වැස්සත් පෑයුවත් අවුලක් නෑ | සිළුමිණ

වැස්සත් පෑයුවත් අවුලක් නෑ

වවනව නම් මෙන්න ක්‍රමය

පසුගිය දශක කීපය තුළ ලංකාවේ එළවළු නිෂ්පාදනය පහත වැටෙමින් පවතී. අවිනිශ්චිත වර්ෂාපතන රටාව නිසා දරුණු ලෙස භෝග හා අස්වනු හානි සිදුවේ.මේ නිසා වගාකරුවන් සහ පාරිභෝගිකයන් සහ දෙපිරිසම නිෂ්පාදන ආවර්තිතාව, මිල උච්චාවචනය සහ ගුණාත්මක නිෂ්පාදනවල හිඟකමින් පීඩා විඳිති.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකටම බෝග වගාවන්ට හිතකර දේශගුණික තත්ත්වයන් දැක ගැනීමට නොලැබෙන්නේ ය. එක් ප්‍රදේශයකට තද වැසි ද, තවත් ප්‍රදේශයකට කාෂ්ටක අව්ව ද අඩුවක් නෙමැතිව නොලැබෙන්නේ ය. එහෙත් බෝග වගාවන්ගේ සරු අස්වැන්නක් හිමි කර ගැනීම සඳහා සුදුසු පරිසර තත්ත්වයන්හිදී ආරක්ෂිත අයුරින් වගා කිරීම වඩාත් වැදගත් වේ.‍ ආරක්ෂිත බෝග වගාව යනුවෙන් හඳුන්වන්නේ ප්‍රශස්ත බෝග වර්ධනයක් අරමුණු කර ස්වාභාවික පරිසරය නවීකරණය කිරීම ය.

පරිසර තත්ත්වය

මෙහි දී වායුව හා පාංශු පරිසරය යන දෙකම නවීකරණය කළ හැකි එහෙත් වායව පරිසරික නවීකරණයන් අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලැකේ. එබැවින් අනිවාර්යයෙන්ම වගා කාල සීමාවේ කෙටි කලකට හෝ ආවරණ යෙදීම නිසා මෙය ගෘහස්ථ බෝග වගාව (Indoor Culture) ලෙස ද හැඳින්වේ.තවද පාරිසරික තත්ත්වයන් පාලනය කරන බැවින් පාලිත පාරිසරික කෘෂිකර්මාන්තය යන අරුත ඇතිව Controlled Environmental Agriculture (CEA) ලෙස ද හැඳින්වේ. මෙමඟින් අහිතකර පාරිසරික තත්ත්වයන්හිදී බාධාවකින් තොරව බෝග වගාව කරගෙන යා හැකි වේ. උදාහරණ වශයෙන් ශීත සෘතුව තුළ, ධ්‍රැවීය ප්‍රදේශවල,කන්තාරමය හෝ ශුෂ්ක ප්‍රදේශවල,අධික වර්ෂාව හො හිම පතනය යටතේ,අධික සුළං තත්ත්ව යටතේ, අධික රෝග/ පලිබෝධ උවදුරු ඇති විට යනා දී අවස්ථාවන්හි දී බාධාවකින් තොරව බෝග වගාව කරගෙන යා හැකි ය.

පාංශු තත්ත්වය

අහිතකර පාංශු තත්ත්ව යටතේ වුව ද ප්‍රශස්ත පාරිසරික තත්ත්ව ලබාදීම හේතුවෙන් ප්‍රශස්ත වර්ධනයක් ඇතිවී උසස් ප්‍රමිතියෙන් යුත්, අධික අස්වැන්නක් ලබාගත හැකි වේ.අවුරුද්ද පුරාම අඛණ්ඩ වගා හැකියාවත්, වගා කන්නය දීර්ඝ කරගැනීමත්, භූමි ප්‍රමාණයකින් ලැබෙන අස්වැන්න සැලකිය යුතු ලෙස වැඩි කරගත හැකි වේ.

ආරක්ෂිත ගෘහවල බෝග වගාව

ආරක්ෂිත බෝග වගාව තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඇරඹුණේ 1997 දී ආරක්ෂිත කෘෂි ව්‍යවසායකයින්ගේ ව්‍යාපෘතිය හඳුන්වාදීමත් සමඟය. සාම්ප්‍රදායික එළිමහන් කෘෂිකර්මාන්තය හා සැසඳීමේදී මේ සඳහා යන මුලික වියදම අධික බැවින් මේ තාක්ෂණය සඳහා යොමු වුයේ මධ්‍යම පාන්තික ගොවීන්ය.

