දෙමළ ජනතාවට සුවිශේෂී වූ දේශපාලන ප්‍රශ්න පවතින බවත් ඒ සඳහා සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවත් 1977 වනතුරුත් පිළිගත්තේ අතලොස්සකි. ඒ අර්ථයෙන් බහුතරයකගේ මතය වූයේ දෙමළ ජාතික අරගලය හුදු ත්‍රස්තවාදයක් පමණක් බවත් එය අවි බලයෙන් මර්දනය කළ යුතු බවත් ය. ජේ.ආර් ජයවර්ධන රෙජීමයේ සිට විජේතුංග රෙජීමය දක්වා රාජ්‍යයේ මතවාදය ගොඩනැංවූයේ මේ පදනම මතය. ” ජනවාර්ගික අර්බූදයක් නැත. ඇත්තේ ත්‍රස්තවාදයක් පමණි” යැයි පවසමින් “මේ කප පවතින තුරු ඒකීය භාවය රරැකීමට” 1994 දී ත් විජේතුංග රෙජීමය උද්දච්ච විය.
එහෙත් පොදු ජන එක්සත් පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් 1994 මහා මැතිවරණයේ දී තරග බිමට ආවේ මෙකී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයට පයින් ගසමිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පමණක් නොව ගාමිණී දිසානායක ද දෙමළ ජනතාවට දේශපාලන ප්‍රශ්න ඇති බව පවසමින් ඒ සඳහා රාජ්‍ය ප්‍රතිසංස්කරණය කළ යුතු බව පැවසූහ. ඉන් නොනැවතුණු ඔවුහු ඒ සඳහා ප්‍රතිසංස්කරණ යෝජනා ද ඉදිරිපත් කළහ.
ඉතිහාසය වෙනස් ආකාරයකින් ලිවීම ආරම්භ වූයේ හුදු ස්වයං සිද්ධව නොවේ. මේ සමාජයේ බහුතරයකගේ දේශපාලන නායකයන්ගේ ත් මතවාදයන් වෙනස්වීම සිදුවූයේ සමාජය රුධිරයෙන් හා කඳුළෙන් ගෙවූ වන්දියට සමගාමීවය ය. ඒ සඳහා දෙමළ ජාතික අරගලය විසින් රාජ්‍යයේ යාන්ත්‍රණයට යකඩෙන් හා ගින්දරෙන් එල්ල කළ අභියෝගය ද නොතකා හැරිය නොහැකි තරම් ය.
රුධිරය හා කදුළු හරි හරියට හෙලමින් අපේ සමාජය ලබා ගත් ජීවිත අත් දැකීම තවමත් නිසි පරිදි තේරුම් ගැනීමට රජයේ න්‍යායචාරීන්ට නොහැකි වීම නිසා එහි වන්දිය ගෙවීමට සිදුවී ඇත්තේ මේ කිසිදෙයක් හෝ හාංකාවිසියක් හෝ නොදන්නා අහිංසක රටවැසියන්ට ය. දෙමළ ජනතාවට ඇති දේශපාලන ප්‍රශ්න රාජ්‍යයේ න්‍යායාචාරීන් තවමත් නොදන්නේ නම් සමාජයක් ලෙස අප ගමන් ගනිමින් සිටින්නේ පතුලක් නොපෙනෙන අගාධයකට බව මේ න්‍යායාචාරීහු කිසිදා තේරුම් ගන්නේ නැත.
එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය කිරීමේ රාජපක්ෂ රෙජීමයේ ඒකායන අරමුණ උදෙසා කැමැත්ත පළ කරන්නන් අතර සිටින්නේ එක් අයකු දෙදෙනකු නොවේ. ඒ සඳහා ගොඩනගා ගෙන ඇති සමිති සංවිධාන අතර කප්පරක් සෙනග එක පෙළට සිට ගෙන සිටිති. මේ කප්පරක් සෙනගම පවසන්නේ දෙමළ ජනතාවට සුවිශේෂී වූ ප්‍රශ්නයක් නොමැති බවය. ඒ නිසා දෙමළ සටන්කාමීත්වය යකඩයෙන් හා රුධිරයෙන් පරාජය කළ යුතු විය.
සුළුතර ජාතින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම ආරම්භ කරමින් ඩී.එස්.සේනානායක ආණ්ඩුව පුරවැසි පනත් ද්විත්වයක් ගෙන ආවේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහෝසි කිරීමට ය. සිංහල දෙමළ භේදයක් නොමැතිව රාජ්‍යයේ මර්ධනීය පනත් වලට එකඟ වෙමින් සියල්ලන් එක පෙළට සිටගනිද්දී සිංහල ස්වෝත්තමවාදී නායකයෝ කිහිප දෙනෙක් රාජ්‍යයේ වර්ගවාදයට හදවතින්ම විරුද්ධ වූ බව ඔහුන්ට කරන්නා වූ ගෞරවයක් වශයෙන් සටහන් කර තැබිය යුතුය.
පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමට ද දායක වූ ප්‍රමුඛ සිංහල බෞද්ධ නායකයකු වූ ශ්‍රී නිශ්ශංක අදාළ පනත් වලට විරුදධව ඡන්දය දුන්නේ මේ නීතිය ස්වාභාවික යුක්තියේ ප්‍රථම මූලධර්මයට පටහැනි බව ප්‍රකාශ කරමිනි. පැනවීමට යන නීතියේ අමානුෂික බව විග්‍රහ කරමින් පනත් වලට විරුද්ධව ඡන්දය දුන් මන්ත්‍රීන් අතර සිංහල බෞද්ධ මතවාදයක් වෙනුවෙන් පෙනී සිටි විල්මට් ඒ පෙරේරා, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල හා ලක්ෂ්මන් රාජපක්ෂ ද වූහ.
එසේම හොරණ මන්ත්‍රීවරයාව සිටි විල්මට් ඒ පෙරේරා 1956 දී මහජන එක්සත් පෙරමුණෙන් තරග නොකළේ බණ්ඩාරනායක ගේ සිංහල පමණක් වූ භාෂා ප්‍රතිපත්තියට විරුද්ධ වෙමිනි.
ඕනෑම ජාතියකට තමන්ගේ ජාතියේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය හැකිය. ජාතියක් වශයෙන් ගොඩ නැගීමට සංවිධානය විය හැකිය. එහෙත් වෙනත් ජාතීන්ගේ අයිතීන් උදුරා ගැනීම සඳහා කිසිම ජාතියකට අයිතියක් නැත. ශ්‍රී නිශ්ශංක ද විල්මට් ඒ පෙරේරා ද අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ද ලක්ෂ්මන් රාජපක්ෂ ද එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් හෝ පෙනී සිටියේ සිංහල බෞද්ධ මතවාදයක් වෙනුවෙනි. ඒ අර්ථයෙන් ඔවුහු සිංහල ජාතිකවාදීන් වුවත් සුළුතර ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමට එරෙහි වූහ. ඒ ඔවුහු වර්ගවාදීන් නොවූ බැවිනි.
ජාතියක් ගොඩනැගෙන්නේ ජාතිකවාදය මත මිස වර්ගවාදය මත නොවේ. ජාතිය, වර්ගය, කුලය වැනි නන් ආකාරයේ බෙදීම් මත වෙන්ව ඇතත් ඉන්දියානු සමාජය මුළු එකක් ලෙස ගොඩනැංවී ඇත්තේ ඉන්දියානු ජාතිකවාදය මතිනි. එහෙත් ඒ අර්ථයෙන් වූ ශ්‍රී ලාංකික ජාතියක් තවමත් මෙරට ගොඩනැංවී නොමැත. සිංහල ජාතියේ ගොඩනැංවීමක් ගැන කතා කරමින්ම වෙනත් ජාතීන්ගේ අයිතීන් පිළිගන්නා ජාතිකවාදයක් මෙරට නොමැති වීම පෙරලා හානිකර ඇත්තේ දෙමළ විමුක්ති ව්යාතපාරයට පමණක් නොවේ. එය සිංහල සමාජයට ද සිදු කර ඇත්තේ බරපතළ හානියකි. ප්‍රජාතන්ත්‍රවාදී සාර ධර්මයන් නොපිළිගන්නා මානව අයිතීන්ට ගරු නොකරන මිත්‍රශීලී නොවන ජාතියක් ලෙස සිංහල සමාජය හංචඩු ගැසෙමින් පවතින්නේ ඊනියා දේශප්‍රේමයක් වෙනුවෙන් පෙනී සිටින වර්ගවාදී සිංහල අතලොස්සකගේ ක්‍රියාකාරකම් නිසා ය.
අන්තර් ආගමික සංවිධානයේ සිහින් හඬ පුපුරා යන තරම් සුවිසල් ගෝරනාඩුවක් වී ඇත්තේ මෙරට දේශපාලන භූමියේ පවතින රික්තය නිසාය. වෙන් වෙන් වූ සමාජ කුළකයන් නගන මෙවැනි රාවයන්ට පුළුල් සමාජ ඉඩ කඩක් ඇති වෙන්නේ මේ හඬ නැගීම් වල එකතුවක් ඇති වූ විට ය. එහෙත් ඒ සඳහා සමාජ ව්‍යාපාරයක් තවමත් බිහි වී නොතිබීම කණගාටුවට කරුණකි.
එවැන්නක් බිහිවන තාක් කල් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ සංස්කෘතික අර්බූදය අවසන් නොවේ.
කේ.ජී.පිලිප් ශාන්ත
[email protected]