
ප්‍රවීණ නර්තනවේදිනී කලාශූරී, විශ්ව කලාකීර්ති රැජිනි සෙල්වනායගම් සිය මතක මං පෙත ඔස්සේ ඇවිද යමින් අප සමඟ දැක්වූ අදහස් මෙලෙස පෙළගැස්වේ.
• ඔබේ ගම් පළාත කොහෙද?
මම ඉපදුෙණ් බළන්ගොඩ. මම ගමේ හැදුෙණ මට අවුරුදු 5 විතර වෙනකල් වුණත් ගම මට අද වගේ මතකයි. කුඹුරු යායවල්, ගොයම් කපපු හැටි, අවුරුදු කාලේ ගත කළ හැටි, සිරිත් විරිත් වගේ මේ හැමදෙයක් ම. නියර දිගේ දුව පැන ගිය ඒ කාලය මතක් වෙනකොට දුකකුත් දැනෙනවා. මට අවුරුදු 5 වෙද්දි ගමෙන් කොළඹට එන්න සිදුවුණා. මගේ තාත්තා රැකියාව කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ. තාත්තාට කොළඹට එන්න වුණා.
මගේ තාත්තා සභාපති සෙල්වනායගම්. තාත්තා යාපනයේ දෙමළ. අම්මා, එස්.ඒ. චන්ද්‍රා. ඇය සිංහල කාන්තාවක්. මේ නිසා සිංහල දෙමළ සංස්කෘතීන් දෙක ම පුංචි සන්දියේ පටන් ම අපට සමීප වුණා. තාත්තා අපිත් එක්ක පන්සල් ගියා. අම්මා, අපි තාත්තා එක්ක කෝවිලට ගියා. සිංහල අලුත් අවුරුද්ද වගේ ම අපේ ගෙදර තෛපොංගල් උත්සවයත් කළා. වෙසක්, දීපවාලි සැමරුවා. අපේ පවුල ලොකු පවුලක්. ගැහැනු ළමයි 9, එක පිරිමි ළමයයි. මං පවුලේ තුන්වැනියා.
කොළඹ ඇවිත් මම ඇතුළත් කළේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයට. මේ පාසලේ මම 5 පන්තියට වෙනකල් ඉගෙන ගත්තා. ආයෙමත් තාත්තට මාරුවක් ලැබුණා, පැල්මඩුල්ලට. ඒ කියන්නෙ අපේ ගමට හුඟාක් කිට්ටුවට.
• ඔබ සතුටින් එහි යන්න ඇති?
ඔව්, ආයෙමත් ගමට යනවා වගේ දැනුණා. එහෙ ගියා ම මගේ පාසල වුණේ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය. එතැන තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. නර්තනය පුංචි සන්දියේ පටන් ම මගේ ඇඟේ තිබුණත් එය හදාරන්න පටන් ගත්තෙ පාසලේදී. මගේ නැටුම් ගුරුවරු වුණේ සරත් ලාල් පනාවල සර් සහ දයා සර්. මේ ගුරුවරු අපට ඉගැන්වුවේ හදවතින්මයි. ඒ, මුදලට කළ ඉගැන්වීමක් නෙවෙයි. පාසල් වේලාවෙන් පසුවත් ඔවුන් ඒ කැපකිරීම කළා. කොහොම වුණත් මම නැටුම් විෂයයක් ලෙස හැදෑරුවේ නෑ. හේතුව, ඒ කාලයේ එය පාසල් විෂය මාලාවට ඇතුළත් නොවීම.
• නැටුම් කලාව හැදෑරීමට ගෙදරින් අවසර ලැබුණා ද?
මං නටන්න හරිම ආසයි. ඒත් ගෙදරින් කැමැත්තක් තිබුණේ නෑ. වැඩියෙන් ම අම්මා. ඇය තදින් ම විරුද්ධ වුණා. ඒකට හේතුත් තිබුණා. මං ගැහැනු ළමයෙක් වීම ප්‍රධානයි. අවුරුදු 14 පසුකළාම ගැහැනු ළමයි නටන්න සුදුසු නෑ කියල ඒ කාලයේ තදින් ම මතයක් තිබුණා.
මං අඬල තියෙනවා, මට හිතුණේ නැටුම් ඉගෙන ගන්න බැරිවේවි කියලා. කොහොම හරි ගෙදරට හොරෙන් මං ඉස්කෝලෙදි නැටුම් ඉගෙන ගත්තා. හවස නතර වෙලා නටල ඇවිත් ගෙදරට කිව්වෙ ක්‍රීඩා කරන්න නතර වුණා කියලා. මං ක්‍රීඩාත් කළා. ඒ නිසා ගෙදරින් ඒ ගැන දැඩිව ඇහුවේ නෑ. නටන ඇඳුම් ගෙදර ගෙනාවේ නෑ. ඉස්කෝලෙ හංගලා තිබුණේ. අපිව ජාතික නැටුම් හා සංගීත විභාගයට පුහුණු කළා. මේ විභාගයට ලියන්න ආවම ගෙදරින් ඉඩ ලැබේවිද කියල පොඩි චකිතයක් ඇතිවුණා. ඒත් මේක විභාගයක් නිසා තාත්තාගෙන් අවසර ලැබුණා. ඒ අවසරය අරන් දෙන්න පුංචි අම්මා ලොකු පිටිවහලක් වුණා. එයාගෙ ආසාවට ඉඩ දෙන්න, මේක විභාගයක්නෙ කියල පුංචි අම්මා තාත්තා කැමැති කරවා ගත්තා. විභාගයට කොළඹ එන්න අම්මා ඇඳුමක් මහලා දුන්නා. නටනවාට විරුද්ධ වුණත් විභාගයට ලියන නිසා ඇය නම්‍යශීලී වෙන්න ඇති.
• අම්මගෙ බලාපොරොත්තුව වුණේ?
අපි හොඳට ඉගෙන ගෙන ගුරුවරියො වෙනවා දකින්න. අම්මා කිව්වෙ ගැහැනු ළමයින්ට ගැළපෙන වෘත්තිය ගුරු වෘත්තිය කියලා. මේ දිරිගැන්වීම නිසා අපේ පවුලේ සහෝදරියො පස්දෙනෙක් ම ගුරුවරියො වුණා. එකම මල්ලි ඉංජිනේරුවෙක්. අද මේ හැමෝම විවාහකයි. අපි කවුරුත් පැරැණිකමට, සම්ප්‍රදායන්ට ගරු කරනවා.
මට මතකයි අම්මා - තාත්තා තරවටුවක් කළොත් අපි ඔළුව උස්සලාවත් බලන්නේ නෑ. වැරැද්දක් කළොත් ලැබෙන ලොකු ම දඬුවම බිත්ති මුල්ලට ගිහින් බිත්තිය දිහා බලාගෙන ඉන්න එක. අපි අද මෙහෙම ඉන්නෙ එදා අපේ දෙමවුපියො වරදක් දුටු තැන තරවටු කළ නිසා. හැබැයි, අද තත්ත්වය වෙනස්. දරුවකුට පුංචි තරවටුවක්වත් කරන්න බෑ. මානව හිමිකම් ප්‍රශ්න, පොලිසි යනවා. අද සමහර ළමයි දෙමවුපියන්ට කතා කරන හැටි දැක්කම මං එයාලව ළඟට අරන් අම්මා - තාත්තගේ අගය කියල දෙනවා.
වැරැද්දකට ටොක්කක් කෑවොත්, කනමිරිකුවොත් අපි තරහ ගන්නෙ නෑ. වරදක් කළ බව තේරුම් ගත්තා. හැබැයි අද? මේ වෙනස විනාශයට මුල කියලයි මට නම් කියන්න තියෙන්නෙ. දරුවො ලොකු මහත් වෙනවා කියන්නෙ අම්මල තාත්තල වයසට නොයනවා කියන එක නෙවෙයි. ඉතින් දරුවො වයසින් වැඩුණා කියලා දෙමවුපියන්ට ඔවුන්ට තරවටුවක් කරන්න බැරි වෙන්න බෑ. ඒක දෙමවුපියොත් තේරුම්ගත යුතුයි. දැන් ළමයි යාර 100 ක්වත් පයින් යන්නෙ නෑ. අපි පුංචි කාලෙ සැතපුම් 1 1/2 ක් විතර පයින් ගියා.
