දෙවැනි ලෝක යුද්දෙයි අපේ යුද්දෙයි හමුවන හොලිවුඩ් සිනමාව | Page 3 | සිළුමිණ

දෙවැනි ලෝක යුද්දෙයි අපේ යුද්දෙයි හමුවන හොලිවුඩ් සිනමාව

 DUNKIRK තමයි 2 ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය. අපි අද ජිවත්වන ලෝකය මෙහෙම වෙන්න ඉතිහාසයේ සිදුවුණ නොමැකිය හැකි මතකයක් තමා DUNKIRK හි සිරවුණ බටහිර ඇලියේ සෙබළු මුදවා ගැනීමේ මෙහෙයුම. මාවිල්ආරු තමා 30 වසරක LTTE ත්‍රස්තවාදී යුද්ධයේ හැරවුම් ලක්ෂය. අපි අද ජිවත්වන‘ලංකාව’ නිදහස් රටක් කරන්න මාවිල්ආරු සිට පුදුකුඩුඉරිප්පු දක්වා වූ මානුෂිය මෙහෙයුම තමා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂිතම පරිච්ඡේදය. මේ යුද්ධ දෙකම කරන්නේ මිනිස්සු. තුවක්කු අත දරන්නේ මිනිස්සු. ජිවිත පුජා කරන්නේ මිනිස්සු. ඉවරවෙනකම් බලා ඉන්නෙත් මිනිස්සු. නිදහස ලබා දෙන්නෙත් ගන්නෙත් මිනිස්සු. වෙනසකට තියෙන්නේ බටහිර රටවල් යුධ ජයග්‍රහණ සමරනවා. යුද්දෙට ජිවිත දුන්න තරුණ හදවත් වීරයන් ලෙස සමරනවා. හැබැයි සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන්ට නිදහස් රටක් උරුම කළාට ලංකාවේ අපි ජිනීවා ගිහින් එහෙව් බටහිර රටවල් ඉස්සරහ වැරදිකාරයො වගේ විත්ති කුඩුවට නගිනවා. ඒක තමා DUNKIRK වලයි මාවිල්ආරු වලයි වෙනස.

අපේ රටේ හිටපු රාජ්‍ය නායකයෝ හරි මොහොතේ නිවැරදි නායකත්වයක් දීල නොබියව තීරණ ගත්තනම් ‘අලිමංකඩ’ තමා Dunkirk වෙන්න තිබුණේ. ඒත් දහස් ගණනක් අහිංසක ශ්‍රී ලාංකික සිවිල් මිනිස්සුන්ගේ ජිවිත, කොළඹ කොටුවේදී වේවා, දෙහිවල ස්ටේෂමේදී වේවා, අම්පාරේ මායිම් ගම්මානයකදී වේවා, පුත්තලමේ මුස්ලිම් ගම්මානයකදී වේවා, කිලිනොච්චියේදී වේවා, බෝම්බ වෙඩි උණ්ඩවලට බිලි වෙනකම්, ඒ කිසිම ආණ්ඩුවක හිටපු එකම නායකයෙකුටවත් චර්චිල් වගේ තීරණයක් ගන්න බැරි වුණා.

