අසාර්ථක පවුල් ජීවිතය මත්පැන් දුම්වැටිවලටත් වඩා භයානකයි. | Page 3 | සිළුමිණ

අසාර්ථක පවුල් ජීවිතය මත්පැන් දුම්වැටිවලටත් වඩා භයානකයි.

අලු‍ත විවාපත්වුණු සුවීට කන්තෝරුවේ කවුරුත් කිව්වෙ ‘සුවී බැන්දට පස්සෙ හැඩ වෙලානෙ‘ කියලා. මේ කතාව නිතරම ඇහෙද්දි සුවීට පුංචි ලැජ්ජාවකුත් නොදැනුණා නෙමෙයි. ඒත් ඈ මේ කතා ගැන සිතෙන් සතුටු වුණේ ඇත්තට ම තමන්ගෙ අලු‍ත් ජීවිතේ සතුට මූණෙනුත් පේනවනේ කියලා හිතලයි. සුවී තමන්ගෙ සතුට ගැන හිතලා සතුටුවෙන්න තවත් හේතුවක් කතෝරුවේ ම තිබුණා; ඒ තමයි උමා. උමාගේ විවාහයත් සිදුවුණේ සුවී විවාහ වුණු දින වලම වුණත් උමාගෙ මූණෙ කලින් තිබුණු සතුටටත් විවාහයෙන් පස්සෙ අතුරුදහන් වෙලා කියලයි හැමෝම කිව්වෙ. ඒ විතරක් ම නෙමෙයි උමා නිතර නිතර ලෙඩ වෙන්නත් පටන් අරගෙන. ඇයි මෙහෙම වෙනසක්!

මේ වගේ කතා ඕනෑ තරම් අපේ අවට අපිට හමුවුණත් මේ වෙනසට හේතුව ගැන අපි කල්පනා කරන්නේ නැති තරම් ය.

‘විවාහය‘ හොඳ ශරීර සෞඛ්‍යකට මඟ කියනා බවත් , දිගු දිවියකට ආසිරි ගෙනෙනා බවත් නොයෙක් විට ලොව පුරා සිදු කර ඇති පර්යේෂණ වලින් පෙනී ගොස් ඇත. මේ වෙනස කෙසේ ඇතිවේ දැයි හා ‘නොහොඳ විවාහය ‘ජීවිතයට කෙසේ බලපාන්නේ දැයි බොහෝ විට කතබහට ලක්වී නැතුවා ඇති. ඒ නිසා හොඳ විවාහයක හොඳ කියනවාට වඩා නොහොඳ විවාහයක් වලකා ගැනීමටත් ‘අවධානමට පෙර සූදානම් වීමත් ‘ වඩා හොඳ වනු ද ඇති නොවෙද!

නවාඩා සහ මිචිගන්,එක්සත් ජනපද විශ්වවිද්‍යාල පර්යේෂකන්ගේ අලු‍ත්ම පර්යේෂණයක් නොහොඳ විවාහයක ‘නොහොඳ‘ වඩා තීව්‍ර ලෙස තහවුරු කර ගැනීමට සමත් වී ඇත්තේය. ඔවුන්ගේ පර්යේෂණයට අනුව විවාහයේ මුල් වසර 16 ගත කරමින් සිටි යුවල 373ක් සිය දායකත්වය ලබා දී අත.

දරුවන් ලබාගැනීම සහ හදා වඩා ගැනීම ,මුදල් වියදම් කිරීම, පවුලේ අනෙකුත් සාමාජිකයන් හා ඇති බැඳීම, විනෝදාංශ වලදී දෙදෙනාගේ එකඟවීම හෝ එකඟ නොවීම සෞඛ්‍ය කෙරෙහි කෙසේ බලපෑම් ඇති කරන්නේ දැයි සොයා බැලීම පර්යේෂණයේ අරමුණ වූ බව කියැවේ. පර්යේෂණයට සිය දායකත්වය ලබා දුන් සිවාමිපුරුෂයන්ට සහ බිරින්දෑවරුන්ට ප්‍රශ්නාවලියකට උත්තර බඳින්නට ද සිදුවී ඇත.

