
ස්වයංපෝෂිත ආහාර රටාවක් සඳහා වූ “යහපත් කෘෂිකාර්මික පිළිවෙත“ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.
මෙරට භෝග වගාව සඳහා වඩාත් සුදුසු කාබනික පොහොර බවට මේ වන විට පර්යේෂණාත්මකව තහවුරු වී ඇති අතර යහපත් කෘෂිකර්මාන්තය සඳහා පොහොර තම ගෙවත්තේම සකසා ගැනීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගැනේ. සිය නිවෙස ආශ්‍රිතව ඉවත ලන ආහාර කොටස්, සත්ත්ව අපද්‍රව්‍ය, වෙල් පාසි හා වැටහිරියා ශාකයේ කොළ-අතු යොදාගනිමින් ගෙවතු තුළ ගුණාත්මක පොහොර නිෂ්පාදනයට වැඩි ඉඩක් ඇති බවට හඳුනාගෙන තිබේ. අස්වනු වැඩි කරගැනීමටත් සෞඛ්‍ය ආරක්ෂාව සඳහාත් රසායනික පොහොර අවම කරගැනීම හිතකර කාර්යයක් බව වර්තමානයේ අන්තර්ජාතික පිළිගැනීමට ලක්ව ඇත. ඒ සඳහා යොදාගන්නා සත්ත්ව අපද්‍රව්‍ය ග්‍රාමීයව ඇති කුකුළු කොටු, ගවගාල්වලින් සපයාගැනීමට හැකියාව පවතී. ස්වාභාවික ආහාරවලින් පෝෂණය වන සතුන්ගේ අපද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර සඳහා යොදාගැනීමට මෙහිදී සැලකිලිමත් විය යුතුය.
දේශීයව ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පරිසරයක් සැකසීමේ මූලික අරමුණෙන් මේ කටයුතු ආරම්භ කර තිබේ. ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාගැනීමත්, ඒ අනුව අපනයනය සඳහා අතිරික්තයක් පවත්වාගෙන යෑමත් මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
දකුණු කොරියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගිතා ආයතනයේ ආධාර මත යහපත් කෘෂිකාර්මික පිළිවෙත මෙසේ ක්‍රියාවට නැංවේ. මේ යටතේ ආදර්ශ භෝග වගාවට නැඹුරු කිරීමේ උපදේශනාත්මක වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රට පුරා ක්‍රියාත්මකය.
බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනක් මූලික කරගනිමින් භෝග වගාව මේ වන විටත් ආරම්භ කර අවසානය. පර්යේෂණාත්මකව ඒ ඒ පළාත්වලට සුදුසු බවට නිර්දේශිත භෝග ප්‍රභේද හඳුන්වා දෙමින් වගාවට නැඹුරු කිරීමේ ක්‍රමවේදයක් මේ යටතේ ක්‍රියාත්මකය. සුදුසු පරිසරයක් සහිත නිසි ජලපද්ධතියක් ක්‍රියාවට නැංවිය හැකි හඳුනාගත් ප්‍රදේශවල මේ වගා සංග්‍රාමික කටයුතු ආරම්භ කර ඇත.
දේශීය අවශ්‍යතා සපුරාගනිමින්, විදේශ විනිමය ඉපයීමේ අරමුණින් යහපත් කෘෂිකර්මාන්ත පුරුදු ඇති කිරීමට මෙහිදී පියවර ගැනෙයි.
කෘෂිකර්මාන්තයට හිතකර පරිසරයක් මෙන්ම සරු පසක් ශ්‍රී ලංකාවේ බොහෝ පළාත්වල තිබුණද භෝග නිෂ්පාදන දාමයේ ඇති දුර්වලතා හේතුවෙන් නිසි පලදාවක් නෙළාගැනීමට නොහැකි අවස්ථා බහුලව පවතී. නිදසුන් ලෙස මෙරට එළවුළු හා පලතුරු වගා ක්ෂේත්‍රවල අස්වනු පළමු වර නෙළීමෙන් ඉතිරි වන පසු-අස්වනු පිළිබඳ සැලකිලිමත් නොවීමෙන් අස්වැන්නෙන් 30%- 40% අතර ප්‍රමාණයක් හානියට පත් වෙයි. එමෙන්ම ගොවිපොළ තුළදී ඊකොලයි, සිගෙල්ලා, සැල්මොනෙල්ලා වැනි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ආසාධනය වීමද කෘෂි නිෂ්පාදන අලෙවියට බාධාවකි.
ලෝක වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පැපයුමක් ලබා දීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීමට ප්‍රධාන හේතු දේශීය කෘෂි නිෂ්පාදනවල ඇති එවැනි විවිධ දුර්වලතා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ බාධා ඉවත් කරගැනීම සඳහා රටේ විවිධ පළාත්වලට උචිත, වැඩි අස්වනු නෙළාගැනීමට හැකි, භෝග හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකය. ඒ අනුව එක් එක් කලාප සඳහා සුදුසු භෝග මොනවාද යන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කළ පර්යේෂණ මඟින් හඳුනාගෙන, කලාප අනුව භෝග ප්‍රභේද නිර්දේශ කර ඇත.
අපනයන විභවයක් ඇති භෝග කාණ්ඩ තෝරාගැනීමටත්, එහි ගුණාත්මක බව ආරක්ෂා වන ආකාරයෙන් කෘෂි රසායන භාවිතය අවම කරමින් කාබනික වගාවකට නැඹුරු කිරීමත්, අස්වනු සුරක්ෂාව මඟින් යහපත් කෘෂි පිළිවෙත් අනුගමනය කිරීමටත්, ගොවියාට පුරුදු කිරීම, වගාවට සමගාමීව සිදු කෙරේ.
මේ වගා ව්‍යාපෘතිය යටතේ නිර්දේශිත ප්‍රභේද තෝරාගනු ලබන ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ගොවීන්ට අවශ්‍ය උපදෙස් සේවාවන් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මකය. ඒ සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද නිලධාරීන් කණ්ඩායමක් රට පුරා කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවට උපදෙස් සේවා සැපයීමේ නිරතව සිටිති. ගුණාත්මක ලෙස වගා කටයුතු පවත්වා ගෙන යෑම හා වගා පාළු ඇති නොවීම සඳහා මෙම වැඩපිළිවෙළ නොකඩවා දියත් කිරීමට සැලසුම් කර ඇත. ක්ෂේත්‍ර භෝග නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීම මෙහිදී ප්‍රධාන ඉලක්කයක් වෙයි.
චන්ද්‍රිකා පෙරේරා