
මී මැස්සන් මල් පැණි සොයන්නේ කුමන ආකාරයේ ශාකවලින් ද යන්න පිළිබඳව පසුගිය සතියේ දී අපි විමසා බැලුවෙමු. මේ ආකාරයට හොඳින් මධු වහනය වන ශාක විශේෂ ගණනාවක් වියළි කලාපීය වනාන්තර පුරා විසිරී තිබෙන මුත්, ඒවායේ පැතිරීම විරලවීම හා තැනින් තැන පිහිටා තිබීම නිසා ඒවා හඳුනාගැනීම අපහසුය. වියළි කලාපීය හේන්වල වගා කරන “තල” වගාවන්හි මල් පිපෙන කාලයට, බිඟු ජනාවාස එම ප්‍රදේශ වලට ගෙනයාමෙන් හොඳ පැණි අස්වැන්නක් ලැබේ. මීට අමතරව, වසර මුලුල්ලේ වරින් වර මල් පිපෙන “කෝපි”, හොඳ බිගු ගෝචර ශාකයක් ලෙස හදුනාගත හැකි අතර, “රඹුටන්”, “අඹ”, “කජු” වැනි ශාක වල මල් පිපෙන කාලයට ඒ වෙත මීමැස්සන් ඇදී ඒම, දක්නට ලැබේ. එම බිගු ගෝචර ශාක මඟින් ලබාගත හැකි පැණි අස්වැන්න පිළිබඳව නිවැරැදි තක්සේරුවක් ලබාදීමේ හැකියාවක් නෑ. මීට අමතරව, වියළි හා තෙත් කලාපවල සෙවණ ශාක ලෙස මෙන්ම ආධාරක ශාක ලෙස වගාකරන “ඇල්බීසියා”, “ග්ලිරිසීඩියා” හා “කැලිඇන්ඩ්‍රා” වැනි ශාක හොඳින් මධු වහනය වන ශාක ලෙස හඳුනාගත හැකි අතර, මේ අතරිනුත් කැලිඇන්ඩ්‍රා පහසුවෙන් වගාකළ හැකිය.
වසර මුළුල්ලේ මල් හටගන්නා හොඳ බිඟු ගෝචර ශාකයක් ලෙස සෙවණ ශාක ලෙස හදන “කහමාර”, ආවරණ වගාවන් ලෙස වගාකරන “වෙඩේලියා” හා බොහෝ නිවස්වල අලංකාරය සඳහා සාදන “ඇන්ටිගොනොන්” යන ශාක සියල්ල බිඟුන් සඳහා මධු සැපයිය හැකි හොඳ මධු ප්‍රභවයන්ය. මීට අමතරව, තෙත් කලාපය තුළ හොඳින් විසිරී ඇති “අලිගැටපේර”, හොඳින් මධු වහනය වන ශාකයක් ලෙස හඳුන්වාගත හැකි අතර, ඇතැම් විට සාර්ථක පැණි අස්වැන්නක් ලබාගැනීමේ හැකියාවද, මේ ශාකයේ මල් පිපෙන කාලයට ඒ ආශ්‍රිත බිඟු පාලනයේ තිබෙන බව සඳහන් කළ යුතුයි. එසේම, “සීනියාස්”, “ඩේලියා” වැනි මල් වර්ග හොඳ මධු හා පරාග ප්‍රභව ලෙස ක්‍රියාකරන අතරම කුඩා ඉඩකඩක සිදුකරන මීමැසි පාලනය
(විනෝදාංශයක් වශයෙන් ගෙවතුවල සිදුකරන මීමැසි පාලනය) සඳහා මේ ශාක වර්ග ඉතා වැදගත්.
“පොල්”, වසර මුළුල්ලේම මල් පිපෙන සහ එමඟින් පරාග සපයන හොඳ පරාග ප්‍රභවයක් ලෙස හඳුනාගත හැකි අතර, බිඟු පාලනය කරන ප්‍රදේශයේ පොල් ගස් පිහිටා තිබීම, බිඟු පාලනය සඳහා සුදුසු පරිසර තත්ත්වයක් තිබෙන බවට ඉඟි සපයන්නකි. එහෙත්, පොල් මඟින් සැපයෙන මධු, ආර්ථිකව පැණි නිෂ්පාදනයක් සඳහා ප්‍රමාණවත් නොවන බවද මතක තබාගත යුතුය. එසේම “පුවක්”, ඇතැම් තෘණ වර්ග ( බ්‍රකේරියා, මානා) මෙන්ම, අපට ප්‍රයෝජනවත් නොවන “නිදිකුම්බා”, “කුරුණෑගල ඩේසි” වැනි වල් පැළෑටිද, මීමැස්සන් සඳහා හොඳ පරාග ප්‍රභවයන් ලෙස හඳුනා ගැනීමට හැකියාවක් තිබේ. එමෙන්ම, සපුෂ්පක ශාක බොහොමයක් මී බිඟුන් සදහා අවශ්‍ය පරාග සපයයි.
ආර්ථික වශයෙන් පැණි නිෂ්පාදනය සඳහා අප සලකනු ලබන ශාක විශේෂ මඟින් මධු වහනය වේ. මේ නිසා මේ ශාක විශේෂය සැලකිය යුතු වපසරියක් පුරා විහිදී තිබීමද වැදගත්. ඒ අනුව, ආර්ථික වශයෙන් පැණි නිෂ්පාදනය සඳහා සුදුසු ශාක විශේෂ දෙකකි. ශ්‍රීලංකාවේ හඳුනා ගැනීමට හැකිය. තෙත් හා අතරමැදි කලාපය තුළ මෙන්ම, වර්තමානයේ වියළි කලාපයේ ඇතැම් ස්ථානවල වගාකර ඇති “රබර්” ( Hevea brasiliensis) හා ඌව ප්‍රදේශය පුරා (විශේෂයෙන්ම, වැලිමඩ, බණ්ඩාරවෙල හා නුවරඑළිය) හොදින් ව්‍යාප්තව ඇති “යුකැලිප්ටස්” ද පැණි (Eucalyptus spp). නිෂ්පාදිත ශාක දෙකකි.
ඉසුරු ලක්මාල් හේරත්
කෘෂිකර්ම පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය