සංහිඳියාවේ මිනිස්කම | Page 3 | සිළුමිණ

සංහිඳියාවේ මිනිස්කම

දිනය හරියටම කියනවා නම් 1991 ජූනි මස 15 වැනිදාය. යුද හමුදා පාඨමාලා අංක 33 යටතේ පුහුණුව ලැබූ හමුදා නිලධාරීන්ගේ විසිරයෑමේ පෙළපාළිය අවස්ථාවයි. මාත් මවුපියන් සමඟ දියතලාවට ගියේ මාගේ බාල සොහොයුරාගේ විසිරයෑමේ පෙළපාළියට සහභාගි වීමටය.

විසිරයෑමේ පෙළපාළිය අවසන් වීමෙන් පසු මල්ලීත් සමඟ යුද හමුදා ඇදුම් ලාගත් ඔහුගේ සහෝදර නිලධාරීහු දෙදෙනකුත් අප වෙත පැමිණියහ. එක් අයෙක් මල්ලීත් සමඟ එකම පාසලේ ඉගෙනුම ලැබූ යහම්පත්ය; අනෙක් තැනැත්තා රත්නප්‍රිය බන්දුයි.

‘අම්මේ, මේ මගේ හොඳම යාළුවො දෙන්නා...’

‘ඇයි? අනිත් අය යාළු නැද්ද?’

‘සේරම යාළුවො තමයි. ඒ අතරේ හොඳම අයත් ඉන්නව නේ...’

ඒ තුන්දෙනාම අම්මාටත් තාත්තාටත් වැඳ අවසානයේ මා ළඟට ආහ.

‘අයියේ, අපි හෙට-අනිද්දම මෙහෙන් යනවා. ආයෙ අපව බලන්න එන්න වෙන්නෙ උතුරු-නැඟෙනහිරට තමයි’ යැයි මාගේ බාල සොහොයුරා පවසද්දී මා ළඟට ආ ඔහුගේ මිතුරු රත්නප්‍රිය හෙමිහිට පැවසුවේ ‘අයියෙ, දුටුගැමුණු රජ්ජුරුවො යුද්දෙට ගියේ රජ සැප විඳින්න නෙමෙයිනෙ; රට රැකගන්න. අපි කරන්න යන්නෙත් ඒ ටිකමයි,’ කියාය.

කාලය ගත විය. මාගේ බාල සොහොයුරා අලිමංකඩදී රට වෙනුවෙන් දිවි පිදූවේය. ඒ අවස්ථාවේ පැමිණි රත්නප්‍රිය බන්දු මගේ මව බදාගෙන පැවසුවේ ‘අම්මගෙ පුතා නැති වුණේ නෑ. මමත් අම්මගේ පුතා තමයි’ කියාය.

මේ ලෙස මට රත්නප්‍රිය බන්දු ගැන වසර 27ක දීර්ඝ ඉතිහාසයක් දිග හරින්නට පුළුවන. සොහොයුරා මිය ගියද ඔහු සමඟ එක්ව සිටි රත්නප්‍රිය අපට අමතක වූයේ වත්, ඔහු අප අත්හළේ වත් නැත.

ඒ රත්නප්‍රිය බන්දු අද යුද හමුදාවේ කර්නල්වරයෙකි. ඔහු යුද හමුදාවේ නිලධාරියකු වුවත් පසුගිය වසර 6ක පමණ කාලයක් සේවය කෙළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තවය. ඒ සිවිල් ජනයාගේ හිත දිනාගන්නට හැකි නිලධාරියකු වූ නිසාය.

රත්නප්‍රිය බන්දුට 2012 වසරේ පැවරෙන්නේ සුළු-පටු වගකීමක් නොවේ. මුලතිව්, යාපනය, කිලිනොච්චි ප්‍රදේශවල මූලස්ථානය ලෙස විශ්වමඩුහි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශාඛාවක් ස්ථාපිත කර, එහි එල්ටීටීඊ ත්‍රස්තවාදී සාමාජිකයන් සංවර්ධන කාර්යයට දායක කරගැනීම ඔහුට පැවරිණි. ‘ඊළම මිස සටන අත් නොහරිමි’ යනුවෙන් සටන්පාඨ කියමින් සිටි මේ ජනතාව එසේ හමුදාවක් වෙත අනුයුක්ත කරගැනීම කිස්සේත් පහසු කාර්යයක් නොවේ.

