මම දරුවෝ ලක්ෂ­ය­කගේ අම්මා කෙනෙක්! | Page 2 | සිළුමිණ

මම දරුවෝ ලක්ෂ­ය­කගේ අම්මා කෙනෙක්!

ප්‍රවීණ නර්තනවේදිනී රුජිනි ෙසල්වනායගම්

ප්‍රවීණ නර්ත­න­වේ­දිනී කලාශූරී, විශ්ව කලාකීර්ති රැජිනි සෙල්ව­නා­ය­ගම් සිය මතක මං පෙත ඔස්සේ ඇවිද යමින් අප සමඟ දැක්වූ අද­හස් මෙලෙස පෙළ­ගැස්වේ.

• ඔබේ ගම් පළාත කොහෙද?

මම ඉප­දුෙණ් බළන්­ගොඩ. මම ගමේ හැදුෙණ මට අවු­රුදු 5 විතර වෙන­කල් වුණත් ගම මට අද වගේ මත­කයි. කුඹුරු යාය­වල්, ගොයම් කපපු හැටි, අවු­රුදු කාලේ ගත කළ හැටි, සිරිත් විරිත් වගේ මේ හැම­දෙ­යක් ම. නියර දිගේ දුව පැන ගිය ඒ කාලය මතක් වෙන­කොට දුක­කුත් දැනෙ­නවා. මට අවු­රුදු 5 වෙද්දි ගමෙන් කොළ­ඹට එන්න සිදු­වුණා. මගේ තාත්තා රැකි­යාව කළේ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ. තාත්තාට කොළ­ඹට එන්න වුණා.

මගේ තාත්තා සභා­පති සෙල්ව­නා­ය­ගම්. තාත්තා යාප­නයේ දෙමළ. අම්මා, එස්.ඒ. චන්ද්‍රා. ඇය සිංහල කාන්තා­වක්. මේ නිසා සිංහල දෙමළ සංස්කෘ­තීන් දෙක ම පුංචි සන්දියේ පටන් ම අපට සමීප වුණා. තාත්තා අපිත් එක්ක පන්සල් ගියා. අම්මා, අපි තාත්තා එක්ක කෝවි­ලට ගියා. සිංහල අලුත් අවු­රුද්ද වගේ ම අපේ ගෙදර තෛපොං­ගල් උත්ස­ව­යත් කළා. වෙසක්, දීප­වාලි සැම­රුවා. අපේ පවුල ලොකු පවු­ලක්. ගැහැනු ළමයි 9, එක පිරිමි ළම­යයි. මං පවුලේ තුන්වැ­නියා.

කොළඹ ඇවිත් මම ඇතු­ළත් කළේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යා­ල­යට. මේ පාසලේ මම 5 පන්ති­යට වෙන­කල් ඉගෙන ගත්තා. ආයෙ­මත් තාත්තට මාරු­වක් ලැබුණා, පැල්ම­ඩු­ල්ලට. ඒ කියන්නෙ අපේ ගමට හුඟාක් කිට්ටු­වට.

• ඔබ සතු­ටින් එහි යන්න ඇති?

ඔව්, ආයෙ­මත් ගමට යනවා වගේ දැනුණා. එහෙ ගියා ම මගේ පාසල වුණේ පැල්ම­ඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යා­ලය. එතැන තමයි මගේ ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය. නර්ත­නය පුංචි සන්දියේ පටන් ම මගේ ඇ‍ඟේ තිබු­ණත් එය හදා­රන්න පටන් ගත්තෙ පාස­ලේදී. මගේ නැටුම් ගු‍රුවරු වුණේ සරත් ලාල් පනා­වල සර් සහ දයා සර්. මේ ගුරු­වරු අපට ඉගැ­න්වුවේ හද­ව­ති­න්මයි. ඒ, මුද­ලට කළ ඉගැ­න්වී­මක් නෙවෙයි. පාසල් වේලා­වෙන් පසු­වත් ඔවුන් ඒ කැප­කි­රීම කළා. කොහොම වුණත් මම නැටුම් විෂ­ය­යක් ලෙස හැදෑ­රුවේ නෑ. හේතුව, ඒ කාලයේ එය පාසල් විෂය මාලා­වට ඇතු­ළත් නොවීම.

• නැටුම් කලාව හැදෑ­රී­මට ගෙද­රින් අව­සර ලැබුණා ද?

මං නටන්න හරිම ආසයි. ඒත් ගෙද­රින් කැමැ­ත්තක් තිබුණේ නෑ. වැඩි­යෙන් ම අම්මා. ඇය තදින් ම විරුද්ධ වුණා. ඒකට හේතුත් තිබුණා. මං ගැහැනු ළම­යෙක් වීම ප්‍රධා­නයි. අවු­රුදු 14 පසු­ක­ළාම ගැහැනු ළමයි නටන්න සුදුසු නෑ කියල ඒ කාලයේ තදින් ම මත­යක් තිබුණා.

මං අඬල තියෙ­නවා, මට හිතුණේ නැටුම් ඉගෙන ගන්න බැරි­වේවි කියලා. කොහොම හරි ගෙද­රට හොරෙන් මං ඉස්කෝ­ලෙදි නැටුම් ඉගෙන ගත්තා. හවස නතර වෙලා නටල ඇවිත් ගෙද­රට කිව්වෙ ක්‍රීඩා කරන්න නතර වුණා කියලා. මං ක්‍රීඩාත් කළා. ඒ නිසා ගෙද­රින් ඒ ගැන දැඩිව ඇහුවේ නෑ. නටන ඇඳුම් ගෙදර ගෙනාවේ නෑ. ඉස්කෝලෙ හංගලා තිබුණේ. අපිව ජාතික නැටුම් හා සංගීත විභා­ග­යට පුහුණු කළා. මේ විභා­ග­යට ලියන්න ආවම ගෙද­රින් ඉඩ ලැබේ­විද කියල පොඩි චකි­ත­යක් ඇති­වුණා. ඒත් ‍මේක විභා­ග­යක් නිසා තාත්තා­ගෙන් අව­සර ලැබුණා. ඒ අව­ස­රය අරන් දෙන්න පුංචි අම්මා ලොකු පිටි­ව­හ­ලක් වුණා. එයාගෙ ආසා­වට ඉඩ දෙන්න, මේක විභා­ග­යක්නෙ කියල පුංචි අම්මා තාත්තා කැමැති කරවා ගත්තා. විභා­ග­යට කොළඹ එන්න අම්මා ඇඳු­මක් මහලා දුන්නා. නට­න­වාට විරුද්ධ වුණත් විභා­ග­යට ලියන නිසා ඇය නම්‍ය­ශීලී වෙන්න ඇති.

• අම්මගෙ බලා­පො­රො­ත්තුව වුණේ?

අපි හොඳට ඉගෙන ගෙන ගුරු­ව­රියො වෙනවා දකින්න. අම්මා කිව්වෙ ගැහැනු ළම­යින්ට ගැළ­පෙන වෘත්තිය ගුරු වෘත්තිය කියලා. මේ දිරි­ගැ­න්වීම නිසා අපේ පවුලේ සහෝ­ද­රියො පස්දෙ­නෙක් ම ගුරු­ව­රියො වුණා. එකම මල්ලි ඉංජි­නේ­රු­වෙක්. අද මේ හ‍ැමෝම විවා­හ­කයි. අපි කවු­රුත් පැරැ­ණි­ක­මට, සම්ප්‍ර­දා­යන්ට ගරු කර­නවා.

මට මත­කයි අම්මා - තාත්තා තර­ව­ටු­වක් කළොත් අපි ඔළුව උස්ස­ලා­වත් බලන්නේ නෑ. වැරැ­ද්දක් කළොත් ලැබෙන ලොකු ම දඬු­වම බිත්ති මුල්ලට ගිහින් බිත්තිය දිහා බලා­ගෙන ඉන්න එක. අපි අද මෙහෙම ඉන්නෙ එදා අපේ දෙම­වු­පියො වර­දක් දුටු තැන තර­වටු කළ නිසා. හැබැයි, අද තත්ත්වය වෙනස්. දරු­ව­කුට පුංචි තර­ව­ටු­ව­ක්වත් කරන්න බෑ. මානව හිමි­කම් ප්‍රශ්න, පොලිසි යනවා. අද සම­හර ළමයි දෙම­වු­පි­යන්ට කතා කරන හැටි දැක්කම මං එයා­ලව ළඟට අරන් අම්මා - තාත්තගේ අගය කියල දෙනවා.

වැරැ­ද්ද­කට ටොක්කක් කෑවොත්, කන­මි­රි­කු­වොත් අපි තරහ ගන්නෙ නෑ. වර­දක් කළ බව තේරුම් ගත්තා. හැබැයි අද? මේ වෙනස විනා­ශ­යට මුල කිය­ලයි මට නම් කියන්න තියෙන්නෙ. දරුවො ලොකු මහත් වෙනවා කියන්නෙ අම්මල තාත්තල වය­සට නොය­නවා කියන එක නෙවෙයි. ඉතින් දරුවො වය­සින් වැඩුණා කියලා දෙම­වු­පි­යන්ට ඔවුන්ට තර­ව­ටු­වක් කරන්න බැරි වෙන්න බෑ. ඒක දෙම­වු­පි­යොත් තේරු­ම්ගත යුතුයි. දැන් ළමයි යාර 100 ක්වත් පයින් යන්නෙ නෑ. අපි පුංචි කාලෙ සැත­පුම් 1 1/2 ක් විතර පයින් ගියා.

අපේ අම්මා දීපු අව­වා­ද­යක් මට අදත් මත­කයි, “සුදුසු ලජ්ජා­වත් බයත් වටිනා ස්ත්‍රී ආභ­ර­ණ­යක්” තාත්තා කිව්වෙ, “හැම­වෙ­ලා­වෙම කන්දෙක ඇර­ගෙන ඉන්න, කට වහ­ගෙන ඉන්න. වැඩිය කිය­වන්න එපා” කියලා. අපේ අම්මාට දැන් අවු­රුදු 91 ක්. තාත්තා අවු­රුදු 34 කට උඩදී නැති වුණා.

• ඔබ දිගට ම නර්ත­න­යට යොමු වුණා?

පාස­ලේ­දීත් නර්ත­නයේ යෙදෙ­න‍කොට ළමයි හොඳට බලා­ගෙන ඉන්නවා මම දැක්කා. ඉතින් ආසා­වෙන් නැටුවා. තව උනන්දු වුණා. ඔය අතර වාරයේ රජයේ නර්තන විද්‍යා­ල­යට බඳවා ගැනී­මට ගැසට් කරලා තිබුණා. මම ඉල්ලුම් පත්‍ර දැම්මා. අම්මා විරුද්ධ වුණා. නොකා නොබී ඉඳලා තාත්තා කැමති කරවා ගත්තා.

1971 දී නර්තන විද්‍යා­ල­යට තේරුණා. අවු­රුදු 5 ක් ඉගෙන ගත්තා. අපේ කාල­යේදී, 1974 දී මේ ආය­ත­නය කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බ­ද්ධව සෞන්දර්ය විශ්ව­වි­ද්‍යා­ල­යට එකතු කළා.

මම රාජ්‍ය නැටුම් කණ්ඩා­යමේ සාමා­ජි­කා­වක්. අඩු වය­ස­කින් විදේශ සංචා­ර­ව­ලත් යෙදෙන්න අව­ස්ථාව ලැබුණා. මුල් ම විදේශ සංචා­රය 1974 දී පාකි­ස්තා­න­යට හා රුසි­යා­වට. ඉන්ප­සුව වරි­න්වර දිග­ටම වගේ එවැනි අවස්ථා ලැබුණා. මං හුඟක් වාස­න්ව­න්තයි කියල හිතෙ­නවා.

• ඔබ නර්ත­නය ඉගැ­න්වීම පටන් ගත්තෙ?

1975 දී. මම කලා­ය­ත­න­යක් පටන් ගත්තෙ සුදර්ශි ශාලාවෙ. අද ඒක චාමර කලා­ය­ත­නය නමින් කොළො­න්නාවෙ පව­ත්වා­ගෙන යනවා. දැන් අවු­රුදු 43 ක් තිස්සේ මං නර්ත­නය උග­න්ව­නවා.

