
වර්තමානයේ වගාවකට කිසියම් පළිබෝධ හානියක් හෝ රෝගයක් වැලඳුණු සැණින් වගා කරුවන් උත්සාහ කරනුයේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඒවා මැඩපැවත්වීමටය. එහෙත් අනවශ්‍ය ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය පරිසරයට මෙන්ම මිනිසාටද ගෙන එන්නේ අනිටු ප්‍රතිඵලය. ගෙවතු වගාවක යෙදෙන සැමගේ බලාපොරොත්තුව වස විසෙන් තොර එහෙත් සාරවත් අස්වැන්නක් ලබා ගැනීමය. මේ සඳහා පළිබෝධ පාලනය කළයුත්තේ අවස්ථානුකූලව සුදුසු, ආර්ථිකව ලාභදායි සහ පරිසර හිතකාමී පාලන ක්‍රම සුදුසු පරිදි යොදා ගනිමිනි. එනම් සමෝධානික පළිබෝධ පාලනයකට යොමුවීමයි.
මෙලෙස සමෝධානික ක්‍රමයකට පළිබෝධ පාලනය කිරීමේදී යොදා ගත හැකි ක්‍රම රැසකි. එනම් විවිධ වගා ක්‍රම, යාන්ත්‍රික ක්‍රම, භෞතික ක්‍රම හා ජීව විද්‍යාත්මක ක්‍රම ආදියයි. එමෙන්ම අතීතයේ පටන් කෘෂිකර්මාන්තයේදී පලිබෝධ පාලනය සඳහා දේශීය ගොවීන් භාවිත කළ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ද පවතියි. මෙම ක්‍රමවේදයන් පරිසර හිතකාමී මෙන්ම ලාභදායකය.
ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම මඟින් පළිබෝධ පාලනය
මෙහිදී නිවැරදි කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම මඟින් නීරෝගී වගාවක් පවත්වා ගැනීම අරමුණ වේ.
ක්‍රමවත් ජල සම්පාදනය
ගෙවත්තේ බෝග සඳහා ජලය නිසි වේලාවට ප්‍රමාණවත්ව ලබා දිය යුතුය. එහෙත් අනවශ්‍ය ලෙස බෝග ආශ්‍රිතව ජලය රඳා පැවතීමද අහිතකරය. එහෙයින් ජලය මැනවින් ගලා යන ලෙස පාත්ති සැකසීමත් වගා බඳුන් වල සිදුරු විද තිබීමත් වැදගත් වේ.
වගාවේ පිරිසුදු බව
නිෙවස ඇතුළත පිරිසුදුව තබා ගන්නවා සේම ගෙවත්තේ වගා භූමියද පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්. වල් පැළෑටි ගලවා ඉවත් කිරීමත් භූමිය අවට නිතර පිරිසුදු කිරීමත් මඟින් පළිබෝධකයින් වගාව වෙත ආකර්ෂණ වීම වළක්වා ගත හැකිය.
බෝග මාරුව
ගෙවත්තේ එකම බෝගය දීර්ඝකාලීනව එකම ස්ථානයක වගා කිරීම නුසුදුසුය. සිටුවන බෝගය වරින් වර වෙනස් කළ යුතුය.
මිශ්‍ර බෝග වගාව
තනි බෝගයක් ලෙස නොව සුදුසු බෝග ක්ෂේත්‍රයේ මිශ්‍රව වගා කිරීම මඟින්ද පළිබෝධ පාලනය කළ හැකිය.
නියමිත කන්නයට වගා කිරීම
සමහර කන්නවලදී බෝග සඳහා හානි පමුණුවන පළිබෝධකයින් සමහරෙකුගේ ගහනය වැඩි වේ. එවිට වගා බෝග සඳහා පළිබෝධ හානිවලට ලක් වීමේ ඉහළ සම්භාවිතාවක් පවති. එහෙයින් එම කන්න මඟහැර වගා කිරීම සුදුසුය.
වගා කටයුතුවලදී නිර්දේශිත පරතරය පවත්වා ගැනීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇති පරතරයන්ට අනුකූලව බෝග වගා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එවිට බෝග වර්ධනයට අවශ්‍ය සූර්යාලෝකය, වාතය ආදිය සාධක ප්‍රශස්තව සෑම පැළයකටම ලබා ගත හැකිය. වගාව නඩත්තුවද පහසුය.
නිර්දේශිත ප්‍රභේද සිටුවීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇති විශේෂ වගාව සඳහා තෝරා ගත යුතුය. විවිධ පලිබෝධ හා රෝග සඳහා ප්‍රතිරෝධී ප්‍රභේද ද හඳුන්වා දී ඇත.
නීරෝගී බීජ හා පැළ සිටුවීම
වගා කළයුත්තේ නීරෝගී බීජ හා පැළය. බීජ ප්‍රතිකාර කිරීම් මඟින් රෝගකාරකයන් ව්‍යාප්ත වීමද වළක්වා ගත හැකිය.