අවසන් සටනේදී සිවිල් ආරක්ෂක බළකායේ 4000ක පිරිසක් යුද හමුදාවට බඳවාගනු ලැබූ අතර, සිවිල් ආරක්ෂකයෝද ඒ සඳහා සහාය දෙමින් ගම් බිම් රැකගැනීමෙහි යෙදුණාහ.

රත්නප්‍රිය බන්දු විශ්වමඩු වෙත යන්නේ යුද සමයේ එල්ටීටීඊ අංශ ප්‍රධානියකු වූ කැස්ත්‍රෝ විසින් භාවිත කළ බංකරය සහිත භූමියටයි. එහි ඉන්න හිටින්නට තැනක් හෝ විදුලි බලය හෝ නොවීය. අවම වශයෙන් බීමට ජල පොදක් හෝ නොවීය. රත්නප්‍රිය නිදා ගත්තේ පොළොව යට තනා තිබුණු එවකට දොරගුළු පවා නොතිබුණු ඒ බංකරයේ ඉටි පන්දම් සහ එක් ලන්තෑරුමක් දල්වාගෙනය.

රත්නප්‍රිය පළමුව සිදු කෙළේ හමුදා ඇඳුම පසෙක ලා සිවිල් ඇඳුමක් ඇඳගැනීමය.

පසුව එහි තිබූ ගරාවැටුණු කණු හතර උපයෝගී කරගෙක කුඩා ගොඩනැගිල්ලක් තනා පළමු කාර්යය ආරම්භ කෙළේය. එසේ වුවත් ඒ වන විට මේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ගැන ද්‍රවිඩ දේශපාලනඥයන් මෙන්ම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානත් ප්‍රචාරය කර තිබුණු කතා අතිශය දරුණු විය.

‘ආයිත් යුද්ධයක් ආවොත් දෙමළ ජනතාව ඉස්සරහට දාල යුද්ධ කරන්න හදන සැලසුමක්. ඕකට අහුවෙන්න එපා’ ඒ අනුව ජනතාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරන ලකුණු ඇති විය. එසේ වුවත් රත්නප්‍රිය වැඩේ අත්හැරියේ නැත. ඔහු පෙර කී පරිදි දෙමළ ජනතා සංස්කෘතියේම කොටස්කරු‍වෙක් විය. දකුණු ඉන්දීය සිනමා නළුවකු මෙන් කළු අවු කණ්ණාඩි දෙකක් පැලඳුවේය. ඒ අයුරින් ගමන් බිමන් ගියේය. ජනතා සිත් වේගයෙන් ඔහුට ඇදී එන්නට විය.

දෙමළ ජනතාවගේ හිත දිනාගත් රත්නප්‍රිය බන්දු දෙමළ ජනතාවගේ දුක සැප දෙකෙහිම නොසැලී සිටිමින් කටයුතු කෙළේය. උතුරේ සංචාරය කළ හැම අවස්ථාවකම පාහේ අපි ඔහුගේ මේ සහජීවනයට අවධානය යොමු කරන්නට කටයුතු කළෙමු. ඒ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගෙන් ලද අවසරය පරිදිය.

ඒ අවස්ථාවන්හිදී කර්නල් රත්නප්‍රිය බන්දු අපට තම අත්දැකීම් පැවසුවේය.

‘මට ලැබුණු අභියෝගය සුළු පටු නොවුණත් මම සැලුණෙ නැහැ. පුළුවන් නම් ඕකට 100ක් බන්දගෙන පෙන්වන්න කියල සමහරු කිව්ව. මම අද වෙනකොට 3,500ක් බඳවාගෙන තියෙනවා. තව 15,000ක් බලාගෙන ඉන්නව බැ‍ඳෙන්න. ඒ අය තුන් පාරක් පිකටිං කළා බඳවාගන්න කියලා. එකිනෙකා මරාගන්න බලාගෙන හිටපු සිංහල-දෙමළ ජාතිය එක් තැන් කරපු ප්‍රධානම තැන තමයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව. මම එල්ටීටීඊ තරුණියකුයි සිංහල සිවිල් ආරක්ෂක බළකා සෙබළෙකුයි කසාද බැන්දුවා. ගුවන් ත්‍රස්තවාදී දස්කම් තියෙන කෙනෙක් ඉන්නවා. එයාවත් කසාද බන්දල දුන්නා. විශ්වමඩු විතරක් නෙමෙයි මට අයිති මුලතිව්, කිලිනොච්චි, යාපනය පළාත්වල සියලු ජනතාවගේ අවශ්‍යතා සොයා බලන්න මම පුළුවන් විදිහට කටයුතු කළා.

