
දැනට වසර 200ක් පිරෙන, 1818 ඌව-වෙල්ලස්ස පෙදෙසින් ඇරැඹෙන නිදහස් අරගලය බොහෝ දෙනා හඳුන්වන්නේ සිංහලේ සැබෑ ජාතික සටන ලෙස ය. සටනට මුල්ම ඊතලය විදි තැන සිට මේ අරගලයේ තීරණාත්මක තැන් සොයා අපි සංචාරය කළෙමු. පසුගිය සති හය පුරා ඒ ලිපි මාලාව සිළුමිණ පුවත්පතේ පළ කෙරිණි. මේ එම ලිපිමාලාවේ අවසන් කොටසයි.
මරුගෙදර ඒ ගෙදරට කියන නමය.
පිහිටා තිබෙන්නේ බිබිල, කොටසර පියංගල රාජමහා විහාරය අසලට වන්නට ය.
“සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මරපු හිටිහාමි රටේරාලතුමාගේ පරම්පරාවේ කට්ටිය නිසයි, මේ ගෙදරට ඒ නම කියන්නේ” ජනශ්‍රැති ගවේෂක පැතුම් ජයසුන්දර කියයි.
මේ දවස්වල බිබිලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව යාන්තම් අඩු වූ මොහොතක අපි මරු ගෙදරට ගොඩ වැදුණෙමු. සැන්දෑ අඳුරට වැහි අඳුර මුසු වූ විට පරිසරය වෙනදාට වඩා කලින්ම රාත්‍රියට ආරාධනා කර ඇති සෙයකි. ඒ අස්සේ ඇදහැලෙන වැහිපොද නිසා ඒ අඩි පාරේ පිය නැඟීම පහසු නැත. මඩ ගොඩ මත ගැටෙන පාවහන් ‘චිරි... චිරි...’ ගා හඬ-තළයි. පාර අයිනේ කොන්ක්‍රීට් ගලින් ඉදි කළ නිවෙසකි. කපරාරු නොකළ එහි බිත්ති ඒ බවට සාක්ෂි දරයි. නිවෙසේ සිටි අයෙක් අප ඉදිරියට පැමිණියේය.
“මේ තමයි අපි හොයාගෙන ආව කෙනා...” පැතුම් ජයසුන්දර කියයි.
හීන්දෑරිම නොවුණත් උස් සිරුරකට හිමිකම් කියන මේ පුද්ගලයා නමින් ‘හේරත් මුදියන්සේලාගේ ගුණබණ්ඩා’ ය; 1818 ඉංග්‍රීසි පාලනයට එරෙහිව දියත් වූ අරගලයේ පළමු ඊතලය විදි හිටිහාමි රටේරාලගේ පස් වැනි පරපුරේ සාමාජිකයෙකි. ඔහු අප සමඟ කතාබහට අර අඳින්නේම, තමාට ලොකු අසාධාරණයක් සිදුව ඇති බව පවසමිනි...
“එදා අපේ මුත්තා සටනට විශාල සේවයක් කළා. දැන් අවුරුදු දෙසීයක් වෙනවා. නොයෙක් දෙනා මුත්තා ගැන කියලා සම්මාන ආදිය ගත්තා. ඒත් අදටත් අපිට මොකුත් ලැබිලා නැහැ!”
ඒ සමඟම තම පරපුරේ අතීතය පිළිබඳවද ඔහු මුඛපරම්පරාගතව ආ තොරතුරු රැසක් ඉදිරිපත් කරන්නට විය.