බෝගයට වඩාත් උචිත ස්ථානය තෝරා ගැනීම
බෝග සිටුවීමට තෝරා ගත යුත්තේ ගෙවත්තේ ඒ සඳහා උචිතම ස්ථානයයි. උදාහරණයක් ලෙස සෙවණ ප්‍රිය ශාක සෙවණ සහිත ස්ථානවලත් ආලෝකය ප්‍රිය ශාක සූර්යාලෝකය යහමින් පතිත වන ස්ථානවලත් වගා කළ යුතුය.
ප්‍රදේශයට ගැළපෙන බෝග තෝරා ගැනීම.
ගෙවතු වගාවට බෝග තෝරා ගැනීමේදී තම ගෙවත්ත පිහිටි ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයන්ට හා පාංශු තත්වයන්ට සුදුසු වන ඒවා තෝරා ගත යුතුය. ප්‍රදේශයට නොගැළපෙන බෝග තෝරා ගැනීමේදී එම බෝගවල වර්ධනය දුර්වල අතර පහසුවෙන් රෝග හා පළිබෝධ හානිවලට ගොදුරු වේ.
ශාක කප්පාදුව හා පඳුරු පාලනය
මෙමඟින් සූර්යාලෝකය මැනවින් බෝග සඳහා ලැබෙන අතර මියගිය අතු, රෝගී අතු, දිය අතු ආදිය කපා ඉවත් කිරීමෙන් ශාකය ප්‍රශස්තව වර්ධනය වේ.
මෙවන් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරිම මඟින් ගෙවත්තෙන් සරු අස්වැන්නක් ලබා ගත හැකිය.
යාන්ත්‍රික ක්‍රම
රෝග සහිත ශාක වගා භූමියෙන් ඉවත් කිරීම
වගාවේ බෝගයකට වයිරස් රෝගයක් සෑදුණ කළ ඉක්මනින් ආසන්න බෝග කරාද ව්‍යාප්ත වේ. එහෙයින් රෝගය ආසාදනය වූ මුල් අවධියේම එම රෝගී පැළ ගලවා විනාශ කළ යුතුය.
වගාව වටා ආරක්ෂිත වැටක් යෙදීම
කම්බි හෝ පොල් අතු ආදී සුදුසු යමක් භාවිතයෙන් වගාවට ආරක්ෂිත වැටක් එක් කිරීමෙන්ද සමහර පළිබෝධකයන්ගේ පැමිණීම පාලනය කළ හැකිය.
පල ආවරණය කිරීම
පතෝල, කරවිල, වැටකොලු ආදි කුකර්බිටේසියේ කුලයේ බෝග සඳහා ඇති ප්‍රධාන ගැටලුවක් නම් ඉල් මැස්සාගෙන් වන හානියයි. එවන් හානි වළක්වා ගැනීමට මෙය පහසු හා ලාබදායි ක්‍රියාමාර්ගයකි.
භෞතික ක්‍රම
ආලෝක උගුල
පලිබෝධ හානි වැළැක්වීම සඳහා රාත්‍රියට පන්දම් දැල්වීම අතීතයේ සිට අනුගමනය කළ ක්‍රමවේදයකි.මෙහිම නූතන භාවිතයක් ලෙස විදුලි පහන් උපයෝගිකර ගැනීම දැක්විය හැකිය.
ශබ්ද උගුල්
ටකයක් භාවිතය, ටකරමකට ගැසීම ආදීය මඟින් ශබ්දය උපදවා සතුන් පලවා හැරීම ශබ්ද උගුල් ලෙස හඳුන්වයි.
සාම්ප්‍රදායික ක්‍රම
කජු ලෙලි, පොල් ලෙලි හා කොහොඹ, මදුරුතලා ආදීයෙන් දුම් ඇල්ලීම කොහොඹ තෙල්, ගෝණ තෙල්, කැකුණ තෙල්, මී තෙල් ආදිය යොදා පහන් දැල්වීම.
සුදු ලූනු, මිරිස්, ගම්මිරිස් ආදී කුළු බඩුවලින් සාදා ගත් දියරයක් බෝගවලට ඉසීම.
ගෙවත්තේ වගා ක්ෂේත්‍රය අසල කුරුල්ලන්ට ආහාර දීමට ස්ථානයක් සැකසීම. එහිදී ආහාර ගැනීමට පැමිණෙන කුරුල්ලන් වගා බිමේ සිටින කෘමීන් හා පණුවන් ආහාරයට ගැනීම මඟින් පළිබෝධ හානිය අඩු වීම.
බෝග වලට අළු ඉසීම. බෝග අතර දාස් පෙතියා පැළ සිටුවීම.
උමයංගනා පූජනී ගුණසේකර
කෘෂිකර්ම පීඨය
රුහුණ විශ්වවිද්‍යාලය
සේයා රූ - සුදම් ගුණසිංහ, රුවන් ද සිල්වා