ඉන්න තැනක් නැතිව විශ්වමඩු ආපු මම අවුරුද්දක් යනකොට එතැන විශාල පුහුණු පාසලක් බවට පත් කළා. පළාතේ ලොකුම ගොවිපොළ විශ්වමඩු ඉදි කළා. කිසිම වසක් විසක් නැතිව එළවුළු වගා කළා. ජනතාව වස විස නැතිව වවන්න පුරුදු කළා. ඒ ජනතාවගේ මරණෙකට මඟුලකට මම සම්බන්ධ වුණේ මගේම අයගෙ උත්සවවලට වගේ. මම කවදාවත් ඒ අය අපට විරුද්ධව සටන් කරපු අය ලෙසින් සැලකුවේ නැහැ. ඒක හින්ද ඒ හැම කෙනෙක්ම මට ආදරේ කළා. අද උතුරු පළාතේම දෙමළ ජනතාවගේ දැඩි විශ්වසනීය ආයතනය බවට පත් වෙලා තියෙන්නෙ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි. මෙහි සේවය කරන කෙනෙකුට රුපියල් 50000කට කිට්ටු වැටුපක් ලැබෙන නිසා ඒ අයට ඒක ලොකු සහනයක් වෙලා තියෙනවා. රජයේ සේවකයන් ලෙසයි ඒ හැම කෙනෙක්ම සලකන්නෙ...’ රත්නප්‍රිය එක් එක් පුද්ගලයන්ගේ චරිත අනුව කාර්යයන් බාර දුන්නේය. මාතලේ ඉපිද පසුව 1983 වසරේ කලබල නිසා ඒ ප්‍රදේශයෙන් පලාවිත් ක්‍රියාකාරී ත්‍රස්තවාදී නායකයකු බවට පත් වූ තැනැත්තා ප්‍රධාන භාෂා පරිවර්තකයා ලෙස පත් කරන ලදි. නිරතුරුවම කායික ශක්තිය වැය කරන්නට අවශ්‍ය අයෙක්ද ඔහුට හමු විය. වියළි කාලයේදී ජලය රැස් කරගැන්මට අවශ්‍ය අක්කර 50ක වැවක් ඔහුගේ මූලිකත්වයෙන් ඉදි කරන්නට රත්නප්‍රිය කටයුතු කළේය. ඒ කිසිදු මුදලක් රජයෙන් හෝ ලබා නොගනිමිනි.

අනෙකා පරයා තමන් ඉහළ තැනැත්තා යන සංකල්පය වෙනුවට ‘අපි සියලු දෙනාම එක් ලක්මවකගෙ දරුවෝ වෙමු!’ සංකල්පය ගෙන ආ රත්නප්‍රියට උතුරේ ජනතාව තම පියා ලෙස සැලකුවේ එහෙයිනි.

ඔහු විශ්වමඩුවලින් යන පුවත ඇසූ පාසල් දරුදැරියන්, වයෝවෘද්ධ පුද්ගලයන් මෙන්ම ඇවිදගන්නට හැකියාවක් ඇති සෑම අයකුම එහි පැමිණියේ එම නිසාය. එදා අවි අමෝරාගෙන හිතක්-පපුවක් නැති අය ලෙස ක්‍රියා කළ අප රුදුරු ත්‍රස්තවාදීන්යැයි පැවසූ අයද එහි පැමිණ කඳුළු වගුරුවමින් හැඬූහ. වෙනම රාජ්‍යයක් ඉල්ලමින් සිංහල මුස්ලිම් ජනතාව පන්නා දැමූ ඒ අය කිව්වෙ ‘අනේ සර් යන්න එපා’ යන්න පමණය.

පසුගිය සෑම උපන් දිනයකටම ඔහු හට දෙමළ ඔහුගේ රුව යොදා ජනතාවගෙන් සිහිවටන ලැබිණි. ඒ කිසිවකු හෝ ඒවා ලබා දෙන්නැයි යන්න පවසා නොවේ; ජනතාවගේ හදවතින්ම උපන් සෙනෙහසයි. අදද ඒ සියලු දෙනා පවසන්නේ තම ගුරුවරයා තම පියාණන් තමන්ට අහිමි වූ බවකි.