“හේරත් මුදියන්සේ කියන්නේ ඌව වෙල්ලස්සේම හිටපු අයයි. ඒක මේ පැත්තේ ඕනෑම කෙනෙක් දන්නවා. මීගහපිටියේ රටේරාල, ගම්ඇති රාල මේ කට්ටිය ඔක්කොම රජ කාලේ ඉඳන් වෙල් අස්වද්දලා හිටපු පරම්පරාවක්. අපට සෑහෙන ගොඩ-මඩ ඉඩම් තිබිලා තියෙනවා. අපට අද මේ වගේ තත්ත්වයක් උදා වුණේ සුද්දන්ගේ කාලේ දේපොළ රාජ සන්තක කිරීම නිසයි. පන්සල්වල ඉඩම්, දේවාලවල ඉඩම් කිසිවක් රාජසන්තක කෙරුණේ නැහැ. ඒත් සාමාන්‍ය වැසියන්ගේ ඉඩ-කඩම් සියල්ල රාජ සන්තක කෙරුණා. සමහර පවුල් පිටින් මරද්දි, සුද්දෝ අපිව නොමරා මැරුවා. කොටසර තියෙන අපේ ඉඩමට රතු තිතක් තියලා තියෙන්නේ. මේ නිසා අපට දේපොළ කිසිවක් නැහැ; සල්ලි-බාගේ නැහැ. වෙනත් අය ඉදිරිපත් වෙලා සම්මාන ආදිය ගන්නවා. අපිට මොකුත් නැහැ!”
මරුගෙදර භූමියට රතු තිතක් තබා ඇත්තේ ඇයි යන පැනයට පිළිතුරු දෙන පුරාවිද්‍යා ගවේෂක, මානව වංශ විද්‍යා ජනශ්‍රැති පර්යේෂක,කථිකාචාර්ය විරාජ් නිරංජන් බාලසූරිය...
“විල්සන් මරපු නිසා මේ අය රාජද්‍රෝහීන් ලෙස නම් කරලා රතු තීන්තෙන් ලියලා තියෙනවා. මේ නිසා මේ අයගේ ඉඩම් රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා රාජසන්තක කරනවා. ඒකෙන් ඒ අය කවදාවත් රාජ්‍ය සේවයට සුදුසු නැහැ කියන-එකයි කියලා තියෙන්නේ. ඒත් මෙහිදී නම් වෙනස් කරගත්තු අය පස්සේ රජයේ රස්සා අරගෙන තියෙනවා. ඒ වගේම මේ අයට ඉඩම් නැහැ. දැන් මේ ඉන්නේ ඒ කාලේ සොහොන් පිට්ටනියක් වෙලා තිබුණු තැනකයි...”
ඉංග්‍රීසි උප-ඒජන්තවරයා වූ ඩග්ලස් විල්සන්ට මාරාන්තික ඊ පහර විදි හිටිහාමි රටේරාලට, ඊතල පහර විදීමෙන් පසු සිදු වූයේ කුමක්ද යන්න අදටත් නොවිසඳුණු අබිරහසකි. මේ සම්බන්ධයෙන් ජනප්‍රවාද ගණනාවක් ප්‍රදේශයේ ව්‍යාප්තව පවතී.
“විල්සන්ට විද්දට පස්සේ මුත්තා කණුගොල්ලේ ගල්ගෙයක් ඇතුළේ සැඟවිලා ජීවත් වෙලා තියෙනවා. දවසක් සුද්දො ඇවිල්ලා තියෙනවා මුත්තා අල්ලන්න. එතකොට මුත්තා පැනලා දුවලා. ඒ පැනලා දුවන කොට අතරමඟ බූටෑවේ රටේරාලගේ නැන්දා කෙනෙක් කිරි දොවමින් ඉඳලා තියෙනවා. සුද්දො ඇයගෙන් අහලා තියෙනවා මෙතැනින් කවුරුහරි දුවනවා දැක්කද කියලා. ඇය කියලා තියෙනවා දැක්කේ නැහැ කියලා. පස්සේ ඇත්ත කියන්න කියලා ඇගේ කන්දෙක කපලා. ඒත් දැක්කේ නැහැ කිව්වම තවත් වද දීලා තියෙනවා. අන්තිමට ඈ මැරෙනකම්ම වදදීලා. කොහොම වුණත් ඇය මොකුත් කියලා නැහැ. පස්සේ ගල්ගුහාවට වෙලා මුත්තා ඉන්න කොට රත්ති කියලා කනවැද්දුම් ගෑනු කෙනෙක් එක්ක යාළු වෙලා ඉඳලා තියෙනවා. ඒ ගෑනු කෙනාට හිටපු ළමයා තමයි මුත්තා ගැන විස්තර සුද්දන්ට කියලා තියෙන්නේ...” ගුණබණ්ඩා කියයි.
