හිරු දෙසටම හැරී දහසක් සිත් බඳී | සිළුමිණ

හිරු දෙසටම හැරී දහසක් සිත් බඳී

සූරියකාන්ත මල් යනු වාසනාවේ සහ සෞභාග්‍යයේ සංකේතයක් ලෙස ඇතැම් රටවල්වල දැඩි පිළිගැනීමක් තිබෙනවා. ඒ කෙසේ වුවත් පිපී වැවෙන සූරියකාන්ත මල් යනු අතිශයින් සුන්දර එමෙන්ම මන බඳින දර්ශනයක් බව සැවොම දන්නා කරුණක්. ඉතින් ඔබේ නි‍ෙවසත් සූරියකාන්ත මල් වවා අලංකාර කර ගැනීමට ඔබ කැමතිද? එසේ නම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි.

ඔබ වැවීමට කැමති කුමන ආකාරයේ සූරියකාන්ත ප්‍රභේදයක් දැයි තීරණය කරන්න.

තද කහ පැහැයට අමතරව, ළා කහ පැහැයේ සිට තද තැඹිලි, මෙරූන් පැහැයන් තෙක් විහිදුණු සූරියකාන්ත වර්ණයන් තිබේ.එමෙන්ම එක ගසේ එක මලක් පමණක් හා එක ගසේ මල් කිහිපයක් සෑදෙන ප්‍රභේදත් තිබෙනවා. එක නටුවේ මල් කිහිපයක් සෑහෙන සූරියකාන්ත වර්ගද දැකිය හැකියි. ඉතින් බීජ තෝරාගන්නා විට ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වනවා. එමෙන්ම ඔබ සූරියකාන්ත ගසේ ප්‍රමාණය පිළිබඳවත් සිතිය යුතුයි.

හොඳින් හිරු එළිය වැටෙන බිම් තීරුවක් තෝරා ගන්න.
සූරියකාන්තවලට දිනකට පැය 6-8 දක්වා වූ කාලයක් හිරු එළියට නිරාවරණය වී තිබීම අනිවාර්ය සාධකයක්.

පස සකස් කිරීම
ප්‍රථමයෙන්ම සෙන්ටිමීටර් 20 – 30 ප්‍රමාණයට බීජ සිටුවිය යුතු ක්ෂේත්‍රය සකස් කළ යුතුයි. ඉන්පසුව ඕගනික් පොහොර පස් හා මිශ්‍ර කර රේක්කයකින් ඒම ප්‍රදේශය සුමට කළ යුතුයි. පසේ ඇති ගල් කැට මෙන්ම අපද්‍රව්‍ය හමුවූවා නම් ඒවා ඉවත් කරන්න.

බීජ සිටුවීම
සකස් කර ගත් පසේ අඟල් බාගයක් පමණ ගැඹුරට වළවල් සකසා බීජ දමන්න. ඉන්පසු පස්වලින් වසා අතින් තළා එයට උඩින් ජලය වත් කරන්න.

පැළ ආරක්ෂා කිරීම
ඔබ සිටුවූවේ උසැති පැළ නම් මුල් කාලයේදී ඒවා අසලින් අතු ආධාරකයක් සිටුවන්න. පැළ වැඩුණු පසු සුළඟට ආරක්ෂාවීම සඳහා එම පැළ මුලට එතරම් බර නොමැති ආධාරකයක් තබන්න. උදා: කුඩා ගඩොල් කැබලි.

ජලය වත් කිරීම.
පැළ 20-30 cm ප්‍රමාණයකට වැඩෙන තෙක් දිනපතාම ජලය වත් කරන්න. 30cm පමණ වූ පසු තෙතමනය ආරක්ෂා කිරීම සඳහා තද කොළ රොඩු වැස්මක් යොදන්න. කොළවල පුස් ස්වභාවයක් පෙනෙයි නම් දිලීර නාශක ද ඉසින්න.

යශෝදා ඉන්දීවරී
උපදෙස් - කෘෂිකර්ම විද්‍යා පීඨය
ගම්පහ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (නයිවල) 

Comments