ගුණයෙන් උසස් කොස් | Page 2 | සිළුමිණ

ගුණයෙන් උසස් කොස්

හෙරළිවල විටමින් A, C හා තයමින්, රයිබොෆ්ලෙවින්, නියසින්, කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැංගනීස්, මැග්නීසියම් හා තවත් බොහෝ පෝෂණ සංඝටක අඩංගුවේ. වරකා බොහෝසෙයින් සුදුසු වන්නේ දියවැඩියාව රෝගයටයි. එයට හේතුව වන්නේ මෙහි ඇති පෝෂණ සංඝටක මගින් ඉන්සියුලින් ප්‍රතිරෝධීතාව වැඩි කිරීමයි. වරකා ලොව ඇති විශාලතම ශාකයක් මත සෑදෙන පලතුර වේ. එක් ගෙඩියක් රාත්තල් 10-15 තරම් බරින් යුක්තවේ. මේ තුළ කොස් ඇට 100 ට අධික ප්‍රමාණයක් අන්තර්ගතවේ.

කොස් ඇට තුල ප්‍රෝටීන්, පොටෑසියම්, කැල්සියම් සහ යකඩ අන්තර්ගත වේ. පෝෂණයෙන් ගත්කල කොස් ගෙඩිය තුළ ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ විශාල වශයෙන් අන්තර්ගත වන අතර, වැදගත්ම කරුණ වන්නේ එය දියවැඩියාව රෝගයට අනර්ඝ ඖෂධයක් වීමයි. මේ සදහා ස්වභාවික හොඳින් පැසුණු, රසායනිකයන් අඩංගු නැති ගෙඩියක් හෝ මදුළු තෝරාගැනීම උචිත වේ. කිසිදු ආකාරයේ රසායනික හෝ භෞතික ක්‍රියාවලියකට ලක්නොවූ පැසුණු කොස් ගෙඩියක් මගින් දියවැඩියා රෝගියෙක් ඉන්සියුලින් මත රඳා පවතින ප්‍රමාණය අඩුකරයි. අඩු ග්ලයිසීමික් ප්‍රමාණය, ඉහළ ජීර්ණ තන්තු ප්‍රමාණය විශේෂයෙන්ම ආද්‍රව්‍ය තන්තු හා පූර්ණ වේලක් ලෙස ගතහැකි නිසා දියවැඩියා රෝගීන්ට වේලකට අවශ්‍ය සියලු පෝෂණය මෙයින් සපයයි.

සිදුකරන ලද විවිධ පරීක්ෂණවලට අනුව දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes ) හා ස්ථුලතාව සඳහාද වරකා යෝග්‍ය බව සනාථ කරගෙන තිබේ. වරකා දියවැඩියාවට පමණක් නොව තවත් යහපත් සෞඛ්‍ය සඳහා උපකාරී වන වාසි රැසකින් සමන්විතවේ. මෙමඟින් අස්ථි වල ඝනත්වය වැඩිකරන අතර අස්ථි සෞඛ්‍ය සම්පන්න භාවය රැකදීමේ හැකියාව ඇත. තවද හෙරළිවල හා වරකා තුළ මැග්නීසියම් හා යකඩ විශාල වශයෙන් අන්තර්ගත නිසා සුවදායක නින්දක් ලබාගැනීමට උපකාරී වෙයි. මීට අමතරව පෙණහලු පිළිකා, පියයුරු පිළිකා, චර්ම පිළිකා හා පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලටද වඩාත් ගුණදායක බව තහවුරු කරගෙන තිබේ. මෙහි ඇති ඉහළ තන්තු ප්‍රමාණය නිසා ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. මෙහි ඇති පොටෑසියම් අයන අධිරුධිර පීඩනය අවම කරන අතර හෘදයාබාධ හා ආඝාතය වැනි රෝගවලට ඇති අවදානම අඩුකරයි.

ක්‍රමාකුංචනය කාර්යය කරන අතර පාරිවෘත්තිය ක්‍රියාවලිය හා මහා අන්ත්‍රයෙන් අනවශ්‍ය දෑ බැහැර කිරීමේ ක්‍රියාවලිය පහසු කරයි. මෙහි ඇති විටමින් A ඇස්වල පෙනීම වර්ධනය කරන අතර රාත්‍රී අන්ධතාවය දුරු කරයි. ඉහළ යකඩ අන්තර්ගතය නිසා රක්තහීනතාව අඩුකරමින් රුධිර සංසරණ ක්‍රියාවලිය සිරුර පුරාවටම මනාලෙස පවත්වාගෙන යාමට උපකාරී වෙයි. මෙහි අඩංගු සුක්‍රෝස්, ෆ්‍රක්ටෝස් වැනි ස්වභාවික සීනි වර්ග අසාත්මිකතාවලදී නැවත ප්‍රකෘතිමත් වීමට උපකාරී වෙයි. මීට අමතරව ඇදුම හා ස්වසන අපහසුතා ඇති රෝගීන්ටද මෙය ඉතා වටිනා ආහාරයකි.

මොනිකා ලියන්ජලී

Comments