මෙසේ අල්ලාගන්නා හිටිහාමි රටේරාල නුවරට ගෙනයෑම සම්බන්ධයෙන්ද අපූරු ජනකතාවක් පවතී:
“මුත්තව අල්ලගත්තට පස්සේ ‘තොපි කොහෙද මාව ගෙනියන්නේ?’ කියලා අහලා තියෙනවා. ඊට පස්සේ මුත්තා කියලා තියනවා ‘උඹලට මාව ගෙනියන්න ඕනෑ නම් කූණමක් හදාගෙන කර තියාගෙන පල!’ කියලා. පස්සේ කූණමක් හදාගෙන නුවරට ගෙනිහිල්ලා තියෙනවා. නඩුව ඉවර වුණාට පස්සේ කූණමත් එක්ක මුහුදට දැම්මා කියලයි මෙහෙ මිනිස්සු විශ්වාස කරන්නේ...” ගුණබණ්ඩා කියයි.
“මරණෙන් පස්සේ මුත්තා කොටබෝවේ කූණම් බැඳි අලුත් බණ්ඩාර දෙවියෝ වුණා...” වැඩි දුරටත් පැවසූ ගුණබණ්ඩා සිය දෑත් එක් කර නමස්කාර කරන සෙයක් පෙන්වයි.
හිටිහාමි රටේරාල දේව ආත්මයක් ලැබුවද-නොලැබුවද කොටබෝව දේවාලයේ කෙරෙන යාතිකාවල මේ සම්බන්ධයෙන් විස්තර වන බව කථිකාචාර්ය විරාජ් නිරංජන් බාලසූරිය තහවුරු කරයි.
හිටිහාමිගේ ඊතල පහරින් මේ සටන ඇරඹිණි. එතැන් පටන් උණුසුම් මුහුණුවරක් ගත් සටන්බිමේදී ඉංග්‍රීසිහු නොසිතූ අන්දමේ දරුණු අභියෝගයන්ට ලක් වූහ.
මේ බව ජෝන් ඩේවි ‘ඩේවි දුටු ලංකාව’ නම් කෘතියේ මෙසේ සඳහන් කරයි.
“අතීතයේ අප සටන් කළේ පෙරදිග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කීර්තිය සඳහාය. අද අපි නම්බුව රැකගැනීම සඳහා සටන් කරමු. ඌවේ හා වෙල්ලස්සේ මිනිසුන්ට එරෙහිව කරන මේ සටනේදී අප යොදන තරම් විශාල හමුදාවක් අප පෙර කිසිකලක නොයෙදවීමු. අප මේ සටනින් දිනන බවක් පෙන්වන ලකුණු නැත...”
කෙසේ වෙතත්, සටන් ඇවිළෙද්දී දොරේසාමි කුමරාගේ රාජකීය උරුමය පිළිබඳ ගැටලු ඇති විය. එක් අතකින් ස්වදේශීය පිරිස් ඒ අරභයා ගැටුම් ඇති කරගත්හ. මේ සිදුවීම පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය මාලිනී ඇඳගම මහත්මිය.