ශරීර සෞඛ්‍ය තමන්ගේ රාජකාරි කටයුතුවලට කෙසේ බලපාන්නේ ද, තමන්ට සිදු කර ගැනීමට උවමනා සියලු‍ දේ කර ගැනීමට අපහසුවකින් තොරව ඉඩ ලැබේද, නින්දේ දී අපහසුතා ඇති වේ ද, චකිතය නොසන්සුන් බව වැනි හැඟීම් වලින් පීඩා විඳී ද සහ නිතර හිසරදයෙන් වලින් පීඩා විඳින්නේ ද වැනි ප්‍රශ්න වලට ලැබුණු පිළිතුරු පර්යේෂණයේ අවසන් නිගමනයට දායක කරගෙන තිබේ.

සෞඛ්‍ය සම්පන්න බවට ලකුණු ලැබී ඇත්තේ ලකුණු පහෙනි. හොඳ ලකුණු ලබා ගත්තේ හොඳ සෞඛ්‍යයක් ඇත්තෝ බවට නිගමනය කෙරී ඇත. ගැටුම් අඩු එනම් පවුල ඇතුළත බොහෝ තීන්දු තීරණ එකඟතාවකින් ගන්න යුවල වලට ලකුණු සාමාන්‍ය හතරයි දශම බිංදුවයි හතකි. ගැටුම් වැඩි යුවලවල ලකුණු සාමාන්‍ය ලකුණු තුනයි දශම අටයි හයකි.

හොඳ ලකුණු ලබා ගත් යුවල වල සෞඛ්‍ය ගැන මේ එළඹ ඇති නිගමනය මින් පෙර සිදු කර තිබුණු පර්යේෂණ වල නිගමන ද තව තවත් තහවුරු කර ඇත. හොඳ විවාහයක හිමිකරුවන් හිමිකාරියන් වන කොයි කවුරුත් බෝ නොවන රෝග එනම් අධික රුධිර පීඩනය ,කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග තත්වයන්ගෙන් මිදී ජීවත් වන්නවුන් බව මේ සමඟ ම සිදු කළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත. හෘදයබාධ වලදී ද ජීවිතය රැක ගන්නට වැඩි වාසි හොඳ විවාහ ජීවිතයකින් ලබා දෙන බව ද කියැවේ. විවාහකයන් යම් රෝග ලක්ෂණයකදී තනිකඩයන්ට වඩා ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමු වීම බෝ නොවන රෝගවලින් ජීවිත රැක ගැනීමට විවාහයන්ට මඟ කියනා බව පර්යේෂකයන්ගේ නිගමනයයි.

හොඳ විවාහයක් මෙවැනි වාසි ගෙන දෙන්නා සේම නොහොඳ විවාහයක් නැතින් ම ගැටුම් සහිත විවාහයක්, නිතර ඇතිවන ශරීර ප්‍රදාහයන්, ශරීර උෂ්ණත්වයේ වැඩිවීම්, මානසික ආතතිය ඉහළ දමන හෝමෝනයන් නිකුත්වීම කෙරෙහි ද බලපෑම් ඇති කරයි. මෙකී සියලු‍ අහිතකර දේ හෘදයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීමට සේම ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට හේතු විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.

“විවාහ බැඳීමක් තුළ මත ගැටුම් නිතර ඇතිවීම හෘදයට ඉතාම හානිකර බලපෑම් ඇති කරනවා. ඒ බලපෑම අහයපත් සෞඛ්‍ය පුරුදු ලෙස කියැවෙන මත්ද්‍රව්‍ය, මත්පැන් සහ දුම්පානය කිරීම නිසා ශරීර සෞඛ්‍යයට සිදුවන බලපෑමට පවා දෙවන නොවන බලපෑමක්.

හරියට ම කියනවා නම් නොහොඳ විවාහයක් නිසා ඇතිවන බලපෑම මත්පැන් සහ දුම්බීම නිසා ඇතිවන බලපෑමට වඩා වැඩි වෙන්නටත් පුළුවන්.

