අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් හනීෆා මොහොමඩ් නියාස් අල්ලස් ගැනීමේ වරදකට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කර තිබේ. ඒ අනුව බරපතළ වැඩ ඇතිව දස වසරකට ඔහු සිරගෙට නියම කරන ලද අතර, එය පස් වසරකින් ගෙවී යන ලෙස තීන්දුව දී තිබේ. ඊට අමතරව රුපියල් දස දහසක දඩයක්ද අල්ලස් ගත් රුපියල් පනස් දහස ආපසු අය කරගැනීමටද නියම විය. මේ අල්ලස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගෙන ඇත්තේ ගල් කොරියකට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම වෙනුවෙනි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධරයන් අධිකරණය විසින් වරදකරුවන් වීම, ඔවුන්ට බරපතළ චෝදනා එල්ල වීම දැන් නිතර සිදු වේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධරයන් වූ හිටපු ජනාධිපති ලේකම්වරයකු හා අමාත්‍යංශ අතිරේක ලේකම්වරයකු පසුගිය වසරේ අධිකරණය විසින් වරදකරුවන් කරන ලද්දේ කුප්‍රකට සිල්රෙදි බෙදාදීමට අදාළව සිදු කළ වරදකටය. එසේම මේ ඊයේ-පෙරේදා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානයා වූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් අල්ලස් ගනිද්දී අත් අඩංගුවට පත් විය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේශපාලන නියෝග ක්‍රියාත්මක කරන්නට ගොස් මූල්‍ය අපරාධයන් සිදු කළ තවත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධරයකු වැඩ තහනමට ලක්ව අධිකරණය හමුවේ චෝදනා විභාග වෙමින් පවතී.
එසේම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධරයාද සිටින්නේ වැඩ තහනමට ලක්වය. එම සේවාවේ තවත් නිලධරයන් කිහිප පොළකටම එරෙහිව චෝදනා එල්ල වී, ඒ අනුව නීති පියවර ගනිමින් පවතී. මේ සියලු චෝදනා එල්ල වන්නේද අධිකරණයෙන් වරදකරු වෙමින් පවතින්නේද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරීන්ටය.
තම සේවාවේ ජ්‍යෙෂ්ඨයන් අපරාධමය වරදකට චෝදනා ලැබීමත්, ඒ චෝදනාවලට වරදකරු වීමත් පරිපාලන සේවාවේ තිගැස්මට හේතුවක් නොවී පැවතීම තේරුම් ගත නොහැකිය. සාමාන්‍යයෙන් යම් කිසි වෘත්තියක යෙදෙන්නන්ට එරෙහිව එවැනි චෝදනා එල්ල වන විටත්, ඒ චෝදනාවලට ඔවුන් අධිකරණයේදී වරදකරුවන් වන විටත් ඒ සම්බන්ධයෙන් සේවාවේ සෙසු පිරිස සංවේදි වීම විය යුත්තකි. එසේම එවැනි වැරදි යළි නොවන්නටත්, ඒ නිසා තම සේවාව කෙරෙහි ඇති මහජන විශ්වාසය අහිමි කර නොගැනීමටත් ඔවුහු පියවර ගත යුත්තාහ.
එසේ නොවන්නට සිදු වන්නේ දිගින් දිගටම දූෂිතයන්, අපරාධකරුවන් හා වංචාකරුවන් බිහි වන අදාළ වෘත්තීය ක්ෂේත්රය සම්බන්ධයෙන් මහජන පිළිකුලක් ඇති වීමයි. දැනටම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දෙස සමාජයේ සංවේදි ජන කොටස බලන්නේ ප්‍රසන්න හැඟීමකින් නොවන බව නොරහසකි. ඊට හේතුව වන්නේ තම සේවාවේ සාමාජිකයන් රටේ නීතිය කඩ වන ලෙස රාජකාරියේ නිරත වන විටත් ඒවාට අධිකරණය මඟින් දඬුවම් හිමි වන විටත් නුදුටු නෙතින් නෑසූ කනින් සිටීමයි.
ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ කල්පනාව වන්නේ ඔවුන් විශේෂ රාජ්‍ය සේවකයන් කොටසක් බවයි. ඒ අනුව ඔවුහු පසුගියදා ඒ ඒ ශ්‍රේණීන්ට අදාළ වන පරිදි රුපියල් 15,000 සිට රුපියල් 50,000 දක්වා වූ අමතර ගෙවීමක් වෙනුවෙන්ද සටන් කළහ. එය සාධාරණීකරණය සඳහා ඔවුන් ප්‍රකාශ කළේ තමන් විශේෂ පරිපාලන හා කළමනාකරණ දක්ෂතා ඇති නිලධාරීන් පිරිසක් නිසා එකී දීමනාව හිමි විය යුතු බවයි. ඔවුන් තමන්ම හඳුන්වාගන්නේ එසේ නම්, එවැනි පිරිසක් අයත් විය යුත්තේ වෘත්තීයවේදී ගොන්නටය. එසේ නම් වෘත්තීයවේදීන්ට ජන සමාජය වෙනුවෙන් විශේෂ වගකීමක් පවතී.
මේ වගකීම වන්නේ එක අතකින් ජන ජීවිතයේ සංවර්ධනය සඳහා වගකීමකින් යුතුව රාජකාරී කිරීමයි. අනෙක මහජන විශ්වාසය හා ගෞරවය රැක ගනිමින් රාජකාරී කිරීමයි. එහෙත් රටේ අනෙකුත් ජන කොටස මෙන්ම අපරාධමය වරදකට චෝදනා ලබන හා ඒ චෝදනාවන්ට වරදකරු වන පිරිසක් සම්බන්ධයෙන් මහජන විශ්වාසය හා ගෞරවය ආරක්ෂා වන්නේ නැත. ඒ අනුව ඔවුන් දිගින් දිගටම තල්ලු වන්නේ විශ්වාසය හා ගෞරවය බිඳවැටුණු, පතුලක් නොපෙනෙන ආගාධයකටය.
එහෙත් කිසිම අවස්ථාවක ඔවුන් මේ සම්බන්ධයෙන් සංවේදි නොවීම ඛේදවාචකයකි. තම සේවාවේ ජේෂ්ඨයන් වූ ජනාධිපති ලේකම්වරයා සහ තවත් නිලධරයකු අධිකරණයෙන් වරදකරුවන් වී දඟගෙට නියම වද්දීත් ඔවුහු මුනිවත රැක්කාහ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානයකු වූ තවත් ජ්‍යෙෂ්ඨ නිලධරයකු අල්ලස් ගනිද්දී අත්අඩංගුවට පත් වත්දීත් පුරුදු පරිදි නිහඬ වූහ. තවත් අමාත්‍යංශ ලේකම්වරයකු දේශපාලකයන්ගේ වුවමනාවට කටයුතු කර නීතිය ක්‍රියාත්මක වත්දීත් මුනිවතම රැක්කාහ. එවැනි නින්දාසහගත සිදුවීම් හමුවේත් නිහඬව සිටින පරිපාලන සේවා නිලධරයෝ ජන ජීවිතයට සම්බන්ධ වෙනත් සිදුවීම්වලට අදාළව සංවේදි වේයැයි අප කිසි විට කල්පනා කළ යුතු නැත.
ශ්‍රී ලංකා පරිපාලන සේවාව යනු පිටකොටුවේ නාටාමිවරුන්ගේ සංගමය මෙන් වෘත්තීයවේදීන්ගෙන් තොර සේවාවක් නොවේ. එහි සිටින්නෝ ඉහළ අධ්‍යාපනය ලැබූවෝය; රජයේ ඉහළ තනතුරු දරන්නෝය. එවැනි පිරිසක් වෘත්තීයවේදීභාවය පසෙකින් තබා ගෝත්‍රිකයන් පිරිසක් ලෙස හැසිරීම අතිශය නින්දාසහගතය!
- අබරන්
[email protected]