මේ චිත්‍රපටියේ අවසානයට කිට්ටුව, මුදවාගත් සෙබළුන්ටබෝට්ටු වලින් බැහැල කෝච්චියට නගින්න කලින් තේ සහ පාන් වලට අමතරව උණුසුම් වෙන්න බෙඩ් ෂීට් දෙනවා. ඒවා බෙදන අන්ධ වයසක මනුස්සයා හෙම්බත් සෙබළුන් හැමෝටම ෂීට් එක දෙනගමන් ගුඩ් ජොබ් කියල සුභ පතනවා. එතකොට එක සෙබලෙක් කියනවා ‘අපි යන්තම් බේරිලා ආව විතරයි’ කියල. අර මනුස්සයා උත්තර දෙනවා ‘එකත් ජයග්‍රහණයක් තමයි’ කියලා. 30 වසරක යුද්ධෙන් දිනපු කෙනෙක් නෑ කියල අපේ සමහර උගත් මිත්‍රයෝ කියපු හැම වෙලාවකම මම දුන්න උත්තරය තමා ‘අඩුම ගානේ අපිටයි අපේ දරුවන්ටයි රටක් ඉතුරු වුණා’ කියන එක. පුදුකුඩුඉරිප්පුවලදී දිනුවේ යුද්ධය නෙමෙයි. උපදින්න ඉන්න පරම්පරා ගණනාවක නිදහසේ ජීවත්වීමේ අයිතිය, ගමේ කොල්ලන්ට හමුදාවට ගිහින් මැරෙන්නෙ නැතුව අනිත් එවුන් වගේ පවුල් ජිවිතයක් ගෙවන්න තියෙන අයිතිය, දියුණු රටක ජිවත් වෙන්න අපිට තිබ්බ සිහිනය, දෙහිවල බෝම්බෙන් මැරුණ දරුවන්ගේ අම්මලාගේ ප්‍රාර්ථනාව, කොටි බලෙන් පැහැරගෙන ගිය දරු පැටවුන්ගේ දෙමව්පියන්ගේ ඉල්ලීම, LTTE ය පළිහක් කරගත්ත අහිංසක දුප්පත් දෙමළ සිවිල්වැසියන්ගේ අන්තිම හුස්ම පොද. ඉතින් ඒ හැම සිහිනයක්ම සැබෑ නොවුනත් ඒ සිහින බේරගන්න පුළුවන් වුණ එකම ජයග්‍රහණයක් නෙමෙයිද?

DUNKIRK චිත්‍රපටිය අවසන් වෙන්නේ එම මුදවාගැනීමේ මෙහෙයුම ගැන වින්ස්ටන්ට් චර්චිල් කළ කතාවෙන් සහ එම සෙබළ තරුණයන් ගැන පුවත්පත්වල තිබුණ අගයකිරීම් වලින්. චර්චිල් කියනවා ‘කැපකිරීම කෙතරම් විශාල වුණත් අපි අපේ රට රැකගත යුතුව තිබෙනවා, අපි මුහුදු වෙරලෙත් සටන් කළ යුතුයි, කඳු මුදුන්වලත් සටන් කළ යුතුයි, තැනිතලාවෙත් සටන් කළ යුතුයි, මහපාරෙත් සටන් කළ යුතුයි, අපි කිසි දිනෙක යටත් නොවිය යුතුයි‘. එහෙම කියපු සුද්දොම රට රැකගත්ත පලියට මාර්තු 8 වෙනිදා ඉඳන් ජිනීවාවලදී අපිව ප්‍රශ්න කරනවා. එයාල DUNKIRK අමතක නොකළට අපිට මාවිල්ආරු අමතක කරන්න කියනවා.

‘මචං උඹල මොනව කීවත් ඇයි ජාත්‍යන්තරෙයි එයාලගේ සහයට ඉන්න ආයතනයි ලංකාවේ හමුදාවට බනින්නේ? කියල අපේ සමහර මිත්‍රයො අහන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙත් චර්චිල්ලගේ ඉතිහාසය ඇතුළෙමයි. Dunkirk විරයන්ව සමරන්නෙ දැන්. අපේ ත්‍රිවිධ හමුදාව සමරන්නත් තව ටිකක් කල් යයි. Dunkirk ගැන චිත්‍රපටි හැදෙන්නෙ දැන්. ‘මාවිල්ආරු’ පොත්වලට එන්නත් තව කල් යයි. අවුල තියෙන්නේ එතන නෙමෙයි, චර්චිල්ව සමරන සුද්දොයි එයාලගේ කළු සිංහල ගොලයොයි ලංකාව වෙනුවෙන් සටන් බිමට ගිය කොල්ලන්ට සහ ඒ වෙනුවෙන් හිටගත්ත මිනිස්සුන්ට ජාතිවාදියා කියන එක. Dunkirk මානුෂික මෙහෙයුමක් කියල ඉංග්‍රීසියෙන් කියන අය LTTE ත්‍රස්තවාදීන් මුළු ලංකාවම බලෙන් යුද්ධයකට ඇදල දාපු මාවිල්ආරු ගැන වගේ වගක් නැතුව ඉන්න එක.

ඉතින් චර්චිල් කියපු දේම, ‘කැපකිරීම කෙතරම් විශාල වුණත් අපි අපේ රට රැකගත යුතුව තිබෙනවා’ කියල අපි දැන් චර්චිල්ගේ ගෝලයන්ට කියමු.

Comments