වර්තමානයේ ආරක්ෂිත බෝග වගාව යටතේ වගා කරන භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයාර 62 ක් පමණ වේ. ආරක්ෂිත ගෘහයේ වගා කළ බෝග අතුරින් වඩා වැදගත් වනුයේ තක්කාලි ය. එය මුළු එළවළු නිෂ්පාදනයෙන් 40% ක් පමණ වේ.

මීට අමතරව පොදුවේ ආරක්ෂිත ගෘහ තුළ වගා කරන එළවළු අතර බෙල් පෙපර්, සලාද පිපිඤ්ඤා, සලාද කොළ, ලූනු සහ මල් ගොවා සඳහාන් කළ හැකිය.

මල් වර්ග අතර රෝස, ජර්බෙරා, කානේෂන් සහ ඕකිඩ් සඳහන් කළ හැකිය. තවද ස්ට්‍රෝබෙරි වැනි කුඩා පලතුරු බෝග ද ගෘහවල වගා කෙරේ. ලංකාවේ ආරක්ෂිත බෝග වගාව ජනප්‍රිය වීමට පෙර සිටම මහා පරිමාණයෙන් වගා කරනු ලබන අපනයනය සඳහා කරනු ලබන මල් හා අලංකාර ශාක වගාවන්ට ආරක්ෂිත ගෘහ යොදා ගැනුණි.ලංකාවේ පළමුවරට අත්‍යවශ්‍ය තාක්ෂණික උපාංග සහිතව, පොලිතීන් ගෘහයක් ස්ථාපනය කරල ලද්දේ මනා නඩත්තුවක් යටතේ ආරක්ෂිත ගෘහයක් තුළ සාර්ථකව වගා කර ඇති බෙල් පෙපර් වගාවක් 1995 ගන්නොරුවේදීය.

1997 දී හරිතාගාර 7 ක් අමෙරිකා එක්සත් ජනපදයේ ආනයනය කරන ලද අතර මේවා තෝරාගත් වගාකරුවන් කීපදෙනකු අතර බෙදා දෙන ලදි. එම වර්ෂයේදීම අලුතින් හරිතාගාර 114 ක් ඌව පළාතේ ස්ථාපනය කරන ලදි. පුහුණු පාඨමාලා මඟින් ඉහළ වටිනාකමකින් යුත් බෝග වර්ග සහ නවීන තාක්ෂණය හඳුන්වා දුන්නේය.එසේ වුවද යාන්ත්‍රීකරණය, වගා ක්‍රම සහ වැඩි දියුණු කළ අස්වනු නෙළීමේ ක්‍රම ආදිය දියුණු රටවල් හා සසඳා බැලීමේදී නොදියුණු තත්ත්වක පවතී.

ආරක්ෂිත ගෘහයන්හි ව්‍යාප්තිය

වර්තමානය වන විට බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ, මාතර, රත්නපුරය, ගාල්ල, පුත්තලම, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බෝහෝ වගාකරුවන් ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීමට පෙලඹී සිටිති. සමහර වැවිලි සමාගම් සහ මහා පරිමාණ ව්‍යාපාර කිහිපයක් ද ආරක්ෂිත ගෘහ තාක්ෂණයට සම්බන්ධ වී සිටිති. අමුද්‍රව්‍ය සපයන්නන් ද ආරක්ෂිත කෘෂි කර්මාන්තයේදී වැදගත්වන කණ්ඩායමකි.ආරක්ෂිත කෘෂිකර්මාන්තයේදී දායක වන අනෙකුත් කණ්ඩායම් ලෙස වෙළෙඳ නියෝජිතයින් හා අතරමැදියන් අස්වනු විකුණා ගැනීමේදී වැදගත් වෙයි.

ආරක්ෂිත ගෘහ තුළ බෝග වගා ව්‍යාප්තිය යටතේ පසු අස්නවනු තාක්ෂණය හා වෙළෙඳපල

වගාකරුවන්ගෙන් එකතු කරන නිෂ්පාදන ප්‍රධාන වශයෙන් සුපිරි වෙළෙඳසැල් සඳහා අතර, මේවා සංචාරක හොටල් සහ තානායම්වල පරිභෝජනය සඳහා යොදා ගැනේ.වගාකරුවාගේ සිට අතරමැදියා හරහා පාරිභෝගිකයා දක්වා ගෙන යනු ලබන ක්‍රියාවලියෙදී පසු අස්වනු හානි හැකිතාක් දුරට අවම කරගැනීමට ආරක්ෂිත කෘෂිකර්මාන්තයේදී උපයෝගී කර ගන්නා ආරක්ෂිත අස්වනු තේරීම, වර්ග කිරීම, ප්‍රවාහනය සහ අස්වනු ඇසිරීම යන ක්‍රියාවලි ආධාර වේ.අස්වනු ඇසිරීම කරනු ලබන්නේ 5 – 10 0C ප්‍රශස්ත උෂ්ණත්වයකදී ය. මෙමඟින් බෝගවල ගුණාත්මකභාවය පවත්වාගත හැකි අතර හානි ද අවම කරගත හැකිය.