“ඒ කාලේ රජකම අනුමත කිරීමේ බලය තිබුණේ නිලමේවරු, අධිකාරම්වරු, දිසාවේවරු වගේ අයටයි. එහෙම ලංකාවේ අන්තිමට රජ වුණු කෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමායි. එතුමාටත් රාජකීය උරුමයක් තිබුණේ නැහැ. එහෙත් ඔහුට රාජත්වය ලබාදෙන්න නිලමේවරු, අධිකාරම්වරු, දිසාවේවරු කැමැති වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් පස්සේ උඩරට ගිවිසුමේ 1,2, 3, වගන්තිවලට අනුව බ්‍රිතාන්‍යයේ රජු රජ ලෙස පිළිගන්න මේ නිලමේවරු ඇතුළු පිරිස කැමැති වුණා. දැන් විල්බාවේගේ ප්‍රශ්නය ගත්තොත් ඔහු රජ වුණේ ඔහු විසින්මයි. ඔහුට සහාය දුන්නේ ඔහු වටා සිටි පිරිසක් සහ වැදි ජනතාවයි. මෙතෙන්දි නිලමේලගේ කැමැත්ත විමසීමක් වෙලා නැහැ. මේ නිසා ඔහුගේ රාජත්වය පිළිගැනීමට ලක් වුණේ නැහැ...”
මේ තත්ත්වය මත මඩුගල්ලේ උඩගබඩා නිලමේ විසින් මොහු සිර බාරයට ගන්නා ලදි. කෙසේ වෙතත් සිරබාරයේ සිටියදී භික්ෂූන් වහන්සේගේ උදවුවෙන් පැන යෑමට විල්බාවේ සමත් වේ.
“මඩුගල්ලේට වෙනම රජෙක් හොයාගන්න ගියා. තෝරගත්තු රජතුමා නියම රජතුමා නොවෙයි කියන මතය එයා වැපිරුවා. විල්බාවේ හිරබාරයට ගත්තට පස්සේ යුද්දේ අඩපණ වුණා. මිනිස්සු ඈත් වුණා. නැවත යුද්දෙ උග්‍ර වෙද්දි මිනිස්සු යුද්දෙට එන්න මැළි වුණා. සටන දියාරු වුණා...” ටැම්ගොඩ රාජමහා විහාරාධිපති ඊතණවත්තේ අත්තදස්සි නාහිමි පවසයි.
මේ වන විට ඉංග්‍රීසීන්ද විල්බාවේ පිළිබඳ සියලු තතු හෙළි කරගෙන තිබිණි. ඒ උඩුගම උන්නාන්සේ මඟිනි.
“උඩුගම හාමුදුරුවෝ මෙයා ඇත්ත රජෙක්ද කියලා හොයලා බලන්න කුරුණෑගලට යනවා. එතෙන්දි කවුරාල කියන මෙයාගේ මල්ලිව හම්බ වෙනවා. එතෙන්දි කවුරාල සියලු විස්තර කියනවා. ඔහු කියනවා විල්බාවේ කියන්නේ මගේ අයියා කියලා. පස්සේ උඩුගම හාමුදුරුවෝ මේ ඔක්කොම ඩොයිලිට කියනවා. ඊළඟට මේ හාමුදුරුවෝ විල්බාවේ සහ කැප්පෙටිපොළ හම්බ වෙලා සියලු විස්තර ගන්නවා. දින නවයක් කැප්පෙටිපොළ එක්ක හිටියා කියලයි කියන්නේ. මෙයා හාමුදුරු කෙනෙක් නිසා කවුරුත් සැක කරලත් නැහැ...” ජනාශ්‍රැති ගවේෂක පැතුම් ජයසුන්දර කියයි.
ඒ අනුව ඔවුහුද දොරේසාමි ව්‍යාජ රාජ උරුමක්කාරයකු බව තහවුරු කරගත්හ. මේ සමඟම ඉංග්‍රීසීහු සටන මර්දනය කිරීමට කුරිරු, අමානුෂීය ක්‍රම උපයෝගි කරගත්හ. ඉංග්‍රීසීන්ගේම වාර්තාවලට අනුව සටන මර්දනය කෙරුණේ අමානුෂීය අන්දමිනි. කැලඩින් නමැති කැරලි මර්දන භටයාට අනුව එය මෙසේ විස්තර වී තිබිණි:
‘අතට හසු වූ සියල්ල ගිනිබත් කරමින් හා සිරබාරයට ගත නොහැකි වූවන්, වෙඩි තබා දමමින් රට පීරා යෑමට භට කණ්ඩායම් පිටත් කරහරිනු ලැබීය. එක් පස්-දින ප්‍රහාරයකදී ගෙවල් 300ක්ද, පොල් ගස් හා පලතුරු ගස්ද, ගෙවල බඩු හා හැළි වළන්ද - ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනයට ගත හැකි හැම දෙයක්ම - විනාශ කරන ලදි.’
ඉන් දශක අටකට පසු බ්‍රිතාන්‍ය ජාතික විනිශ්චයකරුවකු වූ ආචිබෝල්ඩ් ලොරි වෙල්ලස්සේ කැරැල්ල මර්දනය කළ ආකාරය පිළිබඳ මෙසේ පවසා තිබේ:
‘1817, 1818 සමයේ බ්‍රිතාන්‍යයන්ගේ උඩරට පාලනයේ කතාව ලජ්ජාවකින් තොරව සිහිපත් කළ නොහැකිය. 1819 වන විට, ජනතාවගේ නායකයන් සහ ප්‍රධාන පවුල්වල කිසිදු සාමාජිකයකු ඉතිරි නොවූ තරම්ය. තුවක්කුවෙන් හා කඩුවෙන් බේරුණු අය කොලරාවට හා වසූරියට ගොදුරු වූ අතර, අගහිඟකම් නිසා සිය ගණන් මිය ගියහ.’
ඉංග්‍රීසීන්ගේ බිම් පාළු ප්‍රතිපත්තිය, ස්ත්‍රීන් දූෂණය කර මරාදැමීම හා කුඩා දරුවන් මරාදැමීම, කඩා බිඳදැමූ වැව්වල මැලේරියා වසංගතය ව්‍යාප්ත කිරීම ආදි ලෙසින් වසර 300කටත් නොනැඟිටින ජාතියක් ලෙස වෙල්ලස්ස නම් සුන්දර බිම විනාශ කරන ලදි. කෙසේ වෙතත් ඉංග්‍රීසීන්ට විල්බාවේ අල්ලාගැනීමට හැකියාව ලැබුණේ වසර ගණනාවකට පසුවය. ඒ 1830 මාර්තු 23 වැනි දිනය. ඒද තවත් හිමිනමක වූ පුස්සේගොඩ උන්නාන්සේ නම් හිමි නමකගේ චරපුරුෂ සේවාව හේතුවෙනි. ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූවද, ඔහුට දඬුවම් කිරීමක් සිදු වූයේ නැත.
වෙල්ලස්සේ සටන පැවතියේ නිලමේවරුන්ට වඩා පීඩාවට පත්ව සිටි සාමාන්‍ය ජනතාව අතරිනි. නිලමේවරුන්ට වුවමනා වී තිබුණේ තම බලය රැකගැනීමය. ඒ නිසා මෙහි සැබෑ විරුවන් වූයේ නිලමේවරුන් නොවේ; තනතුරු හා දේපොළ මතු නො ව; තම ජීවිතය හා අඹුදරුවන් පවා නොතකා කටයුතු කළ සාමාන්‍ය ජනතාවය. එහෙත් ඒ ගැන නිසි අවධානයක් තිබේද යන්න ගැටලුවකි. එපමණක් නොව; ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් ප්‍රකාශ කරන පරිදි මේ සටනට මූලිකත්වය දී කටයුතු කළ ආදිවාසි පිරිස් පවා අද බොහෝ විට අමතක කර කටයුතු කිරීම කනගාටුවට කරුණකි.
සේයාරූ - සමන්ත වීරසිරි