ඉතින් මට
නොදුන් මා තුළ
ඇතිය තවම ඔබ තියා
- චමත්ක කවීන්