1976 දී මට රජයේ ගුරු පත්වී­මක් ලැබුණා. මුල්ම පත්වීම හලා­වත මාදම්පා මධ්‍ය මහා විද්‍යා­ල­යට. මේක අපේ අම්මාගේ සිහි­න­යක් සැබෑ­වී­ම­කුත් වුණා. මං ඒ පාසලේ අවු­රුදු 5 ක් හිටියා. ඊට පස්සෙ කොළඹ වේළු­වන විද්‍යා­ල­යට මාරු­වෙලා ආවා. මේ පාසලේ අවු­රුදු 14 ක් උග­න්වලා විශ්‍රාම ලැබුවා.

• ඔබේ විවා­හය සිදු­වුණේ?

මේ අතර වාරයේ, 1989 දී. අපේ විවා­හය ප්‍රේම සම්බ­න්ධ­තා­ව­ක ප්‍රති­ඵ­ල­යක්. අපි අවු­රුදු 8 ක් තිස්සේ දැන හඳු­නා­ගෙන ඉඳල විවාහ වුණා. මගේ සැමියා හරේන්ද්‍ර රොද්‍රිගු. එයා කතෝ­ලික. එත‍කොට මට ආගම් 3 යි. බෞද්ධ, හින්දු, කතෝ­ලික. මම බෞද්ධ. මහ­ත්තයා මාත් එක්ක පන්ස­ලට යනවා. මමත් එයත් එක්ක පල්ලි යනවා. පුංචි කාලෙත් පන්ස­ලට. කෝවි­ලට ගිහින් මට ඒ හුරුව තිබුණා. මම මේ ආගම් 3ට ම ගරු කර­නවා.

• ඔබේ සැමි­යා­ගෙන් කලා කට­යු­තු­ව­ලට ලැබෙන සහාය කෙබඳු ද?

මහ­ත්ත­යගෙ ක්ෂේත්‍රය ගණ­කා­ධි­ක­ර­ණය. පසුව ව්‍යාපාර අංශ­යට යොමු වුණා. මුලදී නම් ඔහු මෙය කර­ද­ර­යක් ලෙස දුටුවෙ. බෙර හඩ එහෙම අහන්න අමා­රුයි. හැබැයි මම සැලු­ණෙත් නෑ. ඔහු හොඳ පුද්ග­ල­යෙක්. විවා­හ­යට මට පොඩි බිය­කුත් තිබුණා. එයා කතෝ­ලික නිසාත් මම බෞද්ධ නිසාත්. ඒත් ඇසු­රත් සමඟ ඒ බිය දුරු වුණා.

අපට ම කියල දරුවො නෑ. හැබැයි, මට දරුවො ලක්ෂ­යක් විතර ඉන්නවා. මගේ ගෝලයෝ. අම්මා කෙනෙක් නොවී, අම්මා කෙනෙක් වගේ මං ඒ සතුට විඳි­නවා.

පාසලේ උග­න්වන කාලයේ මං හුඟාක් අවි­වේ­කයි. ඒ ඉගැ­න්වීම් කරලා පන්ති­වල කට­යුතු කළේ සවස් කාලයේ. වෙහෙ­ස­ක­රයි. මහ­ත්තයා කිව්වා ඔය දෙකෙන් එකක් තෝරා ගන්න කියලා. මම අවු­රුදු 19 ක ගුරු සේව­යෙන් විශ්‍රාම ගත්තා. මහ­ත්තයා මට මෙතැන කලා­ය­ත­නය හදලා දුන්නා. එක තැන­කට වෙලා ළම­යින්ට උග­න්වන්න. මේ කලා­ය­ත­න­යට දැනට අවු­රුදු 20 කට වැඩියි. මගෙන් ඉගෙ­න­ගන්න ළමයි මහ­ත්ත­යා­ටත් ළෙන්ග­තුයි. එයා ඒ දරු­වන්ගේ පහ­සු­කම් ගැන හොයලා බලලා වැඩ කර­නවා.

ගිය අවු­රුද්දෙ ‘ග්‍රීන් ලීව්ස්’ කියලා ඔහුගේ ව්‍යාපා­ර­යක් පටන් ගත්තා වෝට­ර්ස්එජ් එකේ. එතැන ‘ශ්‍රීධ­රණී’ නමින් රඟ­හ­ලක් විවෘත කළා. අපේ කලාවේ වටි­නා­කම විදේ­ශි­ක­යන්ට දැන ගැනී­මට, රස විඳී­මට සැලැ­ස්වීම එහිදී සිදු­වෙ­නවා. සති­ය­කට වාර කිහි­ප­යක් එහි රැඟුම් පැවැ­ත්වෙ­නවා.

මේ දේවල් කිරී­මේදී ව්‍යාපා­රික අර­මුණු මුදුනේ තියල නෑ. කලා­වට රටට සමා­ජ­යට මිනි­සුන්ට යහ­පත් දෙයක් කිරී­මයි ප්‍රධාන අර­මුණ.

• ඔබ නර්තන නිර්මා­ණය කළ නිර්මාණ ගැන... අපි ආර­ම්භක අව­දිය සිහි­පත් කළොත්...?

කුලු­ඳුල් නිර්මා­ණය, “සුර­තල් එතනා” 1979 දී. ළමා පිටියේ සිටි කල්‍යාණි ධර්ම­ව­ර්ධන බර පැන දැරුවා. බැස සීතල ගඟු­ලේ, සුර­තල් එතනෝ ආදී ගීත 14 කට නර්තන නිර්මා­ණය කළා. මේ නිර්මා­ණය හරිම ජන­ප්‍රිය වුණා. එය තමයි ගීත නැටුම් කලාවේ ආර­ම්භය. මෙවැනි නර්ත­න­මය ඉදි­රි­පත් කිරීම් තිබු­ණත් සරල ගී වලට නර්ත­න­මය අරු­තක් සැපයූ පළමු අව­ස්ථාව මේ.

ඊළ­ඟට ‘කපි­රිඤ්ඤා’ නිර්මා­ණ­යත් හුඟාක් ජන­ප්‍රිය වුණා. පෘතු­ගීසි යුගයේ කපි­රිඤ්ඤා නැටුම් නැටුවෙ සාය ඔසො­වා­ගෙන. එහෙම කළේ සාය පෑගෙන එක වළ­ක්වා­ගන්න. පසුව මේක විලා­සි­තා­වක් වගේ වුණා. නර්ත­න­යට යොදා ගත්තෙ එයයි. ‍‍

ප්‍රසං­ග­ව­ලට සහ­භාගි වුණා. ඒ කාලේ අද වගේ නෙවෙයි. අම­ර­දේ­වගේ සිට එම්.එස්. දක්වා සියලු ගායක - ගායි­කා­වන් සහ අපි එකම බස් රථ­ය­කින් තමයි මේ ප්‍රසං­ග­ව­ලට යන්නෙ. ගුව­න්වි­දුලි සංස්ථාව ළඟදි අපි හැමෝම එකතු වෙනවා. අම­ර­දේ­ව­ය­න්ගෙන් පට­න්ගෙන එම්.එස්. ගෙන් අව­සන් වෙන විදි­හට ගීත පෙළ­ගැ­ස්වුණේ. අපි ගීත­ව­ලට දේශීය නර්ත­නාංග ඉදි­රි­පත් කළා. ප්‍රසං­ගය අව­සන් වුණා­මත් හැමෝම ඒ බස් රියෙන් ම ගෙනැත් බැස්සුවා. ඒ මතක හරිම සුන්ද­රයි.

• ඔබ නර්තන කලා­වට පිවිසි හා එහි හිණි­පෙ­තට නැඟි අවදියේ පවා අද තරම් පහ­සු­කම් තිබුණේ නෑ. ඒත් ඒ සීමා නම් ඔබ බාධා­වක් කර­ගත්තේ නෑ?

අපි නර්ත­න­යට පිවි­සියේ ගැහැනු ළම­යින්ට නටන්න පහ­සු­වෙන් අව­සර නොලැ­බුණු යුග­යක. මට මත­කයි අපි නර්ත­න­ව­ලදි අමු­තු­වෙන් වේශ නිරූ­පණ කළේ නෑ. ලිප්ස්ටික් ගාලා ඒවා­යින් ම ටිකක් පොල්තෙල් එක්ක කව­ලම් කරලා අත්ලේ ගාගෙන කම්මුල් දෙපැත්තෙ ආලේප කළා. ඇහි බැම ලොකු­වට ඇන්දා භරත නැටු­ම්වල වගේ. වේශ නිරූ­පණ එප­ම­ණයි. අමුතු දෙයක් නෑ. ලොකු­වට යමක් කරන්න වත්ක­මක් තිබු­ණෙත් නෑ. කොහොම වුණත් මේවා හරි සුන්දර මතක.