අපේ අම්මා දීපු අවවාදයක් මට අදත් මතකයි, “සුදුසු ලජ්ජාවත් බයත් වටිනා ස්ත්‍රී ආභරණයක්” තාත්තා කිව්වෙ, “හැමවෙලාවෙම කන්දෙක ඇරගෙන ඉන්න, කට වහගෙන ඉන්න. වැඩිය කියවන්න එපා” කියලා. අපේ අම්මාට දැන් අවුරුදු 91 ක්. තාත්තා අවුරුදු 34 කට උඩදී නැති වුණා.
• ඔබ දිගට ම නර්තනයට යොමු වුණා?
පාසලේදීත් නර්තනයේ යෙදෙනකොට ළමයි හොඳට බලාගෙන ඉන්නවා මම දැක්කා. ඉතින් ආසාවෙන් නැටුවා. තව උනන්දු වුණා. ඔය අතර වාරයේ රජයේ නර්තන විද්‍යාලයට බඳවා ගැනීමට ගැසට් කරලා තිබුණා. මම ඉල්ලුම් පත්‍ර දැම්මා. අම්මා විරුද්ධ වුණා. නොකා නොබී ඉඳලා තාත්තා කැමති කරවා ගත්තා.
1971 දී නර්තන විද්‍යාලයට තේරුණා. අවුරුදු 5 ක් ඉගෙන ගත්තා. අපේ කාලයේදී, 1974 දී මේ ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට එකතු කළා.
මම රාජ්‍ය නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක්. අඩු වයසකින් විදේශ සංචාරවලත් යෙදෙන්න අවස්ථාව ලැබුණා. මුල් ම විදේශ සංචාරය 1974 දී පාකිස්තානයට හා රුසියාවට. ඉන්පසුව වරින්වර දිගටම වගේ එවැනි අවස්ථා ලැබුණා. මං හුඟක් වාසන්වන්තයි කියල හිතෙනවා.
• ඔබ නර්තනය ඉගැන්වීම පටන් ගත්තෙ?
1975 දී. මම කලායතනයක් පටන් ගත්තෙ සුදර්ශි ශාලාවෙ. අද ඒක චාමර කලායතනය නමින් කොළොන්නාවෙ පවත්වාගෙන යනවා. දැන් අවුරුදු 43 ක් තිස්සේ මං නර්තනය උගන්වනවා.
1976 දී මට රජයේ ගුරු පත්වීමක් ලැබුණා. මුල්ම පත්වීම හලාවත මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයට. මේක අපේ අම්මාගේ සිහිනයක් සැබෑවීමකුත් වුණා. මං ඒ පාසලේ අවුරුදු 5 ක් හිටියා. ඊට පස්සෙ කොළඹ වේළුවන විද්‍යාලයට මාරුවෙලා ආවා. මේ පාසලේ අවුරුදු 14 ක් උගන්වලා විශ්‍රාම ලැබුවා.
• ඔබේ විවාහය සිදුවුණේ?
මේ අතර වාරයේ, 1989 දී. අපේ විවාහය ප්‍රේම සම්බන්ධතාවක ප්‍රතිඵලයක්. අපි අවුරුදු 8 ක් තිස්සේ දැන හඳුනාගෙන ඉඳල විවාහ වුණා. මගේ සැමියා හරේන්ද්‍ර රොද්‍රිගු. එයා කතෝලික. එතකොට මට ආගම් 3 යි. බෞද්ධ, හින්දු, කතෝලික. මම බෞද්ධ. මහත්තයා මාත් එක්ක පන්සලට යනවා. මමත් එයත් එක්ක පල්ලි යනවා. පුංචි කාලෙත් පන්සලට. කෝවිලට ගිහින් මට ඒ හුරුව තිබුණා. මම මේ ආගම් 3ට ම ගරු කරනවා.
• ඔබේ සැමියාගෙන් කලා කටයුතුවලට ලැබෙන සහාය කෙබඳු ද?
මහත්තයගෙ ක්ෂේත්‍රය ගණකාධිකරණය. පසුව ව්‍යාපාර අංශයට යොමු වුණා. මුලදී නම් ඔහු මෙය කරදරයක් ලෙස දුටුවෙ. බෙර හඩ එහෙම අහන්න අමාරුයි. හැබැයි මම සැලුණෙත් නෑ. ඔහු හොඳ පුද්ගලයෙක්. විවාහයට මට පොඩි බියකුත් තිබුණා. එයා කතෝලික නිසාත් මම බෞද්ධ නිසාත්. ඒත් ඇසුරත් සමඟ ඒ බිය දුරු වුණා.