ආයතනික සහාය

සමහර රජයේ දෙපාර්තමේන්තු, එනම් කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව, ප්‍රාදේශිය කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් සභාව සහ මධ්‍යම පළාත් සභාවද ආරක්ෂිත භෝග වගා කරන්නන්ට සේවා සපයන ආයතන අතර කැපී පෙනේ.ප්‍රශස්ථ උෂ්ණත්වයක් යටතේ අස්වනු ඇසිරීම මඟින් භෝගයන්ගේ ගුණාත්මක බව වැඩි වේ.

පේරාදෙණිය, රුහුණු, රජරට, සබරගමුව යන විශ්ව විද්‍යාලවල කෘෂිකර්‍ම පීඨ මඟින් ආරක්ෂිත භෝග වගාව සම්බන්ධයෙන් පාඨමාලා පවත්වාගෙන යන අතර ඒ සම්බන්ධ පර්යේණ වලද නිරත වෙති.තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාල මඟින් ද සේවා සංස්කරණ අභ්‍යාස ආයතන මඟින් ද මෙම තාක්ෂණික පුහුණව ලබා දෙති.

මේ ක්‍රමයේ වාසි

පාලිත පාරිසරික කෘෂිකර්මාන්තය යටතේ නිෂ්පාදනය කරන විවිධ වර්ගයේ එළවළු, පලතුරු සහ මල් ආදිය අහිතකර පාරිසරික තත්ත්ව, රෝග හා පලිබෝධ, වල් පැළෑටි වලින් ආරක්ෂා වන නිසා නිෂ්පාදකයින් වැඩි වශයෙන් මෙම තාක්ෂණය කරා ආකර්ෂණය වීමේ ප්‍රවණතාවයක් පවතී.මීට අමතරව පස් රහිත භෝග වගාව හෝ ජල රෝපිත වගාව, සාම්ප්‍රදායිකව පාංශු මාධ්‍ය වගාවට යොදා ගැනීමේ දී ඇතිවය හැකි අහිතකර ප්‍රථිළුල අඩු කරයි.

ජල රෝපිත වගා ක්‍රම යටතේ සලාද වගා කිරීම

තාක්ෂණය

හරිතාගාර තාක්ෂණය සමන්විත වනුයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, වැඩි දියුණු කළ සනීපාරක්ෂක ක්‍රම, අවම රසායනික පලිබොධනාශක, පොලිතීන් වසුන් යොදා ගැනීම සහ ජල රෝපිත වගාවෙනි.මේ අතර උඩරට ආරක්ෂිත භෝග වගාවෙහි නිරත වන ගොවීන් බොහොමයක් තවමත් යන්ත්‍රෝපකරණ භාවිතය, සුක්ෂම වගාක්‍රම හා වැඩිදියුණු කළ අස්වනු නෙළීමේ ක්‍රම ආදිය සම්බන්ධයෙන් දියුණු රටවල මට්ටමට පැමිණ නැත.

ජල රෝපිත වගා ක්‍රමය යටතේ සලාද වගා කිරීම

එය ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කිරීමේ තාක්ෂණය සම්බන්ධයෙන් පමණක් නොව ඉහළ මට්ටමේ ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට ශාක හා පරිසරය පාලනය කර ගැනීමේ ක්‍රමයකි.ආරක්ෂිත භෝග වගාවේ සාර්ථකත්වය පදනම් වනුයේ, තාක්ෂණය මත පමණක් නොව එය කාර්යක්ෂම, තීව්‍ර හා විද්‍යාත්මක පාලනයකින් යුත්, සමෝධානික භෝග පාලන පද්ධතියකි.

වර්තමානයේදී ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ඝර්ම කලාපීය රටවල් අමතර අස්වැන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සමඟ ලැබෙන ඉහළ ලාභය යන කරුණු නිසා ආරක්ෂිත භෝග වගාව කෙරෙහි යොමු වෙමින් පවතී.අන්තර්ජාතික වෙළඳපළෙහි මෙන්ම, හෝටල්, සුපිරි වෙළඳ සංකීර්ණ වැනි විශේෂිත දේශිය වෙළෙඳපළවල ඉහළ ගුණාත්මයෙන් යුත් එළවළු සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. මේ නිසා ආරක්ෂිත ගෘහ තුළ ඉහළ ගුණාත්මයෙන් යුත් එළවළු නිෂ්පාදනය සඳහා අති විශාල විභවයක් පවතී.

උපදෙස්- උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ( HORDI )

ගන්නොරුව

Comments