උතුරු පළාතේ ප්‍රධානම භාෂා පරිවර්තකයා වන තමිල් චෙල්වම් අපට කිව්වේ මෙවන් කතාවකි:

‘කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි යුද්ධයක් කරපු අපි හරි පාරට ගෙනැල්ල අපටත් ලෝකයේ වටිනාකමක් ලබා දුන්නෙ රත්නප්‍රිය සර්. මට හොඳට සිංහල පුළුවන්. ලෝවැඩ සඟරාවෙ කවි 108ක්ම මට හොඳට කට පාඩම්, මුලතිව්, කිලිනොච්චි පළාත්වල තියෙන තියෙන හැම වැඩසටහනකම වගේ සිංහල දෙමළ භාෂා පරිවර්තකයා වන්නෙ මම. මට ඒ වටිනාකම ලබා දුන්නෙ රත්නප්‍රිය සර්. එදා කිලිනොච්චියෙ යුද හමුදා කඳවුරට, මුලතිව් කඳවුරට අපි ගියේ ඒ අය වනසන්න. අද අපි යන්නෙ සහෝදරත්වයෙන්. ඒ තත්ත්වය අපට දුන්නු අපේ පියා අපෙන් වෙන්ව යෑම උහුලන්න බැරි දුකක්.’

පුදුකුඩුඉරිප්පු දිවි ගෙවන රශ්මිද අපට අදහස් පැවසුවාය:

‘මගේ අතීත ජීවිතය ගැන කියන්න මම කැමැති නැහැ. අද මම විවාහ වෙලා ඉන්නෙ සිංහල තරුණයෙක් එක්ක. ඒ දිනේෂ් කුමාර. එයා තමයි පුදුකුඩුඉරිප්පුවල ඉන්න එකම සිංහලයා. එදා මම එල්ටීටීඊ සංවිධානයේත් එයා සිවිල් ආරක්ෂක බළකායෙත් ඉදල අපි එකිනෙකා මරාගන්න සටන් කළා. අද අපි දෙන්න කසාද බැඳලා ළමයිත් ඉන්නවා. මම මේ සතුටින් හිනා වෙලා ඉන්න මුහුණ වෙනුවට හදතින් අපට දැනෙන්නෙ අපේම සහෝදරයෙක් නැති වුණාට වඩා ලොක දුකක්.’

ශෂී විශ්වමඩු සිටින විශේෂ පුද්ගලයෙකි:

‘අපිට තාත්ත කෙනෙක්, ගුරුවරයෙක් වගේම ආගමික නායකයෙක් ලෙසින් තමයි රත්නප්‍රිය බන්දු සර් පිහිට වුණේ. අපේ ආගම ජාතිය කුලය කිසිම දෙයක් ගැන කවදාවත් අහල නැහැ. මගේ උස අඩුකම නිසාම මට ඉස්සර ලොකු ඉල්ලුමක් තිබුණා. මම අද දරුවන් දෙන්නකුගේ පියෙක් වෙලා ඉන්නෙ සර් නිසා. සර් යනවා කියන්නෙ මේ පැත්තට තවත් විශාල පාඩුවක්. ඒ වේදනාව තමයි මේ හැම දෙනාගෙන්ම පිට වෙන්නෙ.’

ධර්මපුරම් කියන්නෙ අවසන් සටනේ මර්මස්ථානයක්. එහිදී කියුමන්ට පැවරුණේ ලොකු කාර්යයක්. ඒත් අද ඔහු කියන්නේ වෙනත් කතාවක්:

‘මේ ගම්වල ඉන්න අය සර්ට කිව්වා අඩුම ගානේ මෙහෙන් ගෙයක් දෙන්නම් වැටුපටත් වඩා ලොකු ගාණක් හොයල දෙන්නම් මෙහේට වෙලා අපට උපදෙස් විතරක් දෙන්න කියලා. ඒත් සර් කිව්වෙ මම සල්ලි බලාගෙන වැඩ කරපු කෙනෙක් නෙමෙයි, අපි හැමෝම වෙලාව ආවහම යන්න ඕන, ජීවිතෙන්ම සමුගන්න වෙන වෙලාවලුත් තියෙනව කියල. සර් යන දවසෙත් අපට අලුත් පාඩමක් කියලා දුන්නා.’

කර්නල් රත්නප්‍රිය බන්දු යන චරිතයට හිමි වන්නේ එවන් සහතිකයන්ය. සංහිඳියාව යන්න බලෙන් හෝ පෝස්ටර් ගසා හෝ ඇති කළ හැක්කක් නොවේ. එය ජනතා හදවතින්ම ඇති කළ යුතු වේ. රත්නප්‍රිය බන්දු කළේ එවැන්නකි.

Comments