අපට ම කියල දරුවො නෑ. හැබැයි, මට දරුවො ලක්ෂයක් විතර ඉන්නවා. මගේ ගෝලයෝ. අම්මා කෙනෙක් නොවී, අම්මා කෙනෙක් වගේ මං ඒ සතුට විඳිනවා.
පාසලේ උගන්වන කාලයේ මං හුඟාක් අවිවේකයි. ඒ ඉගැන්වීම් කරලා පන්තිවල කටයුතු කළේ සවස් කාලයේ. වෙහෙසකරයි. මහත්තයා කිව්වා ඔය දෙකෙන් එකක් තෝරා ගන්න කියලා. මම අවුරුදු 19 ක ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තා. මහත්තයා මට මෙතැන කලායතනය හදලා දුන්නා. එක තැනකට වෙලා ළමයින්ට උගන්වන්න. මේ කලායතනයට දැනට අවුරුදු 20 කට වැඩියි. මගෙන් ඉගෙනගන්න ළමයි මහත්තයාටත් ළෙන්ගතුයි. එයා ඒ දරුවන්ගේ පහසුකම් ගැන හොයලා බලලා වැඩ කරනවා.
ගිය අවුරුද්දෙ ‘ග්‍රීන් ලීව්ස්’ කියලා ඔහුගේ ව්‍යාපාරයක් පටන් ගත්තා වෝටර්ස්එජ් එකේ. එතැන ‘ශ්රීධරණී’ නමින් රඟහලක් විවෘත කළා. අපේ කලාවේ වටිනාකම විදේශිකයන්ට දැන ගැනීමට, රස විඳීමට සැලැස්වීම එහිදී සිදුවෙනවා. සතියකට වාර කිහිපයක් එහි රැඟුම් පැවැත්වෙනවා.
මේ දේවල් කිරීමේදී ව්‍යාපාරික අරමුණු මුදුනේ තියල නෑ. කලාවට රටට සමාජයට මිනිසුන්ට යහපත් දෙයක් කිරීමයි ප්‍රධාන අරමුණ.
• ඔබ නර්තන නිර්මාණය කළ නිර්මාණ ගැන... අපි ආරම්භක අවදිය සිහිපත් කළොත්...?
කුලුඳුල් නිර්මාණය, “සුරතල් එතනා” 1979 දී. ළමා පිටියේ සිටි කල්‍යාණි ධර්මවර්ධන බර පැන දැරුවා. බැස සීතල ගඟුලේ, සුරතල් එතනෝ ආදී ගීත 14 කට නර්තන නිර්මාණය කළා. මේ නිර්මාණය හරිම ජනප්‍රිය වුණා. එය තමයි ගීත නැටුම් කලාවේ ආරම්භය. මෙවැනි නර්තනමය ඉදිරිපත් කිරීම් තිබුණත් සරල ගී වලට නර්තනමය අරුතක් සැපයූ පළමු අවස්ථාව මේ.
ඊළඟට ‘කපිරිඤ්ඤා’ නිර්මාණයත් හුඟාක් ජනප්‍රිය වුණා. පෘතුගීසි යුගයේ කපිරිඤ්ඤා නැටුම් නැටුවෙ සාය ඔසොවාගෙන. එහෙම කළේ සාය පෑගෙන එක වළක්වාගන්න. පසුව මේක විලාසිතාවක් වගේ වුණා. නර්තනයට යොදා ගත්තෙ එයයි.
ප්‍රසංගවලට සහභාගි වුණා. ඒ කාලේ අද වගේ නෙවෙයි. අමරදේවගේ සිට එම්.එස්. දක්වා සියලු ගායක - ගායිකාවන් සහ අපි එකම බස් රථයකින් තමයි මේ ප්‍රසංගවලට යන්නෙ. ගුවන්විදුලි සංස්ථාව ළඟදි අපි හැමෝම එකතු වෙනවා. අමරදේවයන්ගෙන් පටන්ගෙන එම්.එස්. ගෙන් අවසන් වෙන විදිහට ගීත පෙළගැස්වුණේ. අපි ගීතවලට දේශීය නර්තනාංග ඉදිරිපත් කළා. ප්‍රසංගය අවසන් වුණාමත් හැමෝම ඒ බස් රියෙන් ම ගෙනැත් බැස්සුවා. ඒ මතක හරිම සුන්දරයි.