අද වාගේ විදුලි ආලෝක දහරා, සී.ඩී, ටී.වී. මොක­වත් තිබු­ණෙත් නෑ. හැබැයි අපි නර්ත­නය කළා.

• එහෙම බල­න­කොට අද ඔය හැම දෙයක් ම තියෙ­නවා. ඕනෑ­ව­ටත් වැඩි­යෙන් තියෙ­නවා. ඒත් නර්ත­නය ගත්තත් කලා­ත්මක බව, නිර්මා­ණ­ශී­ලී­ත්වය ආදී කර­ණා­ව­ලින් යම් පිරි­හී­ම­කුත් පෙනෙ­නවා නේද?

මුදල් ඉපැ­යීම ම පර­මා­ර්ථය වුණාම පරි­හා­නියක් ඇති වෙනවා. ශාස්ත්‍රය හරි­යට ඉගෙන ගත යුතුයි. වටින් - ගොඩින් ඉගෙ­න­ගෙන කණ්ඩා­යම් හදා­ග­ත්තාම කලාවේ දියු­ණු­වක් ඇති වෙන්නෙ නෑ. නර්ත­නය කියන්නෙ ඇඟ පෙන්වීම නෙවෙයි. අද බෙ‍ාහෝ­විට ජන­ප්‍රිය වෙන්න හදන්නෙ එහෙම. නැටුම් කලා­වෙදි මුල් තැන දිය යුත්තේ පහත් පෙළේ ශෘංගා­ර­යට නෙවෙයි. මේ ක්ෂේත්‍ර­යට පිවි­සෙන අය නර්තන කලාව නිවැ­ර­දිව හැදෑ­රිය යුතු වෙනවා. හින්දි ගීත­ව­ලට නැටී­මත් අද රැල්ලක් වගේ වෙලා.

• ඔබ චිත්‍ර­ප­ට­ව­ල­ටත් දායක වුණා?

යම් ප්‍රමා­ණ­ය­කට, නර්ත­න­යෙන්. පාකි­ස්තානු චිත්‍ර­ප­ට­යක්. අජා­සත්ත වගේ චිත්‍ර­පට කිහි­ප­ය­කට.

• ඔබ ලැබූ සම්මාන අභි­දාන?

කලාසූරී කලා­භූ­ෂණ සම්මාන රජ­යෙන් පිරි­නැ­මුවා. නර්ත­න­පති සම්මා­න­යත් හිමි­වුණා. කෝට්ටේ ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර පද­නම විශ්ව කලාකීර්ති සම්මා­නය පිරි­නැ­මුවා. සර්වෝ­දය ඇතුළු තවත් සම්මාන ගණ­නා­වක් හිමි­වුණා.

• නර්ත­නය ඉගැ­න්වී­මට අම­ත­රව මේ දින­වල ඔබ යෙදෙ­මින් ඉන්නෙ?

කුඩා ළම­යින්ට නර්ත­නය ඉගෙන ගැනී­මට නර්ත­න­යට සුදුසු ළමා ගී ඇතු­ළත් සංගත තැටි­යක් (CD) නිර්මා­ණය කර­මින් සිටි­නවා. එය ඔක්තෝ­බර් මාස­යේදී පමණ එළි­දැ­ක්වී­මට ලැබේවි. ඊළ­ඟට වැඩි­හිටි අය­ටත් එවැනි නිර්මාණකරන්න සූදා­නම් වෙනවා. අපේ දේ අගය කර­මින් ඒවා රට රටවලට හඳුන්වා දීම­ටත් වෑයම් කර­නවා. කලාව රැක ගැනී­මට හැකි උප­රි­ම­යෙන් කැප වෙනවා.

සේයාරූ - සුදම් ගුණසිංහ

Comments