මෙහෙම කියද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් විවාහ වීමෙන්ම පමණක් මේ සියල්ලෙන් මිදෙන්න පුළුවන් වේවි කියලා. එහෙම වෙන්නේ නැහැ. විවාහයක් යහපත් සෞඛයකට හේතු වෙනවා ද කියන දේ තීරණය වෙන්නේ විවාහ ජීවිතය තුළදී සහකරුවා සහ සහකාරිය ඔවුනොවුන් වෙනුවෙන් කරන කියන දේවල් සහ හිතන පතන විදිය අනුව ය. තමන්ගේ සහකරු හා නිතර ගැටුම් ඇති කර ගැනීම නිතැතින්ම හදවතට හානිකරයි.

පවුලේ කටයුතු වලදී එකඟතාවන් ඇතිකර ගන්නට නොහැකි වීම ඉතාම හානිදායක ය. ඒ කියන්නේ හොද සෞඛ්‍යයක් ඇති කරවන විවාහයක් පවත්වාගෙන යන්නට නම් ඔවුනොවුන්ගේ වැටහීම විශ්වාසය ඉතාම ඉහළ තැනක තිබිය යුතුයි. “පර්යේෂකයන්ගේ පැහැදිලි කිරීමේ කියැවෙන්නේ මෙවැන්නකි.

ආදරය දැනෙන්නේ හදවතට බව අපි නිතර කියන්නෙමු. එසේ වුව ආදරය හදවතට කෙසේ දැනේදැයි මෙතෙක් කල්පනා කර තිබෙන්නෙට නැත. ආදරය සැබැවින්ම දැනෙන්නේ හදවතට බව දැන් වෛද්‍ය පර්යේෂණ වලින් ද තහවුරු වී ඇත්තේ ය. ආදරයෙන් ගෙවිය හැකි ජීවිතයකට අනාදරය ළං වන විට එය දැනෙනේ හදවතට ය. විවාහය අනාදරයෙන් පිරෙනා විට හදවත ලෙඩ වන බව පර්යේෂකයන් කියන්නේ ඒ නිසා ම ය.

විවාහය ආදරය සහ විශ්වාසයන් සේම එකිනෙකාට ඇහුම් කන්දීම, එකිනෙකා වෙනුවෙන් ඉවසීම වැනි බැඳීම් රැසකින් ද බැඳී තිබිය යුත්තේ ය. ආදරයකින් බැඳෙනා කොයි කවුරුත් විවාහයකට එළැඹෙන්නේ සැමදා සතුටින් ජීවත් වන්නට ය. ඒ බලාපොරොත්තුව බිඳී යන්නේ පෙර කී ඇහුම් කම්දීම්, ඉවසීම් නැතිවිට ය.

විවාහ බැඳිමක් තුළදී ගැටුම් ඇතිවන වාරයක් වාරයක් පාසා ඔවුනොවුන්ගේ හෘදය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි තරමට හානියට පත් වේ. නිතර නිතර ගැටුම් ඇතිවීමේ බලපෑම කොතරම් ද කියන දේ අලුතින් විස්තර කිරීම උවමනා නැහැ.

නිතර ගැටුම ඇතිවෙන්නේ දෙදෙනා අතර අනවබෝධය නිසා, බොහෝ විට තමන්ගේ ජීවිත ගැන පුංචි හෝ තීරණයක් ගනිද්දි එකිනෙකා සමඟ කතා නොකිරීම නිසාය. ඒ නිසා විවාහ ජීවිතයක වැදගත්ම දෙයක් ලෙස අපි දකින්නේ ගැටුම් අවම කරගැනීම සදහා ඔවුනොවුන් සමඟ අවබෝධයෙන් කටයුතු කිරීමයි. පර්යේෂකයන් සිය නිරීක්ෂණ සහ නිගමන අනුව යමින් එවන් උපදෙසක් ද දෙයි

විවාහය අයහපත් වෙද්දී සැබෑවට ම රිදෙන්නේ හදවත ය. මත්පැනට දුම් බීමටත් වඩා විවාහයේ ගැටුම් හදවතට බලපෑම් කරන්නේ ය. නිකමට කියූ ‘ආදරයේ වේදනාව හදවත රිදවන්නේ ය‘ කියනා කතාව සැබෑ බව දැන් දන්නා නිසා හදවත රැක ගැනීමට විවාහය, විවාහයේ ආදරය රැක ගැනීම වටින්නේ ය. සිතන්න, නැවත නැවතත් හදවතේ ආදරය රැකගෙන ‘හදවත රැකගැනීම‘ ගැන!

 

Comments