• ඔබ නර්තන කලාවට පිවිසි හා එහි හිණිපෙතට නැඟි අවදියේ පවා අද තරම් පහසුකම් තිබුණේ නෑ. ඒත් ඒ සීමා නම් ඔබ බාධාවක් කරගත්තේ නෑ?
අපි නර්තනයට පිවිසියේ ගැහැනු ළමයින්ට නටන්න පහසුවෙන් අවසර නොලැබුණු යුගයක. මට මතකයි අපි නර්තනවලදි අමුතුවෙන් වේශ නිරූපණ කළේ නෑ. ලිප්ස්ටික් ගාලා ඒවායින් ම ටිකක් පොල්තෙල් එක්ක කවලම් කරලා අත්ලේ ගාගෙන කම්මුල් දෙපැත්තෙ ආලේප කළා. ඇහි බැම ලොකුවට ඇන්දා භරත නැටුම්වල වගේ. වේශ නිරූපණ එපමණයි. අමුතු දෙයක් නෑ. ලොකුවට යමක් කරන්න වත්කමක් තිබුණෙත් නෑ. කොහොම වුණත් මේවා හරි සුන්දර මතක.
අද වාගේ විදුලි ආලෝක දහරා, සී.ඩී, ටී.වී. මොකවත් තිබුණෙත් නෑ. හැබැයි අපි නර්තනය කළා.
• එහෙම බලනකොට අද ඔය හැම දෙයක් ම තියෙනවා. ඕනෑවටත් වැඩියෙන් තියෙනවා. ඒත් නර්තනය ගත්තත් කලාත්මක බව, නිර්මාණශීලීත්වය ආදී කරණාවලින් යම් පිරිහීමකුත් පෙනෙනවා නේද?
මුදල් ඉපැයීම ම පරමාර්ථය වුණාම පරිහානියක් ඇති වෙනවා. ශාස්ත්‍රය හරියට ඉගෙන ගත යුතුයි. වටින් - ගොඩින් ඉගෙනගෙන කණ්ඩායම් හදාගත්තාම කලාවේ දියුණුවක් ඇති වෙන්නෙ නෑ. නර්තනය කියන්නෙ ඇඟ පෙන්වීම නෙවෙයි. අද බොහෝවිට ජනප්‍රිය වෙන්න හදන්නෙ එහෙම. නැටුම් කලාවෙදි මුල් තැන දිය යුත්තේ පහත් පෙළේ ශෘංගාරයට නෙවෙයි. මේ ක්ෂේත්රයට පිවිසෙන අය නර්තන කලාව නිවැරදිව හැදෑරිය යුතු වෙනවා. හින්දි ගීතවලට නැටීමත් අද රැල්ලක් වගේ වෙලා.
• ඔබ චිත්‍රපටවලටත් දායක වුණා?
යම් ප්‍රමාණයකට, නර්තනයෙන්. පාකිස්තානු චිත්‍රපටයක්. අජාසත්ත වගේ චිත්‍රපට කිහිපයකට.
• ඔබ ලැබූ සම්මාන අභිදාන?
කලාසූරී කලාභූෂණ සම්මාන රජයෙන් පිරිනැමුවා. නර්තනපති සම්මානයත් හිමිවුණා. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පදනම විශ්ව කලාකීර්ති සම්මානය පිරිනැමුවා. සර්වෝදය ඇතුළු තවත් සම්මාන ගණනාවක් හිමිවුණා.
• නර්තනය ඉගැන්වීමට අමතරව මේ දිනවල ඔබ යෙදෙමින් ඉන්නෙ?
කුඩා ළමයින්ට නර්තනය ඉගෙන ගැනීමට නර්තනයට සුදුසු ළමා ගී ඇතුළත් සංගත තැටියක් (CD) නිර්මාණය කරමින් සිටිනවා. එය ඔක්තෝබර් මාසයේදී පමණ එළිදැක්වීමට ලැබේවි. ඊළඟට වැඩිහිටි අයටත් එවැනි නිර්මාණකරන්න සූදානම් වෙනවා. අපේ දේ අගය කරමින් ඒවා රට රටවලට හඳුන්වා දීමටත් වෑයම් කරනවා. කලාව රැක ගැනීමට හැකි උපරිමයෙන් කැප වෙනවා.
සේයාරූ - සුදම් ගුණසිංහ